කොරෝනාව නිසා හතේ හත වැදී කොහුබත්වලටම දියැවී යන දකුණේ දහඩිය කඳුළු | Page 3 | සිළුමිණ

කොරෝනාව නිසා හතේ හත වැදී කොහුබත්වලටම දියැවී යන දකුණේ දහඩිය කඳුළු

දකුණු පළාතේ කොහු මෝල් 101ක්

පන්දාහ නොලැබුණා නම් පහුගිය කාලෙ ජීවත් වෙන්නවත් විදියක් නෑ

මුහුදුකරයේ ජනතාව හා කොහු කර්මාන්තයත් අතර ඇත්තේ වෙන් කළ නොහැකි සබැදියාවකි. වැල්ලකරයේ පදිංචි ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් කොහු කර්මාන්තය ආශ්‍රිතව විවිධ රැකියාවල නිරතව සිටිති. පොල් සංවර්ධන අධිකාරියේ දත්තවලට අනුව දකුණු පළාතේ කොහු මෝල් සංඛ්‍යාව 101කි. ඉන් ගාල්ල දිස්ත්‍රික්කයේ කොහු මෝල් 28ක්, මාතර දිස්ත්‍රික්කයේ කොහු මෝල් 22ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ කොහු මෝල් 51ක් ක්‍රියාත්මකව පැවතුණි.

කොරෝනා වසංගතයත් සමඟ මෙකි කොහු මෝල් සියල්ල වසා දැමුණි. මේ නිසා කොහු මෝල් ආශ්‍රිතව රැකියාව කළ විශාල පිරිසකගේ ආදායම මාර්ගය අහිමි වීමෙන් ඔවුන් දැඩි අසරණ තත්ත්වයට පත්වුහ. කොහු මෝල්වල රැකියා කරණු ලබන සේවකයන්ගෙන් සියයට 90ක් පමණ කාන්තාවන්ය. දහඩිය ශ්‍රමය වගුරුවමින් දරු පවුලේ බඩවියත රැකගැනීම සදහා දැඩි අරගලයක නිරතව සිටින මෙකී කාන්තාවන්ට කොරෝනාව නිසා වැදි ඇත්තේ මරුපහරකි. ඔවුන්ගේ දහඩිය කඳුළු කොහුබත්වලට දියවී යමින් ඇත්තේය.

පොල් සංවර්ධන අධිකාරියේ දත්තවලට අනුව දකුණු පළාතේ ඇති කොහුමෝල්වල අඩුම තරමින් දසදහසක් දොළොස්දහසක් පමණ සේවය කරති. එම දත්තවලට අනුව මොවුන්ගෙන් හැට හැත්තෑදහසක් පමණ යැපෙති. ඒ විතරක් නොව පොල් ලේලි තැලීම, ලුණු ඇඹරීම, කොහු ඉදල් බැඳීම ඇතුළු කොහු ආශ්‍රිත කර්මාන්තවල වැල්ලකරයේ තවත් දහස්ගණක වු පිරිසක් නිරතව සිටිති. කොරෝනාව නිසා මේ අයට හතේ හත වැදි තිබේ. ඒ විතරක් නොව කොහු කර්මාන්තය දැඩි කඩාවැටීමකට ලක්ව තිබේ. කොහු මෝල කොහු කර්මාන්තයේ ප්‍රධාන පුරුකකි. කොහු මොල් අක්‍රිය වුවහොත් කොහු කර්මාන්තයට එය මරුපහරකි. මක්නිසාදයත් කොහු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ කොහු හා කොහු බත්ය. මෙවා නිෂ්පාදනය කරනු ලබන්නේ කොහු මොල්වලය. කොරෝනා වසංගතයත් සමග කොහු හා කොහු බත් නිෂ්පාදනය ඇණහිටිනු ලැබිය.

එමෙන්ම කොහු කර්මාන්තකරුවන් විසින් කොහු හා කොහුබත් තංගල්ල විරකැටිය, කුරුණැගල, කුලියාපිටිය, බිංගිරිය , ආදි ප්‍රදේශවලින් රැගෙන එනු ලැබීය.

