ඉදිකිරීමට යෝජිතව තිබූ ක්‍රිකට් පිටියේ කතාව මෙන්න | සිළුමිණ

ඉදිකිරීමට යෝජිතව තිබූ ක්‍රිකට් පිටියේ කතාව මෙන්න

- රජයේ සල්ලි සතයක්වත් මේකට වියදම් වෙන්නෙ නැහැ 
- මේක තනිකරම හදන්නෙ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අරමුදලින් 
- නැරඹුම් ආසන 60000; අක්කර 26 යි

කොරෝනා වයිරසය ක්‍රමයෙන් පාලනය වෙද්දී රටේ දියුණුව උදෙසා රට යළි නඟා සිටුවීම පිණිස, පසුගිය කාලයේ ආරම්භ කර තිබූ සංවර්ධන කටයුතු යළි ක්‍රියාවට නැංවීම දැන් රජය ආරම්භ කර තිබේ. ඉන් එක් වැදගත් පියවරක් වනුයේ හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩා සංකීර්ණයට අනුබද්ධ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වැඩ කටයුතු නැවත ආරම්භ කර එය මෙරට ලොකුම ක්‍රිකට් ක්‍රීඩාංගණය බවට පත්කිරීමේ කාර්යයයි. එහෙත් මේ ලිපිය ලියන මොහොතේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් මේ ක්‍රීඩාංගණය පිළිබඳ යෝජනාව වත්මන් තත්වය නිසා තාවකාලිකව අත්හිටුවා තිබේ. 

මෙරට අලුත්ම හා විශාලතම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස මෙම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමට යෝජිතව ඇති බැව් තොරතුරු සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝද්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

රජය මේ සඳහා ඉඩම ලබාදෙන අතර ලෝක ක්‍රිකට් කවුන්සලයේ ප්‍රමිතිය හා අධීක්ෂණය ඇතිව මෙරට ඉහළම පහසුකම් ඇති ලොව අති නවීනතම ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලෙස මෙය ඉදිකෙරේ. අමෙරිකන් ඩොලර් මිලියන 30 - 40 ක වියදමින් ඉදිකරන මේ ක්‍රීඩාංගණය සඳහා සියලු මුදල් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය හා ලෝක ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් වියදම් කරනු ලැබේ.

මේ අලුත් ක්‍රීඩාංගණය ඉදිකිරීම් පිළිබඳව විශේෂ ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවක් පසුගියදා ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් දියගමදී පැවැත්වීය. ඒ අවස්ථාවේදී ඇමැතිවරයා ප්‍රකාශ කළේ දියගම අක්කර 26ක භූමි භාගයක ඉදිරි වසර තුන ඇතුළත මෙම ජගත් ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකර අවසන් කරන බවයි. එහි ප්‍රථම අදියරේදී නැරඹුම් ආසන 40,000ක් සකස් කරන බවත් දෙවැනි අදියරේ තවත් නැරඹුම් ආසන 20,000ක් ඉදිකරන බවත් ඇමැතිවරයා පවසයි.

සියලු ඉදිකිරීම් අධීක්ෂණ කටයුතු අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය මඟින් සිදු කරනු ඇත. මෙහි දිවා රාත්‍රී තරග පැවැත්වීමට හැකි අන්දමින් ඉහළම ප්‍රමිතියට අනුව ඉදිකරන අතර මෙහි ක්‍රීඩකයන්, මාධ්‍යවේදීන් හා නරඹන්නන් ඇතුළු 60,000කට අන්තර්ජාතික මට්ටමේ නවීන තාක්ෂණික හා ආලෝකකරණ පහසුකම් සැලසීමට යෝජිතය.

