ඉහ මොළ රත්වෙන ජල විදුලි බිල් | සිළුමිණ

ඉහ මොළ රත්වෙන ජල විදුලි බිල්

කොරෝනා වසංගතය හේතුවෙන් මේ වන විට බොහෝ දෙනෙකුගේ ජීවන මාර්ග අඩපණ වී ඇත. මාසික වැටුපවත් නොලැබූ බොහෝ දෙනෙක් මේ වන විට ගත කරන්නේ දැඩි අසීරුතා රැසක් මධ්‍යයේය. එවන් පසුබිමක ඇති වී තිබෙන ගැටලු තවත් උග්‍ර අතට හරවමින් ඉහ මොළ රත්වෙන ජල විදුලි බිල්පත්ද දැන් ලැබෙන්නට පටන් ගෙන ඇත. ඒ මෙවර ජල විදුලි බිල්පත් කිසිවකු නොසිතු පරිදි මිල ඉහළ යාම මේ ප්‍රශ්නය උග්‍ර වන්නට හේතු වී තිබේ. වෙනදා තමන්ට ලැබුණු ජල බිල්පත් දෙතුන් ගුණයකින් මෙදා ඉහළ ගියෙන් බොහෝ ජල හා විදුලි පාරිභෝගිකයන්ගේ මැසිවිලි එන්න එන්නම වැඩි වී ඇත.

කොරෝනා වසංගයත් සමඟ මුළු රටටම දැමූ ඇඳි නීතිය නිසාවෙන් රටේ සෑම නිවසකට දෛනික ජල හා විදුලි පරිභෝජනය වැඩි විය. ජනතාව නිවසටම කොටු වූ අතර පැය විසි හතරේම නිවසේ ජල විදුලි මීටර කැරකැවෙන්නට විය. ඒ වෙනදා නිවෙන විදුලි පහන් මෙදා දැල්වෙන්නට වූ නිසාය. දිනකට පරිභෝජනය කරන දෛනික වතුර ප්‍රමාණය වෙනදාටත් වඩා ඉහළ ගියේය. රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තින්ට අනුගත වෙමින් නිරන්තරයෙන් පිරිසිදු වන්නට සිදුවු හෙයින් වෙනදාට වඩා ජල පරිභෝජනය ඉහළ ගියේය. නමුත් තමන්ගේ විදුලි බිල තක්සේරුවක් හෝ දැන ගැනිමට මාස්පතා නිවසට පැමිණෙන ජල විදුලි මනු කියවන්නන් මෙදා පැමිණියේ නැත. නමුත් බොහෝ දෙනෙක් මේ තත්ත්වය තේරුම් ගෙන අරපිරිමැස්මෙන් යුතුව ජල හා විදුලිය පරිභෝජනය කරන්නට විය.

නමුත් ගැටලු සහගත කාලය පහව යද්දී යළිත් මනු කියවන්නන් පැමිණ ජල හා විදුලි බිල්පත් ලබා දෙන්නට වු අතර ඒවා තවමත් මුල් මාසවල ඇස්තමේන්තු බිල්පත් පමණි. තමන් වැඩිපුර භාවිතා කළද අපේක්ෂා නොකළ තරමේ ඉහළ මිලක් විදුලි හා ජල පරිභෝගිකයන්ගෙන් අය කිරීම පිළිබඳ උරණ වූ යම් යම් පිරිස් මනු කියවන්නන්ට පවා පහර දෙමින් විවිධ තර්ජන පවා මතු කළ අවස්ථා උද්ගත විය.

ඇත්තෙන්ම ජනතාවට තමන්ට ඔරොත්තු නොදිය හැකි තරමට මෙවැනි ජල විදුලි බිල්පතක් පැමිණියේ ඇයි? මෙය වැරදීමකින් පැමිණි බිල්පතක්ද? යළි තමන්ට සංශෝධනය වූ බිල්පතක් පැමිණේවිද? මේ දිනවල අදාළ ස්ථානයන්ට විවිධ පැමිණිලි ලැබෙමින් පැවතියේ මේ බිල්පත් සම්බන්ධයෙන් තමන් කුමක් කරන්නද යන දෙගිඩියාවෙනි.