ඒ කොයිහැටිවුවද කොරෝනාවත් සමග කොහු ආශ්‍රිත නිෂ්පාදන සදහා විදේශිය රටවලින් හොඳ ඉල්ලුමක් නම් ඇති වී තිබේ. වෙනදාට වඩා ඇණවුම් ලැබී තිබුණි. අපේ රටේ නිෂ්පාදනය කරණු ලබන කොහු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන වලින් සියයට 90ක් පමණ විදේශිය රටවලට අපනයනය කරති. විදේශිය වෙළදපොළේ දි අපේ රටේ නිෂ්පාදිත කොහු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සමග තරග කරනු ලැබුවේ ඉන්දියාව හා වියට්නාමය වැනි රටවල්ය.

එහෙත් කොරෝනා වසංගතයත් සමඟ ඉන්දියාව වසා දැමීම නිසා වෙනත් රටවලින් අපේ රටේ කොහු ආශ්‍රිත නිෂ්පාදන සඳහා ඇණවුම් ලැබුණි. මේ කතාව අපිට කිවේ කොහු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරණු ලබන දකුණු පළාතේ ප්‍රධාන පෙළේ අපනයනකරුවකු වන එම්.සි.එන්ටර්පර්යිසස් පුද්ගලික සමාගමේ හිමිකරු එම්. සි ද සොයිසා මහතාය.‘අමුද්‍රව්‍යවල හිඟයත් සමඟ කොහු කර්මාන්තය දැඩි කඩාවැටිමකට ලක්වුණා. මේ කර්මාන්තයේ මුල්පුරුක තමයි කොහුමෝල. අවසාන පුරුක තමයි කොහු ආශ්‍රිත නිෂ්පාදන අපනයන කරනු ලබන අපනයනකරුවා. කොහු හා කොහුබත්වල හිඟකම දැඩි ගැටලුවක් වුණා. ගබඩාකරගෙන තිබු කොහු වලින් ඇතමුන් වැඩ කළා. කොහු කොහුබත්, ලුණු පැදුරු, හා කොහු ආශ්‍රිත නිෂ්පාදන තමයි අපේ සමාගම මඟින් අපනයනය කරන්නේ. කොහොමවුණත් කොරෝනා ප්‍රශ්නයත් සමග තිබුණාටත් වඩා වැඩියෙන් කොහු ආශ්‍රිත නිෂ්පාදන සඳහා ඇණවුම් ලැබුණා. නමුත් ඊට සාපෙක්ෂව චිනය, කොරියාව, ජපානය,නෙදර්ලන්තය, ජර්මනිය හා ඊශ්‍රායලය වැනි රටවලින් විශාල වශයෙන් ඇණවුම් ලැබුණා. ඉන්දියාව හා වියට්නාමයේ නිෂ්පාදන සමඟ තමයි අපි තරග කළේ.

ඒ කොයිහැටිවුවද කොහු කර්මාන්තයේ නිරත කාන්තාවන්ගේ ජිවිතවල ඇතුළාන්තය එතරම් සුන්දර නැත. දකුණේ ඇතැම් කතුන් ස්වයං රැකියවාක් ලෙස මෙකී කර්මාන්තයේ නිරතව සිටිති. ගෘහ කර්මාන්තයත් ලෙස වැල්ලකරයේ මෙම කර්මාන්තය ජනප්‍රියත්වයට පත්ව තිබේ. ඇතමුන්ගේ ප්‍රධාන ජිවන මාර්ගය බවට පත්ව ඇත්තේද කොහු ආශ්‍රිත කර්මාන්තයන්ය. කොහු කර්මාන්තයේ නිරත බුස්ස ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සිසිල් රංජිත් මහතා කිවේ මෙවැනි කතාවකි.

‘කොරෝනා වසංගතය නිසා කොහු ලණු කර්මාන්තය මේ වනවිට අඩාළ වෙලා තියෙනවා. අපි කොහු ගෙන්නේ හම්බන්තොට විරකැටිය වලස්මුල්ල යන ප්‍රදේශවලින්. කොහු ගෙන්න විදියක් නැති නිසා ලණු ව්‍යාපාරය කඩාකප්පල් වෙලා තියෙන්නේ. කොහු එකතුකරන්න විදියක් නැහැ.

