කවියකු වු තීරු ලිපි රචකයා; ඇත්තටම ඔහු කීවේ කුමක්ද? | සිළුමිණ

කවියකු වු තීරු ලිපි රචකයා; ඇත්තටම ඔහු කීවේ කුමක්ද?

“හදන්න බෑ” යන හිසින් ඔහු එය ලිවීය. ඒ මීට දශක ගණනකට පෙරය. එය පුවත්පත් කොලමකි. එය ලියු ඔහු සාහිත්‍යකරුවෙකි. සාහිත්‍යකරුවෙකු ලියු කොලමක් පෙරලා පොහොසත් කරන සාහිත්‍යයික මෙහෙවරක් ද වේ. ඒ පුවත්පත් බස නගා සිටුවීම නම් කාර්යයි. කෙසේ වුව හදන්න බෑ යනුවෙන් ඔහු ලියු ඒ කොලමෙන් ලියු දෑ කුමක් දැයි ඒත් සමඟම විමසිය යුතුව තිබේ.

ඒ අනුව “ආඥදායකයෙක් නැතිව මේ රට නම් කවදාවත් හදන්නට බෑ. යි සමහරවිට දේශපාලන පක්ෂ ගැන කලකිරුණ මිනිසුන් මඟතොටේ දී කියන බව ඇත්තකි. එවැනි කතා කියවෙනවා විනා සිතාමතා කියන කතා නොවන බව සෝමවීර චන්ද්‍රසිරි මහතා දනී.” ප්‍රවීන කවියෙකු පොදුවේ ගත් කල ප්‍රබල සාහිත්‍යකරුවෙකු ද වන චන්ද්‍රරත්න මානවසිංහගේ ප්‍රසිද්ධ පුවත්පත් කොලමක් වු “වගතුග” මෙහිදී අපගේ වෙසෙස් අවධානයට ලක් වන්නේ පැහැදිලි ප්‍රබල සාහිත්‍ය ආරකින් ඔහු එය ලියු හෙයිනි. තවද ඔහු කුමන ආකාරයකින් පුවත්පත් භාෂා සංස්කෘතිය ඉන් පෝෂණය කළේ දැයි විමසීමටය. එය නිර්මාණ සාහිත්‍යයික කාර්යයක් ද වන නිසාය. උක්ත කොලමේ ඔහු තවදුරටත් මෙසේ ද සඳහන් කොට තිබේ. “එහෙත් එවැනි කතාවලට වහල් වී දේශපාලන ධර්මයන්ගෙන් සමාජයේ පැවැත්ම ගැන නොතකා වේදිකාවලට ද එය ගෙන යන උදවිය වෙති.”

ලංකාව රටක් වශයෙන් තමන්ටම අනන්‍ය දේශපාලන එමෙන්ම සමාජ දැක්මක් ගැන අදහස් පළ කිරීම පූර් ව නිදහස් යුගයේ සිටම සිදු ව බව පිළිගත යුත්තක් වුණත් 1948 න් පසු මේ තත්වය ක්‍රමයෙන් දේශපාලන පක්ෂ මුල් කොටගත් විස්තර විභාගයන් බවට පත් වීමක් දැකිය හැකිය. මානවසිංහගේ වගතුග කොලම ද ඊට නිදසුනක් යැයි සිතමි. එහෙත් මේ කොලම් රටාව ගැන අජිත් සමරනායක සන්ඬේ ඔබ්සර්ව පුවත්පතට ලියුවකට අනුව එය වනාහි 1940, 50, 60 යන කාල වකවානු පාදක කොටගෙන වීමංසනාත්මකව ලියවුණු සමකාලීන සමාජ දේශපාලනික සහ සංස්කෘතික අදහස් ආකල්පයන් සමුහයකි. ඒ අනුව මේ අදහස් ආකල්ප පවත්නා සමාජ දේශපාලනය මෙන්ම සංස්කෘතිය ට අදාල විග්‍රහ විමර් ශන ලෙසින් එකහෙළාම පිළිගත නොහැකි වුවත් තීරු ලිපි හෙවත් කොලම් ගැනෙන්නේ ද පුවත්පත් කේන්ද්‍රයීයව බිහි වූ සාහිත්‍යයක් හැටියට වන හෙයින් එවැනි සාහිත්‍යයික රචනා සාහිත්‍ය විමසීම් වලින් බැහැර කල හැකි දෑ නොවේ.