ලංකාවේ විදුලි පාරිභෝගිකයින් සංඛ්‍යාව මිලියන 6.7 කි. එයින් ගෘහස්ත පාරිභෝගික පිරිස මිලියන 6.4 කි. එසේම විදුලි බල මණ්ඩලය පවසන පරිදි ලංකාවේ දෛනික විදුලි පාරිභෝජනය විදුලි ඒකක මිලියන 35 කි. නමුත් දැඩි රස්නයක් පවතින විට මෙම විදුලි ඒකක ප්‍රමානය මිලියන 45 දක්වා වැඩි වෙයි. නමුත් එක් විදුලි ඒකකයක් උත්පාදනයට රුපියල් 21.50 ක් වැය වුනද ලැබෙන්නේ එක් ඒකකයකින් රුපියල් 16 වැනි අඩු මුදලකි.

කෙසේ වෙතත් කොරෝනා වසංගතය හේතුවෙන් මිනිසුන්ගේ දෛනික විදුලි පරිභෝජන රටාවේ දැඩි වෙනසක් සිදුවු හෙයින් විදුලි බල මණ්ඩලය පවසන්නේ මේ මාස කිහිපය තුළ දෛනික පරිභෝජනය කලින් පැවතියාට වඩා එකහමාරකින් පමණ වැඩි වි ඇති බවයි. නමුත් සමහරකුගේ දෛනික පරිභෝජනය දෙගුණයකින් පවා වැඩි වූ අවස්ථා ඇත. නමුත් කර්මාන්ත ශාලා මෙන්ම හෝටල් ආදි බොහෝ ක්ෂේත්‍ර වසා තැබීම හේතුවෙන් සමස්ත ආදායමෙන් තුනෙන් එකකට වඩා විදුලි බල මණ්ඩලයට අහිමි වී ඇත. සාමාන්‍යයෙන් විදුලි බල මණ්ඩලයට බිල්පත් සම්බන්ධයෙන් මාසික ආදායම වශයෙන් රුපියල් බිලියන 20 ක් ලැබිය යුතු වුවත් මෙවර එය ලැබී ඇත්තේ රුපියල් බිලියන 6 කි.

එසේම ජල බිල්පත් සම්බන්ධයෙන් කතා කිරීමේදි ලංකාවේ සමස්ත ජල සම්බන්ධතා සංඛ්‍යාව ලක්ෂ 24 කි. එම ලක්ෂ 24 න් සියයට 92 ක්ම ගෘහස්ත පාරිභෝගිකයන්ය. මෙම ගෘහස්ත ජල පාරිභෝගිකයන්ගෙන් සියයට 75 ක්ම මාසයකට ඒකක 25 ට අඩු ජල පාරිභෝගිකයන්ය.

මෙම ජල පාරිභෝගිකයින්ගේ මාසයක ජල පරිභෝජනය කියුබික් ලිටර් මිලියන 42- 45ත් අතර ප්‍රමාණයකි. නමුත් මාර්තු මසයේ බොහෝ දෙනෙක් නිවෙස්වලටම වි කාලය ගත කළෙන් ඒ මාසයේ පමණක් ජල පරිභෝජනය කියුබික් ලිටර් දෙකකින් වැඩි වි ඇත. එය ජල සම්පාදන දෙපාර්තමේන්තුවට සැලකිය යුතු තරමේ වෙනසක් නොවූයේ ගෘහස්ත පරිභෝජනය වැඩි වුවද අනෙක් පැත්තෙන් ජල පරිභෝජනය රින අගයක් ගැනීම නිසාය. මේ අනුව පසුගිය මාසයේ ජල පරිභෝජනය වූ කියුබික් ලීටර් මිලියන 47 න් 60% ක්ම භාවිත කර ඇත්තේ ගෘහස්ත ජල පාරිභෝගිකයන්ය. මේ අනුව වෙනදා මෙන් නොව යම් යම් හේතුමත ඉතා පැහැදිලිව විදුලි හා ජල ගෘහස්ත පාරිභෝගියන්ගේ සංඛ්‍යාවේ වැඩි විමක් පෙන්නුම් කරයි.