දියගම ප්‍ර දේශයේ ගුවන් විදුලි සංස්ථාවෙන් ලැබුණු ඉඩමක මුලින්ම ජගත් මට්ටමේ ක්‍රීඩා සංකීර්ණයක් ඉදිවිය. එහි ජගත් ජවන හා පිටිය ක්‍රීඩා පැවැත්වූ අතර ඊට පසු එහි ජගත් මට්ටමේ ක්‍රිකට් පිටියක් ඉදිකිරීමද ආරම්භ විය. බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා පවසන පරිදි පසුව 2015 දී පමණ යහපාලන රජය යටතේ මෙම ක්‍රිකට් පිටියේ ඉදිකිරීම් අතරමඟ නතර වී තිබේ..මේ ක්‍රීඩාංගණය අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස සංවර්ධනය කරනවා. අවුරුදු තුනකින් මෙහි වැඩ ඉවර කර අපේ රටේ ලොකුම ක්‍රිකට් ක්‍රීඩාංගණය බවට මේක පත්කර ජනතා අයිතියට පත් කරනවා. ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උදවු ඇතිව ක්‍රිකට් පාලක මණ්ඩලය මඟින් මේක ඉදිකරනවා යැයි බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා පවසයි.

"මේකට අපේ රටේ එක සතයක්වත් වියදම් කරන්න වෙන්නෙ නැහැ. අපේ ජනතා බදු මුදල් මේකට වෙන් කරන්නෙ නැහැ. මේකට සම්පූර්ණයෙන් වියදම් කරන්නෙ ක්‍රිකට් පාලක මණ්ඩලය ඒ අයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) පූර්ණ සහාය දෙනවා. මේ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය උදව් කරනවා. මෙය ඉදිවුණ විට හෝමාගම ආසනයේ දියගම කිරිවත්තුඩුව, කහතුඩුව, මාගම්මන, කොට්ටාව ඇතුළු ප්‍රදේශවල විශාල දියුණුවක් ඇතිවීම ස්ථිරයි. ඒ ජනතාවටත් අමතර ආදායම් මාර්ග ඇති වෙනවා" යනුවෙන් ඇමැතිවරයා කීය.

මෙරට දැනට ඇති ජගත් මට්ටමේ තරග දිවාරාත්‍රී සෙල්ලම් කළ හැකි ලොකුම ක්‍රීඩාංගණය ඛෙත්තාරාම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයයි. එහි ප්‍රේක්ෂක පුටු 35,000 දමන්න පුළුවන්. නමුත් ගොඩක් පුටු කැඩිලා දැන් තියෙන්නෙ 20,000 යි. විශාලත්වය අක්කර 20කට අඩුයි. ඒ අනුව අක්කර 26ක් විශාල ප්‍රේක්ෂකයන් 60,000ක් දමන්න පුළුවන් මේ නව ක්‍රීඩාංගණය 2023 වන විට ක්‍රීඩාලෝලි ජනතාවට බාර දෙනවා, ඇමැතිවරයා කියයි.ඒ අනුව සමහර විපක්ෂයේ සමාජ මාධ්‍ය මොනව කීවත් මේ ජගත් ක්‍රීඩා පිටිය නිර්මාණය කරන්නෙ අපේ සල්ලිවලින් නොවන බවත්, නමුත් ප්‍රතිලාභ ලැබෙන්නෙ රටේ සියලු ජනතාවට බවත් ඉන් රට යළි නඟා සිටුවීමට ඉමහත් වැඩ කොටසක් සිදුවෙන බවත් ඇමැති බන්දුල ගුණවර්ධන අවධාරණය කරයි.

මේ පිළිබඳව සිළුමිණට අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ෂම්මි සිල්වා මහතා පැවැසුවේ අපේ රටේ විශාලතම ජගත් ක්‍රීඩා පිටිය ඉතා ඉක්මනින් ඉදිකිරීමට තම ආයතනය පූර්ණ සහාය දෙන බවයි. “අපිට අවුරුදු 5 - 6ක් තිස්සෙ අලුත් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයක අවශ්‍යතාව තිබුණා. නමුත් ඉඩමක් තිබුණේ නැහැ. දැන් මේකට දියගම ඉඩම රජයෙන් දෙනවා. අපි ක්‍රිකට් පාලක මණ්ඩලයේ උදව්වෙන් මේකේ ක්‍රීඩාංගණය ඉදි කරනවා. රජයෙන් මේකට සල්ලි වියදම් කරන්නෙ නැහැ. අපියි මේකට සේරම සල්ලි වියදම් කරන්නෙ.2029 හා 2031 දී අපේ රටේ ඕවර 50 හා T20 ජගත් ක්‍රිකට් තරගාවලිය අපේ රටේ පවත්වන්න අපි ඉල්ලා තිබෙනවා. ඒකට මේ වගේ අලුත් පහසුකම් ඇති ක්‍රීඩාංගණ අවශ්‍ය බවද ෂම්මි සිල්වා මහතා පවසයි.

