සත්‍ය පාරමිතාව | සිළුමිණ

සත්‍ය පාරමිතාව

අද ආරාධිත කෙටි කතාව ලියන්නේ ප්‍රවීණ ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යවේදියකු මෙන්ම ප්‍රකටසාහිත්‍යවේදියකු ද වන බර්ට්‍රම් නිහාල්ය.

සාගරය ගිනිගෙන දැවෙමින් තිබිණ. වඩබාග්නිය කිපී, කඳුහෙල්, තැනිතලා ද, ක්ෂේම භූමි ද, ඇළ දොළ ගංගා ද, බුර බුරා නැගෙන ගින්නෙන් දැවින. භූමිය මතින් ද සාගරය අරා ද නැගී සිටි ගිනි ජාලාව, සතර මහා භූතයින් කැළඹී ගියා සේය. යාත්‍රිකයා සාගරය මත වූ ගිනිදැල් අතරින් තම යාත්‍රාව පැද්දේය. ඔහුගේ අත වූ හබල ගිනිදැල් මත පතිත වූයේ, දසත ගිනි පුළිඟු විහිදෙද්දීය. හෙතෙම ජවයෙන් ද, අසම්භීත බවින් ද, පිරිපුන් විය. ඔහුගේ යවන මුහුණ ගිනි රෂ්මියෙන් ලෙළදුන් අතර, උරතලය තෙක් විහිදුණු කෙස් වැටිය ගිනි සුළඟේ විසිර යමින් තිබිණ.

යාත්‍රිකයා තම බාහු යුග්මයේ අනුහසින් යාත්‍රාව හබල්ගාන ආකාරයම ඔහුගේ සවියට බලයක් විය. යාත්‍රාව ඉදිරියට ඇදී යන වේගය ඒ බලය මොනවට කියා පෑවේය. විසි තිස් රියනක් තරම් දිගු වූ යාත්‍රාව පළලින් දෙරියනක් වූ අතර, එහි ඉදිරිපස කෙළවර වක්වී ඉදිරියට නෙරාවිත් තිබිණ.

වක් ගැසුණු ඉදිරිපස රාජියේ ලෝකඩින් නිමවුන විශාල කැටයමකින් නිරූපණය වූයේ දිව්‍යමය හස්තයක ලාංඡනයකි. හස්තය මධ්‍යයේ මරකත මාණික්‍යයක් ගිල්වා තිබිණ. ඔරුව ඉදිරිපස දිව්‍යමය හස්තය අසල සිටගෙන සිටින ගැහැනිය දැවමුවා පිළිමයක් සේ වූවාය.

ඇයගේ දිගු කෙස් කළඹ ගිනි සළාවේ සැළිණ. මුහුණ පුරා වූ ආහාසය ආදීකාලීන මිසර රැජිනක ගේ අද්භූතෝපමාවකට සම කළ හැකි වින. මුහුණේ වූ තේජස ගල් වැස්සක් ලෙස ද වරෙක වැහි කුණාටුවක් ලෙස ද දිදුලුවාය. ඇඟලූ ස්වේත වර්ණ සළුපට සුළඟේ විසිරුණේ රනින් වාත්තු කළාක් මෙන්වූ ඇයගේ සිරුර වරින් වර නග්න කරමින්ය. ගැහැනිය, වසවර් ති මාරයාගේ දූවරු වන තණ්හා - අරති - රගා යන්නවුන්ගේ ත්‍රිමූර් තියෙන් සැදුම්ලත් සන්නිවේශයක් බඳු වූවාය.

හිස වටා සැරසූ නළල් පටය රනින් නිමකර තිබූ අතර, එහි ඉදිරිපස සරසා තිබුණේ ත්‍රිමාණ හැඩයෙන් යුතු වූ මිනී ඔලුවකින්ය. ගැහැනිය වමත දරා සිටි යෂ්ටිය දඟර දමා සර්ප හිසකින් කෙළවර වන සේ රිදියෙන් නිමවන ලද්දක් විය. ඇගේ ඉන බැඳි දාමයේ රැඳුණේ රනින් නිමවා රිදියෙන් කැටයම් කරන ලද කෙණ්ඩියකි. පෙරදී කී පරිදිම බැලූ බැල්මට මේ ගැහැනිය පාතාලයේ දෙවඟනක් බඳු වූවාය.

