කොරෝනාවෙන් පහර වැදුණු පුංචි තිරයේ අර්බුදය | Page 2 | සිළුමිණ

කොරෝනාවෙන් පහර වැදුණු පුංචි තිරයේ අර්බුදය

ශ්‍රී ලංකාවට පමණක් නොව මුළු මහත් ලෝකයටම මේ වන විට කොවිඩ් වසංගතය ව්‍යාප්තව පවතින්නේ සියලු රටවල සාමාන්‍ය ජීවිතයද අක්‍රීය කරවමිනි. එය වඩාත් ප්‍රබල ලෙසින් දැනෙන්නේ ඕනෑම රටක ආර්ථිකයටය. ආර්ථික මට්ටම ඉහළ අගයක් ගත් සංවර්ධිත රටවලට දැඩි ලෙසින් එය නොදැනුණද ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවලට එය දැනෙන්නේ ඉහටත් උඩින්ය. ශ්‍රී ලංකාවටද එය විවිධ අංශයන්ගෙන් නොයෙක් අයුරින් බලපෑම් කරන්නට සමත් වුවද වඩාත් මේ නිසා ගැටලුකාරී ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන පිරිසක්ද සිටිති. ඒ සමාජය සමඟ ගැටෙමින් තම වෘත්තීයේ යෙදෙන්නන්ය. මේ අතුරින් කලාකරුවන් ද එවන් වූ පිරිසකි. මේ මොහොත වන විට ඔවුනට ද තම වෘත්තීය කටයුතු ඉදිරියට ගෙන යාමට නොහැකි තත්ත්වයක පවතී. මේ කලාකරුවන් කිහිප දෙනෙකු ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස්ය.

චිත්‍රපට හා ටෙලි නාට්‍ය කිහිපයකම වැඩ කටයුතු අතර මග නතර වෙලා
ආනන්ද අබේනායක ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක

මේ වෙලාව වෙනකොට කර්මාන්තයම අර්බුදයට ලක්වෙලා තියෙනවා. දිගින් දිගටම මේ ආකාරයට මේ තත්වෙ තිබුණොත් ඒක ලොකු ප්‍රශ්නයක්. නිෂ්පාදකයෙක් ටෙලි නාට්‍යයක් කරලා නාලිකාවට ලබා දුන්නාට පස්සේ ඔය සඳහා අනුග්‍රාහකයන් සොයා ගතයුතු වෙනවා. අනුග්‍රහයකයින් නැතුව මේ ක්‍රමවේද පවත්වාගෙන යන්න බැහැ. අනුග්‍රාහකයෙකු විදිහට ඒ සඳහා මුදල් යොදවන්නේ වෙළඳ ආයතන. ඉතින් ඒ සඳහා සරිලන විදියට පරිසරයක් නිර්මාණය කරන්න ඕන.

කොහොම වුණත් මිනිස්සු කැමතියි නාට්‍ය බලන්න. ඔවුන්ගේ ඒ කලා රසවින්දනයටත් අවස්ථාව ලබල දෙන්න ඕන. මේ වෙනකොට ක්ෂෙත්‍රයේ කෙරෙමින් පවතින ටෙලි නාට්‍ය හා චිත්‍රපට බොහොමයක වැඩ කටයුතු අතරමග ඇන හිටලා තියෙන්නේ.

මේ මොහොතේ මම පිටපතක් ලියමින් පවතිනවා. දැන් එක වැඩිදියුණු කෙරෙමින් පවතින්නේ. කොහොමවුණත් මේ සිදුවීම දිනවලම අපේ සංගමය මගින් කලාකරුවන් වෙනුවෙන් සහන මල්ලක් ලබා දීමත් සිදු කළා. අපිට හැකි ලෙසින් අප එය කළා.