“කෑගලු ඡන්ද කොට්ඨාශයට කළ යුතු අවශ්‍ය හැම දෙයක්ම දැනට කෙරී ඇති හෙයින් මින්පසු මේ කොට්ඨාශයට මන්ත්‍රී වරයෙකු නැති වුවත් ඉන් වන හානියක් නැත්තේ යැ”යි තැපැල් ඇමති පී. බී, ජි. කළුගල්ල මහතා පුස්සැල්ලේ උත්සවයක දී ප්‍රකාශ කළ බවක් සඳහන් වී තිබේ. ......මින්මතු මන්ත්‍රීවරයෙකු නැතත් අඩුපාඩුවක් නොවන ලෙසින් කෑගලු පොදස සකස් කළ අයුරින්ම සෙසු පෙදෙස් ද සකස් කරන්නට කළුගල්ල මහතා විසින්ම තමන් ඇසුරු කරන මැති ඇමතිවරුන්ට ද උපදෙස් දිය යුතු සේය.

එවිටම මන්ත්‍රීවරුන් නැති යුගයක් කෙසේ වෙතත් සෑහෙන කාලයකටවත් මන්ත්‍රීවරුන් නැතිව සිටිය හැකි අවස්ථාවක් සැලසෙන්නේය. එසේ වුවහොත් මේ රටේ ජාති භේද, ආගම් භේද, කුලමල භේද නැතිව සමගියෙන් සතුටෙන් මිනිස් ගුණ අතරේ ජීවත්වීමට ඉඩකඩ සැලසෙනු ඇත.” තීරු ලිපි රචනයේදී සියුම් උපහාසය යන්න කොතරම් ප්‍රබල භාෂා සැත්කමක් ද යන්න මානවසිංහ පෙන්වා දෙන්නේ එසේය.

ඒ කියුම් කියවන කල්හි තමා අවට පවත්නා සමාජ දේශපාලන හැසිරීම් හේතු කොටගෙන ඔහු කිසිදා කෝපයට පත් නොවන්නෙකි යි කෙනෙකුට සිතෙන්නට පුළුවන. එහෙත් දක්ෂ කීරු ලිපි රචකයෙකුගේ කෝපය නිතරම උපහාසය මත සැගවී පවත්නේ යැයි ඒ මාධ්‍යය හඳුනන්නෝ හොඳින්ම හඳුනන කරුණක් වේ.

පුවත්පතකට මනා සාහිත්‍ය ආරකින් ලියවෙන සමාජ දේශපාලන විවරණයක් සහිත තීරු ලිපියක් කොතරම් වැදගත්ද යන්න පෙරමුණේ තිලක වගතුග තීරු ලිපිය ලියැවුණ ලංකාදීප පුවත්පතටම ලියු අදහස් දැක්වීමකින් පෙන්වා දී තිබේ. ඒ අනුව මානවසිංහයන්ගේ තීරු ලිපි බස උපහාසාත්මක බව හා සමානවම අපූරු සාහිත්‍යයික ගැලපීමක් වශයෙන් ද හඳුනාගත හැකි වේ.

“උදේ රැයින් නැගී පියාඹමින් ගසෙන් සොයා කමුයි මුකුත් කාකයෝ හඬත්. -බාලබෝධනය- නැමති ළමා ගීත පොතක මේ ගීතය දක්නට ලැබෙයි.....තෝරු මෝරු අංජිලාවෝ මෙඅපි යාළුවෝ යනුවෙන් කියවෙන බාලබෝධකයේ සඳහන් මුහුදු ගීතය ද අගනේය. එකල ළමෝ එකිනෙකා කරට අත් ලා ගෙන මුහුදු රැල්ල අනුකරණයෙන් නැගී නැගී පහත් වෙමින් සෙල්ලම් කරති. මේ ළමා ගීතවල මෙතෙක් කිසිවෙක් නුදුටු තරමේ රසයක් ඇති බව ඇතැම් පෙදෙස්වල සමුපකාර කටයුතු දෙස බලන කෙනෙකුට පෙනී යනවා ඇත.”

