කොරෝනාවෙන් කොරවුණ මැණික්පුරය ගංවතුරෙනුත් යට වෙයි | Page 2 | සිළුමිණ

කොරෝනාවෙන් කොරවුණ මැණික්පුරය ගංවතුරෙනුත් යට වෙයි

කෝඩයෙන් වැසී ගිය සමනොළ කඳු පෙළ තැනින් තැනින් ඉස්මතු වුණත් වෙනදා පැවති මනස්කාන්ත බව එහි දක්නට නැත. මුණිසිරිපා පහස ලැබ කඳු හෙල් අතරින් මිණි කැට දිය යට හංගාගෙන ගලන කළු ගඟට බොර දිය එක් වන්නේ නැත්තේ ගං ඉවුරේ ජයට කෙරුණ මැණික් ගැරිල්ල හිටි හැටියේ නතර වු බැවිනි. මේ සියල්ලේම බලපෑම් තුළ මුළු රත්නපුරයම නිදි ගෙන ඇති ලෙසකි දැනෙන්නේ. මුළු ලොවම වෙළාගත් කෝවිඩි 19 මේ සියල්ලටම මුලය.

රත්නපුර ජනතාවගේ ආර්ථීකයට තේ, රබර්, පොල් සහ වෙනත් සුළු අපනයන බෝග රුකුලක් වුවත් ඔවුන්න්ගේ ආර්ථීකය වඩාත් රැඳී ඇත්තේ මැණික් සම්පත නිසාය. එහෙත් කොරෝනා ව්‍යසනයත් සමඟ ඒ සියලු ඉසුරු ගිලිහී ගොස් ඇත.

කොරෝනා ව්‍යසනය චීනයේ වූහාන් නගරයෙන් ඇරඹී ලොව පුරා පැතිරෙන්නට ගනිද්දී ශ්‍රී ලංකාවටත් ඉන් ගැලවීමට හැකි වූයේ නැත. ඒ ගල්කිස්සේ මැණික් ව්‍යාපාරිකයකුගේ නොදැනුම් කමක පළවිපාක රත්නපුරයටම අත්විඳින්න සිදු වුණු බැවිනි. එකී මැණික් ව්‍යාපාරිකයා සමඟ ව්‍යාපාර කටයුත්තක යෙදුණු රත්නපුර මුද්දුවේ තරුණ මැණික් ව්‍යාපාරිකයකු කොරෝනා වයිරසයේ ආසාදිතයකු වීම මීට හේතු විණි.

රටපුරා නිරෝධාන ඇදිරි නීතීය පැනවෙද්දීත්, සමාජ දුරස්ථභාවය ක්‍රියාත්මක වෙද්දීත්, උද්ගතව ඇති තත්ත්වය රත්නපුර මැණික් ව්‍යාපාරයට දැඩිව බලපා ඇත. මැණික් ව්‍යාපාරය මුළුමණින්ම කඬා වැටී ඇති බවක් පෙනෙන්නට තිබේ.

මැණික් ව්‍යාපාරිකයන් වෙනදාට පාරට බහින්නේ කාක්කා හඬද්දීය. ඈත ගම් දනවු වලින් ගරා ගන්නා මැණික් බිම් කරුවල පහව යද්දී නගරයේ මැණික් වෙළදුන් වෙත ගෙන ඒමට පතල් නඩ පුරුද්දක් කරගෙන සිටි. නගරයේ මැණික් ව්‍යාපාරික පිරිස් ද අරුමැක්කේම කඩපලට විත් ඔවුන් එන මග බලා සිටි. එහෙත් දැන් එය එසේ සිදුවන්නේ නැත. රත්නපුර නගරයේ මැණික් වෙළඳාමට එන යන අය වැඩි වැඩියෙන් එක් රැස්වන්නේ අඹගහ යටත්, ඔරලෝසු කණුව ළඟත්ය. එහෙත් මේ වන විට ඒ දෙතැනම පාළුය. දෛනිකව පුරුද්දක් ලෙස මැණික් වෙළදාමට නගරයට ආ සියදහස් ගණනකට රැකියාව අහිමි වි ඇත. රත්නපුර නගරයට පමණක් නොව තදාසන්න කුරුවිට, නිවිතිගල, පැල්මඩුල්ල, කිරිඇල්ල නගර වලට උදා වී ඇත්තේ ද මෙම ඉරණම මය.