මේ වෙලාවේ දී රජය අපි ගැන පියවරක් ගත යුතුම වෙනවා
මහේන්ද්‍ර පෙරේරා

අපේ ලංකාවේ ඉන්නේ කෝටි ගණන් හරි හම්බ කරපු කලාකාරයෝ නෙවෙයි. ඇමරිකාව වගේ රටවල් වල එහෙම වුණාට ලංකාවෙ නම් එහෙම තත්ත්වයක් නෑ. බොහොම දුක් මහන්සියෙන් හරි හම්බ කරපු කලාකරුවෝ පිරිසක් ඉන්නේ. බැංකු ලෝන් එක ගෙවා ගන්නේ කාර්එකේ ලීසින් ගෙවාගන්නේ තමන්ට ලැබෙන මුදලින්. එහෙම නැතිව සමහරු කියනවා වගේ මාර විදියට හරි හම්බ කර ගත්ත උදවිය මේක ඇතුළෙ නෑ. දැන් වෙලා තියෙන ව්‍යසනය අපිට විතරක් වුණු දෙයක් නෙමෙයි. මුළු ලෝකයටම වෙච්ච දෙයක්. මේක කවදා ඉවර වෙයිද කියන්නෙ අපි කාටවත් කියන්න බෑ.

මෙන්න මේ වෙලාවෙදි රජය මේ සම්බන්ධයෙන් පියවරක් ගත යුතුම වෙනවා. මොකද අනෙකුත් කාර්යාල විවෘත කරාට කලා ක්ෂේත්‍රයෙ අයට එහෙම ඒක වෙන්නේ නෑ. අඩුම තරමින් මිනිස්සුන්ගේ බිල් ටික හරි ගෙවාගන්න පුළුවන් විදියේ සහනයක් ලබා දෙන්න වෙනවා. හැබැයි ඒක ලෙහෙසි වෙන්නෙත් නෑ. මොකද එක ටෙලිනාට්‍යයක් රඟපාලා කලාකරුවන් කියන අයත් ඉන්න නිසා. ඒකට මොකක් හරි ක්‍රමවේදයක් හොයාගන්න ඕනෑ. සියල්ලන්ටම වැඩ නැවතිලා තියෙන්නේ. මගේ ටෙලි නාට්‍යය දෙකක් පටන් ගන්න තිබුණා අප්‍රේල් අන්තිම; චිත්‍රපටයක් රැගත කිරීම් තිබුණා. ඒ සියල්ල දිනයක් හිතාගන්නත් බැරි ඈතට ගියා. ඒ හින්දා මේ වෙලාවේ කොහොම හරි විදියකින් මේ සම්බන්ධයෙන් රජය පියවරක් ගත යුතු වෙනවා.

මේ දේවල් මෙහෙම වුණාට ඉන් පස්සෙත් දිගටම මෙහෙම තිබ්බොත් නිෂ්පාදකයෝ වැඩ කරන්න ඉදිරිපත් වෙන්නෙ නෑ. ඒ හින්දා නිෂ්පාදකයන්ට සහන සැලසෙන වැඩපිළිවෙළක් රජය විසින් ඉදිරිපත් කළ යුතුයි. නිෂ්පාදනය වගේ දේවල්වලට අත ගහන්නෙ ව්‍යාපාරිකයන්. ඉතින් ඒ අයගෙ බිස්නස් වැටුණොත් මේ දේවල් කොහොමත් වෙන්නේ නෑ. අන්න ඒ හින්දා මිනිස්සුන්ගේ නිර්මාණ එළිදක්වන්න නම් දැන්වත් කසිකබල් හින්දි නාට්‍ය ටිකයි පිටරට වැදගම්මකට නැති නිර්මාණ පෙන්නන එකයි නවත්තන්න ඕන.