යාත්‍රිකයා තමා මෙතෙක් ආසක්තවී සිටි දැහැනින් මිදී ගිනිදැල් මතින් ඉදිරියට ඇදෙන යාත්‍රාවේ වේගය වැඩි කළේය. ගැහැනිය නිසොල්මනේ සිටිමින්ම ගිනිසළා අතරින් පහත පෙනෙන ක්ෂේමභූමිය දෙස බැලුවේ සන්සුන් ලෙසින්ය.

හිවලුන්ගේ වල්ග එකට බැඳ ඒවායේ හුළු අතු රඳවා උන් උසිගන්වමින් ක්ෂේමභූමිය හරහා පලවා හරින කාන්තාරයේ යක්ෂයා ගැහැනියගේ නෙත ගැටිණ. හිවලුන් දිව යන ගමන් මඟ මිනිසුන්, සතා සිවුපාවුන් මෙන්ම, බව බෝග සම්පත් ද, ගව මහේෂාදීන් ද, ගින්නේ දැවෙන්න විය.

කාන්තාරයේ යක්ෂයා හිවලුන් උසිගන්වමින් උන් ලුහුබැඳ ගියේ සකල සබ්බ දේ දා අළු කරගෙනය. ගැහැනියගේ මුහුණ අත්‍යානන්දයෙන් ප්‍රබෝධමත් වුව ද, ඇය ඒ බව සඟවා ගත්තාය.

ස්වභාවධර් මය විසින් ධරණී තලය පුරා පැතිර වූ වසංගතය සමඟ සියල්ල දවා අළුකර දැමිය යුතු යැයි එහිම නියමය විය. ආදී යුගයේදී සොදොම් සහ ගොමොර ආදී නගර විනාශය ද මේ හා සමාන විය.

ස්වභාවධර් මයට එරෙහි වූ නිසාම මේවා විනාශයේ සාපයට ගොදුරු වූයේය. ලොව පළමු වසංගත උවදුර ද බියකරු මෘත රූපයෝ මවාපෑ, අබුද්ධෝත්පාද කාලයක අකුසල් බහුල වූයෙන් සිදුවූ විපරිතයක්ම විය.

මිසර දේශයේ සියලුම ඇළ දොළ, ගංගා ජලය ලෙයට හැරී ගියේය. ස්ත්‍රියකට ඉපදෙන සෑම දරුවෝම ඉපදී සැනින් මිය ගියෝය. සැප විහරණයෙන් කල්ගෙවූ ස්ත්‍රිහූ ද, තරුණියෝ ද භිතීයෙන් වෙව්ලමින් රුදා ගිනි නිවාගත නොහැකිව තමන්ගේ කුසේ වූ දරුවන් ඉපදි සැටියේම වැඳහැමහ සමඟ කා දැමුවෝය. ස්වභාවධර් මයාගේ කෝපය සංසිඳෙන තුරු මිනිසුන් සිටියේ ගේ දොර අඟුළු ලා ඒ තුළටම වී ගෙනය.

මළ මිනිසෙක් වළ දැමීමට හෝ සොහොන් කොත් වල සතපවන්නට කිසිවෙකු නොවීය. මිනී කුණු ගඳ භීතියේ අවතාර මෙන් දසත පැතිර තිබුණේය. එදා සාපයක් ලෙසින් පැතිරුණු වසංගතය මෙදා විෂ අග්නියක් සේ බලවත්ව නැගී සිටියේ පොළෝ වැසියන්ට නැවත නැවතත් මරණය ගැන සිහිකොට තෘෂ්ණාව ඉක්ම වූ විකාරකාරයෙන් මිදීමට සන්කරන්නා සේය.

යාත්‍රිකයා හර් මොන් කඳුකරයෙන් නික්ම පුරාණ ඒදොම් නම් වූ දේශය හරහා රතු මුහුද වෙත යාත්‍රාව පදවන්න විය. අර්නොන් නදිය ගලා බැස්සේය.

ඒ මතින් බුර බුරා නැගෙන ගිනි ජාලව ආර් නුවර හා මෝවබ් දේශ සීමා පැතිර යන මිටියාවත් හි බෑවුම් දක්වා පැතිර තිබිණ. පුරාණ ආරම් දේශයේ පෙරදිග කඳුකරය ද පිස්නා නම් කඳු මුදුනෙහි වූ ශොපිම් නම් සාර කෙත ද හිවලුන්ගේ වල්ගා වල බඳින ලද හුළු අතු වල ගින්නෙන් දැවුණේය.

