ක්‍රීඩා සංචිතවල පුහුණුව ජුනි 01 දා සිට අරඹන්න නිර්දේශ | සිළුමිණ

ක්‍රීඩා සංචිතවල පුහුණුව ජුනි 01 දා සිට අරඹන්න නිර්දේශ

ශ්‍රී ලංකාවේ ප්‍රධානම ක්‍රීඩා තුනක් වන ක්‍රිකට්, රග්බි සහ පාපන්දු ජාතික සංචිතවල පුහුණුවීම් ජූනි මස 1 වැනිදා සිට ආරම්භ කරන ලෙස ක්‍රීඩා අමාත්‍යංශය එම ක්‍රීඩාවල ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානීන්ට ලිඛිතව අවසර දී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම මස 15 වැනිදා පුහුණුවීම් ආරම්භ කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයෙන් අනුමැතිය ඉල්ලා තිබුණද මෙම ක්‍රීඩා තුනටම බලපැවැත්වෙන පරිදි ජූනි මස 1 වැනිදා සිට නැවත පුහුණුවීම් ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වරයා පවසයි.

මෙම ක්‍රීඩාවල ජාතික සංචිත පිළිබඳ තොරතුරු ක්‍රීඩා අමාත්‍යංශයට සහ ක්‍රීඩා වෛද්‍ය ආයතනයට මේ මස 20 වැනිදාට පෙර ඉදිරි පළ කළ යුතු බවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අදියර කීපයකින් සංචිත ගතකරන බවත් ක්‍රීඩා අමාත්‍යංශය පවසයි. ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය ගේ අත්සනින් මෙම ලිපිය නිකුත් කර තිබේ. මෙකි අනුමැතිය පිළිබඳ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර පවසන්නේ ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තමන්ගේ උපදෙස් මත එම ක්‍රීඩා සංගම්වලට මෙම දැනුම්දීම කළ බවයි.

මෙම සංචිත පවත්වාගෙන යෑමේදී අනුගමනය කළ යුතු නීති රීති සහ කොන්දේසි 8 ක් ඇතුළත්වේ.

01. සංචිතගත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුව සඳහා අදාල මධ්‍යස්ථානවලට හැර නේවාසිකාගාරවලින් බැහැරට යාම නොකළ යුතුය. අත්‍යවශ්‍යම කරුණක් සඳහා බැහැරවීමට අවශ්‍ය නම් අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ හෝ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ නිලධාරියකුගේ අවසරය ලබාගෙන බැහැර යාම කළ යුතුය.

02. නිරෝධායන නීති රීතිවලට අනුකූලව හා ක්‍රීඩා වෛද්‍ය ආයතනය මගින් පනවනු ලබන සෞඛ්‍යමය නීති රීතිවලට අනුකූලව කටයුතු කළ යුතුය.

03. දෙමාපියන්, නෑදෑ හිත මිතුරන් හෝ බාහිර පුද්ගලයන් හමුවීමට නොහැකි අතර ඉතා අත්‍යවශ්‍ය කරුණක් සඳහා නම් ඉහත අංක 1 හි පරිදි නිසි අවසර ලබාගෙන හමුවීම සිදුකළ යුතුය.

04. නේවාසික සංචිත ගතකිරීමේ කාලය තුළ ආහාරපාන, නවාතැන් හා වෛද්‍ය පහසුකම් සපයනු ලබන අතර වෙනත් උපකරණ හෝ ද්‍රව්‍යයක් මිලදී ගැනීමට අවශ්‍යතාවක් ඇත්නම් දැනුම්දීමෙන් පසු ඒ සඳහා නිලධාරියකු යෙදවීමට කටයුතු කරනු ඇත.

05. ක්‍රීඩා අමාත්‍යංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනය සහ ජාතික සම්මේලන විසින් පනවනු ලබන අනෙකුත් නීති රීතිවලට අනුකූලව කටයුතු කළ යුතුය.

06. සංචිතයට සම්බන්ධ පුහුණුකරුවන් හා පුහුණුවට සම්බන්ධ වෙනත් නිලධාරීන් ද ඉහත සඳහන් නීති රීති හා කොන්දේසිවලට අනුකූලව කටයුතු කළ යුතුය.

07. වෙනත් අදාල නීති රීති කොන්දේසි හා ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව විශේෂ උපදෙස් සංචිත ආරම්භ කිරීමට පෙර ලබාදෙනු ඇත.

08. අදාළ ක්‍රීඩාවේ ජාතික සම්මේලනය මගින් සංචිතයේ කළමනාකාරිත්වය සඳහා වගකිවයුතු නිලධාරියකු හෝ පුහුණුකරුවකු පත්කිරීම හා ඔහු සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ නේවාසිකව සිටීම කළ යුතුය. ක්‍රීඩකයන් පිළිබඳව අධීක්‍ෂණය හා පාලනය ඔහු මගින් සිදු කළ යුතුය.

Comments