ඕල්කොට්තුමාගේ ලංකාගමනයේ 140 වන සැමරුම සහ බෞද්ධ අධ්‍යාපන ප්‍රබෝධය | සිළුමිණ

ඕල්කොට්තුමාගේ ලංකාගමනයේ 140 වන සැමරුම සහ බෞද්ධ අධ්‍යාපන ප්‍රබෝධය

පානදුරාවාදයේ කිර්තිය ලොව පුරා ප්‍රචලිත වෙද්දී ඉන් මඟ අසාගත් සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කොට්තුමා, 1880 මැයි 17 වැනිදා ගාලු වරායෙන් ශ්‍රී ලංකාවට ගොඩ බැසසේය. එතුමන්ගේ මෙරට සංචාරයේ සියවස් සමරුව 1980 මැයි 17 මුද්දර නිකුතුවකින් සමරා තිබේ .ගාල්ලේ වැලිවත්තේ විජයානන්ද පිරිවෙනට පැමිණ, එහි දී අක්මීමන ධර්මාරාම මහා ස්වාමීන් වහන්සේගෙන් තිසරණ සහිත පංච සීලය සමාදන්ව හදවතින්ම බෞද්ධයකු බවට පත්විය.

ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධයා වැටි සිටි ප්‍රපාතය දුටු ඕල්කොට්තුමා, හික්කඩුවේ ශ්‍රී සුමංගල; මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද; වස්කඩුවේ ශ්‍රී සුභූති ආදී විද්වත් හිමිවරුන්ගේ ඇසුර තුළින් ඔවුන් එයින් ගොඩගැනීමට නම් ස්ථීර එකමුතුවක අවශ්‍යතාවයත්; දීර්ඝ කාලීන එහෙත් කඩිනම් බලවේගයක් ඇති කළ යුතු බවත්; මේ සඳහා අධ්‍යාපනය උපයෝගී කරගෙන බෞද්ධ දරුවන්ගේ අධ්‍යාපනය බෞද්ධ පරිසරයට නැඹුරු කළ යුතු බවත් වටහා ගත්තේය. එසේ හෙයින් එතුමා 1880 ජූනි මස 08 වන දින කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමිතිය පිහිටුවන ලදී.

ඕල්කට්තුමන්ගේ උදාරතර මෙහෙවර අතර ප්‍රමුඛ වූයේ සිංහල බෞද්ධ පාඨශාලා පිහිටුවීමයි. කොළඹ ආනන්ද, නාලන්ද, විශාඛා, මියුසියස්, ධර්මපාල; කුරුණෑගල මලියදේව; මහනුවර ධර්මරාජ වැනි පාඨශාලාවන් ඇතුළු පාඨශාලා රැසක් ඕල්කොට්තුමාගේ දර්ශනයෙන් බිහි වූ බව අප සිහිපත් කළයුතු වන්නේ මහත් භක්ති පූර්වකවය.

 

කොළඹ ආනන්ද විද්‍යාලය

හෙන්රි ස්ටීල් ඕල්කට් මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් යුතු පරම විඥානාර්ථ සංගමය විසින් 1886 නොවැම්බර් 01 වන දින කොළඹ ආනන්ද විද්‍යාලය අරඹන ලදී. ආරම්භයේදී එය හඳුන්වනු ලැබුවේ 'ඉංග්‍රීසි බෞද්ධ' පාසල නමිනි. එහි පරමාර්ථය වූයේ ඉංග්‍රීසි ඉගෙනීම සඳහා මිෂනාරි පාසල්වලට යාමට සිදුවන සිංහල බෞද්ධ සිසුන්ගේ ශාස්ත්‍රීය අවශ්‍යතා ඉටු කරලීමයි. 1866 නොවැම්බර් 01 වන දින ළමුන් 37 දෙනෙකුගෙන් සමන්විතව පිටකොටුව මැලිබන් වීදියේ අංක 61 දරණ ස්ථානයේ දී පාසල ස්ථාපනය මුලින්ම කරන ලදී..පිටකොටුවේ පැවති තදබදය හමුවේ ඉදිරියට ආ ඉංග්‍රීසි බෞද්ධ පාසලට, 1894 ජනවාරිහිදී ස්වර්ණමය යුගයක් උදාවිය. මරදානේ පරණ වාඩිය පාරේ අක්කර තුනහමාරක් වූ භූමිය පාසල වෙත පරිත්‍යාග කිරීමට මහා ධනපති පවුලක අවසන් පුරුක වූ වැලිතර මහා කප්පින වලව්වේ ටියුඩර් රාජපක්ෂ වාසල මුදලිතුමන් ඉදිරිපත් විය.