⁣මෙගා පෙන්නන එක නැති කරාම දවස් පහට නිර්මාණකරුවන් පස්දෙනෙකුගේ නිර්මාණ එළියට එනවා. එහෙම වුණාම නිෂ්පාදකයො මැලි වෙන්නෙත් නෑ; තමන්ගේ නිෂ්පාදන එළිදක්වන්න. අපේ රටට ඕන හැමදේම අපිට කරන්න පුළුවන් නම්, බෙහෙත් ටිකත් ලංකාවේ හදන්න යනව නම් ඇයි අපේ රටට නිර්මාණ අපේ රටේම කරන්න බැරි. මම මේ කියන්නේ මේ පවතින තත්ත්වය තවත් ටික දවසක් මෙහෙම තිබුණොත් අනාගතයේදී කරන්න පුළුවන් දෙයක් ගැන. ඒක තමයි හොඳම ක්‍රමවේදය; කර්මාන්තය පවත්වාගෙන යෑමටත් ඕනම වෙලාවක කලාකාරයන්ට අසරණ වෙන්නෙ නැතුව ඉන්නත්.

කලාකරුවන් වෙනුවෙන් මොනම විදියේ හෝ සහනයක් ලබා දෙන්න
දිනේෂ් ප්‍රියසාද් චිත්‍රපට නිෂ්පාදක සහ අධ්‍යක්ෂක

මේ අර්බුදය ලංකාවට විතරක් සීමා වුණු දෙයක් නෙමෙයි. කොටින්ම කියනවා නම් හොලිවුඩ්, බොලිවුඩ්, කොලිවුඩ්, හෙලවුඩ් කියන හතරටම මේ වසංගතයේ අර්බුදයට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. මේ වෙනකොට මුළු ලෝකෙටම සිනමාවක් නෑ. ඒක තමයි ඇත්ත කතාව. මීට ටික දවසකට කලින් ඇමෙරිකාවේ ප්‍රදර්ශනය කරන්න දින වෙන් වෙලා තිබ්බා ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක්. ඒත් ඒක දැන් ප්‍රදර්ශනය වෙන්නේ නෑ. ඒ වැඩේ සිද්ධ වෙන්නේ 2021 ටත් පස්සේ. හිතාගන්න පුළුවන් නේද; එහෙත් එහෙම කරනවා කියන්නේ ලංකාවට මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියලා. අනික ඇමරිකාව වගේ රටවල් වල සිනමාකරුවන්ට එරට රජයෙන් උදවු කරනවා. එහෙම වෙලත් ඒ අයටත් මේක පවත්වාගෙන යාම අසීරුයි. කලාකරුවන්ට ප්‍රශ්න. ඉන්දියාවේත් සිනමාකරුවන්ට සහන වගේම රජයෙන් ආදායමක් ලබා දෙනවා.⁣ මේ වෙලාවේ ඒකත් ඒ ගොල්ලොන්ට ලොකු සහනයක්

මම කියන්නේ ලංකාවේ සිනමාකරුවන්ට, කලාශිල්පීන්ට රජයෙන් යම් මුදලක් දෙන්න ඕන. එහෙම වුණා නම් මේ වගේ අවස්ථාවක මෙහෙම දෙයක් වෙන්නේ නෑ. ඒ කියන්නේ මේ වගේ අසීරුතාවකට කලාකරුවා මුහුණ දෙන්නේ නෑ. ඒකට ඉදිරිය වෙනුවෙන්වත් ක්‍රමවේදයක් හදන්න අවශ්‍යයයි. මොකද ඉස්සර නම් කළේ සිනමා කර්මාන්තයෙන් රජයට මුදල් ලබාදෙන එක. නමුත් දැන් වෙන්නේ ඒකේ අනෙක් පැත්ත. මේ සිනමාව මත්තෙම වැඩ කරපු මිනිස්සු ඉන්නවා. මමත් එයින් එක්කෙනෙක්. මගේ චිත්‍රපටයෙත් සියලු වැඩ නිම කරලා ප්‍රදර්ශනය වෙන්න තිබ්බේ මේ වෙසක් සමයත් එක්ක. ඒත් ඒ හැමදේම පස්සට ගියා. කවදා මේක ඉවරයක් වෙයිද කියලා අපට කියන්න බෑ. ඒ හින්දා මේකට කවර හෝ දෙයක් රජය විසින් කළ යුතුයි. කවුරුහරි මේදේ වෙනුවෙන් බඩු මල්ලක් ගෙනත් දෙන එක නෙවෙයි වැඩේ. ඒක නරකයි කියලා මම කියන්නේ නෑ; ඒත් මේ අවස්ථාවේ කලාකරුවන් වෙනුවෙන් මොනම විදියේ හෝ සහනයක් ලබා දිය යුතුයි

