උමතුවක් අවශ්‍යව තිබේ! | සිළුමිණ

උමතුවක් අවශ්‍යව තිබේ!

අපට උමතුවක් අවශ්‍යව තිබේ. ඒ චිත්‍රපට නැරඹීමටය. මේ එය නැතිකම ගැනය. චිත්‍රපට නැරඹීමේ උමතුව කිසි කලෙකත් සනීප නොවූ මිතුරෙකු මට සටීි. ගම්පහ නගරාශ්‍රිතව දිවි ගෙවන ඔහු පසුගිය දිනක මා අමතා අපූරු කතාවක් කීවේය. එනම් අපේ සිනමාහල් කොරෝනා තත්ත්වය යටතේ වුවද ඕනෑම මොහොතක විවෘත කළ හැකි ඒවා බවය.

මක්නිසා ද කියනවා නම් ඒ කාලයේ ද සිනමාහල් තුළ ප්‍රේක්ෂකයා වාඩි වූයේ කොරෝනා වලට ම ගැළපෙන පරිද්දෙන් බව ඔහු පෙන්වා දුන්නේ ය. එය ඇත්තකි. බොහෝ සිනමා ශාලාවල දර් ශනය ආරම්භ කිරීම සඳහා තව පහළොස් දෙනෙකුවත් එකතුවන ලෙස ඉන්න යයි සිනමාකරුවන් විසින් කරනු ලැබූ කාරුණික ඉල්ලීම් පිළිබඳව මෙම ලියුම්කරුට ද අත්දැකීම් ඇති හෙයනි. ඉතින් කොරෝනා අසාදනයෙන් තොරව, කොරෝනා ආසාදිතයන් සිටිය ද චිත්‍රපට නැරඹීමේ ගැටලුවක් නැතිවීම පුදුමයට කරුණක් නොවේ.

තත්ත්වය නරක අතට හැරෙන්නේ ජනතාව විසින් සිනමාව ශාලාව නම් වූ ස්ථානයම තමන්ගේ ම මුළු ජිවිතයෙන් ම දුරස්ථීකරණයට ලක්කරන්නට සිතාගත හොත්ය. ඒ නිසා අප රටේ සිනමාකරුවන් මෙන් ම ප්‍රදර් ශක සමාගම් ද මේ ලැබූ විරාමය තුළ කළ යුතුව ඇත්තේ ප්‍රේක්ෂකයාට සිනමාව තවදුරටත් ඇලජික් වීමට එරෙහිව ප්‍රතිජීවකයක් සොයා ගැනීමය.

අප රට තුළ මේ ආකාරයට ම සිනමාහල් වසා දමන්නට සිදුවූ අවස්ථාවක් දැනට දශක හතරකට ඔබ්බෙන් ඇති වී තිබුණේය. ඒ ජනතා විමුක්ති පෙරමුණ විසික් දියත් කරනු ලැබූ හැත්තෑ එකේ කැරැල්ලත් සමඟ රට තුළ ඇතිවූ හදිසි තත්ත්වය හේතු කොට ගෙනය. ඒ අනුව තෙමසකට ආසන්න කාලයක් දිවයින පුරා සියලුම සිනමාහල් වසා දමන ලදී.

නමුත් රට යථා තත්ත්වයට පත්වීමත් සමඟ ඒවායේ චිත්‍රපට දර් ශන යළි ආරම්භ වූයේ සුපුරුදු ප්‍රේක්ෂක සහභාගිත්වයේ කිසිදු අඩුවක් නොවූ බව මනාව පෙන්නුම් කරමිනි. මේ අවස්ථාවේ දී රට නිදහස් වීමත් සමඟ මුලින් ම තිරගත කරන ලද එක් චිත්‍රපටයක් වූයේ නිල් රුපසිංහගේ “හතරදෙනාම සූරයෝ”ය. එය පළමු වටයේ දීම මාස තුනකට ආසන්න කාලයක් එක හුස්මට දිවූ බව තුන්වතාවක් එම චිත්‍රපටය නැරඹූ මගේ මතකයේ රැඳී තිබේ.

ගාමිණි, මාලනි, විජය, ඇන්තනි සහ සේනාධිර රූපසිංහ ආදී ජනප්‍රියම තරු එකතුවක් වීම හැරුණු කළ එහි ජනප්‍රියත්වයට මුල් වූයේ මෙය ඉතා හොඳ විනෝදාත්මක චිත්‍රපටයක් වීමය. කොහොමටත් සිනමාව පොදු ජනතාවගේ එකම විනෝදාස්වාදය බවට පත්ව තිබූ යුගයක ඇති වූ තත්ත්වයත්, විවිධාකාර විද්‍යුත් මාධ්‍යයන්ගෙන් පිරුණු අද වැනි දිනක පවතින ස්වභාවයත් කිසිසේත්ම එකහා සමාන නැත.

අද අපට තිබෙන්නේ 1979 වන විට මිලියන 74.4 ක් දක්වා වර්ධණය වී තිබු සිනමා ප්‍රේක්ෂක සංඛ්‍යාව 1989 වන විට මිලියන 27.8 දක්වා පහතට ඇද වැටුණු ඉතිහාසයක් සහිත සිනමා ගමන් මඟකි. මේ කාරණය ගැන කතා කිරීමේ දී අපට කවදත් පුන පුනා කියන්නට තිබෙන්නේ එකම කතාවය.