“දැන් ඛෙත්තාරාමේ ක්‍රිකට් මැච් බලන්න ඇවිල්ලා කට්ටිය රණ්ඩු වෙනවා. ඒ නිසා මේක රටට අත්‍යවශ්‍ය වැඩක්. මේ නිසා මේ වගේ අලුත් ක්‍රීඩාංගණයක් අපිට අවශ්‍යයි. මේක පිටරට සංචාරකයන් පිටරට ක්‍රිකට්ලෝලීන් අපේ රටට ගෙන්වාගන්න රටට සංචාරක ආකර්ෂණය වැඩ කරන්න හොඳ ව්‍යාපෘතියක් බවත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ෂම්මි සිල්වා මහතා පැවැසීය.

දැනට මෙරට ඇති විශාලතම ජගත් ක්‍රීඩා පිටිය ඉදිකර ඇත්තෙ 1986 දීය. එහි ප්‍රථම අන්තර්ජාතික දිවාරාත්‍රී තරගය පවත්වා ඇත්තෙ 1994 ජූනි මාසයේදීය. නමුත් දැන් එහි ආසන රැසක් අබලන්ය. එහි ප්‍රේක්ෂක ආසන 35000ක් තිබුණත් හොඳ මට්ටමේ ඒවා ඇත්තෙ 20000ක් පමණි. ඛෙත්තාරාම ක්‍රීඩාංගණය තවත් විශාල කිරීමට ඉඩක් නැත. ඒ නිසා ඊට විකල්පයක් ලෙස හෝමාගම නව ජගත් මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම කාලීන වැදගත්කමකින් යුත් කටයුත්තකි.

සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය අපේ රටේ ඇති ජගත් මට්ටමේ ක්‍රිකට් තරග දිවා රාත්‍රී ක්‍රීඩා කළ හැකි ක්‍රිකට් ක්‍රීඩාංගණයකි. එහිද ආසන ඇත්තේ 35000ක් පමණි. නමුත් එය කොළඹට දුරින් පිහිටා ඇති නිසා ජගත් මට්ටමේ තරග පැවැත්වීමට බාධා එල්ල වී තිබේ. පල්ලෙකැලේද තවත් ජගත් මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් තිබේ. එහිද ප්‍රේක්ෂකයන් 35,000කට අසුන් ඇත. දිවා රාත්‍රී ක්‍රිකට් සෙල්ලම් කළ හැකි මෙහි සමහර කාලවලට වැසි පතිත වීම බහුලය.

ඊට අමතරව ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩා පිටිය ජගත් මට්ටමේ සියලු ක්‍රිකට් තරග පැවැත්වීමට සූදානම්ව ඇත. එහි ආසන 35,000 කි. ඒ සමඟම රංගිරි දඹුල්ල ජගත් ක්‍රිකට් පිටියද දිවා රාත්‍රී ක්‍රිකට් තරගවලට වුවද සූදානම්ය. නමුත් එහි ඇත්තෙ ආසන 16,800 කි.ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් දියගම මෙරට ජගත් මට්ටමේ ජවන හා පිටිය මලල ක්‍රීඩා සංකීර්ණය දැනටම ඉදිවී තිබේ. පසුගිය කාලයේ ජගත් මට්ටමේ තරග රැසක් එහි පැවැත්විණි.

දැන් ඒ අසල අන්තර්ජාතික ක්‍රීඩා විශ්වවිද්‍යාලය ඉදිවෙමින් පවතී. මේ ස්ථානයට කහතුඩුව හෝ කොට්ටාව අධිවේගී පිවිසුම්වල සිට විනාඩි පහකින් පමණ ළඟාවීමට පුළුවන. ඒ අනුව මේ අලුතින් ඉදිවීමට යෝජිත මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය රටටත් අපේ ක්‍රීඩකයන්ටත් විශේෂයෙන් දියගම, කිරිවත්තුඩුව, මත්තෙගොඩ, මාගම්මන, කහතුඩුව ගම් ප්‍රදේශවලටත් ප්‍රතිලාභ දෙන සංවර්ධන ආයෝජනයක් වනු ඇත.

Comments