නමුත් කොරෝනා වසංගතයෙන් බැට කන පොදු ජනතාව තවමත් චෝදනා නඟන්නේ වෙනදාට අඩු මිලක් ලැබෙන ජල පරිභෝජනය දෙතුන් ගුණයකින් නොව විශාල වෙනසකින් වැඩි වූයේ කෙසේද යන්නයි. මේ පිළිබඳ සිළුමිණට අදහසු දැක්වූයේ ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරි (බිල් කිරීම්) පියල් පද්මශන්ත ගජධීර ආරච්චි මහතාය. “පසුගිය කාලයේ පාරිභෝගිකයන් විශාල ප්‍රමාණයක් නිවසට වී කාලය ගත කිරීම නිසා ජල පරිභෝජනය වැඩි වුණා. අපේ මනු කියවන්නෝ රට පුරා 650 ක් සිටිනවා. මේ අයට ඇඳිරි නීතිය නිසා නිවෙස් වලට ගොස් මනු කියවිමට නොහැකි වුණා.

සාමානයෙන් ජල බිල්පත සකස් කරන්නේ ජල මීටරය අනුවයි. නමුත් ඒ ක්‍රමයේ පොඩි වෙනස් වීමක් සිදුවුණා. මේ නිසා අපට සිදුවුණා මාර්තු මාසය අතහැර ඊට පෙර ආසන්න මාස තුන වන දෙසැම්බර්, ජනවාරි හා පෙබරවාරි මාස තුනේ ජල පරිභෝජනය ගන්න. මුලින්ම අපි මේ මාස තුනේ ඒකක වල එකතුව ගත්තා. සාමාන්‍යයෙන් ගෙදරක දෛනික ජල පරිභෝජනය මාසයකට ඒකක 15-16 ත් අතර වෙනවා.

මේ අනුමාන කිරීම් අනුව මාස තුනට ඒකක 45 ක් වෙනවා. එය නැවතත මාස තුනෙට අදාළ දින 90 න් බෙදා නැවතත් මාසයකට ගණන් හැදීමට දින 30 න් බෙදනවා. මේ සරල ක්‍රමය ඔස්සේ සකස් කළ ඇස්තමේන්තු බිලක් අපි සකස් කළා. නමුත් මැයි මාසයේ තමයි අපි මුලින්ම මනු කියවීමට නිවෙස් වලට ගියේ. ඒ යනවිට අපට පෙණුනා සෑම නිවසකටම ඊට වඩා විශාල බිලක් එකතු වන බව. මේ අනුව අපි ඉතිරි මාස දෙකේ බිල දුන්නේ එක මාසයක බිලක් වශයෙනුයි.

ඒ අනුව ගොඩාක් අයට ඉතා වැඩිවූ බිල්පතක් ලැබෙනවා. මේ නිසා කලබල විය යුතු නැහැ. එය නොගෙව්වා කියලා අපි ජලය විසන්ධි කරන්නේ නැහැ. ඒ අනුව සත්‍ය මනු කියවිම් හා අවසානයට ගත් සත්‍ය මනු කියවිම් අතර වෙනස බලා නිවැරදි බිලක් සකස් කර ඉදිරියේදි ලබා දෙනවා. තමන් වෙනදාට වඩා ලැබුණු බිලට වඩා වැඩි බිලක් ලැබෙනවා. එය සාමාන්‍ය දෙයක්. නමුත් ජූනි බිල අනිවාර්යයෙන්ම අඩු වීමක් සිදුවෙනවා. ......“ ඒ පියල් පද්මශාන්ත ගජධීර ආරච්චි මහතා එසේ පවසයි.

ඔහු පවසන පරිදි ඉදිරි බිල්පතින් මෙය නිවැරදි කරන අතර මෙතෙක් ඒ බිල ගෙවා ඇති අය වේ නම් ඒ මුදල පසු බිල් සඳහා අය කර ගත හැකි හෙයින් අනවශ්‍ය කලබල නොවිය යුතු බවයි. නමුත් ඔහු අවධාරණය කරන්නේ බිල අඩුවීමක් වන්නේ පසුගිය දින කිහිපයේ ඔබ නිවෙස්වලට වි භාවිත කළ ජල පරිභෝජනය අනුව බවයි.

මේ පිළිබඳ තව දුරටත් පැහැදිලි කිරීම් කළ ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ උප සභාපති නිතීඥ නිමල් ආර්.රණවක මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් පාරිභෝගිකයන් අනවශ්‍ය ගැටලුවක් ඇති කර නොගත යුතු බවයි.

