කළු වළාවේ රිදී රේඛාව | සිළුමිණ

කළු වළාවේ රිදී රේඛාව

උන්හිටි ගමන් පහළ වී ලෝකයම වෙළාගත් කෝවිඩ් - 19 හෙවත් කොරෝනා උවදුර නිසා ගතවූ දෙමාසය තුළ මුළු ශ්‍රී ලංකාවම එකතැන නතර වී තිබුණේය. ලෝකයේ වෙනත් රටවල් මෙන්ම ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ද එවැනි අමිහිරි පියවරක් ගනු ලැබුවේ දෙකෝටියක් පමණ වූ මෙරට ජනතාවගේ වටිනා ජීවිත මරණයෙන් ගලවා ගැනීමේ පියවරක් වශයෙනි. එය කාලීන අවශ්‍යතාවක් විය.

රට බාහිර ලෝකයෙන් වෙන් කිරීම නිසා අපේ සාමාන්‍ය ජන ජීවිතයට අහිතකර බලපෑමක් ඇති වූ බව සත්‍යයකි. එසේ වූයේ ආණ්ඩුව මගින් සති ගණන් එක දිගට ඇඳිරිනීතිය පනවා මෙරට වැඩ කරන ජනතාව අතරින් සියයට 90 කටත් වැඩි දෙනෙකු තම තමන්ගේ නිවෙස්වලට කොටු කළ බැවිනි. ඒ නිසා මෙරට ගෘහ මූලිකයන් අතරින් වැඩි පිරිසක් ආර්ථික ප්‍රශ්න මැද බොහෝ අසරණ තත්ත්වයකට පත්වූහ.

එසේ වුවද ආණ්ඩුව එලෙස රට හුදෙකලා කිරීමට පියවර ගැනීම නිසා මෙරට ජනතාවට මුහුණ පෑමට සිදුවී තිබූ ඛේදජනක විපත්තියෙන් ගැලවීමට හැකිවූ බව දැන් මුළු රටටම පසක් වී තිබේ. ඇමරිකාව වැනි ලෝකයේ බලසම්පන්න රටවල් කොරෝනා උවදුර හමුවේ දණින් වැටෙද්දි අපට කොරෝනා වයිරසය පරාජය කිරීමට හැකිවූයේ රට එලෙස කඩිනමින් හුදෙකලා කිරීමේ මහඟු ප්‍රතිඵලයක් වශයෙනි. එසේ නොකළ නම් අපේ රටේ ද මිනී කඳු ගොඩගැසීමට බොහෝ සෙයින් ඉඩ තිබුණේය.

ආණ්ඩුවේ එවැනි කඩිනම් ක්‍රියාමාර්ග හේතු කොටගෙන මෙරට ජනතාවට මරණීය උවදුරකින් ගැලවුණ ද මාස දෙකකට වැඩි කාලයක් රට එකතැන නතරවී තිබීම නිසා මේ වනවිට රටේ ආර්ථිකය බරපතළ පරිහානියකට පත්වී ඇති බව නොරහසකි.

මහ බැංකුවේ ආර්ථික විශ්ලේෂකයන් දැනටමත් සොයාගෙන ඇති අන්දමට රට දෙමසකට අධික කාලයක් බාහිර ලෝකයෙන් හුදෙකලා කිරීම නිසා රජයට අහිමිවී ඇති ආදායම රුපියල් කෝටි විසිපන් දාහකට අධිකය. මෙවැනි තත්ත්වයක් හටගෙන ඇත්තේ මෙරට නිශ්පාදන ක්‍රියාවලිය ඇඳිරි නීති රෙගුලාසි මත ගතවූ කාලය තුළ මුළුමනින්ම අකර්මන්‍යව පැවති බැවිනි.

