රට වැහුවත් වැහෙන්නෙ නැති කුඩු කෙළි | සිළුමිණ

රට වැහුවත් වැහෙන්නෙ නැති කුඩු කෙළි

 

තවමත් රටේ ඇඳිරි නීතිය ය. දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තහනම්ය. ඇඳිරි නීතිය කඩන උදවිය දහස් ගණන් අත් අඩංගුවට ගෙන තිබේ. බාර් වසා ඇත. කවුරුත් කීවේ කොවිඩ් 19 එක අතකට රටට හොඳක් කළ බවය. ඒ උපකල්පන අනුව නම් දැන් බේබද්දන්ට බොන්න නැත; කුඩු කාරයන්ට කුඩු නැත. බේබද්දන්ට හා කුඩ්ඩන්ට ඉන්නට වෙන්නේ ස්වයං නිරෝධායනයේය. එහෙම ඉන්නා විට මුං ඉබේ පුනරුත්ථාපනය වනු ඇත. කොවිඩ් වලින් පස්සේ බේබදු කම අඩු, කුඩු අඩු සොඳුරු රටක් හැදෙනු ඇත.

අප එහෙම හීන දකින්නට කැමතිය. තමන් තුළින් ඇතිවන ස්වයං විනයකින් මිස ඔළුවට පිස්තෝලය තබා ශික්ෂණය කළ හැකි මිනිස් සමාජ නැත. බාර් වැසූ පසු සෑම ගමකම කසිප්පු තිප්පල දෙක තුනක් රහසින් ඇරඹුණේය.

බෝතල් දහයක් පහළොවක් පෙරාගෙන තමන්ටත් අඩියක් ගහන්නට ඉතිරි කරගෙන ඉතිරි ටික විශ්වාසවන්ත සමාජිකයන් අතර බෙදා හරින මේ ව්‍යාපෘති අල්ලන්නට පොලිසියටත් අසීරුය.

කුඩු කතාවත් එසේය. මහාපරිමාණ කුඩු තොග ඇඳරි නීතිය අස්සේත් අත්අඩංගුවට පත් වුණේය. පොඩි පොඩි කුඩ්ඩෝත් කොටු වූහ.

වර්ෂ 2019 දී මුහුදේදී අත්අඩංගුවට ගත් මුළු කුඩු ප්‍රමාණය කිලෝ 792 කි. අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 03 කි. ඒ අවුරුද්දේ ගොඩබිමින් හමුවූ වැඩිම කුඩු ප්‍රමාණය වූ කිලෝ 294.5 කි. ඒ කුඩු සිරිය බලන්නට එවකට රටේ සිටි ජනාධිපතිවරයාත් ගියේය. කුඩු ප්‍රවාහනය කරන උන් නීතියේ දැලට හසුවුණේය.

කුඩු ගහන කුඩ්ඩන් ද දැලේ පැටලුණේයෙ. එහෙත් මේ ජවාරම පසුපස සිට එය මෙහෙයවන මහා බලසම්පන්න අපාරාධකරුවන් හසුවුණේ නැත. උන් ලොකුය; දැල පුංචිය. හැමදාමත් එහෙමය. ඒ නිසා රට කුඩුවලින් සශ්‍රීකය; කිසිම හිඟ පාඩුවක් නැත.

පසුගිය මාස තුනේ පමණක් මුහුදේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 739 ක් අත් අඩංගුවට ගත්තේය. හෙරොයින් කිලෝ 438 ක් අත්අඩංගුවට පත් විය. ලංකාවේ මෙතෙක් භාවිත වන බවට සාක්ෂි නැති කෙටමයින් නැමැති මත්ද්‍රව්‍යය කිලෝ 579 ක් ඒ අතර විය. ලංකාවේ ආරක්ෂක අංශ විසින් මෙහෙයුමකින් කොටු කරගත් වැඩිම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගන්නේත් කොවිඩ් ඇඳරි නීතිය අතරය. ඉරාණයේ සිටි යාත්‍රා කළ මේ මත්ද්‍රව්‍ය සහිත නැව ලංකාව ඇතුළු රටවල් දෙකක් වෙත මත්ද්‍රව්‍ය ප්‍රවානය කළ එකකැයි නාවික හමුදාව කීවේය.