ඉදිරියෙදි සිනමා ශාලා විවෘත කළත් මිනිසුන්ගේ පැමිණීම යහපත් වෙයි කියලා කියන්න බෑ
බෙනට් රත්නායක චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක

පොදුවේ ගත්තාම මේ ව්‍යසනය ලංකාවට පමණක් නොවෙයි මුළු ලෝකටම බලපාලා කියන දෙයක්. ඒ අතින් ගත්තම ලංකාවේ සිනමාව තියෙන්නෙ බරපතළම අවදානමක. මීට පෙරත් සිනමාව කොහොමත් තිබුණේ අවදානම් තත්ත්වයක. මේ සිදුවීම නිසා තවත් මේ දේවල් ව්‍යාකූලත්වයට පත් වුණා. ඉතින් නිෂ්පාදකයෙක් අවදානමක් අරගෙන නිර්මාණයකට අත ගහන්නෙ නෑ. මොකද මේ උවදුර අවසාන වීමේ කාලවකවානුවක් නිශ්චය වශයෙන්ම කියන්න බෑ; අහවල් දිනයේ අවසන් වෙනවා කියලා.

නිෂ්පාදකයන් නිර්මාණයක් වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ නැහැ කියන්නේ ඉන් පස්සේ ඉන්න මුළු මහත් පිරිසක්ම අසරණ වෙනවා. අධ්‍යක්ෂකවරුන්, සහය අධ්‍යක්ෂක වරුන් ,කැමරා ශිල්පීන් ,වේශ නිරූපණ ශිල්පීන්, නිෂ්පාදන කළමනාකරුවන්, සංස්කරණ ශිල්පීන් සහ ටී බෝයි පවා මේ සියල්ලම එකම රැහැනක් යටතේ තියෙන්නේ. නිර්මාණ බිහිවෙන්නේ නෑ කියන්නේ මේ සියලු දෙනාම අසරණ බවට පත්වෙනවා කියන එක. මේ මොහොතේත් නිර්මාණ කිහිපයක් අතරමග නැවතිලා තියෙනවා. අනිත් කාරණාව තමයි කවදා හෝ දිනක සිනමා ශාලා විවෘත කළත් මිනිසුන්ගේ පැමිණීම යහපත් වෙයි කියලා අපට අපේක්ෂා කරන්න බෑ. එමෙන්ම මේ තත්ත්වය යටතේ නිර්මාණ වෙනුවෙන් මුදල් යෙදවීමට නිෂ්පාදකයන් නොපෙලෙඹෙන නිසා මේ සම්බන්ධ අදහස් කීපයක්ද ඔහු එක් කළේය.

දැන් බලන්න සිනමාහල්වල විදුලි බිල සාමාන්‍ය පරිදි නොවී කර්මාන්තශාලා උදෙසා ලබා දෙන ක්‍රමයට පරිවර්තනය කරා නම් යම් ලාබයක් සිනමාහල් හිමියන්ටත් ලැබෙනවා. අනික තමයි බෙදාහැරීමේ සමාගම් චිත්‍රපටයක ආදායමෙන් 10%ක් ගන්නවා. ඒක ඉතාමත් වැඩියි. ප්‍රතිශතය අඩු කරානම් නිෂ්පාදකයාට එන ලාභය වැඩියි. මේ දේවල් අඩුකරාම තමයි නිෂ්පාදකයන් වුණත් නිර්මාණ කරන්න පෙලඹෙන්නේ. දැන් මේ තියන තත්ත්වය ගැන නම් කියන්න තියෙන්නේ කවදා කොහොමද නිරාකරණය වෙයිද කියලා කියන එක අවිනිශ්චිතයි. කාටවත් කියන්න බෑ මේ අර්බුදය මොන විදියට බලපායිද කියලා.

