කොරෝනාවෙන් අසරණවූ මැද පෙරදිග කඳුළේ ඇත්ත නැත්ත | Page 2 | සිළුමිණ

කොරෝනාවෙන් අසරණවූ මැද පෙරදිග කඳුළේ ඇත්ත නැත්ත

විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන විදේශ කටයුතු අමාත්‍යාංශයේදී කුටේට් තානාපතිවරයා වන ඛාලෆ් බුඩාර් සමඟ සාකච්ඡා කළ අවස්ථාව

මෙරට රැකියා හිඟයට පිළියමක් ලෙස විවෘත ආර්ථිකයත් සමඟ විදේශ රැකියා වෙළෙඳ පොළ අපට විවෘත කෙරිණි. එහිදී වැඩි අවධානයක් මෙන්ම වැඩිම ශ්‍රමිකයන් ඉල්ලුම් කෙරුණේ මැද පෙරදිග රටවලිනි. විශේෂයෙන්ම කුවේට්, ඩුබායි රටවල් මේ අතර මුල් තැනක් ගත්තේය. පහසුවෙන් ගමන් කළ හැකි වීමත් ඉල්ලුම වැඩි වීමත් නිසා මැද පෙරදිග රට රැකියා පිණිස යාම වේගවත් විය.

කාන්තාවන්ට මැද පෙරදිග රටවල ගෘහ සේවිකා රැකියා වැඩි වශයෙන් හිමිවුණු අතර පුරුෂ පක්ෂයට බරවාහන රියැදුරු රැකියා හිමි විය. පසුව පෙදරේරු, අරක්කැමි, වැද්දුම් ශිල්පය, ජල නළ ශිල්පය මෙන්ම මෝටර් කාර්මික අංශයේ රැකියා ඇතුළු වෘත්තීමය රැකියා අවස්ථාද බිහි විය.

මෙහිදී ගෘහ සේවිකාවන්ට වැඩි වශයෙන් ඉල්ලුමක් ඇති වූ අතර විදේශ විනිමය වැඩි වශයෙන් මෙරටට ලබා ගැනීම මෙන්ම ග්‍රාමිය පවුල්හි ආදායම වර්ධනය කර ගැනීමටත් මෙමඟින් හැකි විය. මෙරට රැකියා හිඟයට කඩිනම් විසඳුමක් ලෙස විදේශ රැකියා වෙළෙඳ පොළ දියුණු වෙමින් රටක් ලෙස අපට මහත් ධන උල්පතක් උත්පාදනය කළේය. දරිද්‍රතාව දුරු කිරීමට එය සැලකිය යුතු ලෙසින් දායක විය.

එහෙත් මැද පෙරදිග රැකියා ලබා දෙන රැකියා ඒජන්සි ඇතැම් අවස්ථාවලදී ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව හා රැකියා සුරක්ෂිතතාව පිළිබඳව නිසි වගකීමක් නොදරන තත්ත්වයක් ඇතිවීමෙන් පසුව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය ස්ථාපිත කරන ලදී. එම ආයතනයේ ලියාපදිංචි නොවන විදේශ රැකියා ඒජන්සි පවත්වා ගෙන යාමද තහනම් කෙරිණි. ඒ අනුව ශ්‍රමිකයන්ගෙන් අය කරනු ලබන ගාස්තුද නියාමනයකට ලක් කරන ලදී.