ඇඳිරි නීතිය අතර කුඩු වෙළෙඳපල

කොපමණ කුඩු ඇල්ලුවත් කවදාවත් රටේ කුඩු හිඟ වුණේ නැත. එය කවුරුත් කී කතාවය. එහෙත් ඇඳිරි නිතීය දමා මිනිසුන් ගෙවල්වල හිර කළ රටක කුඩු සුලබ වීම වෙනම කළ යුතු විමසීමකි.

ප්‍රායෝගික නෛතික තත්ත්වය වෙනස් වුණු, බැලූ බැලුමට මැස්සෙකුටවත් හෙල්ලෙන්ට බැරි බව පෙනෙන පරිසරයක ඉතාම පහසුවෙන් රට වටා කුඩු සංසරණය වන අයුරුත් කුඩුවල කිසිම හිඟ පාඩුවක් නැති අයුරත් කියන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා බුද්ධි අංශවල තොරතුරුය.

සික් එකේ සිටින එක කුඩ්ඩෙක්වත් හමුවන්නේ නැතැයි කියන්නෙ දන්නා කියන පොලිසියේ ඇත්තන්මය. පොලිස් වාර්තා ප්‍රකාරව ඇඳිරි නීතිය සමයේ රට පුරා දස දහසකට අධික මත්කුඩු වැටලීම් ප්‍රමාණයක් කර තිබෙන්නේය. දස දහසකට අධික පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන්නේය. ඒ දත්ත තහවුරු කරන්නේ නොනැවතුණු කුඩු ජාවාරමේ තරමය.

“මේ දවස්වල එන බඩු හොඳයි.“ ඇඳිරි නිතිය අස්සේ කුඩු කතා ගැන හොයමින් යනවිට හමුවන කුඩුවලට ඇබ්බැහි වූ තරුණයෙක් කීවේය. “ බඩුවල අඩුවකුත් නෑ... ඕන තරම්. වැඩේ තියෙන්නෙ අතේ සල්ලි නෑ.“ ආතල් කඩාගෙන නිරෝධායන වෙන්නට අකමැති ඔහු වැන්නෝ දහස් ගණනක් වෙති.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ දත්තවලට අනුව අඩුම තරමින් ලක්ෂයකට අධික පිරිසක් මත්කුඩු වලට ඇබ්බැහි වී සිටිති. ඔවුන් මාසිකව කුඩු කිලෝ සීයක්වත් පරිභෝජනය කරති. මේ කුඩු ප්‍රමාණයෙන් තුනෙන් දෙකකට ආසන්න පංගුවක් අවශ්‍ය වන්නේ බස්නාහිර පළාතටය. ඉතිරි ප්‍රමාණය රට පුරා සංසරණය විය යුතුය. කොළඹ තුළ මේ වනවිට ඇත්තේ වෙනස් තත්වයකි.

කුඩු තිප්පලවල් සේ ප්‍රමුඛ ලෙස හඳුනාගෙන ඇති වතු මධ්‍යයේ පිහිටි ගුබ්බෑයම් වේ. කුඩු උරන්නන්ට අවශ්‍ය පහසුකම් සැපයීම හා කුඩු අලෙවි කිරීම ප්‍රධාන වශයෙන් සිදුවූයේ මේ ස්ථාන හරහා ය.

