සහරාන්ලාගේ තවත් රහස් කරළියට | සිළුමිණ

සහරාන්ලාගේ තවත් රහස් කරළියට

මුළු රටම  විනාශ කිරීමට සැලැසුම් කර ඇති බවක් හෙළි වෙයි

මේ දිනවල කොරෝනා වසංගතය නිසා සෝ සුසුම් හෙළන සැවොම ගිය වර්ෂයේද මෙසමයේ සෝ සුසුම් හෙළුවේ අප්‍රේල් 21 ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය නිසාය. එම අන්තවාදී ප්‍රහාරයෙන් පීඩාවට පත් බොහෝ දෙනෙක් තවමත් දුක් විඳිති. එවැනි ප්‍රහාරයක් පිළිබඳව බොහෝ තොරතුරු වගකිවයුත්තන් අතට පත්ව තිබුණත් එදින ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූයේ නිලධාරින්ගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය හේතුවෙනි. සහරාන් හෂිම් ප්‍රමුඛ මිනීමරු ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරයේ සුල-මුල මෙන්ම ඊට සබැඳි පුද්ගලයන් පිළිබඳ සිදු කෙරෙන පොලිස් පරීක්ෂණ මේ වන විට කඩිනම්ව සිදුවෙමින් තිබෙන බවක් පෙනේ.

පසුගියදා ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාද ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරයේ සියලු තතු අනාවරණය කරගෙන ඊට සම්බන්ධ සියලු දෙනාම නීතිය ඉදිරියට පමුණුවීමට අවැසි සියලු දේ කරන බවයි. පසුගිය රජය සමයේ එම පරීක්ෂණ ඉතා මන්දගාමී ස්වරූපයක් ඉසිලුවත් වත්මනෙහි එකී ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන පෙළේ පුද්ගලයන් කීප දෙනෙක් මෙන්ම ඔවුහු සැරිසැරු ස්ථාන කිහිපයක්ම ගෙවී ගිය දින කීපයේදී අනාවරණය කරගැනීමට පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු බුද්ධි අංශ මේ වන විටත් සමත්ව සිටී.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ සහෝදරයා වන රියාද් බදුර්දින්ද අත්අඩංගුවට ගැනුණේ එම ප්‍රහාරය එල්ල කළවුන් සමඟ සබඳතා පැවැත්වීම නිසායි.

එසේම අන්තවාදීන්ගේ අදහස් වපුරමින් බාල වයස්කාර සිසුහු ත්‍රස්තවාදයට ඇඳා ගැනීමට පවත්වාගෙන ගිය පුත්තලමේ මද්‍රසා පාසලක්ද පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිය බාරයට ගැණිනි. එම මද්‍රසා පාසල පවත්වාගෙන යමින් එහි විදුහල්පතිවරයා ලෙස කටයුතු කර තිබූ නීතිඥයකු ද වන හිජාස් හිස්බුල්ලා මේ වන විට පසුවන්නෙ පොලිසිය බාරයේයි. ඔහුගේ නායකත්වයෙන්, පාස්කු ප්‍රහාරයේ ප්‍රධානියා වන සහරාන් හෂිම් ඇතුළු අන්තවාදීන් රැසක්ම පැමිණ එම පාසලෙහි සිදුකළ අන්තවාදී ඉගැන්වීම්, ගිනිඅවි පුහුණුවීම් පිළිබඳව පසුගිය දා කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ බාල වයස්කාර දරුවන් දෙදෙනෙක් සිය දෙමාපියන් සහ දමිළ භාෂා පරිවර්තකයකුද කැටුව පැමිණ පැය හතරක පමණ කාලයක් ප්‍රකාශයක් කරමින් සියල්ල හෙළි කෙරිණි.

එහිදී වයස අවුරුදු අට සහ දහයේ පසුවූ එකී දරුවන් දෙදෙනා විසින් සහරාන් හෂිම්ගේ සහෝදරයා වූ දෙවැනි ප්‍රහාර මාලාවේ නායකත්වය ගෙන කටයුතු කිරීමට සිටි රිල්වාන් හෂිම් එම මද්‍රසා පාසලට පැමිණ ගිනිඅවි පුහුණුවීම් සිදුකළ ආකාරයද හෙළිකර තිබිණි.