කලාකරුවන් වෙනුවෙන් ණය මුදලක් ලබා දෙන්න කියලා අපි රජයෙන් ඉල්ලීමක් කළා
දමිතා අබේරත්න

අපි මේ සම්බන්ධයෙන් පවතින ගැටලු රජයේ වගකිවයුතු අංශ සමඟ සාකච්ඡා කළා. ටෙලි වෘත්තිකයන්ගේ ජාතික සංගමය ටෙලි නිසත් ලිපියක් බාර දුන්නා රජයට; කලාකරුවන් මේ පත්වෙලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන්. අපි ඉල්ලීමක් කළේ ඉතාමත් අඩු පොලී ප්‍රතිශතයක් යටතේ ණය මුදලක් ලබා දෙන්න කියලා. රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 5-6 දක්වා ඔය අතර ණය මුදලක්. මේ කාරණාවට මහජන බැංකුව එකඟ වුණා. ඒක සතුටට කරුණක්.

ඒත් අවසානයේදී ගැටලුව තියෙන්නේ මේක කී දෙනෙකුට ගන්න පුළුවන් වෙයිද කියන කාරණාවයි. එහෙමත් වෙලාවක ගන්න බැරි කෙනා අසරණයි. එතකොට අපට හිතන්න වෙනවා අපි ඒ මනුස්සයාට මොකද කරන්නේ කියලා. මේ වගේ වෙලාවකවත් මේ මනුස්සයා රැකෙන්න ඕන නැද්ද කියන මානුෂික කාරණාව අපේ හිත් වලට එනවා. සමහරවිට ටී බෝයිට ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ මනුස්සයාට ඉදිරිපත් කරන්න කිසිම දෙයක් නැති නිසා. අඩුම තරමින් ඒ වගේ අයට රුපියල් 25,000ක මුදලක් වත් පුළුවන් විදිහට හදලා දෙන එක ලොකු දෙයක්. හැමදාමත් රටේ ඕනම ප්‍රශ්නයක් ආවම මුලින්ම ගැටලුව එන්නේ කලාකරුවන්ට. ස්වභාවික ආපදාවක් වුණත් බෝම්බ ගැහුවත් ඒක මුලින්ම දැනෙන්න පටන් ගන්නේ අපිට. රටේ ඉන්න ලොකුම සල්ලිකාරයා ටත් දුප්පත්ම පුද්ගලයාටත් මේක අඩු වැඩි විදියට බලපානවා. මම සම්බන්ධ වෙන්න හිටිය ටෙලිනාට්‍යයේ වැඩ පටන් ගන්න තිබ්බේ පහුගිය අප්‍රේල් මාසයේ ඒ හැමදේම දැන් පස්සට ගියා

රජයෙන් වුණත් කියනවා සාමූහික රැස්වීම් ආදිය තියන්න එපා දුරස්ථභාවය තියාගෙන ඉන්න කියලා. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමයක් විදියට ඒක හරි ඒත් මේ ක්‍රම යටතේ ටෙලි නාට්‍යයක්, චිත්‍රපටයක් කරන්න බැහැ. මුහුණු ආවරණය කරගෙන රඟපාන්න බැහැ. ඈතින් ඉඳලා රඟපාන්නත් බැහැ. ඒක ප්‍රායෝගික දෙයක් නෙවෙයි. කොහොම හරි මම හිතනවා ඉක්මනින්ම මේ අර්බුදය ඉවරයක් වෙයි කියලා.

 

Comments