මේ ලෙසින් ඇරැඹි විදේශ රැකියා කරා යන අපේ ශ්‍රමිකයන්ගේ ක්‍රියාදාමය ක්ෂණිකව වැඩි වූයේ හොර පාරෙන් යන්නට වූ නිසාය. විශේෂයෙන්ම ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවලට යන පිරිස් බහුදින යාත්‍රාවල නැඟී ගමන් කිරීමෙන් අනතුරුවලට පවා පත් වූහ. මැදපෙරදිග රැකියා පිණිස යාම එතරම් අසීරු නොවූවත් එකී රැකියාවන්ට යාමෙන් පසුව එම ශ්‍රමිකයෝ තමන්ට සිතෙන දේ කරන්නට යාමෙන් අපහසුතාවන්ට පත් වූහ. විශේෂයෙන් ම ගෘහ සේවය පිණිස යන කාන්තාවන් රැකියා ඒජන්සියෙන් යවන ස්ථානයෙන් වෙනත් නිවෙස් කර යාම නිසා ඔවුහු අනාරක්ෂිත තත්ත්වයන්ට පවා ගොදුරු වූහ. විවිධ පහරදීම්, හිරිහැර කිරීම්වලට ලක්ව පැමිණෙන පිරිසෙන් බහුතරයක් එවන් අයුරින් තමන්ට ලබා දුන් ස්ථානයන්හි නොරැදී වෙනත් ස්ථානයන්ට මාරුවී ගිය අය බවට වාර්තා වේ.

ගැටලුව වන්නේ එය නොවේ. විදේශ රැකියාවකට, විශේෂයෙන්ම ගෘහ සේවය පිණිස යන කාන්තාවන්ගේ ගමන් බලපත්‍රය නිවෙසේ හාම්පුතුන් විසින් ඔවුන් එහි ගිය අවස්ථාවේදීම තමන් සතුව තබා ගැනීමයි. එවිට වෙනත් නිවෙසක් කරා එම කාන්තාව ගමන් කරන්නේ ගමන් බලපත්‍රය නොමැතිවය. එමෙන්ම ඇය දෙවන වරට යොමුවන නිවෙස පිළිබදව මෙරට හෝ එරට හෝ කිසිදු ලේඛනගත වීමක් සිදු නොවේ. උදාහරණයක් ලෙස මෙරට විදේශ රැකියා ආයතනයක් විසින් මැදපෙරදිග ‘A‘ නැමැති හාම්පුතාගේ නිවෙසට කාන්තාවක පිටත් කර හරින අතර විදේශගත ඒජන්සියේද සඳහන් වන්නේ ඇය ‘A‘ නැමැති හාම්පුතාගේ නිවෙසේ සිටින බවයි. එහෙත් ඇය එම ස්ථානයෙන් බැහැර වී ‘B‘ නැමැත්තකුගේ නිවෙසේ සේවයට ගියහොත් ඒ පිළිබඳව මෙරට හෝ එරට හෝ කිසිඳු සඳහනක් නොවේ. ඇය පිළිබඳව කිසිදු වගකීමක් කිසිවකුට හෝ දැරිය හැකි නොවේ. මෙසේ බහුතර කාන්තාවන් වෙනත් නිවෙස් කරා යන්නේ වැඩි වැටුප් ලබා ගැනීමේ අරමුණෙන් හෝ එරට සිටින තම හිතවතකුගේ මඟ පෙන්වීම මතය. තම හාම්පුතුන්ගේ ගැටලු නිසා වෙනත් ස්ථාන කරා යන අයද නැතිවාම නොවේ. එහෙත් මෙරටින් පිටත්වීමට පෙර විදේශ රැකියා ඒජන්සිය මෙන්ම රැකියා ඒජන්සියෙන් කෙතෙක් දැනුවත් කළද අපේ රටේ සිට යන ශ්‍රමිකයෝ එරටට ගිය පසුව තමන්ට සිතෙන දේ කරති. ආයතනවල සේවය කරන ඇතැම් පුරුෂ පක්ෂයේ කාර්යන්ද මීට දෙවැනි නැත. යම් ආයතනයක සේවයට යන පිරිමි අයගේ ගමන් බලපත්‍රයද පෙර කාන්තාවගේ නිවැසියන් ලබා ගත්තා සේම ආයතන හිමිකරු විසින් ලබා ගනී. ඔහුද එම රැකියා ස්ථානයෙන් පිටත් වන්නේ තම ගමන් බලපත්‍රය නොමැතිවය. එහිදී ඔහුට පෙනෙන වැඩි මුදලට නැත්නම් පහසු රැකියාවට වඩා විපතක් පසුපස තිබෙන බව නොපෙනේ.

