කවි | සිළුමිණ

කවි

ආදරණීය ටීචර්

තාත්තාගේ ෆෝන් එකේ රූපේ නම් පේන්නේ නෑ
රීලෝඩ් නෙවෙයි තුන් වේලටත් කන්න නෑ
ටීචර් ගෙ මුහුණ නොපෙනුණත් තව කමක් නෑ
ගෙදර වැඩ අහගන්න ෆෝන් එකෙ සල්ලි නැහැ..

මොන තරම් තිබුණ මුත් අගහිඟ සිට බාලෙ
කිසි දිනෙක මඟ හැරුනේ නෑ මගේ ඉස්කෝලෙ
හුඟ දෙනෙක් ඇඹරෙද්දි නුඹ ගණන් දුන් වේලෙ
මම නේද හදන්නෙම නැතිව කිසි සබකෝලෙ...

යහළුවන් ඔන් ලයින් විත් ඉගෙන ගත්තාට
මඟ හැරෙන පාඩමට මං අඬනවා රෑට
ඉස්කෝලේ ඇරෙන තුරු ආයේ අපි වගෙ අයට
ඉඳ හිටලවත් මාව මතක් වෙනවද ටීච

සාගරිකා ධර්මබන්දු


****************

ඇද හැලෙනා වැස්සට පසු නොබසිමි

ඇද හැලෙනා වැස්සට පසු නොබසිමි
හමන සුළං හමුවේ පසු නොබසිමි
හිම කැට වැස්සේ ග්‍රීෂ්ම සමයේ
අපරාජිත වෙමි, මම පසුනොබසිමි...
සවිමත් සිරුරින් පෙරමුණ ගන්නෙමි
ආශා විලංගු බිඳහැරලන්නෙමි
කිසිවිට අනුනට හිංසා නොකරමි
සැමවිට සොම්නස අස්වද්දන්නෙමි...

රතු හාලෙන් බත් කෝප්ප හතරක්
මිසෝ බිඳක් එළවළු හා හැමදින
තණ යායේ පයිනස් තුරු සෙවණක
අතු පැලකට වී දවස ගෙවන කළ...
ඉටුකරනා හැම කටයුත්තකදී
තමාට පෙර අනෙකා ගැන සිතනෙමි
හොද හැටි නෙත සවනත යොමු කරමින්
දිිවියේ පාඩම් සිත රදවන්නෙමි
මතක පොතෙන් බැහැරට නොදමන්නෙමි..

පෙරදිග සිටියොත් රෝගී දරුවෙකු
සොයා ගොසින් උවටැන් කරලන්නෙමි
අවරගිර සිටින වෙහෙසුණු මවුනගෙ
ගොයම් මිටිය කර මත ගෙනයන්නෙමි
දකුණෙහි මරණය අබියස වැතිරුණු
මිනිසෙකු සිටියොත් ඔහු සනසන්නෙමි
කෝලාහල නඩුහබ පිරි උතුරට
සාමයෙ අරුණලු වටහා දෙන්නෙමි...

වියැළි මැළවුණ නියං පොළෝ ගැබ
දයා කඳුළු ඉස සුවපත් කරනෙමි
ගිම්හානේ සිසිලස දැනෙනා විට
අසාර අස්වනු බල තැවෙන්නෙමි
ගැරහුම් කෙනෙහිලි ලැබුණත් දිවියට
පැසසුම් ගරු බුහුමන් නොපතන්නෙමි
එවන් උතුම් මිනිසත්කම් හඳුනන
මිනිසෙකු වන්නට සටන් කරන්නෙමි..

මියසාවා කෙන්ජි (1896-1933)

පැරණි ජපානයේ තයිෂෝ හා ෂෝවා යුගයන්ට අයත් කාල වකවානුවක, “මියසාවා කෙන්ජි නම් වු කවියා වාසය කළේය. මියසාවා කෙන්ජි ජපන් ජාතිකයන්ගේ අවධානයට යොමු වන්නේ ඔහුගේ මරණින් පසුය. ඒ ඔහු විසින් ලියන ලද එක් කාව්‍ය නිර් මාණයක් නිසාය.කවියා එය නම් කර ඇත්තේ Ame Ni Mo Makezu හෙවත් “ ඇද හැළෙනා වැස්සට පසු නොබසිමි“ යනු වෙනි. ඔහු මේ කවියෙන් පවසන්නේ ජපන් ජාතිකයෙකු දිවි ගෙවිය යුතු ආකාරයයි. වර් තමානයේ ජපන් ජාතිකයන් මේ කවියේ අරුත පිළිගන්නේ ජපන් ජාතිකයෙකුගේ ජීවය පරිද්දෙනි.


