කොරෝනාවට පරාජය නොවූ සිනමා අත්දැකීම | සිළුමිණ

කොරෝනාවට පරාජය නොවූ සිනමා අත්දැකීම

කොරෝනාව විසින් නවතා දමනු ලැබූ බොහෝ දේ අතරට සිනමාව හා නාට්‍ය නිර් මාණකරණය ද අයත්ය. ප්‍රේක්ෂකයාට සිනමා ශාලාව ද නාට්‍ය ශාලාවද තහනම් ය. මෙය ශ්‍රී ලංකාවට පමණක් නොව, හොලිවුඩය, බොලිවුඩය සහ කොලිවුඩය ද ඇතුළු සමස්ත ලෝකයට ම පොදු වූවකි. අශෝක හඳගම තමාගේ නවතම නිර් මාණය වශයෙන් විනාඩි 20 ක කෙටි චිත්‍රපටයක් ඉදිරිපත් කරන්නේ මෙවන් පසුබිමක් යටතේ ය.

දුුරස්ථීකරණය විසින් සියලුම මානව සබඳතා මීටරයක් හා ඉන් ඔබ්බට තල්ලු කර දමා, සමාජ සංචරනයන් පිළිබඳව දැඩි සීමාවක් යොදවා තිබෙන මොහොතක ඔහු මෙම නිර් මාණය ඉදිරිපත් කර ඇත්තේ ඒ සියලුම වාරණයන්ට එකඟව නව තාක්ෂණයට සහ ස්වකීය නිර් මාණත්මක හැකියාවට මුල් තැනක් දෙමිනි.

ඔහු මෙම චිත්‍රපටය නිර් මාණය කර ඇත්තේ අද භාවිතයේ පවතින ස්මාර්ට් ෆෝන් මොඩලයේ ජංගම දුරකථනයක් උපයෝගී කර ගනිමිනි. Beer Without Alcohol යනුවෙන් නම්කර ඇති මෙම කෙටි චිත්‍රපටය දැනට යූ-ටියුබ් හි ප්‍රචාරය වන අතර, ඔහු එය ඉදිරිපත් කර ඇත්තේ ද ලොක් ඩවුන් ප්‍රඩක්ෂන්

නිර්මාණයක් ලෙස ය. දුරස්ථීකරණයට අනුව එකිනෙකා සිටිය යුත්තේ මීටරයකට එහායින් වුවත් මෙහි රඟන නළු නිළියන් සිටින්නේ දෙදෙනෙකු සැතපුම් හැට හැත්තෑවකට දුරකින් වන අතර, අනික් දෙදෙනා සිටින්නේ සැතපුම් හයහත්දාහකට ඔබ්බෙනි.

ඒ පන්නිපිටිය, කෑගල්ල සහ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වශයෙනි. හඳගම විසින් සිදුකර ඇත්තේ කොරෝනාවට කොටු වී මේ එක් එක් තන්හි සිටින නළු නිලියන් ලවා සිය කොටස රඟපාන්නට සලස්වා එම රූපරාමු ස්වකීය තිර පිටපතට අනුව සංස්කරණයට ලක් කිරීම ය.

සමනලී ෆොන්සේකා, නදී කම්මැල්ලවීර, ඉන්ද්‍රචාප ලියනගේ, රුක්මල් නිරෝෂ් සහ ශෂිනි ගමගේ චරිත නිරූපණය කරන මෙය සංස්කරණය කර ඇත්තේ ද රුක්මල් නිරෝෂ් විසිනි. මෙහි ඇති ගීතය අශෝක හඳගම විසින් රචනා කර ඇති අතර, ගායනා කරන්නේ සමනලී ෆොන්සේකාය. සංගීතය ඉන්ද්‍රචාපා ලියනගේ විසිනි.

එක්තරා නිවසක බියර් පානය කිරීමේ යෙදී සිටින සිවු දෙනෙකු අතර සිදුවන කතාබහක් චිත්‍රපටයට අන්තර් ගතව තිබේ. එක්වර ම බලන කළ ඉතාමත් සාමාන්‍ය, සමාජය තුළ බහුල ලෙස දක්නට ලැබෙන ජීවිත අත්දැකීමක් ගැන ඔව්හු කතාබහක නිරත වෙති. නමුත් අපට අතිශය සාමාන්‍ය ලෙස දැනෙන මෙම කාරණය කොතරම් සංකීර් ණ ලෙස මේ එකිනෙකාගේ භාවයන් කම්පනය කරන්නේ ද යන්න මෙම විනාඩි විස්ස තුළ අපට මැනවින් ප්‍රත්‍යක්ෂ කරන්නට හඳගම සමත් වේ.

නිවසේ සිටින තරුණ යුවල හා කතාවකට වැටෙන අනික් තරුණයා ප්‍රශ්නයකට මුහුණ දී සිටී.