තවත් මොහොතකදී මහා තීර්ථය පසුකරමින් සිංහයන් ද, විසකුරු සර්පයන් ද, ඉඟිලෙන ගිනි සර්පයන් ද සිටින මධ්‍යධරණී මුහුදේ වූ භයානක ක්‍රීත දූපත මැදින් යාත්‍රාව ගමන් කරන්නට විය. අශ්වයින් පිට නැගි අධිශයින් ද, සෙන්පතියෝ ද, සංග්‍රාමිකයෝ මෙන්ම විවිධ දේශයන්හි බලවත් රාජ්‍ය පාලකයෝ ද, පූජකයෝ සහ දිවැස් කියුවෝද, ගින්නෙන් දිවි ගලවා ගැනීමට පළායමින් සිටිය ද, ඊටත් වඩා වේගයෙන් ගින්න ඔවුන් ලුහුබැඳ ආවේය. ධජ සංකේත මෙන්ම කිසිඳු රාජ්‍යයක මිනිස් පුළුටක් ඇස නොගැසෙන තරම් අග්නි මාරුතය බලවත් විය.

අස්ථාන මණ්ඩප සියල්ල දැවෙමින් තිබූ අතර, බලකොටු ද, බලකොටු වලින් ආරක්ෂා වූ නගර ද අග්නිදාහයෙන් නටබුන් වෙමින් තිබුණේය. දේශ දේශයන්හි භූමිය මළ සිරුරු වලින් වැසීගොස් ජනශුන්‍ය වී තිබුණේ අසම්භූත ආකාරයෙන්ය. වන මෘගයෝ ද, ගිජු ලිහිණියෝ ද, මෘතශරීර කා දමමින් සිටියෝය. වසංගතය තෘෂ්ණාව තරම්ම බියකරු විය.

සිහිනෙන් කෑම කා බඩගින්නේ ඇවිදින, සාගින්නෙන් පෙළෙන මිනිසුන් ද සිහිනෙන් වතුර බී වියලි උගුරක් ඇතිව ඇවිද, පිපාසයෙන් මියැදෙන මිනිසුන් ද වසංගතයේ ගොදුරු බවට පත්විය. උඩඟු සිත් වල තේජාලංකාරය ද බලහත්කාරයින්, වංචාවන් කෙරෙහි විශ්වාසය තැබුවෝද මහාසාර කුලයේ බලවතුන් ද ගින්නෙන් දා අළු වී ගොසින්ය. විපත ද පීඩාව ද සියලු මානව ධර් මයන් යටපත් කොට හිස ඔසවා තිබුණේය.

සඳ එළිය ඉර එළිය මෙන් ද ඉර එළිය සත් ගුණයකින් වැඩි වී සත් දවසක එළිය විහිදුවන්නා සේ බැබලෙමින් ද අන්ධාකාරයෙන් වසාගෙන පැතිරුණු පොළෝ තලයේ සෑම අස්සක් මුල්ලක් නෑර විද්‍යමාන කෙරුවේය. දුටු දුටු සෑම දසුනකම භ්‍රාන්ත්‍රය, තැති ගැන්ම, ලොමු ඩැහැගන්වන තරම්ය.

පොළොව යට සිට කතා කරන, දඟලන අවතාර මෙන් ද, දූවිල්ලෙන් නැගී එන මුඛ වාඩමක් දමන ලද හඬක් මෙන් ද, ගැඹුරු පොලෝ තලයෙන් මිනිසුන්ගේ කෑමොර ගැසීම ඇසිණ. ඒ හඬ දූවිල්ල යටින් නික්මුණ අතර, කිසිඳු පැහැදිලි ස්වරයක් නොවීය.

මෙවන් විනාශයන් සිදුවූ පුරාණ කාල වලදී සිටම වරින් වර පැමිණි වසංගත උවදුරු වල භයානකකම අවබෝධ කරගන්නට මිහිපුත්තු සවිඥාණක නොවූයේ ඇයි ද යන්න ඔරුව ඉදිරිපස සිටින ගැහැනිය වරින් වර සිතුවාය. ඇය හමුවේ වූ ජගරය දුරු කරන්නට ශෝක නිවාරණය කළ යුතු විය. චුතපපාපක ඥාණය අවදි කිරීමෙන් ගැහැනියට සියල්ල අත්විඳිය හැකිවූවාය.