අමන්දා දළුපොත‍
 

********************

මධුසමය

රෝස මල් පෙති අතුල සුව යහන තනිවෙලා
සඳවතිය කවුළුවට උඩින් නැහැ හිනැහිලා
නිදි නොඑන නෙත් යුගට රාත්‍රිය දිගු වෙලා
අත රැඳුන මල් කලඹෙ පෙතිත් මුකුලිත වෙලා

සුදෝ සුදු ඔසරියේ පොටත් බිම පෑගිලා
රතු ගවුමේ මුතු අහුරු දස අතේ විසිරිලා
මධු බඳුන් දෙන දුගඳ කුටිය තුළ සිරවෙලා
ගෙනා චොකලට්ටු ටික පෙට්ටි වල සිරවෙලා
පුදන්නට බැරිව රස හිදී අසරණ වෙලා

ලියූවත් ඔය අකුරු අතීතය සිහිවෙලා
සිහි එලඹ ගනු බැරිව ඔහු සයනයේ වැතිරිලා
නිකැළැල් වූ ආදරය නුඹ විසින් මිල කළා
නොගෙන ඔය මධු බඳුන නිදියන්න වැතිරිලා

දම්මිනි ප්‍රේමචන්ද්‍ර ෆොන්සේකා

************************

මගෙ සඳවතිය

නොනිදා පහන් වන තරුකැට නිවුණු රැයේ
ඝන වැහිවළා විත් පැතුමන් රැගෙන ගියේ
එළිය සොයන හැම හදකම හුස්ම තියේ
මගෙ සඳවතිය වී වැඩ ඉන් නුඹම ළඳේ

විරහව විදවමින් රෑ දාවල ගෙවෙන මට
පපුවේ රිදෙන කුහරය පිරිමදින්නට
ඇහිඳින කඳුලු අග සිනහා තබන්නට
පෙම්බර කුමරියක ලෙස පැමිණෙන්න හෙට

අඳුරේ ගිලී ලොව හැර යන විට මාව
අල්ලා දෑත රැඳෙමින් ඉඳ මා ගාව
දැල්වෙන දෑස් මත පිපි ප්‍රේමෙන් කීව
කවිවැල් ගොතනු හද මුල පෙම්පත් ලීව

ලක්මි කාංචනා

**********************

සමනලයෙක් ඇවිත්

අඩුම බර රැගෙන ඈත ආකහෙන්
සමනලයෙක් ඇවිත්
පුංචි පියාපත් තටු අතර
නැවතිලාදැයි සිතේ ඇගේ හිත

ලා - දුඹුරු - තද අඳුරගන්නත් බැරි
ඇස් ඉස්මොල්ලෙ යන පාට
සුදු පෑ බිත්‍තිය සිනමාවක් කරයි

ඇහි පිල්ලමට නිමෙන්නටවත් නොදී
ඒ දෙසම දෙඇස් දිගුකර හිදින්නී
එකදු ජවනිකාවක් හෝ
මඟ හැරෙන්නට ඉඩ නොදෙන්නී

කොහෙන් දෝ ආ සමනලයාගේ
අයිතිය තහවුරු කිරීමට අවැසිය දැන්
හීන් වමත සෙමෙන් දිගු කරන්නට
සැරසෙත්ම පියඹ යයි ආගන්තුකයා
දුහුල් කර්ටන්නයෙන් වැසෙයි සිනමාපටය


හුරුපුරුදු විදිහට ඔබ සමුගෙන
තවත් සිනමා පොළොවකට සේන්දු වනු ඇත
ඒ මතක බිත අවපැහ වනතුරු
මා අසා සිටිය යුතුය ඇගේ සමනල හිත

පසන් සංජය සමරතුංග

**********************

වැටයි නියරයි එක්වෙලා

ගොයම සරුවට වැඩුණා
මද සුළඟ හා වෙළුණා
හිනැහී හිනැහී වැනුනා
මටත් සුව ඉන් දැනුණා..