එය නම් ඔහුගේ බිරිඳ ඔහු හා අමනාප වී ගෙදරින් පිටව ගොස් ඇති බවය. එයට හේතු වී ඇත්තේ ඔහු තවත් කාන්තාවක හා සම්බන්ධතාවයක් පවත්වන බවට ඇයට ලැබුණු ආරංචියකි. මෙම නිවසේ සිටින තරුණ යුවල ද, ඔවුන්ගේ මිතුරියක ද කියා සිටින්නේ තමාට ප්‍රශ්නය කියන ලෙස ය.

ඔවුහු දැනමුත්තන් සේ එය අසා විසඳා දෙන්නට බලා සිටිති. නමුත් ප්‍රශ්නය ඉදිරිපත් කිරීමෙන් පසු පෙනී යන්නේ එය ඒ හැමෝටම ද වෙන වෙන ම ප්‍රශ්නයක් වන බවය. අශෝක හඳගම නැමැති සිනමාකරුවා ද, සියුම් තිර රචකයා ද, රුක්මල් නිරෝෂ්ගේ සංස්කරණය ද ඉස්මතුව ඇත්තේ මෙම ජීවන සංසිද්ධිය අපගේ ආකර් ෂණය දිනා ගන්නා අයුරින් ඉදිරිපත් කරන විලාසය අනුවය.

සුන්දර කෙටි කතාවක අත් දැකීමක් බඳු මෙම සිදුවීම චිත්‍රපටයක් බවට පත් කිරීමේ දී අධ්‍යක්ෂවරයාට මුහුණ දෙන්නට සිදුවී ඇති දුරස්ථීකරණ අභියෝගය නොසඟවන බවක් ද එම දර් ශන සංස්කරණය වීමේ අනුපිළිවෙල තුළ දකිනට ලැබේ. එනම් බ්‍රෙෂ්ට්ගේ නාට්‍යකදී මෙන් දුරස්ථීකරණ ස්වභාවයක් මේ තුළ ද, ඕනෑකමින් ම ඇතුළත් කර තිබෙන බවය. රූපගතකිරීම් සිදුව ඇත්තේ එක් ස්ථානයක නළුවා ඉදිරියෙන් රඳවන ලද කැමරාව උපයෝගි කර ගැනීමෙන් බව එම රූපරාමුවල ස්වභාවයෙන් ම ගම්‍යවන්නකි. හැමවිට ම පාහේ දර් ශනයක් හෝ ජවනිකාවක් අවසානයේ එම නළු නිළියන් විසින් ම කැමරාව ක්‍රියා විරහිත කරන බවක් අපට පෙන්නුම් කරයි. තමන් යම්කිසි කලා නිර් මාණයකට දායකවන බවත්, එ සඳහා යම් ජීවන අත්දැකීමක් නිරූපණය කිරීමේ යෙදෙන බවත්, මෙතුළින් ගම්‍යවේ. මෙම කලා කෘතිය ඉතා පැහැදිලිව ම එය කළේ කොහොමද? කොතනදීද? යන කාරණා අමතක කොට සලකා බලන කල්හි ප්‍රේක්ෂක සහෘදයාට සියුම් වින්දනයක් ලබා දෙමින් යම් ජීවිතාබෝධයක් ඇති කිරීමට සමත් වන්නකි. නමුත් මේ මොහොතේ හඳගමගේ සිනමා කෘතිය තුළින් ඔහු අපට පෙන්වා දෙන්නේ නිර් මාණකරුවෙකුට තමාට ප්‍රකාශ කරන්නට දෙයක් තිබේ නම් ඒ සඳහා ඉඩකඩක් සපයා ගැනීම විශාල අභියෝගයක් නොවන බවය. අනික් පැත්තෙන් මේ කොරෝනා තර් ජනයට යටත් ව නිවාස අඩස්සියේ සිටින්නන්ට ඔහුගේ මෙම නිර් මාණය මහත් උත්තේජනයක් සපයන ධනාත්මක කාරණාවක් වන බවය. ඊළඟට අද වන විට දෙපැත්ත කැපෙන ආකාරයේ ආයුධයක් ලෙස සමාජ ගතවී ඇති ස්මාර් ට් ජංගම දුරකථනය නම් තාක්ෂණික සන්නිවේදන උපකරණය මොන තරම් ඵලදායි ලෙස යොදාගත හැකිද යන්නත් ඔහු අපට පෙන්වා දෙයි.එය කලා නිර් මාණාත්මක පණිවිඩයක් නොවුණත් කලාකරුවෙකු අතින් සමාජයට ලැබිය යුතු මඟ පෙන්වීමක් ලෙස වටිනා දෙයකි. මන්ද යත් මේ උදාවී ඇත්තේ කොරෝනාව හැම දෙයක්ම පරාජය කළ මොහොතකි. හඳගමගේ චිත්‍රපටය තමා කොරෝනාවට පරාජය නොවූ බව පෙන්වන්නකි.

Comments