ඥානවන්තයන්ගේ තේරුම් ගැනීමේ ශක්තිය නැතිවී යාමෙන් ද, උගත්තු නූගත්තු වීමෙන් ද, ලෝකයාගේ බලකාමි නපුරු උපායන් නිසා ද, අඥානයා මෝඩ ලෙස කතා කරමින් නපුරට අන්‍යයන් පොළඹවන නිසා ද, ඔවුහු ඉතිහාසය විකෘති කර එය ජාත්‍යාලය යැයි නම් කෙරූ නිසා ද, මිහිපුත්තු වසංගතයට ගොදුරුව ඇත්තේය. අපරාධකරුවන්ට නීතියෙන් ලැබිය යුතු දඬුවම් වළකමින් ද, අවංකවූවන්ට යුක්තිය නොලැබෙන සේ මුසාවාද කියන්නවුන් නිසා ද, චෞරොන්දමාය හේතුවෙන් ද, වසංගතය දරුණු විය. පූජකයන් ද, දිවැස් කියන්නන් ද, සත්‍ය තේරුම් ගත නොහැකිවන සේ බීමතින් ද, රමණයෙන් ද, මිහිමත මිනිසා අවුල් ජාලයක පටලවා ඇත්තේය. වසංගතය තව තවත් දරුණු විය. එය දරුණු ව්‍යසනයක් දක්වා පැතිර ගියේ, ‘නුඹ මා ජාතක කළේ කුමක් නිසා ද?. පියාගෙන් අසන දරුවන් නිසා මෙන්ම, නුඹ මා බිහිකෙරුවේ කුමක් නිසාදැයි’ තම මවගෙන් අසන දරුවන් නිසාය.

සියල්ලෝම සොබාදහමට අවමන් කළෝය, පිටුපෑවෝය. ‘සත්‍යයේ හඬ’ වසන් කළෝ වූහ. නැවත මිහිමත සත්‍යයේ බීජය වැපිරිය යුතු කාලය එළඹ ඇතැයි ගැහැනිය සිතුවාය. ගැහැනියගේ මනඃකල්පනාව බිඳවැටුණේ එක්වරම යාත්‍රාවේ ඉදිරිපසින් මතු වූ ගිනි සළාව නිසාය. ඇය තම වමතේ වූ සැරයටිය තදින් අල්ලා ගත්තාය. ඇයගේ ජාති සංසාර ඥානයේ අවසන මහජනාභිවෘද්ධිය සළකුණු කෙරින. ඇයගේ මස්තකප්‍රාප්තිය ද එයම විය. මෙතෙක් දුර ගෙවා පැමිණි ගමන් මඟ අවසානය සනිටුහන් කරන්නට මෙන් ගැහැනිය පසුපස හැරී යාත්‍රිකයා දෙස බැලුවාය. යාත්‍රිකයාගේ මුහුණේ වූ තේජස එලෙසම විය. තමන්ට මුහුණ දෙන්නට සිදුවන කිසියම් නපුරු අත්දැකීමකට මොනයම් වූ මොහොතක හෝ අසම්භීතව මුහුණ පෑමට ඔහු සූදානම්ව සිටියේය. එක්වරම යාත්‍රාව වේගයෙන් එහා මෙහා පැද්දී ගියේය. ඒ සාගර පත්ලෙන් නැග ආ ජල කඳත්, ගිනි ජාලාවත් නිසාය. ගැහැනිය යාත්‍රාවේ ඉදිරිපස කොනේ සිටි අයුරින්ම නොසැලී සිටියාය. ඇයගේ දෑස පළිඟු කිරණෙන් දැවෙන තාම්‍ර මාණික්‍යයක් ලෙස දිදුලුණේය.

අඩ කවාකාරයෙන් වක් වූ යාත්‍රාව ඉදිරිපස, ගිනිගෙන දැවෙන සාගරයෙන් මතුවූයේ ලෙවියාතන් නම් වූ මුහුදු සර්පයාය. මිනිස් හිසකින් සහකයකින් ද, විශාල දිගකින් ද, සප්ත විෂය වලින් එකක් වූ අසිත විෂෙන් ද යුතු දළ සහිත මුහුදු රකුසෙකුගේ වෙස්ගත් ලෙවියාතන් භයානක කඩුවක් අත දරා සිටියේය. හිස දෙපසේ වූ අං යුගලය සර් පයාගේ මුහුණට අභූත, වියරු පෙනුමක් ආරූඪ කළේය.