උදේ හවා එදෙස බලමින්
සතුට උතුරා හදවතේ
හෙට අනිද්දා කරල් පැහුණම
මගෙත් කල හොද වනු ඇතේ..

මෙහෙම සිතමින් සිටිය අතරේ
ගියා වෙල් එළියට උදේ
කෝ අනේ ලස්සන ගොයම් මගෙ
මොකක් වීලා දෝ වදේ..

රනින් දිලිසෙන ගොයම් දැක්මෙන්
ඉවස ගන්නට බැරිවෙලා
ළළින් හිටි රැකවලුන් දෙන්නා
එකා වගේ වැඩකළා..

වැටත් නියරත් එක්වෙලා
මේ ගොයම් මගෙ වැනසුවා
රැකවලුන් සේ පෙනී සිටිමින්
කෙරු දේ මා ඉවසුවා..

ළඟින් රැකවල පිණිස එන අය
වෙතින් ගැලවෙන්න
තමන් දන්නා උපා ඇත්නම්
මට කියා දෙන්න

අශෝකමාලා විජයසූරීය

******************

මේඝය, වඩිනු මැන

සරතැස නැගේ වියළුණු ගත රුහිරු ඉරා
සිසිලස නොදී ගිනියම් හිරු ගනියි සොරා
මදහස කොහේ සැඟවුණි තිබු ලවන් පුරා
සනහස යදින මා ඔබගේ වසුන්දරා

නෙතු නොපියා නුබ කුස දෙස බලමී
නුඹ කොයි ඉමේ සැඟවුණි දැයි අසමී
පැහැබර දිමුත අම්බරයේ දුක ලියමී
සෙනෙහස රැගෙන වඩිනා තුරු හඬමි

නුඹෙ රුව දකින සඳ ගගනෙහි හද ඉපිලේ
කලු දළ සළුව හැඳ රූ සිරියෙන් උදුලේ
බඳ මිණි මෙවුල් කිංකිණි නාදයෙන් සැලේ
උණුසුම් හාදු වැසි වස්සනු නළල් තලේ

මහෝඝයක් වී නුඹ එන සඳේයා
නිවේ නුරා ගිනි ඇවිලුණු වතේයා
නීල සළුව හඳවනු මැන ගතේයා
ඉපිලී නටමි තුටු සිහිලැල් විලේයා'

මේඝය , ඉතින් මම විළිලමි වසත් කල
පියා නුඹ නොවෙද මා මෑණියන් කළ
මනරම් මල් පිපේ මුළු ලොව ළකල
මුවරද පිරේ මනදොළ පුරති බිඟුරළ

නිලන්ති ප්‍රනාන්දු

****************

ඔබ මට කඳුළකි

සද නොනැගුණත් රෑ ආකාසයේ
ඔබ පායයි මගේ හිතේ හොර රහසේ
මල් නොපිපුණත් මේ ගිම්හානයේ
ඔබ සුපිපෙයි මගේ හිතේ වෙනද වගේ..

ගිනියම් රස්නේ දිවයන අතරේ
නොලැබුනත් සිනා පැන් පොදක් දෙතොලගට
නිබඳ ඔබ ගලා යයි මගේ හිතේ
නිසල සිහිල් දිය දහරක් ලෙසින්..

පාළු හුදකලා තනිකම අතරේ
නොලැබුණත් ළඟක ඔබ දැක දැන ගන්න
නිබඳ ඔබ සැඟවී නිදයි මා නෙතේ..
පිටතට නොපෙනන කඳුළක් ලෙසින්..

සඳරුවන් කරුණාතිලක

***************

කිවිවර දසුන

කඳුකරෙන් එන නිදහස්
සුළඟෙහි පහස් වලඳින
මේ දැන් ලියූ බඳු කවි ඇති
පත් ඉරුය මේසය මත..

හිස්ය දළ ඇතිරිලි අතුළ
ඔහු නිදාගත් යහන
නම නියම කළ හැකි සුවඳක්
නො වේ එහි ඔහු ඉතිරි කොට ගිය...