මෙරට ශ්‍රමිකයන් එම රටවල සේවයට ගෙන්වා ගැනීමට හාම්පුතුන් විශාල මුදලක් වැය කරති. එහිදී එම මුදලට සරිලන සේවය නොකර සේවකයා හෝ සේවිකාව වෙනත් ස්ථානයකට ගියහොත් හාම්පුතාට ඇතිවන පාඩුව ඔහු එරට රැකියා නියෝජිතයාගෙන් ඉල්ලා සිටී. එහිදී එම රැකියා ඒජන්සිය හා එරට හාම්පුතුන් අතරද අර්බුද හටගනී. මේ ක්‍රියාදාමය කාලාන්තරයක් තිස්සේම සිදුවූවකි.

ඔවුන්ට ගැටලුව වන්නේ යළි මෙරටට පැමිණෙන්නට අවශ්‍ය වූ විටය. එරටින් පැමිණීමට ගමන් බලපත්‍රය නැත. එම නිසා ගැටලු රැසකට මුහුණ පාන්නට සිදු වේ. එවිට ඔවුහු එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල වෙත යති. එතැනදී රටේ නීතියට අනුව කටයුතු කිරීම විනා වෙනත් කළ හැක්කක් තානාපති කාර්යාලයට නැත. විශේෂයෙන්ම වීසා නොමැතිව රැදී සිටින අයට විශාල දඩමුදලක් ගෙවීමට සිදු වේ. එම දඩමුදල ගෙවා පැමිණෙන්නන්ට පෙර ගමන් බලපත්‍ර සකස් කර ගැනීම මෙන්ම අනෙක් කටයුතු රැසක් කර ගැනීමට ඔහුට හෝ ඇයට සිදු වේ.

තමන් සුළු මුදලක් වැඩි පුර ලබා ගැන්මට ගොස් විශාල අපහසුතාවකට පත් වුණු බව මේ අයට වැටහෙන්නේ එවිටය. බොහෝ විට පිරිස වැඩිවෙත්ම මෙරටින් කරනු ලබන ඉල්ලීමට ප්‍රතිචාර දඩ මුදල් නොගෙවා පැමිණෙන්නට පොදු සමා කාලයක් හිමි වේ. එහෙත් ඒ බව අපේ අයට ගණනක් නැත. යළිත් එම රටටම යන්නට ඔවුහු කටයුතු කරති. පෙර සේම වැඩි වැටුප් සොයා වෙනත් නිවෙස් කරා යාම හෝ රැකියා ස්ථාන මාරු කරති. මේ සෙල්ලම කාලාන්තරයක් තිස්සේම සිදු කළ අපේ අයට වැඩේ වැරදුණේ කොරෝනා පැමිණීමත් සමඟය. කොරෝනා වසංගතය පැමිණීමත් සමඟ එවන් ආකාරයේ ස්ථිරත්වයක් නොමැති පිරිස් තම නිවෙස්හි තබා නොගන්නට ඇතැම් හාම්පුතුන් කටයුතු කළහ. වැඩි වශයෙන්ම මේ තත්ත්වයට බලපෑමට ලක් වුණේ රැකියා ස්ථාන මාරු කළ පිරිසයි. ඔවුන්ගේ අවිධිමත් ජීවන රටාව මෙන්ම ස්ථිරසාර බවක් නොමැතිවීම නිසා මෙන්ම ඔවුන්ගේ නවාතැන් පිළිබඳව නිසි සෞඛ්‍යාරක්ෂිත බවක් නොමැති නිසා රැකියා ස්ථානවලින් ඔවුන් ඉවත් කරන ලදී. ඒ සඳහා ගැටලුවක්ද නොවීය. ඔවුන් රැදී සිටියේ ගිවිසුම්ගතව නොවේ. නවාතැන්වලින්ද ඒ ගැටලුවටම මුහුණ දෙන්නට සිදු විය. නවාතැන් තිබුණද ගෙවන්නට මුදල් නැත. ඒ රැකියාව නැති නිසාය. ඔවුන් එරට තානාපති කාර්යාලට එන්නේ එවිටය. ඒ පාස්පෝට් වීසා කිසිත් නැතිවය.