නිදහස නම් වූ මිථ්‍යාවේ ආදි සළකුණ ලෙවියාතන් ගේ නළල මැද දිස්විය. එය ලෙවියාතන්ගේ ම මුහුණේ අනුරූපයක් විය. ලෝකයාගෙන් වසන් කළ ‘සත්‍ය’ නම් වූ නිරෝධනය ලෙවියාතන් ගේ දිගු දිව යට වූ විෂ අතර රැදුණේය. ආදි යුගවල සිටම ලෝකයා ලෙවියාතන්ව දේවත්වයෙන් ඇඳහූ නිසාම, සර් පයාගේ ප්‍රබන්ධෝත්පත්ති බලය මිනිසාගෙන් ‘සත්‍ය’ වසන්කර තබාගැනීමට හේතුකාරක වූයේය.

භක්තිය සහ චිත්තවේගය නිසා මිනිසුන් ‘සත්‍යය’ ට අන්ධව සිටියේය. ඒ නිසාම ලෙවියාතන්ගේ බලය උඩඟු බවේ තේජාලංකාරයක් ලෙස පැතිර තිබුණේය. මිනිසාගේ විචාර බුද්ධිය හීන කිරීමට තරම් සර්පයාගේ ‘දපනය’ නම් වූ උපාය සමත් වී තිබිණ.

සියල්ල තම අණසකට, බලයට නතුකර ගැනීමට තරම් ‘සත්‍ය‘ වසන්කොට මායාවේ විෂ සර් පයා මිනිසාගේ හිස මත පතිත කොට තිබුණේය. ලෙවියාතන් සමඟ සටන් කිරීමට හෝ ඔහු ඉදිරියේ ශූරකම් පාන්නට හෝ ජනතාව නොහැකි විය.

සර්පයා කෝප වූ විට උගේ නාසයෙන් ගිනි පුපුරු ධාරා නැග එන්නේය. සර් පයාට විරුද්ධව මිනිසා නැගී සිටි සෑම විටෙකම උගේ බලසම්පන්න රුදුරු දෑසේ ද්වේශ රශ්මියෙන් සියල්ලෝ දැවී ගියහ. මේ වන විටත් ලෝකයා අත්විඳින වසංගතයේ ඛේදවාචකය ජයගත හැක්කේ ලෙවියාතන්ගේ දිව යට විෂ සමග මුසු වූ ‘සත්‍ය’ නැමැති ඖෂධය විෂෙන් වෙන්කර ගත්තේ නම් පමණක් බැව් සොබාදහමේ අභිමතය විය.

ලෙවියාතන් කඩුව අමෝරා තම සර්ප සිරුර යාත්‍රාවට ඉහළින් සිටින සේ ආරූඪ කරගත්තේය. සර් පයාගේ බැල්ම එක්වරම ඩැහැගන්නට තරම් ගැහැනියගේ කාමාකර් ශනීය සිරුර බලවත් විය. සර් පයා සිටි ඉරියව්වෙන්ම ගැහැනියගේ උන්මාදනීය සිරුරේ රස වළඳන්නට වූයේය.

ගැහැනිය රාගාධි බැල්මකින්, ලෙවියාතන් සර් පයාට මදහස පෑවාය. දෙදෙනාගේම අතර වූ කාම නිමිත්ත විෂෙන් විෂ නැසීමක් බඳුවිය. ගැහැනියගේ කාමාග්නික සිරුරත්, ජාති සංසාර ඥානයත් විෂ නැසීමට තරම් මාහැඟි බන්ධනයක් වූවාය.

එය සංසාර පුරුද්දක් බඳු විය. ගැහැනිය සර්පයාට විමෝහනය වේදෝයි යන අනියත බියක් යාත්‍රාවේ ප්‍රතිවිරුද්ධ අන්තයේ සිටි යාත්‍රිකයා තුළ සැනින් හට ගත්තේය. හෙතෙම යුහුසුළුව යාත්‍රාවේ ඉදිරිපස ඉහළට එසවෙන සේ හබලෙන් අග්නි ජාලාව කැළඹුවේය. යාත්‍රාවේ ඉදිරිපස මොහොතකින් අහස දෙසට නැගුණේය. ඒ ඇසිපිය හෙළන තරම් කාලයක් අතරතුරදීය. ක්ෂණයකින් ගැහැනිය ලෙවියාතන් සර්පයාගේ දැපනෙන් මිදුණාය. ඒ රාගක්ඛය නිසාය.