වෙළදපොළ ගැටලුවක් නැහැ කොරෝනා නිසා ලුණු අඹරලා පටවාගන්න විදියක් නැහැ. ලණු මැෂින් 50ක් විතර කාන්තාවන්ට දීලා ලණු අඹරනවා. එක ලණු මැෂිමක 03 දෙනෙක් විතර වැඩකරනවා. නමුත් කොහු නැති නිසා ලණු අඹරන්න ඒ අයට විදියක් නැහැ. දැනට ව්‍යාපාරය වැටිලා; අපේ ආදායම් මාර්ග නැතිවෙලා.

බුස්ස පට්ටිපොළ පදිංචි කේ. පදුමාවති (63) ලණු අඹරන කාන්තාවකි.

‘පාසල්ගොස් නතරවු කාලයේ ඉඳලා ලුණු අඹරණවා. අපිට නම් ලොකු ආදායමක් ලැබෙන්නේ නැහැ. කොහු බෙල් තුනක් ඇඹුරුවිට රුපියල් 1250ක මුදලක් තමයි තුන් දෙනාටම ලැබෙන්නේ. ලණු කිලෝවකට රුපියල් 25ක් තමයි ලැබෙන්නේ. කොරෝනා නිසා පසුගිය මාසවල අපි වැඩ කළේ නැහැ. කොහු තිබුණෙත් නැහැ. අපේ ආදායම් මාර්ගය නැති වුණා. දැන් නම් කොහු ගෙනවිත් දමලා තියෙනවා‘

රණපනාන පොඩි නෝනා (75) බුස්සේ පදිංචිකාරියකි.

‘කුඩා කාලයේ සිට තමයි ලුණු අඹරන්නේ. කොරෝනා වසංගතය නිසා මාස දෙකක් විතර ලුණු ඇඹුරුවේ නැහැ. මැෂිමෙනුයි අතිනුයි දෙකෙන්ම ලණු අඹරණවා. පසුගිය සතියේ තමයි කොහු ලැබුණේ. ලණු කිලොවක් ඇඹුරුවොත් රුපියල් 30ක් ලැබෙනවා. මුලින්ම පොල් ලේලි වලවල් වලින් ලේලි තළාගෙන ඇවිත් තමයි ලණු ඇඹරුවේ. සුනාමියෙන් පසු පොල්ලෙලි වලවල් නැතිවුණා. ඊට පසු තමයි මෝල් කොහු වලින් ලණු ඇඹරිම් කරන්නේ.

ඒ කාලයේ පොල් ලේලි කෑලි තුනේ එවා හයක් තැළු විට අපිට රුපියල් හයක් තමයි ලැබුණේ. පාන්කාලක් දෙනවා; තේ වතුර එකක් දෙනවා. එහෙම තමයි මේ කර්මාන්තයේ නිරතවුණේ. දැන් ඉතින් මුදලාලි තමයි කොහු ගෙනවිත් දෙන්නේ‘මුහුදු කරයේ තිබු පොල් ලේලි වළවල් සුනාමියෙන් පසු නැත්තටම නැතිවිය.

ඩබ්ලිව් යසවති. (65) පොල් ලේලි තැළීමේ නිරත කාන්තාවකි. ඇය කියන්නේ මෙවැන්නකි.‘කෙල්ල කාලේ ඉදලා පොල් ලේලි තළනවා; ලණු අඹරණවා.

අදටත් පොල් ලේලි තළලා තමයි පවුලේ වියදමට කියක් හරි හොයාගන්නේ.

පොල් ලේලි කෑලි 03ක් තමයි එක් අතක් කියන්නේ; අත් දොළහක් තැලුවොත් තමයි රුපියල් 25ක් හමුවෙන්නේ. කොරෝනා නිසා පසුගිය කාලයේ ලේලි තැළීම කළේ නැහැ. අපේ අදායම් මාර්ගය නැති වෙලා. ජීවත් වෙන්න විදියක් නැහැ. රුපියල් 5000 නම් ලැබුණා.