එසේ පිරිස් පැමිණෙන්නට වූ විට තානාපති කාර්යාලය කරන්නේ මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශ්‍ය දැනුවත් කිරීමත් එරට බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමත් ය. එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙසින් යළිත් පොදු සමා කාලයක් ලැබුණි. ඒ අනුව පසුගිය අප්‍රේල් මස 30 වැනිදාට පෙර කුවේට් රටේ රැදී සිටින නීති විරෝධී ශ්‍රමිකයන්ට පිටවීමට අවසර ලැබුණි. එහෙත් ගැටලුව වූයේ කොරෝනා වසංගතය නිසා ගුවන් තොටුපොළ වසා දැමීමයි. එම නිසා පොදු සමා කාලයක් ලබා දුන්නද තානාපති කාර්යාලයේ පිහිට පතා ආ පිරිසට රටට ඒමට නොහැකි විය. මේ සම්බන්ධව විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මෙරට කුවේට් තානාපතිවරයා සමඟ ඒ සම්බන්ධව සාකච්ඡා කෙළේය.

අමාත්‍යවරයා පවසන්නේ කුවෙට් තානාපතිවරයා සමඟ කළ සාකච්ඡාවේදී වීසා කාලය ඉක්මවා හා ගමන් බලපත්‍ර නොමැතිව ඇතුළුව නීති විරෝධීව රැඳී කුවේට් රටේ සිටින ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීමට සහන සේවා ලෙස කටයුතු කිරීමට කුවේට් රාජ්‍යය එකඟ වූ බවයි. එමෙන්ම එම ශ්‍රමිකයින්ට දඩ ගෙවීමකින් තොරව මෙරටට පැමිණීමටත් යම් දිනක යළි එරටට නීත්‍යානුකූලව යාමට හැකිවනු ඇතැයිද ඇමැතිවරයා කීවේය. විශේෂයෙන්ම කුටේට් තානාපතිවරයා වන ඛාලෆ් බු ඩාර් මහතා පසුගිය මස 22 වැනිදා විදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණ මේ සම්බන්ධව සාකච්ඡා කිරීම අගය කළ යුතු බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.

විදේශ කටයුතු කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ඩබ්. එම්. වී. වන්සේකර මහතා පවසන්නේ මේ ලෙසින් සෑම වසකරකම පිරිස් එක් වන බවත් කාර්යාංශයේ දැනුවත් කිරීම් එම ශ්‍රමිකයන් නොසලකා හරින බවයි. ගිවිසුම් ගත නිවෙසේ හෝ රැකියා ආයතනයේ එම කාලය රැදී සිටිය යුතු බවට ඔවුන්ට පැහැදිලි කළද සැලකිය යුතු පිරිසක් එය නොසැලකීම බරපතළ ගැටලුවක් බවද ඔහු කීය. එය එම ශ්‍රමිකයින්ට පවා විශාල ගැටලුවක් බවද ඔහු පෙන්වා දෙයි. විශේෂයෙන්ම එම පිරිස් අවදානමකට ලක් වන බවත් ඔවුන් සම්බන්ධව කිසිදු වගකීමක් දරන්නට අයෙක් නොමැති බවද ඔහු පෙන්වා දෙයි. වෙනත් වසරවලදී පොදු සමා කාලයේදී සුළු පිරිසක් ඉදිරිපත් වුවත් මෙවර පොදු සමා කාලයේදී විශාල පිරිසක් එසේ ඉදිරිපත් වූ බව පෙන්වා දෙන වන්සේකර මහතා පවසන්නේ මේ ඇතැම් පිරිස් තමන්ගේ ගමන් බලපත්‍රයේ අංකය පවා නොදන්නා බවයි. නීති විරෝධීව රැදී සිටින්නන්ගෙන් වැඩ කර ගැන්මට එරට හාම්පුතුන් මෙන්ම රැකියා ආයතනද වැඩි කැමැත්තක් දක්වයි. එයට හේතුව වන්නේ එම ශ්‍රමිකයින් සම්බන්ධව කිසිදු වගකීමකට හාම්පුතුන් හෝ අදාළ ආයතන හෝ බැඳී නොසිටින හෙයිනි. එහි අවදානම කොතරම්දැයි එයින්ම වැටහෙනු ඇත. ඔවුන්ට කිසිදු සමාජ ආරක්ෂණයක් හිමි නොවේ. 