ඇය තම අත ඇති යෂ්ටිය අමෝරා ඉහළ අහසට පැන්නේ යාත්‍රාවේ ඇලවීමට සාමාන්තරවය. ඇයගේ මුවින් ගිනි මන්තරය නික්මුණු අතර, ගැහැනිය සර් පයාගේ මිනිස් හිසට ඉහළින් මොහොතක් අහසේ රැඳුණාය.

ගිනි මන්තරයේ රුද්‍යමාන රිද්මය මෙන්ම, ගැහැනියගේ වශීතාව නිසා සර් පයා ගැහැනියට නිද්‍රාවේශ විය.

ලද අවසරයෙන් ගැහැනිය තම අත රැඳි යෂ්ටියේ මුදුනෙහි වූ සර්ප සළකුණ ලෙවියාතන්ගේ හිස පසාරු වී යන සේ වෙර යොදා ඇන්නාය. යෂ්ටිය සර් පයාගේ හිස මුදුණෙන් දිව තෙක් කිඳා බැස්සේය. ලෙවියාතන්ගේ හිස යාත්‍රාවේ ඉදිරිපස අංගනයට පහත්වෙද්දී උගේ දිව යටින් ගලා ආ ඕජස ගැහැනිය තම ඉන බැඳි දාමයේ රැඳි කෙණ්ඩිය ගෙන ඊට රැස් කර ගත්තාය. ලෙවියාතන්ට කිසිත් සිතා ගැනීමට හෝ කාලයක් නොතබා සියල්ල ප්‍රාතිහාර්යකින් මෙන් සිදුකර ගැනීමට ගැහැනිය සමත් වූවාය. ගැහැනිය සතු වූ අනුහස් බලය, මහිමාලංකාරයෙන් පාන්නට තරම් ඇයගේ කර්ම ශක්තිය බලවත් විය. ලෙවියාතන් සර්පයා කාමපාශයට සිරවී, ගිනිගෙන දැවෙන සයුරේ හිංකාර නාදයක් නඟාගෙන ගිලී ගියේය.

මේඝ ගර්ජනයක් ද, ධාරාණිපාත වර් ෂාවක් ද පතිතවන්න විය. අහස පුරා පැන නැගුණු විජ්ජුලතා අහස ගුගුරන හඬ සමඟ පැතිර ගියේය.

ගැහැනිය ඉමහත් පරිස්සමෙන් ලෙවියාතන්ගෙන් පැහැර ගත් ‘සත්‍යයේ’ ඕජස රැඳුණු කෙණ්ඩිය සුරතට ගෙන යාත්‍රිකයා දෙස බැලුවාය. හෙතෙම සිනාමුසු මුහුණින් යාත්‍රාව ආ මඟට හරවා ගත්තේය. යාත්‍රාව ඉදිරියට ඇදෙද්දී ගැහැනිය කෙණ්ඩියේ වූ ‘සත්‍යයේ’ ඕජසයෙන් බිඳක් මහපොළොව මත පතිත කළාය. ‘සත්‍ය’ වග්නි මාරක සේ මෙතෙක් ගිනි ගනිමින් තිබූ මිහිතලයේ ගිනිදැල් කෙමෙන් කෙමෙන් පහකර හැරියේය.

අසරණ වී ව්‍යසනයට පත් ලෝවැසියන් ගේ නිරෝධනය ‘සත්‍යය’ ම විය. ගැහැනිය වසංගතය ලොවෙන් තුරන් වන තෙක්ම ‘සත්‍යය’ මහ පොළොව මත වපුරන්නට අදිටන් කරගත්තාය. යාත්‍රිකයා ගැහැනිය සතු සකල මුර්තභාවයන් ගේ සංයෝගය විභූතිමත් කරමින් ඇය සමඟ සංසාර මඟ යාත්‍රා කරන්නට විය.

 

-----------------------

සිළුමිණ කෙටි කතා පිටුව දැන් ආධුනික ඔබ වෙනුවෙන් විවෘතය.

ඔබේ කෙටි කතාව පහත ලිපිනයට යොමු කරන්න.

කෙටි කතා,

සිළුමිණ

ලේක්හවුස් ආයතනය

කොළඹ 10

[email protected]

Comments