මොනාලිසාගේ සිනහව ! | සිළුමිණ

මොනාලිසාගේ සිනහව !

අපගේ ජීවන මේ ගමන තුළ ඉතා ඉක්මනින් ඉවර කළ හැකි කටයුත්තක් වේ නම්, ඒ චිත්‍ර ප්‍රදර්ශනයක් නැරඹීම ය. එසේ වන්නේ චිත්‍ර කලා ආශ්වාදනය අපගේ සංස්කෘතික න්‍යාය පත්‍රයට ඇතුළත්ව නැති බැවිනි. මෙවන් සමාජ සංස්කෘතික පසුබිමක සිටින් දෙන‍ෙකු නමුත් මේ සටහන ලියන්නේ මොනාලිසා චිත්‍රයේ සුවිශේෂත්වයට හේතු වූ ගුප්ත සිනහවේ තේරුම මවිසින් සොයා ගත් ආකාරය කියනු පිණිස ය! ඒ 1980 දශකයෙ ආරම් භයයි. ඒ වන විට මම “ දවස ” පුවත් පතේ ගම්පහ වාර්තාකරු ලෙස මම කටයතු කළෙමි. ඒ වන විට අනෙක් ජාතික පුවත් පතේ සේවය කළ සගයා මගේ සමීපතමයෙකු වූයේ දෙදෙනාටම තිබූ රැයක් දවාලක් නොබලා රස්තියාදු ගැසීමේ හැකියාව නිසාම නොවේ. කෑම සහ බීම යන කරණා ද්විත්වයම පසෙකලා දුම්බීම උදෙසා දෙදෙනා තුළම වූ රුචිකත්වය ද මුල්කර ගනිමිනි. ඔය අතරවාරයේ එක්තරා පත්තර කඩයකදී අප හදිසියේම දුටු වේ ලෝක ප්‍රකට සුන්දර කාන්තාවක ගේ මුහුණ එහි ප්‍රදර්ශනය කෙරෙන අයුරුය. ඇය මොනාලිසා ය.

මොනාලිසා සිටියේ “ තරුණී ” පුවත් පතේ පිට කවරය සරසමිනි. තරුණි වෙත මොනලීසා කැඳවාගෙන ආවේ එවකට එහි කතුවරියව සිටි සුමනා සපරමාදු විසින් යයි මම සිතමි. වහාම පත්තර දෙකක්ම මිල දී ගත් මම ගම්පහ නගරයේ මාර්කැට්ටුව පාරේ තිබූ තැනකට පින්තූරය රාමු කිරීමට බාර දුන් අනතුරුව, එහි අයතිකරු අත්තිකාරම් ලෙස රුපියක් දහයක් ද ඉල්ලා සිටි යේය. සාක්කුවේ තිබූ අවසාන රුපියල 10 ද කඩ හිමියාට දුන් මම එදින සන්ධ්‍යාවේ ඉතිරි පුවත්පත ද රැගෙන තවත් තැනකට ගියෙමි. ඒ ගම්පහ පොලීසිය අසල පචගහ ආසන්නයේ පිහිටි ශ්‍රී රාහුල මුද්‍රණාලය වෙත ය. ප්‍රබුද්ධ කලා කේන්‍ද්‍රය නමින් අප කිහිප දෙනෙකු විසින් පිහිටුවා ගෙන තිබූ කලා සංවිධානයේ හිත මිතුරන් එක් රැස්වූවේ මෙහිදී ය. පසු කලෙක සිළුමිණ කතුවරයා වූ කරුණාදාස සුරියආරච්චි, රූපවාහීනි අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ සිසිර කොතලාවල, ඉන්දියානු තානාපතිවරයා වූ සුමිත් නාකන්දල, මෙන් ම මාධ්‍ය සගයන් වු පියනන්ද මල්දෙනිය, ධර්ම රණවීර, වසන්ත කුමාර, සහ සුනිල් තෙන්නකෝන් ආදී සෙසු සාමාජිකයන්ට ද මා පුවත්පත පෙන්වූවේ කලා ලෝකයේ අළුත් සොයා ගැනීමක් කළ පරිදි ය.