එරටට ගෘහ සේවිකාවක් ගෙන්වා ගැනීමට හාම්පුතකු විසින් මෙරට මුදලින් රුපියල් ලක්ෂ 6ක පමණ මුදලක් වැය කරනු ලබන බවත් එරට රැකියා ඒජන්සිය විසින්ද එම කාර්යයට මුදල් වැය කරනු ලබන බවත් එසේ ගෙන්වා ගන්නා ලද තැනැත්තිය මාසයකින් දෙකකින් අදාළ නිවෙසින් වෙනත් නිවසකට මාරු වී ගිය විට එම හාම්පුතුන්, රැකියා ඒජන්සි ආයතන මෙන්ම රටවල් අතර අන්තර්ජාතික ප්‍රශ්නයක් දක්වාද මෙය දුරදිග යන බව වන්සේකර මහතා පෙන්වා දෙයි.

මේ වන විට කුවේට් රටේ පමණක් 18000කට අධික පිරිසක් නීති විරෝධීව රැඳී සිටින බවද ඒ මහතා පෙන්වා දෙයි. එයින් පොදු සමා කාලයෙන් ප්‍රයෝජනය ගෙන මෙරටට පැමිණීමට 1500කට අධික පිරිසක් මේ වන විට තානාපති කාර්යාලයේ එක්ව සිටින බවත් ඔවුන්ට ආහාර පාන ලබා දීම ආදියට කාර්යාංශයට මෙන්ම එරටටද සිදුව ඇතැයි පෙන්වා දෙන ඒ මහතා මේ තත්ත්වය මත ඉදිරියේදී දැඩි අර්බුදයක් ඇති විය හැකි බවද කීය. නීති විරෝධීව රැදී සිටින්නන් අසු වුවහොත් ඔවුනට දඩ මුදල් ගෙවීමට සිදුවනවාක් මෙන්ම එරට නීතියට අනුව සිර දඩුවම් පවා නියම කළ හැකි බවද ඔහු අනතුරු ඇඟවීය. මේ ලෙසින්ම සවුදි අරාබියේද සැලකිය යුතු පිරිසක් සිටින බවත් මැද පෙරදිග හා ආසන්න රටවල අඩු වැඩි වශයෙන් සැලකිය යුතු පිරිසක් සිටින බවද ඔහු කීවේය. අපට නොපෙනෙන විශාල අර්බුදයක් මැද පෙරදිග ශ්‍රමිකයන් සම්බන්ධව නිර්මාණය වෙමින් පවතින බව මේ අනුව පෙනී යයි. කුවෙට්හි නීති විරෝධීව රැඳී සිටි 466 දෙනකු රැගත් ගුවන් යානා දෙකක් පසුගිය අඟහරුවාදා රාත්‍රියේ මෙරටට පැමිණියේ නීති විරෝධීව රැදී සිටි 246ක් ද සමඟිනි. තවත් විශාල පිරිසක් එරටට වී පැමිණීමට බලා සිටිති.

Comments