ස්වභාව ධර්මයේ පොත ලියල තියෙන්නේ ගණිතයේ භාෂාවෙන් | සිළුමිණ

ස්වභාව ධර්මයේ පොත ලියල තියෙන්නේ ගණිතයේ භාෂාවෙන්

සතුට කොයි තරම් සුළු ද යන්න තේරුම් ගැනීමට ඔබට ශෝකය ගැන ගැඹුරු අවබෝධයක් තිබිය යුතුය. ඒ ගැඹුරු අවබෝධය අවසානයේ දී ඔබ හමුවේ තබන්නේ ජීවිතය පිලිබඳ මනා කියැවීමක්ය යන්න ඇතැම්විට ඔබ දැන සිටියත්, එය බොහෝ විට ඔබට නොදැනෙන සංවේදිතවක් වේ.

“ප්‍රහර්ෂය සමනලයෙකි.

මිහිකත ළඟින්ම පියා සලන

එහෙත් ශෝකය සියොතෙකි.

විසල් සවිමත් කළුවන් පියාපතින් යුතු

හිරු රැසින් ජීවයෙන් උතුරා යමින්

පහළ ඇති දිවිය වෙතින් ඔබ ඉහළටම ගනිති උහු”

එඩිත් සොඩර්ග්‍රාන් (1892- 1923) සිය සටහන් පොතේ ලියු කවිියක් යුස්ටයින් ගෝඩර් සිය “ත්රූ ග්ලාස් ඩාකි” නම් ආඛ්‍යානයට ඇතුළත් කොට ඇත්තේ එසේ යැයි අප දැනගන්නේ එය සිංහල බසට නැගූ රාණි සේනාරත්න රාජපක්ෂගේ “අඳුරු පළිගු තළ මැදින්” නම් කෘතියෙනි.

යුස්ටයින් ගෝඩර් ස්කැනේඩිවියානු රටවල නූතන සාහිත්‍යධරයින් අතර ඉතා ජනප්‍රිය අයෙකු ලෙස සැලකේ. 1952 නෝර්වේහීදි උපත ලද හෙතෙම දර්ශනවාදය ඉගැන්වීමේ ගුරුවරයකු ලෙස ද කටුයුතු කොට තිබේ. ඔහුගේ ජනප්‍රියම මෙන්ම උසස්ම කෘතිය ලෙසින් සැලකෙන්නේ “සොෆීස් වර්ල්ඩ්” නම කෘතියයි. (එය ද ඉහතින් කී පරිවර් තිකාව විසින්ම “සොෆීගේ ලෝකය” නමින් සිංහල බසට නගා තිබේ.) මුල් කෘතිය 1991 දී ප්‍රකාශයට පත් වූවකි.

දාර් ශනික හැදෑරීමක් සහිත සාහිත්‍යකරුවෙකු වශයෙන් ගෝඩර්ගේ මුලිකම පෙන්වා දීම වන්නේ මිනිසුන් සිය පැවැත්ම සම්බන්ධයෙන් සංවේදීතාවකින් තොරය යන්නයි.

ඊට අනුව සමාජ දේශපාලන වශයෙන් ඔහු කුමන ආස්ථානයක සිටියත් ඒ සෑම තන්හීදීම මතුවන ඔහගේ ජීවිත කියවීම ප්‍රබල ඒ තරමටම සංවේදී වූවක් යැයි සිතේ. දර් ශනවාදී ඉතිහාසයේ ඉගැන්වීමක් ලෙසින් ගැනෙන එමෙන්ම නවකතාවක්ද වන සොෆීගේ ලෝකයහි ඒ දාර්ශනික විස්තරය තුළම ඇති ජීවිත කියවීම මතු කොටගත හැකි යථාර් ථයක් වේ.

“මාර්ගයේ කොටසක පමණක් ගමන් කිරීම වැරදි මාර් ගයේ ගමන් කිරීමක් නොවේ.”

එවැනි ජීවිත ගවේෂනයක් හරහා මානව ශිෂ්ටාචාරය නිර් මාණය වූ ආකාරය ලෝකය පුරා ඇති සියළු කතා වස්තු පැරදවිය හැකි විශිෂ්තම ආඛ්‍යානය වන්නෙය. මිනිසා තමන්ව හා තම පැවැත්ම කියවු ආකාරය පිළිබඳ ගැඹුරු විස්තරාත්මකම ගවේෂණය ඇත්තේ එහි වීම ඊට හේතුවයි. තවද එය විප්ලවීය පරිණාමයකි.

“මධ්‍යතන යුගය පුරාම සෑම දේකම ප්‍රධාන ස්ථානය හැම විටම ගත්තෙ දෙවියො. පුනරුද සමයේ මානවවාදින් ප්‍රධාන ස්ථානය හැටියට ගත්තේ මිනිසායි.....මිනිසා පවතින්නේ හුදෙක්ම දෙවියන් නිසා නොවෙයි. ඒ නිසා මිනිසාට මෙහිදී දැන් ජීවිතයේ විනෝදයක් ලැබෙන්න පුළුවනි. දියුණුවීම සඳහා ඇති මේ අලුත් නිදහස නිසා හටගත් භව්‍යතා අසීමිතයි.”