පොල්ලේලි වලේ හිමිකාරිය වන්නේ බුස්ස පිටිවැල්ලේ පදිංචි එම් ඩබ්ලිව් දයාවතිය (74). ‘කොරෝනා නිසා පොල්ලේලි තැලිම කළේ නැහැ. පස්හය දෙනෙකු ලෙලි තැලුවා. නමුත් එකට රැස්වෙලා ඉන්න හොඳ නැති නිසා පසුගිය කාලයේ වැඩ කළේ නැහැ. 11 වැනිදායින් පසු නැවත ලෙලි තැලිම කරන්න පුළුවන්. පොල්ලේලි තලන අය දිනකට රුපියල් 200ක් 250ක් විතර හොයා ගන්නවා. අත් දොළහක් තැලුවොත් රුපියල් 75ක් දෙනවා. පෙරුම් කාසිවලට රුපියල් 05ක් හා ලේලිවලට රුපියල් 50ක් අය කරනවා‘

කේ. වී හැරිනෝනා (73) බෝගහවත්ත බුස්ස පිටිවැල්ලේ පදිංචිකරියකි. ඇය මෙසේ කිවාය.‘කුඩා කාලයේ සිට තමයි පොල් ලේලි තැලිම කරන්නේ. පොල්ලේලි මාස හයක් විතර වලේ දමලා පල්වුණාට පසු තමයි තලන්න පටන් ගන්නේ. පොල් ලේලි අත් 25ක් ගන්න රුපියල් 115ක් දෙනවා. පෙරම්කාසි රුපියල් 15ක් දෙන්න ඕන. ඊට පස්සේ කොහු තලාගෙන ලණු අඹරගන්නවා. එළවළු කොරටුවලට ලණු දෙනවා.

පිටිවැල්ල බුස්ස ශ්‍රි ජයවර්ධනාරාම විහාරාධිපති හා හික්කඩුව දකුණ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරි තංගල්ලේ අනුරුද්ධ නාහිමියන් මෙසේ පැවසූහ. ‘බුස්ස පිටිවැල්ල ග්‍රාමයේ වැඩිපිරිසක් කොහු කර්මාන්තයේ නිරව සිටිනවා. කොරෝනා වසංගතය නිසා ඔවුන්ගේ ජන ජිවිතය අඩාළ වෙලා තියෙනවා. රජය මගින් ඒ අයට රුපියල් 5000ක මුදලක් ලබා දුන්නා. ඒ ගැන රජයට ස්තුතිවන්ත වෙනවා‘

මේ ගැන පොල් සංවර්ධන අධිකාරියේ දකුණු පළාත් බාර ක්ෂේත්‍ර නිලධාරි ඒ.ජි.එස් රංගජිව මෙසේ කිවේය.‘කොරෝනා වසංගතයත් සමඟ වසා දැමු දකුණු පළාතේ කොහු කර්මාන්තශාලාවලින් සියයට 20ක් පමණ මේ වනවිට විවෘත කර තියෙනවා. මැයි මාසය අවසන්වන විට දකුණු පළාතේ සියලුම කොහු කර්මාන්තශාලා විවෘත කිරිමට සැලසුම්කොට තියෙනවා.

මැයිමස 11 වැනිදින ආරම්භවන සතිය තුළ කොහු කර්මාන්තශාලා වලින් සියයට 65ක් පමණ විවෘත කිරිමට හැකියාව තියෙනවා. මේ පිළිබඳ කොහු කර්මාන්තශාලා හිමියන් සමඟ දුරකථන මාර්ගයෙන් සාකච්ඡා කළා. කොරෝනා වසංගතයක් සමඟ කොහු කර්මාන්තශාලා වසා දැමීම නිසා කොහු නිෂ්පාදනය අඩුවීමෙන් කොහු ආශ්‍රිත නිෂ්පාදන සදහා අමුද්‍රව්‍ය හිඟයක් ඇතිවී තිබෙන බව ඇත්ත..

අපනයන සංවර්ධන මණ්ඩලයේ දකුණු පළාත් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක යු.ඒ ගමගේ මහතා මෙසේ කීවේය. කොරෝනා බලපැම හේතුවෙන් ඇතිවු දුෂ්කරතාවයන් පිළිබද මෙම කර්මාන්තකරුවන්ගෙන් තොරතුරු ලබාගෙන එවා විශ්ලේෂණය කොට ප්‍රධාන කාර්යාලයට යොමු කිරීමෙන් පසු ඉදිරියේ දි එම ගැටලුවලට විසඳුම් ලබාදීමට කටයුතු කරනවා.

Comments