අනෙක් අතට රටපුරා ක්‍රියාත්මක කෙරුණු ඇඳිරිනීතිය මුල්කරගෙන මෙරට විදේශ වෙළදාම පහළටම වැටුණේය. ඒ සදහා මුල්වූ තවත් හේතුවක් වූයේ අප සමඟ වෙළද ගනුදෙනු කළ විදේශ රටවල් ද කොරෝනා උවදුර නිසා අකර්මණ්‍ය තත්ත්වයකට පත්ව තිබීමයි. එය ලෝකයේ වෙනත් රටව ලට කුමන අයුරකින් බලපෑවද මෙරට ආර්ථික දේහයට එමගින් සිදුවී ඇත්තේ අහිතකර ප්‍රතිඵලයකි. එසේම මෙතෙක් අපට විදේශ විනිමය විශාල වශයෙන් ගලා ආ විදේශ ශ්‍රම වෙළඳපොළේ ඇති වූ බරපතළ පසුබෑම ද රටේ ආර්ථිකයට අහිතකර ලෙස බලපා තිබේ. එය අපේ රටට පාලනය කරගත නොහැකි කරුණක් වී ඇත්තේ කෝවිඩ් - 19 හෙවත් කොරෝනා වසංගතය ජාත්‍යන්තර වශයෙන් බොහෝ රටවලට අහිතකර බලපෑමක් සිදුකර ඇති බැවිනි.

කෙසේ වෙතත් මෙහිදී අපට ඇති එකම සැනසීම වන්නේ ගෝලීය වසංගතයක් වූ කොරෝනා වයිරසයෙන් මෙරට ජනතාවගේ ජීවිත වලට බරපතළ හානියක් සිදු නොවීමයි. එය ලෝකයේ වෙනත් රටවලට සාපේක්ෂව සියයට දශම එකකටත් වඩා අඩු ප්‍රතිශතයකි. ඉදිරි කාලය තුළ එම ප්‍රතිශතයේ යම් වෙනසක් ඇතිවුවහොත් එය මෙරට ජනතාව ඒ පිළිබදව දක්වන ප්‍රතිචාරය අනුව සිදුවන්නකි.

එසේම මේ කොරෝනා උවදුර නිසා රටේ මර්මස්ථාන බොහෝමයක්ම අඩපණවී තිබේ. එහි අතුරු ප්‍රතිඵලයක් වන්නේ මෙරට ආර්ථිකය බරපතළ පසුබෑමකට ලක්ව තිබීමයි. එම කඩාවැටීම 2004 දෙසැම්බර් 26 දා ඇති වූ සුනාමි ව්‍යසනයටත් වඩා බිහිසුණුය. එදා සුනාමිය නිසා සිදුවූ ජීවිත හානිය හැර අනෙකුත් සියලුම ව්‍යසන වසර කිහිපයක් තුළ ප්‍රතිපූරණය කර ගැනීමට අපිට හැකි විය.එහෙත් මෙදා හටගත් කොරෝනා උවදුර නිසා මෙරට ආර්ථිකයට සිදුවී ඇති හානිය සමනය කර ගැනීම එතරම් ලේසිපහසු දෙයක් නොවේ. කෙසේ වෙතත් අප රටක් වශයෙන් එම තත්ත්වයට අනිවාර්යයෙන්ම මුහුණ දිය යුතුය.

සෑම කළුවළාවකම රිදී රේඛාවක් ඇතැයි මෙරට ජනවහරේ ප්‍රකට කියමනක් තිබේ. එමගින් කියැවෙන්නේ කොතරම් බිහිසුණු හෝ දුක්ඛදායක සිද්ධියක් තුළින් වුවද යම් සුබදායක තත්ත්වයක් මතුකර ගත හැකි බවයි. ඒ අනුව අප ද ශ්‍රී ලාංකිකයන් වශයෙන් එක්සත්ව හා එක්සිත්ව වෙන් වූ අධිෂ්ඨාන පූර්වකව මෙම ආර්ථික අර්බුදයට මුහුණ දෙනු ලැබුවහොත් එමගින් සාර්ථක ප්‍රතිඵල නෙළා ගැනීම එතරම් අසීරු කටයුත්තක් විය නොහැකිය.

ඒ සඳහා අවශ්‍ය ප්‍රධානම සාධකය වන්නේ ජනතාව ස්ව කැමැත්තෙන්ම ආකල්පමය වෙනසක් ඇතිකර ගැනීමයි. වත්මන් ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවෙන් ද ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශකත්වය උපරිම මට්ටමින් ලැබෙතැයි යන්න අපගේ විශ්වාසයයි. කොරෝනා උවදුර නිසා ආර්ථික වශයෙන් අගාධයට වැටුණු ශ්‍රී ලංකාව යළි ගොඩ ගැනීමට නම් එවන් ක්‍රමවේදයක් අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතුය.

Comments