’’අම්ෆන්’’ ප්‍රබල සුළි කුණාටුවක් ලෙස ඉන්දියාවට | සිළුමිණ

’’අම්ෆන්’’ ප්‍රබල සුළි කුණාටුවක් ලෙස ඉන්දියාවට

අම්ෆන් සුළි කුණාටුව ඉදිරි පැය කිහිපය ඇතුළත ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයට සහ බංග්ලාදේශයට ඇතුළු වීමට නියමිත බවට කාලගුණ අංශ අනතුරු අඟවා ඇත.

මේ වන විටත් දෙරටේ වෙරළබඩ ප්‍රදේශ වලින් මිලියන ගනනක ජනතාව ඉවත් කර ඇතැයි වාර්තා වේ.

ඉන්දියාවේ කාලගුණ අංශ පවසන්නේ අද(20) සවස් කාලය වනවිට සුළි කුණාටුව රට තුලට ඇතුළු වනු ඇති බවයි.

මෙය අවුරුදු 10ක පමණ කාලය තුළ ඇතිවූ ප්‍රබලම සුළි කුණාටු වලින් එකක් බව කාලගුණ අංශ අනතුරු අඟවයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ පැයට කිලෝමීටර් 185ක පමණ වේගයෙන් සුළං හමා එනු ඇති බවයි.

ඉන්දියාවේ බටහිර බෙංගාල සහ ඔරිස්සා ප්‍රාන්ත වලට කුණාටුවෙන් දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි පැවසේ.

සංක්‍රමණිකයන් දහස් ගනනක් රැගෙන ඔරිස්සා වෙත පැමිණීමට නියමිතව තිබූ දුම්රිය අවලංගු කර ඇත.

කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් රටවල් දෙකම පීඩාවට පත්ව සිටින අතර තුර සුළි කුණාටුවේ බලපෑම ප්‍රබල ගැටලුවක් වී ඇතැයි නිලධාරීහු පවසති.

ඉන්දියාවේ පාසැල් සහ වෙනත් රජයේ ගොඩනැගිලි සුරක්ෂිත මධ්‍යස්ථාන බවට පත්කර ඇතත් සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීම සඳහා තවත් බොහෝ ඉඩකඩ අවශ්‍ය වන බව ඔවුහු පවසති.

කොවිඩ් - 19 රෝගය වැළඳෙනු ඇතැයි බියෙන් මිනිසුන් සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යෑමට අකමැති බව බටහිර බෙංගාල ප්‍රාන්ත පොලිසිය සඳහන් කර තිබේ.

වසර 2007 දී ඇතිවූ සිදර් සුළි කුණාටුවෙන් ඉන්දියාවේ 3 500ක පමණ පිරිසක් මිය ගිය අතර 1999 වර්ෂයේ ඇතිවූ සුපිරි සුළි කුණාටුවකින් 9 000ක පමණ පිරිසක් මියගොස් තිබේ.

බංගලාදේශයේ ද මිලියන දෙකක පමණ ජනතාවකට ඉවත් වන ලෙස දැනුම් දී ඇති අතර අමතර කූඩාරම් සකස් කර ඇති බවද මුහුණු ආවරණ බෙදා හැර ඇති බවද සඳහන් වේ.

Comments