එසේම මද්‍රසා පාසල පවත්වාගෙන ගිය හිජාස් හිස්බුල්ලා නමැත්තාගේ ප්‍රධානත්වයෙන් යුත් ‘සෙව් ද පර්ල්‘ නමැති රාජ්‍ය නොවන සංවිධානය විසින් රටපුරා විසිරි සිටි දෙමාපියන් හෝ බාරකරුවන් නොමැති දරුවන් 25 දෙනෙකුට සිය අන්තවාදී මතවාද වැපිරු ආකාරයද මේ වන විට හෙළි වෙමින් තිබේ. ඒ හරහා සහරාන් ඇතුළු අන්තවාදීන් තැත් කර ඇත්තෙ අනාගතයේදී මෙරට තුළ ත්‍රස්තවාදය වපුරමින් මුළු රටම වනසා දැමීමටයි.

අධිකරණයට පැමිණ ප්‍රකාශ ලබාදුන් දරුවන් දෙදෙනා සමඟ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම පාසලේ දරුවන් දහසය දෙනෙකුගෙන්ම ප්‍රකාශ සටහන් කරගෙන අවසානය. එම දරුවන්ගේ ප්‍රකාශ අනුව මද්‍රසා පාසලට දේශන සඳහා පාස්කු ප්‍රහාරයේදී මියගිය දෙමටගොඩ මහවිල උද්‍යානයේ පදිංචිකරුවන් වූ ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් සහ ඊබ්‍රාහිම් ඉන්සාෆ් අහම්ඩ් යන සහෝදරයන් දෙදෙනාද සහභාගි වී ඇත. ඔවුන් දෙදෙනා නීතිඥ හිජාස් විසින් පවත්වාගෙන ගිය රාජ්‍ය නොවන සංවිධානයේද තනතුරුද හොබවා තිබිණි.

ගිය වසරේ අගෝස්තු මාසයේදීද අම්පාරේදී අත්අඩංගුවට පත් සහරාන්ලා සමඟ නුවරඑළියේදී අවි පුහුණුව ලැබූ බාල වයස්කරුවකු මෙකී අන්තවාදීන්ගේ පැටිකිරිය හෙළි කළේය. චාරිකාවක් යන සේ නුවරඑළියට රැගෙන ගිය එම දරුවාටද ගිනි බෝම්බ සකස් කරන ආකාරයද පුහුණුව ලබා දී තිබිණි. මෙලෙස වත්මනෙහි කඩිනම්ව සිදුවන විමර්ශනයන්හිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ මෙහෙයුමකින් පසුගිය දා සහරාන්ගේ ගෝලයන් විසින් දේශන සහ ගිනිඅවි පුහුණුවීම් සඳහා පවත්වාගෙන ගිය තවත් ප්‍රධාන පෙළේ ස්ථාන දෙකක් ත්‍රිකුණාමලයෙන් සහ මඩකළපුවෙන් සොයා ගැනීමට සමත් වූහ.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ පසුවන පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් සහ මාවනැල්ල බුදු පිළිම කැඩීමේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙක් වන සාදික් අබ්දුල් හක් සහ සාහිඩ් අබ්දුල් හක් යන සහෝදරයන් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔවුන් සිදුකළ පාපෝච්චාරණයන් මතයි.

ඒ අනුව පසුගිය 08 වැනිදා මඩකළපුවේ සහරාන්ගේ නිජබිම වන කාත්තන්කුඩිය ආසන්න පාලමුණේ ප්‍රදේශයේ මරාගෙන මැරෙන්නට පුහුණු කර සිටි කාන්තාවන්ට දේශන පැවැත්වූ ස්ථානයක්ද සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් සමත් වූහ. මුහුදු වෙරළට ආසන්නව පිහිටි එම ස්ථානය පවුල් පිටින් පැමිණ නවාතැන් ගන්නා නවාතැන් පොළකි.

එම ස්ථානයේ හිමිකරුවා කොළඹ ප්‍රදේශයේ වෙසෙන අයෙකි. නවාතැන් පොළ බලාකියාගෙන ඇත්තේ එම ප්‍රදේශයේ වෙසෙන දෙමළ වැසියෙකි. වාර්තා වන ආකාරයට එම සංචාරක නිවෙස හිමිකරු හෝ එය බලාකියාගත් පුද්ගලයා ත්‍රස්තවාදීන් එලෙස තම සංචාරක නිවස්නයේ දේශන පැවැත්වූ බව නොදැන සිටි බවට හෙළි වේ.

