‘අම්ෆන්’ ඉන්දියාව කලඹයි | සිළුමිණ

‘අම්ෆන්’ ඉන්දියාව කලඹයි

සුගිය බදාදා සවස් කාලයේදී නැඟෙනහිර ඉන්දියාවට කඩා වැදුණු අම්ෆන් සුළි කුණාටුව ජීවිත හානි සහ මහත් දේපළ හානි රැසක් සිදු කර තිබේ. සුළි කුණාටුවේ ගමන් මග කල් තබා හඳුනාගත් බලධාරීන් සුළි කුණාටුවේ ගමන් මගෙහි මිනිසුන් මිලියන ගණනින් ඉවත් කිරීමට කටයුතු කර තිබුණි. එහෙත් මේ වන විටත් ඉන්දියාවේ හා බංග්ලාදේශයේ මරණ සංඛ්‍යාව 100 ඉක්මවා ගොස් තිබුණි. මෙලෙස මිනිසුන් පදිංචි නිවෙස්වලින් බැහැරකොට කඳවුරු ගත කිරීම කොවිඩ් වංසගත මර්දනයට සුබදායී නොවනු ඇති බවට මත පළ වී තිබේ.

කෙසේ වුවද අම්ෆන් සුළි කුණාටුව ගොඩබිමට කඩාවැදී ගමන් කරමින් තිබෙන ගමන් මඟෙහි ඍජුවම පිහිටා තිබෙන ඉන්දියාවේ කොල්කොටා නගරය මෙන්ම සුළි කුණාටුවේ ඍජු බලපෑම් පවතින සීමාවේ පිහිටා ඇති බංග්ලාදේශයේ ධකා අගනුවරටද මහත් දේපළ හානිවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට අනුමාන කෙරේ. මේ මොහොත වන විට සුළි කුණාටුවේ වේගය පැයට නාවික සැතපුම් 34ක් ලෙස ගණන් බලා තිබේ.

වසරේ මේ කාලයේදී බෙංගාල බොක්ක ආශ්‍රිතව සුළි කුණාටු නිර්මාණය වීම සාමාන්‍ය කරුණක් වන අතර ඇතැම් වසරවල මෙවැනි කුණාටු කිහිපයකට මුහුණ දීමට කලාපයේ රටවලට සිදුවේ. මේ අතරින් ඇතැම් කුණාටුවල බලපෑම අප රටටද එල්ල වූ අවස්ථා තිබේ.එහෙත් අම්ෆන් සුළි කුණාටුවේ විශේෂත්වය වන්නේ එය බෙංගාල බොක්ක ආශ්‍රිතව පැන නැගෙන සුළි කුණාටු අතර ඉතාමත් කලාතුරකින් ඇතිවන අතිශය දරුණු සුළි කුණාටුවක් වීමය. දැනට ලැබී ඇති වාර්තා අනුව මෙවැනි දරුණු සුළි කුණාටුවක් අවසන් වරට පැමිණ 1999 වසරේදීය. ඔඩීෂා යනුවෙන් නම් කරණු ලැබූ එම සුළිකුණාටුව හේතුවෙන් ඉන්දියාව, බංග්ලාදේශය, තායිලන්තය සහ මියන්මාරයද විශාල හානිවලට ලක්විය.

මේ වන විට අම්ෆන් සුළි කුණාටුව තවදුරටත් ඉදිරියට ගමන් කරමින් තිබෙන අතර එහි ඍජු ගමන් රේඛාව භූතානය ඉලක්ක කරමින් පැතිර තිබේ. එහෙත් ඒ දක්වා ගමන් කිරීමට පෙර සුළි කුණාටුවේ ප්‍රබලතාව අඩුවනු ඇති බවට කාලගුණ විද්‍යාඥයන් මත පළ කර තිබේ.

ටිරෝනි වෑවලගේ විසිනි

Comments