පෙරදාක රැයෙහි රහසි ව
පිබුණු මල් සියලඟ සුවඳ
සුළඟට හෙළා මෙහෙ කොට
නිහතමාන ව මැලැවුණු සලකුණු
උසුලන කුටිය අස වදුලු ය....

පිටුමත හිස් කමට
පවරා දෙමිනි වැඩි ඉඩ
ලියූ කුදු කවි ඇසුරෙහි
සොයත යළි මේ කිවිවර...

හමුවෙයි අහස, තුරුලිය, නදී
ගිරි හිස්ද, වලා, විදුලිය
සඳ, හිරු, තාරකාවලි..

කුටියේ විවර උස් කවුළුව
ගනී එක පැහැර
අපමණ ගඟන මඟ,
නුදුරු තුරු හිසැ
මදක් නතර ව
ඉඟිල යේ නාඳුනන විහඟෙක්
අහසැ පිය සටහන් නොතබාම

නන්දන වීරසිංහ
(‘රැය කරා ගමන‘ කාව්‍ය සංග්‍රහයෙනි)
 

******************

ඉබ්බා දින්නේ එහෙමයි

සුළඟ වගේ හබා ගිහින්
දිනුම් කොඩිය අර ගත්තාට
උදු පියලිය වන සිරිලිය
සිනහ වුනේ නෑ හාවාට.....

පමා වෙලා ආ වරදින්
ජය මදු පැන් අහිමි උනාට
ලබු වැට කොළු රස කොළ දළු
මග හැරුනේ නෑ ඉබ්බාට....

ශාන් දිසානායක
 

**************

රාධාගෙන්

සුවඳ වෘන්දා වන පුරා
ගැයූ මිහිරි වස්දඬු රාව
නොදෑනීම තුරුළු කරන්
සිහිනයෙන්..
පළල් උර මඬල
නීල පපුතලය
සසර මතු හැමදාම
වෙනවාද මගෙම ඔබ..

නීල දිගු දඟ දෙනෙත,
සොඳුරු ළා රත් දෙතොල
අතර තනිවෙන්නට පෙම්බදින
මදාරා පරසතුවලට ඉඟිමරන
ගොපලු රාධා මම ය

පූර්ණිමා පෙරේරා

 

***************

වැටහිර

වතුර සහ ගොම පොහොර ඇති වෙන්ට
ලැබුණු, මල් පිපුණු අතු බර වෙන්ට
රෝස පඳුරක සතුට දැක ගන්ට
පින් කළෙද මමත්, බැහැ අදහන්ට

වැඩෙන කල ගතට වාරුව දිදී
සිටිමි, සිටියෙමි සේවයට බැඳී
ඉවත ගිය තෙතමනයකට ළැදී
පුංචි දල්ලක් මටත් දෙන ලදී

'හැකි වේවි මටත් මල් පුබුදන්න
පෙති විදා මඳ සුළඟෙ නැලවෙන්න
සුවඳ තිබුණත් නැතත් හිනැහෙන්න'
සිහිනයක් විය මියැදි, නොදැනෙන්න

මාලා විජේකෝන්

**************

ජීවිතේ

සුරඟනන් සිනාසුණු
මල් නොපිපුණු අවාර බොහොමය

ශුෂ්ක සුළං ඔච්චම් කරමින්
මුහුණ මතින් හමා ගිය
පතොක් කටු ඇනුණු දවස් බොහොමය

තාර දිලිසුණු රිදී පාටට
දෙපා දවමින් රැවූ
මංමාවත් බොහොමය

මුහුණ දෙපසින්
දහදිය නදීන්
වාන් දමමින්
පොළෝ සයුර
වෙත ඇද හැලුණු
රළු මතක බොහොමය

සුපැහැදිලි අග්නි ජාලා අතර
වසන්තයක දේශ සීමාව
ඇඟිලි අතර කරගැට අතරින්
සේයා මැවු වාර බොහොමය

ප්‍රියාශා රන්වල
 

***************

ජගත් ජේ. එදිරිසිංහ කවියාගේ අලුත්ම කාව්‍ය සංග්‍රහය වන්නේ ලතු අතුළ නගරය කාව්‍ය සංග්‍රහයයි. මෙය ඔහුගේ තුන්වන කාව්‍ය සංග්‍රහයයි.
ජගත්ගේ මුල්ම කාව්‍ය සංග්‍රය වන්නේ සිසිරයේ පිපුණ මලක් කාව්‍ය සංග්‍රයයි. එය 2000 වසරේ දී එළිදක්වන ලදී. ඉන් වසර දහයක පසු එනම් 2010 වසරේදී ඔහු රාජාලි පියාපත කාව්‍ය සංග්‍රහයද, 2015 වසරේදී වියෝලය දරාගත් මිනිසා කාව්‍ය සංග්‍රහ ලියා පළ කර ඇත.