1895 ලක්මිණ පුවත්පතේ මෙසේ සඳහන් කරයි:"ලක්දිව ප්‍රථම බෞද්ධ ඉංග්‍රිසි විද්‍යාලය පැවැත්වීමට යෝග්‍ය භූමියක් නැතිව සිටියදී, කොළඹ පරම විඥාර්ථ බෞද්ධ සංගමයේ මෙහෙයවීමෙන්; ටියුඩර් රාජපක්ෂ වාසල මුදලිතුමා පරිත්‍යාග කළ භූමි භාගයේ මුල්ගල තැබීමේ උත්සවය පසුගිය සිකුරාදා පස්වරු 5ට පැවැත්විණි. ටියුඩර් රාජපක්ෂ වාසල මුදලිතුමා සුභ මොහොතින් මුල්ගල තැබූ මෙම උත්සවයට හික්කඩුවේ ශ්‍රි සුමංගල නාහිමි, හෙයියන්තුඩ්වේ දේව මිත්ත නාහිමි, මහගොඩ ඤාණස්සර නාහිමි ඇතුළු විසලමුදලි ගුණරත්න, මුණසිංහ, මෙන්ඩිස්, පේදිස් ඇලෙක්සැන්ඩර් ද සිල්වා සහ ආර්. ඒ මින්ඩු මහතාද සහභාගී වූහ. මෙතෙක් බෞද්ධ ඉංග්‍රිසි පාසල නමින් වූ මෙම විද්‍යාලය, වාදසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන්ගේ යෝජනාවක් අනුව 'ආනන්ද විද්‍යාලය' ලෙස නම් විය. 1923 අප්‍රේල් මාසයේදී ආනන්දයේ ගොඩනැගිලි අරමුදලක් සඳහා ආධාර ලබා ගැනීමට කොඩි සතියක් පවත්වන ලදී. ඒ සඳහා දිනමිණ පුවත්පතේ විශාල දැන්වීමක් පළ කරන ලදි. අන්ධ සහ බිහිරි ළමුන්ගේ පාසල වෙනුවෙන් ආධාර මුදල් ලබා දෙන විට කොඩියක් ප්‍රදානය කිරිම සිදු කළ බැවින්, ඊට 'කොඩි දවස' යන නාමය පටබැදිණි. වාර්තාවලට අනුව එය ලංකාවේ පැවති පළමු කොඩි දිනය වශයෙන් විශ්වාස කළ හැකිය."

 

ගාල්ල මහින්ද විද්‍යාලය

පරම විඥානාර්ථ සංගමයේ සමාරම්භක පියවරක් වශයෙන් 1892 මාර්තු 2 වැනිදා ගාල්ල කොටුව ‍ෆෙඩ්ලර් වීදියේදී සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මහින්ද විද්‍යාලය ආරම්භ විය. ගුරුවරුන් 8 දෙනෙකු සහ සිසුන් 60 දෙනෙකු මෙම සමාරම්භක අවස්ථාවට එක් වී සිටියේය. විදුහලේ කළමනාකරු ලෙස මුහන්දිරම් තෝමස් ද සිල්වා අමරසූරිය මහතා කටයුතු කළ අතර, ප්‍රථම විදුහල්පති ධූරය හොබවන ලද්දේ අයර්ලන්ත ජාතික බෝල්ස් ඩැලී මහතායි.

