කොවිඩ් පාලනයේදී බටහිරට වඩා ආසියාව සාර්ථකයි | සිළුමිණ

කොවිඩ් පාලනයේදී බටහිරට වඩා ආසියාව සාර්ථකයි

බොහෝ රටවල් මේ ලියන ෙමාෙහාත වන විට ලොක්ඩවුන් අවසන් කිරීමට කටයුතු කරමින් සිටී. එහෙත් මේ ගෙවී යන මොහොත වන විටත් සමස්ත ලෝකයේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් තිබේ.

මේ වන විට අමෙරිකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ පහ‍ළොව ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව ලක්ෂයට ඉතා ආසන්න වී තිබේ. ජනාධිපති ට්‍රම්ප් අනාවැකියක් ලෙස පසුගියදා පවසා සිටියේ අමෙරිකාවේ මරණ ලක්ෂයක් පමණ වාර්තා වන විට වයිරසයට එන්නතක් සොයා ගැනීමට ලෝකයට හැකි වනු ඇති බවය. එහෙත් මේ වන විට අමෙරිකාවෙන් කොවිඩ් මරණ 92,000 ඉක්මවා වාර්තා වී තිබුණද තවමත් එන්නතක් ගැන සුබාරංචියක් අසන්නට ලැබී නැත.

පුදුමයකට මෙන් මේ වන විට ලෝකයේ දෙවැනි කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා කරමින් අමෙරිකාවට පමණක් දෙවැනි වීමට රුසියාව සමත් වී තිබේ. රුසියාවේ මේ ආසාදිතයන් සංඛ්‍යාව ඉතා කෙටි කලකින් වාර්තා වූ අතර මේ වන විට එරටින් දිනකට ආසාදිතයන් දසදහසක් පමණ වාර්තා වේ. එහෙත් යුරෝපය සහ අමෙරිකාව මෙන් නොව ආසාදිතයන් අධිකව වාර්තා වුවද මරණ සංඛ්‍යාව ඉතාමත් අඩු මට්ටමක පවත්වා ගැනීමට රුසියාව සහ ඉන්දියාව සමත් වී තිබේ. සැබවින්ම එය සැනසුමට කරුණකි.

එසේ වුවද ඛේදවාචකයක් වාර්තා කරමින් සිටින බ්‍රසීලය මේ වන විට ලෝකයේ කොවිඩ් ආසාදිත ලැයිස්තුවේ සිව්වැනි ස්ථානය දිනා ගැනීමට සමත්ව තිබේ. මේ වන විට එරටින් ආසාදිතයන් 2,55,000 ඉක්මවා වාර්තා වී තිබෙන අතර මරණ සංඛ්‍යාවද විසි දහසකට ආසන්න වී තිබේ.

බ්‍රිතාන්‍ය තම රට විවෘත කිරීමට පසුගියදා කටයුතු කළ අතර එරටින් වාර්තා වන ආසාදිතයන්ගේ කිසියම් අඩුවීමක් ද දැකගත හැකි වී තිබේ. එහෙත් මේ වන විට බ්‍රිතාන්‍ය පසුවන්නේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ ලැයිස්තුවේ පස් වැනි ස්ථානයේය. කෙසේ වුවද බ්‍රිතාන්‍ය පොදු ප්‍රවාහන සේවා පවත්වා ගනිමින් රටේ ආර්ථික කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටී.

ස්පාඤ්ඤය යුරෝපයේ වැඩිම කොවිඩ් ආසාදිතයන් වාර්තා කර සිටියද වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ බ්‍රිතාන්‍යයෙනි. මේ වන විට එය 34,000 ඉක්මවා තිබේ.

යුරෝපයේ පළමුවැනි ඛේදවාචකය වාර්තා කළ ඉතාලිය මේ වන විට සුව අතට හැරෙමින් තිබීම සැනසුමට කරුණක් වී තිබේ. මේ වන විට එරටින් වාර්තා වන දෛනික මරණ සංඛ්‍යාව සියයට අඩු අගයක් ගෙන තිබේ. ස්පාඤ්ඤයද තම භීම සමය අවසන් බව පෙන්නුම් කරමින් යළිත් එරට ජනජීවිතය සාමාන්‍ය අතට පත් කිරීම අරඹා තිබේ.