පාස්කු ප්‍රහාරයට මාස ගණනාවකට එම ස්ථානයේදී මරාගෙන මැරෙන්නට සූදානම්ව සිටි මඩකළපුව සියෝන් දේවස්ථානයට ප්‍රහාරය එල්ල කළ මොහොම්මදු අසාද්ගේ බිරිය ෆිරෝෂා, කටුවපිටිය දේවස්ථානයට ප්‍රහාරය එල්ල කළ හස්තුන්ගේ බිරිය පුලස්තිනී රාජේන්ද්‍රන් හෙවත් සාරා ඇතුළු කාන්තාවන් කිහිප දෙනෙක්ම එම දේශනවලට සහභාගි වී ඇත. දළදා පෙරහර ඇතුළුව මෙරට ප්‍රධාන පෙළේ විහාරස්ථාන ඉලක්කකොට ප්‍රහාර මාලාව දියත් කිරීමට සිටි එම කාන්තාවන් ඇතුළු මරාගෙන මැරෙන්නට සූදානම්ව සිටි 11 දෙනෙකු 2019 අප්‍රේල් 26 සයින්දමර්දුහිදී සහරාන්ගේ සහෝදරයා රිල්වාන්, මව, පියා ඇතුළු පිරිස සිදුකළ පුපුරුවා ගැනීමෙන් මරණයට පත් වූහ.

ත්‍රස්තවාදීන් නිතර ආගිය මෙකී සංචාරක නිවෙසට ආසන්නව කාත්තන්කුඩියේ නබියා බීච් නමැති ප්‍රදේශයද පිහිටා තිබේ. නබියා බීච්හිදී රිල්වාන් හෂිම් 2016 වසරේදී අත්වැරැදීමකින් සිදුවූ බෝම්බ පිපිරීමකින්ද තුවාල ලැබීය. එහිදී ඔහුට ඇසක් අහිමිව අතකටද බරපතළ තුවාල සිදුවී තිබිණි. එම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ රිල්වාන් කොළඹ ප්‍රධාන පෙළේ රෝහලකටද ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී එවකට රජයේ ඇමැතිවරයකුද ඔහුගේ සුවදුක් බැලීමට ගොස් තිබූ බව පසුව හෙළි විණි. සහරාන්ලාගේ බලය තීව්‍ර ලෙස ව්‍යාප්තව තිබූ එම ප්‍රදේශයේ තිබී මීට පෙරද ගිනිඅවි සහ පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයක් සොයා ගැනීමට අම්පාර රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරිහු සමත් වූහ.

මෙලෙස කාන්තාවන්ට පමණක්ම දේශන පැවැත්වූ තවත් ප්‍රධානතම ස්ථාන කිහිපයක් පිළිබඳව බුද්ධි අංශ නිලධාරින් අනාවරණය කරගෙන ඇති බවත් එම ස්ථානද නුදුරේදීම සිය බාරයට ගැනීමට නියමිත බවකි.

2018 වසරේදී මාවනැල්ල ප්‍රදේශයේදී අන්තවාදීන් විසින් බුදු පිළිම කැඩීමේ සිද්ධියේ ප්‍රධානියා වන සාදික් අබ්දුල් හක් ඇතුළු කණ්ඩායමේ අනාවරණය මත ඔවුන් විසින් දේශන පවත්වමින් සහරාන්ගේ අනුගාමිකයන්ට ගිනිඅවි පුහුණුව ලබාදුන් බවට සැලවෙන තවත් ස්ථානයක් ද පසුගියදා අනාවරණය විණි. ඒ ත්‍රිකුණාමලයේ තොපූර්හි තාහිබ් නගර්හි අක්කර හයක විශාල භූමි භාගයක පිහිටි ස්ථානයකි. එම ස්ථානයේ ගිනිඅවි පුහුණුව ලබා දී ඇත්තෙ සාදික්ගේ සහෝදරයා වන සාහිඩ් අබ්දුල් හක් බවට අනාවරණය වේ. සාහිඩ් අබ්දුල් හක් යනු 2014 වසරේදී සිරියාවට ගොස් දින පනස් ගණනක අයිඑස්අයිඑස් ත්‍රස්තවාදී පුහුණුව ලද අයෙක් බවට සැලවේ.