සිය අපූර්ව කාව්‍යමය බසින් මීමන ප්‍රේමතිලක තම සහෘදයා සම්බන්ධයෙන් කියු මේ කියුම වැදගත් යැයි සිතෙන්නේ මානවසිංහයන්ගේ යට කියැවුණු ආකාරයේ උත්ප්‍රාසාත්මක උද්ධෘතයන් කියවන කල්හිය.

ඒ අනුව ඔහුට තරම් තියුණු පෑනක් මෑත යුගයේ කිසිදු ලේඛකයෙකුට තිබුණේ නැතැයි පවසන ඔහු, ඔහුට තරම් රසවත් අහිංසක පෑනක් තිබුණේ නැතැයි ද කියයි. යම් අතිශයෝක්තියක් තිබුණත් මීමනගේ ඒ කියුම තුළ මානවසිංහයන්ගේ තීරු ලිපි හි එන අර කීව සියුම් එමෙන්ම අපුර් ව සමාජ දේශපාලන හා සාහිත්‍යයික උත්ප්‍රාසය මැනවින් හඳුනාගත් බවක් දැකිය හැකිය.

“ශික්ෂිතභාවය සටනක දී විනා වෙන කොතැනක දී වත් දැකියැ නොහැකි යයි පැරණි ග්‍රීකයෝ ද භාරතීයෝ ද කීහ. පන්සලේදීත්, පල්ලියේදීත් සෙසු සන්සුන් ස්ථානවලදීත් කොපමණවත් ශික්ෂිත භාවය දැකියැ හැකිය. සටන් බිමේදී ශික්ෂිත භාවය ප්‍රකාශ වන්නේ උදාරතරයෙකුගේම ජීවිතයෙනි.

එය අවබෝධ කරගැනීමට වුව ද උදාරතර හැගුම් පහළ වන සිතක් අවශ්‍යය. කිසියම් සටනකට සිය ජීවිතය සකස් කැරැ ගැන්මට වුවමනාවක් කවුරුන් තුළ වුව ද සංඥා තලයේ ඇති වෙයි. සමාජය ඉදිරිපිට ඒ සටන ගෙනයන ආකාරය ගැන අප විසින් උගත යුතු කරුණු බොහෝය. මේ ගැන දිගින් දිගට හිතන තරමට විශ්ව විද්‍යාලයක අවශ්‍යතාව පෙනී යනවා ඇත.”

“නිදහස් ලෙස සිතීමේ උරුමය ලබාගත් මිනිසා එය කිසිවෙකුගේ දෘෂ්ටි කෝණයක එල්ලාගෙන එය නිදහස් චින්තනය යැයි සිතා නම් එතරම් මෝඩකමක් තවත් ඇති වියැ නොහැකිය.

ලෝකයේ වත්මන් අධ්‍යාපනයේ දියුණුව හැටියට අප විසින් සැලකිය යුත්තේ බුද්ධිය පාපිස්සක් කිරීමෙන් අනිකෙකුගේ රූකඩයක් වීම නොව සර්ව සම්පූර් ණ ලෙස බැඳුම් වලින් ඉවත්ව හිතන්නට ඇති නියම මාර්ගය සොයා ගැන්මය.”

-මේ අනුව නැගී එන ලොව මහා බුද්ධි ප්‍රබෝධය හමුවේ දේශයක් අලුතින්ම ඇති කරගත යුතු තත්වයක්ද හමුවේ එය අපට ඒබ්‍රහම් ලින්කන්ගෙන් උගත හැකිය. ව්ලැද්මීර් ලෙනින්ගෙන් ද උගත හැකිය. වින්සන්ට් චර් චිල් මෙන්ම ජවහර්ලාල් නේරුගෙන් වුව වෙනස්ම ආකාරයකින් ඒ පාඩමම උගත හැකිය.

Comments