රත්නපුර නගරයේ මැණික් ව්‍යාපාර කටයුතු වල නියැළෙන කිහිප දෙනෙකු හමුවී වැඩි විස්තර සොයන්නට අප උනන්දු වුයේ මේ වන විට මෙහි අනසි ප්‍රතිඵල මැණික් ව්‍යාපාරිකයන්ට පමණක් නොව අනෙකුත් ව්‍යාපාරවලට මෙන්ම සමස්ත සමාජයට ද දැනෙමින් පවතින බව පෙණුන නිසාවෙනි. මුලින්ම අපට හමුවූයේ කරපිංචේ කුමාරය. ඔහු රත්නපුර නගරයේ අඹ ගහයට මැණික් මිළදී ගැනීමේ නියෙළී සිටින්නකු මෙන්ම පතල්කරුවකු ලෙසද, නම් දරා සිටින්නෙකි. ‘අපේ ප්‍රධානම වෘත්තිය මැණික් කර්මාන්තය. ඉස්කෝලෙන් ඇරුණ දා සිටම මේක තමයි කරන්නේ, දැන් අවුරුදු විස්සකට වැඩියි.

මුලින්ම අපි පතල් කැපුවා, ටිකක් තේරෙද්දී ටවුමට ඇවිත් මැණික් විකුණුවා. පස්සෙන් පස්සේ මැණික් ගත්තා, සමන් දෙයියන්ගේ පිහිටෙන් දැන් අපි පතල් කැපිල්ලයි, මැණික් විකිණිල්ලයි, මැණික් ගැනිල්ලයි තුනම පිළිවෙලකට කරනවා. ඒත් මේ කොරෝනා වසංගතය හින්දා ඒ තුනම දැන් ඇණහිටලා. පේනවානේ වෙනදට උදේ වෙද්දී අපි මේ ඉන්න අඹ ගහයට මැණික් වෙළෙන්දන්ගෙන් පිරිලා, අද කවුරුවත් නෑ කඩ වැහිලා. ඇරලා තියෙන්නේ සිල්ලර කඩයි, බෙහෙත් සාප්පුයි විතරයි. අඩුම තරමේ තේ එකක්වත් බොන්න තැනක් නෑ, අපිත් මේ පුරුද්දට ටවුමට ආවට නිකන්ම ඇවිත් යනවා. මොකද මැණික් වෙළදාම මීටරයට ඉඳලා කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒ හින්දා කවුරුවත් එන්නේ නෑ.

අපේ කතාවට එකතු වූ විල්බට් මුදලාලිත් වසර ගණනාවක් තිස්සේ රත්නපුර අඹගහයට මැණික් වෙළදාමේ ඉන්න අයෙකි. ‘රත්නපුරේ මැණික් හම්බ වුණාට ඒවා අදින්නේ පළඳින්නේ රත්නපුරේ අය නෙවෙයි. වෙළඳම් වෙන්නේ පිටට. පිට වෙළෙන්දෝ, ආවෙ නැත්නම් අපිට හුළං. මේ ලොක්ඩවුන් වැඩේ තිබුණොත් අපිටත් වෙන්නේ සහන ආධාර ඉල්ලන්න. මොකද අපි මාස ගාණකට ඉස්සර විකුණපු මැණික්වල සල්ලිත් අපිට නෑ. බේරුවල ගල් ගත්තු හාජ්ජියාර් මහත්තුරු කියන්නේ සල්ලි ගන්න කොළඹ යන්න තවම බෑ කියලා. දැන් මාස දෙකකට වැඩියි. අපිත් බලාගෙන ඉන්නවා. දැන් අපිට ආයිත් අලුතෙන් මැණික් ගන්න සල්ලිත් නෑ; ගත්තත් කාට විකුණන්නද? බයර්ලා නෑනේ‘