ඔහු එහිදී පුහුණු වූ වෙඩි තැබීම්, ගිනිඅවි ගලවා පිරිසුදු කිරීම් සහ අලුත්වැඩියා කිරීම් ඇතුළු සියලුම පුහුණුවන් මෙකී ස්ථානයේදී අන්තවාදීන්ට ලබා දී ඇත. මේ ස්ථානයේ පුහුණුව සඳහා අම්පාර ඔළුවිල්හි පිහිටි අග්නිදිග විශ්වවිද්‍යාලයේ තුන්වැනි වසරේ ඉගෙනුම ලැබූ සහරාන්ලාගේ සංවිධානවලටත් එහා ගිය අන්තවාදී සංවිධානයක් වන ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් නමැති සංවිධානයේ සන්නද්ධ අංශ නායකයා ලෙස කටයුතු කළ මොහොමඩ් ස්මයිල් සල්මාන්ද එම පුහුණුවන් සඳහා සහභාගි වී ඇති බවකි. සල්මාන් ද මේ වන විට සහරාන්ගේ සහචරයන් සමඟ අත්අඩංගුවේ පසුවේ.

පාස්කු ප්‍රහාරයට මාස පහකට පමණ පෙර එනම් 2018 දෙසැම්බර් මාසයේදී පැවැති මෙකී ස්ථානයේ පුහුණුව සඳහා අත්අඩංගුවේ පසුවන තවත් කිහිප දෙනෙක්ම සහභාගි වී ඇත. තාහිබ් නගර්හි මේ ස්ථානයද සහරාන්ලා ගිනිඅවි පුහුණුව සඳහා යොදාගත් බවට අනාවරණය වූ නුවරඑළිය බ්ලැක්පුල් සහ හම්බන්තොට පුහුණු ස්ථාන හා සමානම ස්ථානයකි.

බ්ලැක්පුල් පුහුණු මධ්‍යස්ථානය සහ හම්බන්තොට පුහුණු මධ්‍යස්ථානය ගිය වසරේදීම අනාවරණය කරගැනීමට පොලිසිය සමත් වූහ. මෙකී විශාල භූමි භාගය අයත් බවට පොලිසිය අනාවරණය කරගෙන ඇත්තෙ මූතුර් ප්‍රාදේශීය සභාවේ හිටපු උපසභාපතිවරයායි. ත්‍රිකුණාමලය, තෝපූර්හි පදිංචිකරුවකු වන ඔහු 54 හැවිරිදි මොහොමඩ් හනිෆා හාජා මොහිදීන්ය. පසුගියදා අත්අඩංගුවට ගැනුණු ඔහුද ලබන 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කළේය. සහරාන්ලාට, සාදික්ලාට සිය අන්තවාදී අදහස් වපුරවාලීමට මහත් සේ සහාය දී ඇති හාජා මොහිදින් නමැත්තා සිය ඉඩමේ පවත්වාගෙන ගිය ගිනිඅවි පුහුණු මධ්‍යස්ථානයට අවැසි ගිනිඅවිද ලබා දී ඇති බවට මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබේ.

තවද සාහිඩ් අබ්දුල් හක් විසින් ගිනිඅවි පුහුණුව මුතුර්හි ස්ථානයකද පවත්වා ඇති බවකි. එකි ස්ථානයටද මේ පිරිස සහභාගි වී ඇත්තෙ තෝපූර්හි තාහිබ් නගර්හි හාජා මොහිදින්ගේ පොලිසිය සොයාගත් එම විශාල ඉඩමේ තිබෙන නිවාසයක නතර වී සිටයි. එම මුතුර්හි පුහුණු මධ්‍යස්ථානයට සහාය දුන් තවත් කිහිප දෙනෙක්ම සිටින බවත් ඔවුනද නුදුරේදීම අත්අඩංගුවට ගන්නා බව නැගෙනහිර පළාතේ බුද්ධි නිලධාරියෙක් අපට කීවේය.

මෙසේ සහරාන් ඇතුළු අන්තවාදීන් විසින් සිදුකළ ම්ලේච්ඡ අධම ප්‍රහාරය ඇතුළු රටම විනාශ කිරීමට අන්තවාදය, ත්‍රස්තවාදය වැපිරීමට උඩගෙඩි දුන් සියලු දෙනාටම මේ වන විට වැඩ වැරැදෙන සැටියක් පෙනේ. එම නිසා පසුගිය කාලයේ අන්තවාදීන්ගේ සියලු තතු අනාවරණය කරගනිමින් රට නැවතත් කිසිදු දිනෙක අන්තවාදීන්ට නතු වීමට ඉඩ නොදීමට වග බලා ගැනීම සියලු වගකිවයුත්තන්ගේ යුතුකමයි.

Comments