වසංගතය අවසාන කාර්තුවට ළඟා වන විට ප්‍රංශයද මරණ විසිහත්දහස ඉක්මවූවද ජර්මනිය සහ තුර්කිය ආසාදිතයන් ලක්ෂ දෙකකට ආසන්නව එහෙත් මරණ ඉතා අවමව පවත්වා ගැනීමට සමත් ව තිබේ.

එහෙත් වඩාත් සතුටුදායක කරුණ වන්නේ දකුණු ආසියාවයි. ඉන්දියාව, පකිස්තානය සහ බංග්ලාදේශය යන රටවලින් ආසාදිතයන් ඉතා විශාල වශයෙන් වාර්තා වීම ඇරඹුණු විට බොහෝ දෙනා අනුමාන කර සිටියේ මේ රටවලින් ඉතා විශාල මරණ සංඛ්‍යාවන් වාර්තා වනු ඇති බවයි. එහෙත් මේ දක්වා ආසාදිතයන්ට සාපේක්ෂව මරණ ඉතා අවම සංඛ්‍යාවක පවත්වා ගැනීමට මේ සියලු රටවල් සමත්ව තිබේ. විශේෂයෙන්ම මේ රටවල පවතින සෞඛ්‍ය සේවාවන් අමෙරිකාවට සහ යුරෝපයට සාපේක්ෂව ඉතා දුර්වල මට්ටමක පැවතීමද අමතක කළ යුතු නැත. මරණ සංඛ්‍යාව අවම වීමේදී රුසියාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන විශ්වාසය තැබිය හැකි වුවද ඉන්දියාව, පකිස්තානය හෝ බංග්ලාදේශය එවැනි ශක්තිමත් සෞඛ්‍ය සේවාවන් සහිත රටවල් නොවේ. එමෙන්ම මේ රටවලින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවද ඔවුන්ට දැරීමට නොහැකි තරම්ය.

මේ වන විට ඉන්දියාවෙන් ආසාදිතයන් ලක්ෂය ඉක්මවා වාර්තා වූවද මරණ සංඛ්‍යාව 3,164ක් පමණි. පකිස්තානයේ ආසාදිතයන් 44,000 ඉක්මවා වාර්තා වූවද මරණ සංඛ්‍යාව 939ක් පමණි. බංග්ලාදේශයෙන් ආසාදිතයන් 24,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 349ක් වශයෙනි. මේ අනුව අමෙරිකාවේ සහ යුරෝපා රටවල් රැසක සෞඛ්‍ය සේවාවවන් දකුණු ආසියාවේ රටවල සෞඛ්‍ය සේවාවට වඩා දුර්වලදැයි යන පැණය මතුවීම වැළැක්විය නොහැකිය.

සැබවින්ම අනාගත ලෝකය මෙතෙක් පැවති තම මිනුම් වෙනස් කිරීමට මේ කරුණුද සැලකිල්ලට ගනු ඇත. විශේෂයෙන් දකුණු ආසියාවේ සෙසු රටවල් එනම් ශ්‍රී ලංකාව මෙන්ම නේපාලයද කොවිඩ් වසංගතයේදී කටයුතු කළ ආකාරය වඩා වැදගත් වනු ඇත. නේපාලය සැලකූ විට දෙකෝටි අනූලක්ෂය ඉක්මවු ජනගහනයක් සහිත නේපාලය මේ වන විට සිදුකර ඇති කොවිඩ් පර්යේෂණ සංඛ්‍යාව එක්ලක්ෂ දෙසිය අසූ තුනකි. මේ දක්වා එරටින් හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 375ක් තරම් අවම අගයක් ගන්නා අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව දෙකක් පමණි.

මීට අමතරව සමස්ත ආසියාව සලකන්නේ නම් දකුණු කොරියාව, වියට්නාමය, ජපානය, සිංගප්පූරුව වැනි රටවල් වසංගතයේදී සාර්ථකව කටයුතු කළ අන්දමද සැලකිය යුතුමය.

Comments