මේ වනවිට එවැනි තැන්වලට ආගන්තුකයෙකුට පහසුවෙන් එන්නට නොහැකිය. කොවිඩ් වසංගතය පතුරුවන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ය යන කාරණාවත් සමග වෙනදාට වඩා කොළඹ ආශ්‍රිත වතුවල පිරිස් ආගන්තුකයන් ගැන සැලකිලිමත්ය. එබැවින් සෑම වත්තකම පාහේ කුඩු උරන්නන් වෙනුවෙන් වෙන් වූ ගුබ්බෑයම් වැසී වැසී ගොස්ය. මේ පසුබිමේ කොළඹ තුළ කුඩු බෙදා හැරීමේ ජාලය කොළඹින් පිටත තරම් සක්‍රීය නැත.

එබැවින් මේ වනවිට කොළඹ ආශ්‍රිතව කුඩු මිල ගණන් පහළ ගොස් ඇති ආකාරය වාර්තා වේ.

ඊට එක් මූලික හේතුවක් වී ඇත්තේ කුඩු උරන්නන්ගේ ආර්ථික ශක්තිය වෙන කවරදාටත් වඩා හීන වීමය. ගෙයකට පැන යමක් අතපත ගාගන්නට බැරිය. මිනිසුන් හැමෝම ගෙවල්වලය. හොරකම් කළ යමක් විකුණා ගන්නට බැරිය. වෙළෙඳපළක් නැත.

කුඩු උරන්නන් මෙතෙක් කරගෙන ගිය රැකියා ප්‍රමාණයක් තිබේ. එකක් පරණ යකඩ විකිණීමය. දෙවැන්න බෝතල් පත්තර විකිණීමය. ගස් නැගීමය. ඉදිකිරීම් සමාගම්වල දෛනික වැටුපට වැඩ කිරීමය.

මේ සෑම රැකියා අවස්ථාවක්ම පාහේ වැසී ගොස් තිබේ. එබැවින් ඔවුන්ගේ වියදම් කිරීමේ හැකියාව පහළ ගොස් ඇත. බඩු කොපමණ තිබුණත්, මේ අවස්ථාවේ ඊට මිලක් නැත. සිල්ලරට කුඩු අලෙවි කරන්නන් තමන් සන්තකයේ කුඩු ගබඩා කර ගෙන තියා ගන්නට කැමතිත් නැත. ඒ නිසා පසුගිය කාලයේ පන්සියයට විකිණුන කෑල්ල දැන් දෙසීය තුන්සීය දක්වා පහළ බැස ඇතැයි කියැවේ.

කුඩු හොයාගෙන කොළඹ අවට සිට කිලෝමීටර දහය පහළොව පයින් යන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ගැන වාර්තා වේ.

පරීක්ෂණ කපොලු මගහරිමින් පා ගමනින් යන මේ පිරිස විශේෂ අවධානයකට යොමු වන්නේත් නැත. සනීපාරක්ෂක කටයුතු, රෝහල් සේවයේ කම්කරු කටයුතු වැනි අත්‍යවශ්‍ය සේවා හා සම්බන්ධ විවිධ සුලු රැකියා කරන උන් මේ අතර සිටී නම් ඔවුන්ට ප්‍රශ්නයක්ම නැත. සමහර අවස්ථාවල මගදී ප්‍රවාහන පහසුකම් ද ලැබේ.

කොළඹ දන්නා ඕනෑම කුඩු කාරයෙකුට තමන් මෙතෙක් ගෙනුදෙනු කළ බෙදාහැරීමේ ස්ථානවලින්ම වෙනදාට වඩා අඩු මිලට කුඩු ලබා ගත හැකි වී තිබේ.

කොළඹින් පිට මත්කුඩු

මේ වකවානුව තුළ අවශ්‍ය නම් අතෙත් කුඩු ගෙනයා හැකි බව කියන්නේ කුඩුවලට ඇබ්බැහි වූවන්ය. විශේෂ ඔත්තුවක් නොලැබෙන්නට කිසිම සැක කරුවෙක් පරීක්ෂා කරන්නට ආරක්ෂක අංශ කටයුතු කරන්නේ නැත. මේ තත්වය තුළ මුව ආවරණ තුළත් කුඩු සඟවාගෙන යන ආකාරය හෙළි වන්නේ අහම්බෙනි.