“පසුගිය කාලයේ දින 60 කට වඩා වැඩි කාලයක් ජලය භාවිත කළත් බිලක් ලබා දිය නොහැකි වුණා. ඒ අනුව මැයි මාසයේ බිල්පත් නිකුත් කිරීමේදි මණ්ඩලය සතුව තිබුණේ මාර්තු මාසයේ පාරිභෝගිකයන්ගේ පාඨ අංක පමණයි. නැවත අපට පාඨ අංක ගත හැකි වුයේ මැයි මාසයේයි.

මේ අනුව අපි ඇස්තමේන්තු බිල් දෙකක් නිකුත් කළ අතර අවසාන වරට ජල පරිභෝජනයේ පාඨ අංකය අනුව උපකල්පනය කළ බිලක් ලබා දුන්නා. නමුත් අපි කියන්නෙ නැහැ මේ සම්පූර්ණ මුදල ගෙවන්න කියලා. එයින් කොටසක් හෝ ගෙවිය හැකියි. ඉදිරියේදි අපි නිශ්චිත බිලක් ලබා දෙනවා. මේ නිසා බිල නැවතත් සකස් වෙනවා. මෙය සාමාන්‍ය තත්ත්වයක්. මෙවැනි බිල් අපි විවිධ අවස්ථාවන්හිදි නිකුත් කරනවා.

නමුත් මෙවර විශේෂිත වූයේ මෙය ලංකාවටම කළ දෙයක් නිසයි. මේ සම්බන්ධයෙන් පාරිභෝගිකයන් පැමිණිලි කිරීම අවශ්‍ය නැහැ. ඉදිරි බිල්පතින් වෙනසක් සිදු නොවුණහොත් පමණක් දැනුම් දෙන්න. මෙතැනදි මා යමක් කිව යුතුයි. පසුගිය සුපුරුදු මාසවල මෙන් අඩු බිලක් ලැබේවියැයි විස්වාස කරන්න එපා. පසුගිය මාස කිහිපය විශේෂයි. ඔබ නිවෙසට වී වෙනදාට වඩා ජල පරිභෝජනය කළා. ඒ නිසා ඊට අනුකුලව යම් වැඩි වීමක් සිදුවිය හැකියි.....“ ඒ උප සභාපති නිතීඥ නිමල් ආර්.රණවක මහතායි.

ඔහු සඳහන් කරන ආකාරයට කොරෝනා සමය තුළ වුවද තමන්ගේ ජල බිල්පත් ඒ ආකාරයෙන් ගෙවීමට බොහෝ පාරිභෝගිකයන් කටයුතු කර ඇත. විශේෂයෙන් පිළියන්දල ප්‍රදේශයේ ජංගම සේවාවෙන් ලක්ෂ 40 ක මුදලක් ලබා ගන්නට හැකි වී ඇත. කෙසේ වෙතත් ඔහු අවධාරණය කරන්නේ පාරිභෝගිකයන් අපහසුතාවට පත්කරමින් කිසිසේත් ජල විසන්ධි කිරීමක් නොකරන බවයි. එසේම ප්‍රමාද ගාස්තුද අය නොකරන බවයි. නමුත් මෙහිදී ජනතාවටද යම් වගකීමක් ඇති බව ඔහු සිහිපත් කරන්නේය. නමුත් ඒ බිලෙන් තමන්ට හැකි ප්‍රමාණයක් හෝ ගෙවන්නේ නම් එය රටට කරන යහපතක් බවයි.

තමන්ගේ ජල බිල්පත දින 14 ක් තුළ ගෙවුවහොත් එයින්ද මාසිකව සියයට එකහාමාරක වට්ටමක් හිමි වීමට පාරිභෝගිකයන්ට අවස්ථාව උදාවෙයි. නමුත් සාමාන්‍යයෙන් සියයට 50 ක් වත් නිවැරදි දින වන විට බිල්පත් නොගෙවන බව මොවුන් සිහිපත් කරති.

මැයි මස පළමු වැනිදා සිට මේ දක්වා ලක්ෂ 24 ක ජල සම්බන්ධතා වලින් බිල්පත් තවමත් ගෙවා ඇත්තේ ලක්ෂ 4 ක ප්‍රමාණයකි. ලක්ෂ 20 ක් තවමත් ගෙවා නැත්තේය. මෙය බරපතළ තත්ත්වයකි. මොවුන් සඳහන් කරන්නේ තමන්ට යම් පැමිණිල්ලක් කිරීමේ අවස්ථාව 1939 අංකය හරහා කළ හැකි අතර 071 9399999 යන අංකයට ලියාපදිංචි වී තමන්ගේ සියලු බිල්පත් තොරතුරු සැණින් දැන ගත හැකි බවයි. ඉදිරියේදි මේ බිල්පත් ගෙවීමේ කටයුතු නිවසේ සිටම කර ගන්නට නවීන තාක්ෂණය භාවිතා කරන්නට ඔවුන් මේ වන විට කටයුතු යොදා ඇත්තේය.