අපේ කතාවට එකතු වුණ සේනාරත්න කීවේ, ‘ඉස්සර අඳිරි නීතියක් වැටුණොත් වැඩි වැඩියෙන් කාර්ය බහුලයි. මොකද හොර පතල් වලට කියාපු කාලේ නිසා. ඒත් මේ දවස් වල අපටත් වැඩක් නැහැ. මොකද අපි ගේන පොඩි පොඩි ගල් ගන්න කට්ටිය අඹ ගහ යට නැහැ. ඒ වගේ දලන් කෑල්ලක් ගෙනත් එද එදා වියදම හොයාගත්තු සිය ගණනකගේ ඉරණම ඕක තමයි. මේ තත්ත්වය තව ටිකක් තිබුණොත් මොකෙන් මොකක් වේවිද කියලා හිතාගන්න බැරි තරම්. ඒ අතරේ තමයි රත්නපුර ටවුමේ ඉදලා හැත්තැම්ම හත අටක් ඈත පතල් පොලට යන්න බුබුළදෙණියට අපි ගියේ කුමාර මහත්තයත් එක්කමයි.

බුබුළදෙණිය පුරාවට වැහිලා තිබුණේ මැණික් පතල් සමහරක් අඩි සියයකට වැඩිය ගැඹුරුයි. එක වලකින් තවත් වලකට තියෙන දෝණාවෙ හුළං කපොළු මට දැණුනේ පතලක් නෙවෙයි ආකරයක් වගෙයි. කුමාර මුදලාලිගේ වහනේ ඈත එද්දීම පතල් පොළවල් වල හිටි එකා දෙන්නා වහනය ළඟට ඇඳුණෙ අදෝනාවල් තියාගෙන.‘මහත්තයා මහ වල හොඳටම පිරිලා. තවත් තිබුණොත් වැඩ කරන්නත් බැරි වෙයි. වතුර ඉහලා නිමක් කරන්න බැරුව වගේම විෂ දුම හැදුණොත් මහ වින්නැහියක්. මේ කොල්ලෝ ඔක්කොම කියන්නේ කොහොම හරි වැඩ පටන් ගමු කියලා. ඒ පතලේ බාසුන්නැහැ ගේ හඬයි.

‘මහත්තයෝ දැන් පතල් නවත්තලා මාසෙකටත් වැඩියි. ඇඳිරි නීතීය දවස්වල හොර පතල් ටිකක් කළත් කිසිම වාසියක් නෑ. හම්බ වෙන දලන් කෑල්ලත්, විකුණ ගන්න විදිහක් නෑ. හරිම අමාරුවෙන් තමයි ජිවත් වෙන්නේ. අපිට කාගෙවත් පිළිසරණක් නැති තරං‘ . ඒ තවත් සේවකයකුගේ හඬය. ‘කෝරෝනාව ගමට දැනෙන හැටි පේනවා නේද? ගමේ මිනිස්සු අන්ත අසරණ වෙලා. මේ කොල්ලෝ හුරු වෙලා හිටියේ හවසට ගරලා ඉතුරු වෙන නාම්බුවෙ දලන් කෑලි ටික ටවුමට ගිනිහින් විකුණලා එදා වේල හොයා ගන්න.

දැන් එ්ක මාස ගාණකින් නෑ. මොකද දලන් කෑල්ලක් හොරට හොයා ගත්තත් විකුණ ගන්න කෙනෙක් නෑ. දැක්කනේ රත්නපුර ටවුමේ අඹගහ යට මැණික් පොළ පාළුවට ගිහින්. එතෙන්ට තමයි මේ ගොල්ලෝ උදේට උදේට යන්නේ. දැන් ඒක එහෙන් පිටින්ම ඇණහිටලා. එක එක්කෙනාගේ තරමට තමයි ප්‍රශ්න. අපිටත් ඒක හොඳටම දැනෙනවා. අපි කියලා මොනවා කරන්නද‘කුමාර මුදලාලි මේ සියල්ල අවසානයේ කීවේය.

