කාලගුණය ගැන අවධානයෙන් පසු වෙන්න | සිළුමිණ

කාලගුණය ගැන අවධානයෙන් පසු වෙන්න

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශය ආශි‍්‍රතව පවතින ‘‘අම්ෆන්’’ සුළිකුණාටුව ඉදිරි පැය 12 තුළ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම චණ්ඩ සුුළි කුණාටුව උතුරට බරව වයඹ දෙසටත්, අනතුරුව හෙට (18) සිට 20 වනදා දක්වා උතුරට බරව, ඊසාන දෙසින් බටහිර බෙංගාල වෙරළ වෙතත් ගමන් කරනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

අද (17) අලූයම 02.30 වනවිට ‘‘අම්ෆන්’’ සුළිකුණාටුව ති‍්‍රකුණාමලයේ සිට ඊසාන දෙසින් කිලෝ මීටර් 610 ක් පමණ දුරින් ස්ථානගතව පැවතියේය.

මෙම බලපෑම මත දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි අපේක්ෂා කළ හැකියි.

දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්මවූ ඉතා තද වැසි අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

එමෙන්ම දිවයින හරහා සුළගේ වේගය විටින්විට පැයට කිලෝ මීටර් 50 ත් 60 ත් දක්වා වැඩිවිය හැකියි. අද දිනයේ ද දිවයින පුරා අහස වළාකුළින් බරව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර පුත්තලම සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප‍්‍රදේශ විටින්විට රළු සහ ඉතා රළු විය හැකියි.

ගිගිරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල එම මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝ මීටර් 70 ත් 80 ත් දක්වා වැඩිවිය හැකි බැවින් ඒ පිළිබඳ ධීවර හා නාවික ප‍්‍රජාව අවධානයෙන් පසුවිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර ඊයේ (16) දිනයේ අඩු වර්ෂාපතනයක් වාර්තාවීමත් සමග ගං ඟගේ ජල මට්ටම් ද පහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

කළු ඟගේ ජලමට්ටම මිල්ලක්න්ද ප‍්‍රදේශයෙන් පමණක් ඉහළ ගොස් ඇති බවයි එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි ප‍්‍රකාශ කළේ.

Comments