ගම්පහ, කළුතර, පමණක් නොව, ගාල්ල, මාතර, දඹුල්ල, ගලේවෙල අනුරාධපුරය වැනි කොළඹින් එපිට පළාත්වලත් බුලත් විටක් හොයා ගන්නට නැතිමුත් කුඩු සම්බන්ධව නම් කරදරයක් නැති බව වාර්තා වන්නේය.

මූලික බෙදාහැරීමේ ධාරාවන් වෙනුවට විකල්ප වලට යන්නට කුඩු ජාවාරම් කාරයෝ කටයුතු කර තිබුණහ. දිස්ත්‍රික්ක හරහා භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ ඇඳිරි නීති බලපත්‍ර පෝලිම්වල නොසිට ලබා ගැනීමට මේ ජාවාරම් කරුවන් සමත්ය.

අවශ්‍ය වන්නේ පොලිස් සොක්කෙකුට කීයක් හෝ අතමිට මෙළවීම පමණි. එසේ ලබාගත් අත්‍යවශ්‍ය සේවා බපලත්‍ර යටතේ කොළඹ සිට කුඩු රට වටේ ප්‍රවාහණය වන ආකාරය හෙළි වෙමින් ඇත. මේ වකවානුවේ විශේෂ ඔත්තුවක් නොවන්නට සැක සහිත වාහනයක්වත් පරීක්ෂා කරන්නට කටයුතු කෙරෙන්නේ නැත.

එමෙන්ම වාහන දිස්ත්‍රික්ක අතර ගමන් කරන්නේ පොලිස් අවසර පත්‍ර සහිතවය. ඒ නිසා විශේෂ සැකයක් උපදින්නේත් නැත. අනෙක කොවිඩ් උවදුර හමුවේ වාහනයේ ඇඳිරි නීති බලපත්‍රය පරීක්ෂා කෙරෙන්නේත් මීටරයක දුරක් තබා ගනිමිනි. මේ තත්වය කුඩු ජාවාරම් කරුවන් සිය බෙදාහැරීම් කටයුතු සඳහා මැනවින් භාවිත කරමින් සිටී.

මේ අතර සිදුවන තවත් බිහිසුණු අපරාධයක් පිළිබඳව තොරතුරු කියැවේ. එනම් මත්ද්‍රව්‍ය වැටලීම් වලට සම්බන්ධ සමහර රාජ්‍ය නිලධාරීන් හරහාම ඒ ඒ පෙදෙස්වල කුඩු අවශ්‍යතාව සම්පූර්ණ වන බවය. මත්කුඩු ජාලය හා සෘජුව සම්බන්ධ නොවී තැරැව් කරුවන් කීපදෙනෙක් අතරින් ගොස් කෙරෙන මේ ජාවාරමේ මුල ලෙහෙසියෙන් පෙනෙන්නේ නැත.

මත්කුඩු අත් අඩංගුවට ගෙන ඒ කුඩු සඳහා වරදකරුවන් කර පිරිසක් බන්ධනාගාරගත කරද්දී ඔවුන්ගේ වරදට මූලික වුණු මත් කුඩු ටික යළිත් සමාජය තුළ අලෙවි වීම මොන ආකාරයේ විකෘතියක් දැයි වැටහෙන්නේ නැත.

මේ මුල් සොයා ගැනීම සඳහා ගත යුතු හොඳම ප්‍රවේශය මේ සමහර නිලධාරීන්ගේ වත්කම් විමසීමය. එතැනින් පටන් ගෙන බොහෝ දුර යා හැකිය. එහෙත් එය ලෙහෙසියෙන් සාධනය කළ හැකි ඉලක්කයක් නොවේ.

Comments