ෆෙඩ්ලර් වීදියේ පැරණි ලංකා බැංකු ගොඩනැගිල්ලේ පිහිටුවන ලද පාසල පසුව අරාබි විද්‍යාලය පැවති ස්ථානයටත් පසුව වෛද්‍ය කුලරත්න මහතාගේ නිවසටත් විදුහල විතැන් වූයේ ස්ථිර ගොඩනැගිල්ලක අවශ්‍යතාවය මතු කරවමිනි. 1903 දී ෆ්‍රෑන්ක් ලී වුඩ්වර්ඩ් මහතා මහින්දයේ විද්‍යාලයාධිපති ධූරයට පත් වූ අතර, විදුහලේ ස්වර්ණමය යුගය ආරම්භ වනුයේ එතැන් පටන්ය. එතෙක් විදුහලේ ආදර්ශ පාඨය වූ 'සුචරිතයට වඩා උසස් දෙයක් නැත' යන්න වෙනසකට භාජනය කොට 'වෑයම් කොට පණ්ඩිතයෙක්වන්න' (ඛිප්පං වායාම පණ්ඩිතෝ භව) බවට පත් කරන ලදී. මහින්දයේ ශත සංවත්සරය උදෙසා 1992 මාර්තු 2 වනදා සමරු මුද්දරයක් නිකුත් කර තිබේ.

 

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය

1913 මුල් කාර්තුවේදී අම්බලන්ගොඩ ප්‍රදේශයේ බෞද්ධ දරුවන්ට ඉංග්‍රිසි අධ්‍යාපනය ලබාදීම සඳහා 'ධර්මාශෝක කොලීජිය' නමින් පාසලක් ඇරඹුණි. දරුවන් පහළොස් දෙනෙකුගෙන් සමන්විත අම්බලන්ගොඩ දුම්රිය මංසන්ධිය ආසන්නයේ ආරම්භ කළ කොලිජියේ, ආරම්භක විදුහලපතිවරයා වූයේ ලංකාවේ මුල්ම සිංහල උපාධිධාරීන් අතුරින් අයෙකු වන සන්තියාගු තෝමස් ද සිල්වා මැතිඳුන් ය. එතුමානෝ විද්‍යාලයේ ආදි කර්තෘ ලෙසින්ද ගෞරවාදරයට පත් වන්නාහුය.

1913 මැයි මාසයේදි වර්තමාන විදුහල්භූමියට පාසල ගෙන එනු ලැබූ අතර, එවකට අම්බලන්ගොඩ සුගත ශාසනෝදය සමිතිය මඟින් පවත්වාගෙන යනු ලැබූ බ්‍රිටිෂ් ඉංගිලිෂ් ස්කූල් සමඟින් 1914 පෙබරවාරි 2 වැනිදා ඒකාබද්ධ කරනු ලැබුවේය. 1960 දෙසැම්බර් 1 වැනි දින සුගත සාසනෝදය සමිතිය විසින් ස්වකීය කැමැත්තෙන් ධර්මාශෝක විද්‍යාලය රජයට පවරන ලදී. 2013 මැයි 05 දිනට යෙදුණු ධර්මාශෝක සියවස් සමරුව නිමිත්තෙන් නව සමරු මුද්දරයක් නිකුත් විය.

 

මහනුවර ධර්මරාජ විද්‍යාලය

ධර්මරාජ විද්‍යාලය ශ්‍රී ලංකාවෙහි මහනුවර නගරයේ පිහිටා ඇති දිවයිනේ ප්‍රධාන පෙළ පිරිමි බෞද්ධ පාසලකි. එය 1887 ජූනි මස 30 වනදා සර් හෙන්රි ස්ටීල් ඔල්කට්තුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී. මහනුවර වඩුගොඩ පිටියේ පුංචිරාල කෝරළේ මහතාගේ මූලිකත්වයෙන් ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි නාග දේවාලය අසල තිබූ බෝ ගස එක් රැයකින් කපා ඉවත් කර එම භුමියේදී ධර්මාජය බිහි කළේය. 1890 දී ශ්‍රීමත් ඩී.බී ජයතිලක මහතා ධර්මාජයේ විදුහල්පති බවට පත්ව රුපියල් 5ක වැටුපක් ලබන ගුරුවරුන් දෙදෙනෙකුගේ සේවය ලබා ගෙන ශිෂ්‍ය සංඛ්‍යාව 80 දක්වා වැඩි කරන ලදී. ඩි. බී. ජයතිලකයන්ගේ අන්තිම කැමති පත්‍රයෙන් ධර්මරාජයට ආදායමක් හිමිවන සේ කටයුතු යොදා තිබිණ.