තේරුමක් නැති ඒ කතාව කුමක් වුවත් සිනමාවට ඇති වූ අලකලංචිය ගැන හොඳින් ම දන්නා සනත් ගුණතිලක, රවින්ද්‍ර රන්දෙනිය, ආදී දැවැන්ත කලාකරුවන් පවා ප්‍රේක්ෂකයා විසින් ඔවුන්ට ලබා දුන් කීර් ති නාමය තම දේශපාලන බලය උදෙසා භාවිතා කළා විනා සිනමාවේ දියුණුවට නම් කළා යැයි සිතිය හැකි කිසිවක් දැනෙන්නට නැත.

මේ අතරින් සිනමාව වෙනුවෙන් වැඩීම දායකත්වයක් ලබාදිය හැකි තත්ත්වයක සිටි සනත් ගුණතිලක පවා ඒ උදෙසා ප්‍රමාණවත් පදනමක් නොදැමීම බරපතල කණගාටුවට කරුණකි.

අසීමිත ලෙස ඕනෑම කෙනෙකුට චිත්‍රපට සෑදීම සඳහා ණය ලබා දීමට 1978 දී වෙන්කරනු ලැබූ මිලියන 4.7 ක ප්‍රමාණය 1980 දී මිලියන 11.8 ක් දක්වා වැඩි කළ දවසේ පටන් අපට දක්නට ලැබෙන්නේ චිත්‍රපට කරණයේ මුවාවෙන් ණය ලබා ගනිමින් වෙන මොනවාදෝ දෙයක් සිනමාවේ නාමයෙන් ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කොට මේ ගමන අඩාල කිරීමේ ශෝකජනක කතාන්තරයකි. මේ ආකාරයට මොන විදියේ තත්වයන්ට මුහණු දුන්න ද සිංහල සිනමාව අරබයා වූ අර්බූදයෙහි ප්‍රේක්ෂකයාට දැනෙන පැහැදිලි යථාර්ථය නම් රසවත් චිත්‍රපට නිර් මාණය නොවීමය.

යම් විදියකින් එවැනි චිත්‍රපටයක් තිරගත වූ සෑම අවස්ථාවකම ගෙදර ඇති රූපවාහිනිය ද, ප්‍රවේශ පත්‍රයෙහි මිල වැඩිකම ද, පුටුවල මකුණන් සිටීමද. රාත්‍රියට බස් නැතිවීම ද යන කාරණා අමතක කර දමා ජනතාව සිනමා හල් වෙත ඇදී ආවෝය.

පසුගිය කාලයේ ජැක්සන් ඇන්තනි විසින් නිර් මාණය කරන ලද “අබා” චිත්‍රපටය මේ පිළිබඳව මෑත භාගයේ දී පෙන්වා දිය හැකි හොඳම උදාහරණයයි. ඒ තරමට ම නොවූවත් තමන්ගේ චිත්‍රපට පාඩුවක් නොලබා දුවවා ගැනීමට පමණක් නොව යම් ආදායමක් ලබා ගැනීමට ද හැකියාවක් ඇති චිත්‍රපටකරුවෝ අපට සිටියහ. දැනුදු අපට සිටින්නාහ. අභාවප්‍රාප්ත එච්.ඩී. ප්‍රේමරත්න, වසන්ත ඔබේසේකර, වැනි චිත්‍රපටකරුවන් මෙන්ම උදයකාන්ත වර් ණසූරිය, ජයන්ත චන්ද්‍රසිරි, මහාචාර්ය සුනිල් ආරියරත්න, ගිරිරාජ් කෞශ්‍යල්‍ය, ජී. සිවගුරුනාදන්, ආදී හූ මේ පරිහානි සමයේ වුවද සිනමාව තුළ රැඳී සිටීමේ හැකියාව පෙන්නුම් කරන්නාහ. එබැවින් කොරෝනා සටනින් අනතුරුව මුලු රට ම ආර්ථිකය ජය ගැනීමේ සංග්‍රාමය ආරම්භ කරන මොහොතේ දී කලා නිර් මාණ බිහිකරන කර් මාන්තයක් ලෙස සිනමාව ද සෙසු ව්‍යාපාර හා එක පෙළට ගොඩනැඟෙන තත්ත්වයක් ඇතිකර ගත යුතුය.

මේ ව්‍යාපාරය කට, බඩ හෝ ගත සමඟ සිදු කෙරෙන්නක් නොව, හදවත සමඟ කෙරෙන ගනුදෙනුවක් බැවින් එහි ආරම්භය දේශපාලන අරමුණු වලින් තොර, කලා ශිල්පීන්ගේ කටයුත්තක් විය යුතුය.

නමුත් මේ කටයුත්ත සමස්ත ජනතාව තුළ චිත්‍රපට නැරඹීමේ උමතුවක් ඇති කිරීමේ අභිප්‍රාය මුල්කර ගනිමින් සිදුනොවුව හොත් ඊළඟ පරපුරට සිංහල සිනමාව ගැන දැන ගන්නට සිදු වන්නේ චිත්‍රපට සංරක්ෂණාගාරයේ ගවේෂණයකින් පමණක් විය හැක.

Comments