ජල බිල්පත සේම විදුලි බිල්පත සම්බන්ධයෙන් ඇති වී ඇති තත්ත්වය මෙබඳුය. බොහෝමයක් නිවෙස්වලට මේ වන තෙක් විදුලි බිල්පත නොලැබී තිබුණද එය ඉදිරියේදි එකතු වී හෝ ලැබෙන බව පාරිභෝගිකයෝ දනිති. එකතු වී හෝ ලැබෙන බිල්පතින් පිඩාවට පත් වන්නේද කොරෝනාවෙන් පීඩාවට පත්වු මේ පාරිභෝගිකයෝමය. සමහරක් නිවෙස්වලට අති විශාල විදුලි බිල්පතක් ලැබී ඇත. මේ නිසා මේ සම්බන්ධ කසුකුසුවද වැඩි වෙමින් පවතියි. එවැනි විශාල විදුලි බිල්පතක් ලැබුණේ කෙසේද? මේ පිළිබඳව සිළුමිණට අදහස් දැක්වූයේ විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ( ව්‍යාපෘති) එම්.ආර්.රණතුංග මහතාය.

“මාර්තු මස 17 සිට මේ දක්වා සියලු දෙනාම ගෙදර සිටි නිසා සෑම නිවසකම විදුලි බිල්පත වැඩිවිය හැකියි. වෙනදා ඒකක 100 ක් භාවිතා කරන පවුලක මෙවර එය ඒකක 150 ක් හෝ 200 ක් විය හැකියි. බොහෝ දෙනා හිතනව අපි බිල වැඩි කර එවා තියෙනවා කියලා.

එහෙම වෙන්නේ නැහැ. බිල සකස් කර තියෙන්නේ ගණිත ක්‍රමවේද අනුවයි. පාරිභෝගිකයන්ගේ මේ හිතේ සැකය දුරු කර ගන්න නම් ගණිත ක්‍රමවේද පිළිබඳ දැනුම්වත් විය යුතුයි. සාමාන්‍යයෙන් මාසික බිල්පතේ ඒකක 60 ට අඩු අයට විශාල සහනයක අපි ලබා දී තියෙනවා. ඒ වගේම ජනතාවගේ හැඟීමක් තියෙනවා අපි බිල හදන්නේ දින 30 ට කියලා. එහෙම වෙන්නේ නැහැ. දින 30 කියන්නේ නාමික අගයක් පමණයි. යම් මනු කියවන්නෙකු දින 45 න් බිලක් සකස් කරන්න පැමිණියත් එය අපේ දෝෂයක් සේ සලකා අපි බිල සකස් කරන්නේ ඒකකයක් රුපියල් 2.50 මිලටමයි. ඒ වගේම අපි දැනුම්වත් කර තියෙනවා

මාර්තු මාසයට එක බිලක් හා අප්‍රේල් මාසයට එක බිලක් ලබා දෙන්න කියලා. මොකද තනි බිලකට සකස් වුවහොත් පාරිභෝගිකන් බය වෙන නිසා. විදුලි බිල මෙලෙස සකස් කළත් අපි පළාත් ඉංජිනේරුවන්ට දන්වා සිටියා පෙබරවාරි මාසයට සමාන බිලක් මාර්තු මාසයට ලබා දෙන්න කියලා. එසේම ඊළඟ මාසයේ බිල සකස් කිරීමේදි හිඟ මුදල එකතු වෙනවා. මේ වන විට විශාල ප්‍රමාණයක් බිල ගෙවා නැහැ. මේ වන විට අපිට බිලියන 6 ක ආදායමක් පමණයි ලැබිලා තියෙන්නේ. ඉතිරිය සොයා ගෙන මණ්ඩලය දුවවන්න අපිට බැංකු ණය ගන්න සිදුවෙනවා. ඒ නිසා තමන්ට හැකි ප්‍රමාණයක් ගෙවන්න කියලයි අපි ඉල්ලන්නේ. එ සඳහා නිවසේ සිටම ගෙවීමේ පහසුකම් අපි ලබා දී තියෙනවා. නමුත් බිල නොගෙව්වා කියලා මේ මොහොතේ විදුලිය සිඳලීමක් කරන්නේ නැහැ. .....“ ඒ එම්.ආර් රණතුංග මහතාය.