 

කුරුණෑගල මලියදේව විද්‍යාලය

මලියදේව විද්‍යාලය ශ්‍රී ලංකාවේ කුරුණෑගල නගරයේ ඇති ප්‍රධාන පිරිමි පාසලකි. කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන්ගේ ප්‍රධානත්වයෙන්, පරම විඥානාර්ථ බෞද්ධ සංගමය විසින් 1888 වසරේදී මලියදේව විද්‍යාලය ආරම්භ කරන ලදී.

මලියදේව විද්‍යාලය මුලින්ම කුරුණෑගල තරුණ බෞද්ධ සංගමය සතු බෝධිරාජ මාවතේ පිහිටි ස්ථානයක ආරම්භ කෙරුණු අතර, 1909 දී ඇත්කඳ රජමහා විහාරය ඉදිරිපිටට ගෙනයන ලදී. පසුව 1936 දී මීගමු පාරේ දැනට විද්‍යාලය පවත්වාගෙන යන ස්ථානය විද්‍යාලයට ලැබී තිබේ. මෙයද පසුකාලිනව රජයට පවරාදුන් විද්‍යාලයකි. 1988 ජුනි 30 වන දින මලියදේව ශත සංවත්සර මුද්දරය එළිදක්වන ලදී.

 

කොළඹ මියුසියස් විදුහල

ගැහැනු ළමයින් සඳහා අධ්‍යාපන අවස්ථා වැඩිදියුණු කිරීම සහ බෞද්ධ මූලධර්ම සමඟ ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම අරමුණු කරගෙන ජර්මානු ජාතික මාරි මියුසියස් හිගින්ස් මැතිනිය විසින් වර්ෂ 1893දී ආරම්භ කරන ලද මෙම විදුහල අද වන විට දිවයිනේ කීර්තිමත් අධ්‍යාපන ආයතනයකි. 1903 දී ප්‍රථම වරට සිංහල බාලිකාවක් වෛද්‍ය විද්‍යාලයට තේරී පත්වුයේ මෙම විදුහලෙනි. මියුසියස් විදුහල් ශත සංවත්සරය උදෙසා 1993 නොවැම්බර් 15 දින නව මුද්දරයක් ඉතිහාසයට එක්විය.

 

කොළඹ විශාකා විද්‍යාලය

ඕල්කොට්තුමාගේ දර්ශනයෙන් රටට හිමිවූ මෙම විදුහල ජාතික සම්පතකි. පානදුරාවාදය සංවිධානය කළ පානදුර දියෙස් පරම්පරාවෙන් රටට මේ අපුරු ත්‍යාගය හිමිවිය. සිංහල බෞද්ධ අධ්‍යාපනය නඟා සිටුවීමට තම ශ්‍රමයත්, ධනයත් වැය කල එම පරම්පරාව; බෞද්ධ අධ්‍යාපන ඉතිහාසය තුල තනි පුද්ගලයෙකු කළ විශාලතම පරිත්‍යාගය ලෙස සැළකෙන කොළඹ වජිර පාරේ පිහිටුවන ලද විශාකා විද්‍යාලය පිහිටුවේය. එය 'කොස් මාමා' ලෙසින් ප්‍රකට ආතර් වී. දියෙස් මැතිඳුන්ගේ මෑණියන් වන සෙලෙස්තිනා රුද්‍රිගෝ මැතිණිය මෙම විදුහලේ ආදී කතෘවරියයි. 2017 ජනවාරි 16 වන දින විදුහලේ ශත සංවත්සර සැමරුම උදෙසා නව මුද්දරයක් නිකුත් විය .

Comments