ඒ ආකාරයට පුනරුද සමයේ දී මිනිසා විසින් මිනිසා කෙරෙහිම තැබූ විශ්වාසය හේතු කොටගෙන එක් අතකින් කලාවත්, අනිත් අතින් විද්‍යාවත් පුනර් ජීවනයකින් අවදි වූයේ සිය පැවැත්ම සම්බන්ධයෙන් තථ්‍යවාදී නව අරුත් ශිෂ්ටාචාරය නම් ගලා යෑමට එකතු කරමිනි. “ඉතාලි ජාතික ගැලිලියෝ ගැලිලි ...... ඔහු කිව්වා ස්වභාව ධර්මය නැමති පොත ලියල තියෙන්නේ ගණිතය නැමති භාෂාවෙන්ය කියලා.”

එසේ ගොඩ නැගෙන මානවවාදයේ සොයා යෑම් ඩෙකාට් වෙතින් ප්‍රකාශයට පත් වන්නේ මෙසේය.

“ඩෙකාට් බිංදුවේ ඉඳලා ඉස්සරහට යන්න උත්සාහ කළා. එයා හැම දෙයක්ම සැක කළා. ඔහුට නිසැක වුණ එකම දේ එයයි. ඒත් එතකොට ඔහුට යමක් පෙනී ගියා. එක දෙයක් සත්‍යය විය යුතුයි. ඒ (සත්‍යය) නම් ඔහු සැක කරන බවයි.ඔහු සැක කරනවා නම් ඒ කියන්නේ ඔහු හිතනවා කියන එකයි.” ඉඳිකටු සාදන ක්‍රමයේ සිට කාල තුවක්කු වාත්තු කරන ක්‍රමය දක්වා ලෝකය ඉදිරියට ගියේ යැයි අප පවසන්නේ එවැනි බුද්ධි ප්‍රබෝධයක් පසුබිම් කරගත් ශිෂ්ටාචාරයේ ගලා යෑමක් තුළ සිටිමිනි.

ඒ උරුමය අප සතු කරගත් පසුබිමකය. එහෙත් ගෝඩර් අපෙන් විමසන්නේ එහෙම පසුබිමක් තිබියදීත් මිනිසුන් විශේෂයෙන්ම වැඩිහිටියන් සිය ජීවිත නිසි ලෙසින් ගත කරනවාද යන්නයි. ඒ අනුව ඔහුගේ “ත්රූ ග්ලාස් ඩාකි” කෘතියේ සිසිලියා සමග සංවාදයක් පවත්වන ඒරියල් මෙසේ පවසයි.

“වැඩිහිටියෝ වැඩි දෙනාට ලෝකය කොයි තරං හුරු පුරුදු වෙලා ද කිව්වොත් එයාලා දෙවියන්ගේ සම්පූර්ණ මැවිල්ල නිකං පුරුද්දක් බවට පත් කරගෙන ඉන්නවා.” (ගෝඩර් මෙතනදී “දෙවියන්ගෙ සම්පුර්ණ මැවිල්ල” වශයෙන් ගන්නේ කිසිසේත් ආගමික අරුතකින් නොාවේ. එය ඔබව කියවන විට පැහැදිලි වෙනු ඇත.) ඒ සම්බන්ධයෙන් ඒරියල් නම් චරිතය තවදුරටත් මෙසේ ද පවසයි.

“මේ ගැන නිකං හිතල බලනකොට නං හරිම විහිළුවක්. මොකද ඒගොල්ලො මෙහෙ ඇවිත් ඉන්නේ කෙටි නිවාඩුවකට විතරයිනෙ.”

“අපි ලෝකය ගැනයි කතා කරන්නෙ සිසිලියා, හරියට ලෝකය බලවත් හැගීම් ඇති කරවන තැනක් නෙවෙයි වගේ. ස්වර්ගයට බාගදා ලොකුම ප්‍රවෘත්ති පත්තරවල මෙහෙම දැන්වීමක්වත් දාන්න වෙයි. ලෝකයේ වෙසෙන සියළු පුරවැසියන්ට වැදගත් දැන්වීමක්. මෙය නිකංම කටකතාවක් නෙවෙයි. ලෝකය දැන් මෙතන තිබේ.- කියලා.”

ගෝඩර් මෙහිදී මතු කරන්නට උත්සාහ කරන්නේ තමන් හා බැඳුණු ලෝක පැවැත්ම සම්බන්ධයෙන් මිනිසා තුළ පවත්නා ඌන සවිඥානකත්වයයි. එය ඛේදවාචකයක් බවයි. තවද පැවැත්ම පිලිබඳව හැගීමකින් තොරව පැවතීම වනාහි මහ විකාරයක් ද බවයි.

මිනිසුන් විශේෂයෙන්ම වැඩිහිටියන් මේ විකාරරූපී රෝගයට ගොදුරුවී සිටියි. එහෙත් ඊට සාපේක්ෂව දරුවන් සැමවිටම ලෝකය ගැන ප්‍රශ්න කරති. එහෙත් වැඩිහිටියෝ ඔවුන්ට නිශ්ශබ්ද වෙන්න යැයි අණ කරති. ගුරුවරු ඔවුන්ගේ ඒ කතුහලය මෙන්ම නිර්මල උද්යෝගය මැඩ පැවැත්වීම වෘත්තීය වශයෙන්ම සිදු කරති. ඊට වැටුපක් ද ලබති. අවසානයේදී ඔවුහු ද වැඩිහිටියන් වන තැනදී අර ව්‍යසනයටම ගොදුරු වෙති. ලොව පවත්නා දරුණුම ඛේදවාචකය එයයි.

 

Comments