ඔවුන් පවසන්නේ තමන්ට ගෙවිය හැකි සුළු ප්‍රමාණයක් හෝ විදුලි බිලෙන් ගෙවා දමන ලෙසයි. නමුත් මේ වන විට විදුලි බිල ගෙවා දැමීම කෙසේ වෙතත් එදිනෙදා ජීවත් වීමට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා ලබා ගත නොහැකි බොහෝ දෙනෙක් අප අතර සිටිති. කොරෝනා වසංගතය හේතුවෙන් ඇති පිරිසට වඩා නැති පිරිස බිහිකර ඇත්තේය. මේ නිසා ජනතාවගේ මේ ගැටලු ගැන රජයේ අවධානය වහා යොමු විය යුතුය.

මේ වන විටත් පාරිභෝගික අයිතීන් සුරුකමේ ජාතික ව්‍යාපාරය මේ ගැටලු පිළිබඳව රජයේ අවධානය යොමු කරන්නටත් විදුලි ජල බිල්පත් නිසාවෙන් පීඩාවට පත්වු පිරිසට සහනයක් ගෙන දීමේ ක්‍රමවේද පිළිබඳවත් බලධාරීන් දැනුම්වත් කර ඇත. එහි සභාපති රංජිත් විතානගේ මහතා සිළුමිණට දැක්වූයේ මෙවන් අදහසකි.“ විදුලි හා ජල පාරිභෝගිකයන් විදියට අපි පුරුදු වුණේ මාසේ බිල ගෙවන රටාවක්.

නමුත් මේ වසංගත තත්ත්වය නිසා ඒ විදියට බිල්පත් ලැබුණේ නැහැ. මේ කාලය ජනතාවගේ ආදායම් මාර්ග ඇහිරුණු කාල වකවානුවක්. මේ නිසා මාස දෙකක බිල්පත් එකතු වෙලා. එය අසාධාරණ බිලක්. ඒ වගේම එකපාරට වැඩි වූ බිලක් හිමිවීම නිසා මණ්ඩලයෙන් ලබා දෙන සහනය පවා නැතිවෙලා. දැන් ජනතාවට එය ගෙවා ගත නොහැකි අසීරු තත්ත්වයක් උද්ගත වෙලා. මෙය ගෙවීමට ඇති කාලය පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙලා. අපි ඉල්ලන්නේ මාස දෙකේ බිල් වෙන වෙනම ලබා දෙන්න කියලයි. ඇස්තමේන්තු බිල් අපට එපා. ගෙවීමට කාලයක් ලබා දෙන්න.

ඒ වගේම විදුලිය විසන්ධි කරන්න එපා. අපේ මේ ඉල්ලීම මහජන උපයෝගිතා කොමිසම පිළිගත්තා. ඒ සම්බන්ධයෙන් නිර්දේශ විදුලිබල මණ්ඩලයට ඉදිරිපත් කළා. ඒ වගේම යම් පාරිභෝගිකයෙක් විදුලිය ලබා ගැනීමේදි යම් මුදලක් තැන්පත් කරනවා. අපි ඉල්ලන්නේ එම මුදලට හිමි පොළියෙන් මේ විදුලි බිල්පත් අඩු කර ගන්නා ලෙසයි. ඒ වගේමයි ජල බිල්පත. නමුත් විදුලි බිල්පත මෙන් ජල බිල්පත ගැන අපට පැමිණිලි කරන්න පුළුවන් තැනක් නැහැ. මෙහි ගැටලු විසදා ගන්න මහජන උපයෝගිතා කොමිසම වැනි ස්වාධීන ආයතනයක් අවශ්‍යයි. මේ වන විට මාස දෙකක අසාධාරණ බිල් ආවා. එහි දුක කියන්න ස්ථානයක් නැහැ. ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මේ ගැන වහා මැදිහත් වන ලෙසයි....“ ඒ රංජිත් විතානගේ මහතාය.

Comments