මගේ සොයා ගැනීම ගැන තැකීමක් නොකළද , පින්තූරය අගය කළ මේ සියලු දෙනා මොනාලිසා විසින් පිට කවරය සැරසූ “තරුණී” පුවත්පත බැඟින් මිලදී ගත්හ. එහෙත් ඉන් එකෙකුටවත් එය සැණෙකින් රාමුකර ගැනීමේ ගායක් තිබූ බවක් නම් පෙනෙන්නට නොතිබිණි. නමුත් ඊට පසු දින සිටම පින්තූරය රාමු කර තිබේ දැයි බලන්නට අදාල කඩයට ගොඩ වැදුණු ද මොනවා හෝ හේතුවක් මත එය රාමුකර තිබුණේ නැත. විවිධාකාර ප්‍රශ්න මධ්‍යයේ මගේ මොනාලිසා නලයක් ලෙස සැකසූ පත්තර පිටුවක් ලෙස වීදුරු කබඩ් එකක් තුළ සිර ගතව සිටියා ය. මේ අතර, මට ද, මොනාලිසාටද එපා වන තරමට පින්තූර කඩයට යාම වධයක්ව තිබුණේ කඩහිමි තරුණයා තම පිටරට යෑමේ පිස්සුව සනීප කර ගැනීම සඳහා විටින් විට කඩය වසා දමන්නට පුරුදුව සිටි බැවිනි. ඉක්බිති අප මොනාලිසා බලන්නට යෑම නතර කළෙමු. හිටිවනම දිනක මමත් සගයාත් පිච්චියටම සිඳී ගිය තත්ත්වයට පත් වූ අතර, එදින දහවලෙහි සිටියේ දෙදෙනාටම ප්ලේන්ටියක් සහ සිගරට් එකක් හෝ මිලදී ගත නොහැකි තත්ත්වයක ය. ඔන්න ඔය මොහොතේ මොනාලිසා යළිත් සිහියට ආවේ ය. හැබැයි ඒ ඇයගේ ගුප්ත සිනහව ගැන නොවේ.

 අපේ සිහියට නැඟුණේ ඇයව රාමුකර ගැනීම සඳහා සාප්පුකාරයාට අත්තිකාරම් වශයෙන් දුන් රුපියල් දහය ගැන ය. සාප්පුව විවෘතව තිබුණහොත් පින්තූරය සහ මුදල ආපසු ඉල්ලා ගැනීමට අපි දෙදෙනා එක් මතිකව තීරණය කළෙමු. දුම්වැටිය මෙන් ම ප්ලෙන්ටියක් ද සත විසි පහක් තිහක් වූ ඒ කාලයේ රුපියල් දහයකින් දෙදෙනෙකුට සුළුපහේ තේ පැන් සංග්‍රහයක් පැවැත්විය හැකිව තිබුණි. අපගේ වාසනාවට මෙන් එදින පින්තූර කඩය ද විවෘත කර තිබූ අතර, හිමිකාර තරුණයා සුපුරුදු උදාසීන ඉරියව්වෙන් යුතුව ඉදිරිපස දෙස බලා සිටියේ ය. අත්තිකාරම් මුදල ඉල්ලා ගන්නට ලැබෙන සන්තෝෂය වසන් කරගත් මුහණිුන් යුතුව කඩයට ගොඩවූ අප දෙදෙනා දෙස තවත් තත්පර කි හිපයක් මබ්බෝධ වූ කලෙක මෙන් බලා සිටි හෙතෙම ඇතුළට ගියේය. නිහඬව ඒ මේ අත කූරු ගෑ සාප්පුකරුවා ඇතුළේ සිට එළියට ආවේ ලොකු බ්‍රවුන් පේපර් කවරයක් ද අතැතිව ය. ඔහු මොනාලිසා රාමුකර තිබුණි.!

“අපි හිතුව රාමු කරල නැතුව ඇති කියල, බොහොම ස්තුතියි, අපි අනිද්දා ට ඇවිත් ඉතුරු සල්ලි දීල පින්තූරෙ අරන් යන්නම්” එසේ කියා ගත් මම මිතුරාද සමඟ එළියට බැස්සෙමි. ඉක්බිති සාප්පුකාර තරුණයා නිහඬවම එය තමන්ගේ කැබිනට්ටුව තුළ තැන්පත් කළේ කාටත් පෙනෙන ලෙස ය. නමුත් අපි පොරොන්දු වූ ‘ අනිද්දා දවස ’ නම් කවදාවත් ආවේ නැත. නමුත් ඊළඟ සතියේ ඒ ඔස්සේ ගමන් කළ අප දෙදෙනා හොරැහින් සාප්පුව දෙස බැලුවෙමු. මෝනාලිසා අව්වට කර වෙමින් කැබිනෙට්ටුව තුළ, වූ වීදුරු රාමුව තුළ සිරගතව සිටියා ය. අව්වට හසුවූ පත්තර කඩදාසිය රැලි ගැසෙන්නට පටන් ගෙන තිබුණ ද ඕනෑම පැත්තකට යොමුවන ඇයගේ දෙඇස ද, ලෝක ප්‍රකට ගුප්ත සිනාවද තවමත් සජීවී ව තිබුණි. ඒ සමඟම මට දැනුණ අවබෝධය වූවේ ඇය මේ සිනාසෙන්නේ මට බව ය. නමුත් පසු කලෙක මේ කතාව ඇසූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධවයන් නම් පැවසුවේ ඒ වෙලාවේ මොනාලිසා හඬන්නට ඇති බවය.

Comments