කවියෝ බොහෝ අත්දැකිම් පාදක කර ගනිමින් කවි ලියති. ජගත්ගේ විවිධ අත්දැකිම් ඔස්සේ කවි නිර්මාණ්‍ය කර ඇත. ඔහුගේ ඇතැම් නිර් මාණ පාඨකයා සමඟ හෘදය සංවාදයේ යෙදේ.
ලතු අතුළ නගරය කාව්‍ය සංග්‍රෙය්දී ඔහු විවිධ අත්දැකිම් ඔස්සේ නිර්මාණ ගොන්නක් පාඨකයාට තිලිණ කරන්නේය.


පරිසරය ගහකොළ විනාශකර උසට උස ගොඩනැගිලි ගොඩ නැංවෙන විට ගහකොළ පරිසරයට කුමක් වේද? නිවාස හිඟ වීම ප්‍රශ්නයකි.


මහල් නිවාස තැනීම ඊට විසඳුමකි. එහෙත් ගහ කොළ විනාශ කර ඒ පරිසරය තුළ මහල් නිවාස තැනීම ඊටත් වඩා ප්‍රශ්නයකි. එය ප්‍රශ්නයක් වන්නේ පරිසරයට ආදරය කරන්නන්ට මිස වෙනෙකෙකුට නොවේ. කවියේ මාතෘකාව මිනිස් පුරයක ය.

“ගස් වුණත් ගලවද්දි
ආදරෙන් මහ පොළොව
බදාගත් මුදුන් මුල්
කැඩෙන බව
මල් පොකුරු පොහොට්ටුද
ළපැටි දළු කොළ ගෙඩි ද
කම්පාව සැලෙන බව
බිම වැටී මැරෙන බව
නොදත්තෙක් සිටියැකිද?“

අවසානයෙ කවියා ප්‍රශ්න කරන්නේ මුදුන් මුල කැඩුන ගස් නැවත සිටු වියහැකි ද කියාය. ඔහු මෙයි කියන්නේ විශාල කතාවකි.
පවතින සමාජ ක්‍රමයේ වෙනස් වීමය. නව සමාජයක් ගොඩනෑගීමය. සමාජ සාරධර් මවල බිද වැටීමය.

ඇතැම් කවි පීඩිත පන්තිය නියෝජනය කරයි.

පාඨකයාට බොහෝ දේ සිතන්නට ඔහුගේ කවිය ඉඩසලසා දේ. කොහා අපට ආවේනික පක්ෂියකු නොව. සංක්‍රමිණකයෙකි.
බක්මහට කොහා හඬන විට ඒ අවුරුද්ද පැමිණ ඇති බව හඟවයි. දේශිය දේට නොව බක්මහේ දැන් ඇත්තේ බහුරු කෝලම්ය. කවියා එය කෙලින්ම නොකියා අපට ඒ ගැන බොහෝ දේ සිතන්නට මඟ පාදා දෙන්නේ මෙලෙසනි. මාතෘකාව බක්මහ.

“බක් මහ එන විට
හඬන්නේ
අපට අයිති නැති
කුරුල්ලෙක්
අපේ උන්
නිහඬව සිටිද්දී“


(පිටුව 72)
කවියකු මෙන්ම නවකතාකරුවකු, කෙටිකතාකරුවකු වන ජගත් ජේ.එදිරිසිංහ දැනට ඔස්ට්‍රේලියාවේ වාසය කරන්නේය.

ඉසවි

ඔබේ කවි නිර්මාණ
පහත ලිපිනයට එවන්න
සිළුමිණ, කවි පිටුව,
ලේක්හවුස්,
කොළඹ 10.
[email protected]

Comments