ජපානය ලෝක රග්බි පළමු ඛාන්ඩයට | සිළුමිණ

ජපානය ලෝක රග්බි පළමු ඛාන්ඩයට

ජපාන රග්බි කණ්ඩායම තමන් සත්කාරකත්වය දැරූ ලෝක කුසලාන තරගාවලියේ දී පෑ සුවිශේෂී දස්කම් නිසාවෙන් ලෝක රග්බි වර්ගීකරණයන්හී පළමු කාණ්ඩය දක්වා උසස් වීමක් ලබා දීමට කටයුතු කොට ඇති බව වාර්තා වේ.

ලෝක රග්බි මුල් පුටුවට නැවත වතාවක් තේරී පත් වූ බිල් බියුමොන්ට් ඒ සඳහා පැවති මත විමසුමේ දී තමන් හට සහය දක්වන්නේ නම් ඊට කෘතගුණ සැලකීමක් වශයෙන් ජපාන කණ්ඩායමට සාධාරණයක් ඉටු කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කර සිටියේය.

ඒ අනුව නව සභාපතිවරයෙකු තෝරා පත් කරගැනීම උදෙසා පැවති ඡන්ද විමසුමේ දී බියුමොන්ට් නියෝජනය කරන පාර්ශවයට තම මනාපය ලබා දුන් ජපන් නියෝජිතයන් තියුණු සටනකින් අනතුරුව ප්‍රතිවාදී අගුස්ටින් පිචොට් පරාජය කිරීමට දායක වූයේ තම ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි යන දැඩි විශ්වාසය ඇතිවය.

එකී පොරොන්දුව අකුරටම ඉටු කරමින් බියුමොන්ට් එම ධූරයේ වැඩ බාරගැනීමෙන් පසු දිනයේ දී ම සිය වචනය සුරැකීමට කටයුතු කළේ ජපාන කණ්ඩායම පළමු කාණ්ඩය දක්වා ඉහළට ඔසවා තබමිනි. මේ සඳහා ජපාන රග්බි කණ්ඩායම මෑත කාලීනව දැක්වූ දක්ෂතා බෙහෙවින් ඉවහල් වූ බවත් ඔවුන්ට හිමි විය යුතු නිසි තැන ලැබීම සම්බන්ධයෙන් සතුටු වන බවත් බොහෝ රග්බි විචාරකයෝ මෙකි තීරණය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කළහ.

දෙවන කාණ්ඩයේ සිට පළමු කාණ්ඩය දක්වා පැමිණිමත් සමඟම එකි කාණ්ඩයේ තරග වදින එකොළොස් වන සාමාජික රට බවට පත්වීමේ ගෞරවය ජපානය වෙත හිමි වන අතර ඔවුන්ට අමතරව ජාතින් හයේ තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ලබන , එංගලන්තය, වේල්සය, ප්‍රංශය අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ ඉතාලිය ද, රග්බි ශූරතාවලිය උදෙසා සටන් වඳින නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, සහ ආජන්ටිනාව ද පළමු කාණ්ඩයේ නිත්‍ය සාමාජිකයින් ලෙසින් කටයුතු කරති.

ජපානය ලැබූ මෙම උසස්වීමත් සමඟම ඔවුන්‍ට ඉදිරි කාලසීමාව තුල දී වරප්‍රසාද රැසක් හිමි වීමට නියමිත අතර තරගකාරීත්වයෙන් ඉහළ පළමු කාණ්ඩයේ ප්‍රබල කණ්ඩායම් සමඟින් සටන් වැදිමේ මහඟු අවස්ථාව මෙන්ම, ජාත්‍යන්තර මට්ටමින් ගනු ලබන රග්බි ක්‍රීඩාව හා සම්බන්ධ තීරණයන්වල දී වැඩි බලපෑමක් සිදු කිරීමට ද ජපානයට හැකි වනු ඇත.

දැනට පවතින වර්ගීකරණයන්ගේ ඇති අඩුපාඩු සකස් කරගනිමින්, ඒ වෙනුවට කණ්ඩායම් කාණ්ඩගත කිරීමේ දී නිත්‍ය සාමාජිකයන් සහ නැඟී එන සාමාජිකයින් ලෙස කොටස් දෙකකට බෙදා වෙන් කිරීමට ද ඉදිරියේ දී බලාපොරොත්තුවෙන් පසු වන බව වාර්තා වේ.

 

Comments