බුබළදෙණියේ මැණික් පතල් බැලීමෙන් අනතුරුව අපි කුරුවිට කර්මාන්තපුරේ ප්‍රධාන පෙළේ මැණික් කැපුම් කර්මාන්ත ශාලාවකට ගියෙමු. රෝහිත ජෙම්ස් අධිපති ජාත්‍යන්තර මට්ටම් මැණික් ව්‍යාපාරිකයෙක් වන රෝහිත පෙරේරා මේ සම්බන්ධයෙන් කීවේ මෙවැන්නකි.‘ජනවාරි අග වෙද්දීම අපට මේක දැණුනා. හැම අවුරුද්දකම ජනවාරී අග ඉදලා පෙබරවාරී මැද වෙනකම් ඇමරිකාවේ “ටූසෝන්” වල තියෙනවා ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයක්; ලෝකේ තියෙන හැම රටකින්ම වගේ එතැනට මැණික් වෙළදාමටත් මැණික් ගන්නත් විශාල පිරිසක් එනවා. මේ පාරත් පුරුදු විදිහටම ඒ ප්‍රදර්ශනය ආරම්භ වූණා. මමත් ඒකට සහභාගි වුණා.

රත්නපුර, කොළඹ, බේරුවල ලොකු ලොකු මැණික් ව්‍යාපාරිකයෝ ගණනාවක් කෝටි ගණන් වටින ගල් ලොට් අරගෙන ඒකට සහභාගි වූණා. අපි එහෙ ඉදිද්දි තමයි අපිට මුලින්ම කොරෝනාව ගැන දැණුනේ. මොකද වෙනදා ඒ ප්‍රදර්ශනය චීන වෙළෙන්දන්ගෙන් පිරිලා.

මැණික් විකුණන්න වගේම මැණික් ගණ්නත් විශාල පිරිසක් එනවා. ඒ වෙද්දී චිනය ලොක්ඩවුන් වෙලා නොතිබුණත් කොරෝනා වයිරසයේ භීතිය ඔවුන්ට දැනිලයි තිබුණේ. ඒ නිසා චින්නු ටූසෝන් ආවේ බොහෝම අඩුවෙන්. ඒ වගේම තමයි අපේ මැණික් වැඩියෙන්ම විකිණෙන්නේ යුරෝපා රටවලට. ටූසෝන් ප්‍රදර්ශනයට එන හුගක් අය ලෝක ධන කුවේරයෝ. ඒත් මෙදා පාර ඒ අයගේ සහභාගීත්වය ගොඩක් අඩුයි. ඒ නිසා අපි ගෙනිචිච මැණික් විකුණගන්න බැරි වුණා.

රත්නපුරේ ටවුමට හිස්බඩම මැණික් වෙළදාමට එන අයට බඩ කට පුරවා ගන්න ඇතිතරම් හෝටල් තිබුණි. ඒත් මේ වනවිට ඒවා එක්කොම වැහී ඇත. ඒවා පවත්වාගෙන ගිය අයටත් ආදායමක් නෑ වගේම එවායේ වැඩ කරපු අයට රස්සාත් නැත. ඒ විතරක් නෙවෙයි; රත්නපුර ටවුම මැණික් නිසාම හරිම සුඛෝපභෝගී නගරයක් ලෙස දිස්වේ. එක එක නම් වලින් කොළඹ තියෙන සුපිරි වෙළෙඳසැල් වල ශාඛා විතරක් නෙමෙයි; ඒවත් එක්ක ඒවත් එක්ක තරඟ කරන රත්නපුරේ අයගේ රෙදි පිළි සාප්පු අවුරුද්දට කලින් පරණ ලොට් සේල් දාලා අලුත් අලුත් අරුමෝසම් බඩු වලින් පුරවන ලදී. අවුරුද්ද කටේ තියෙද්දී ආ කොරෝනාව නිසා වෙළෙදාම නැති වුණා විතරක් නෙමෙයි; ඒවායේ වැඩ කරපු සිය ගණනකට රස්සාද නැති විණි.

ධර්මප්‍රිය ලියනආරච්චි

Comments