මුහුදු මහා විහාරයේ ඉඩම් කොල්ලයට තිත | සිළුමිණ

මුහුදු මහා විහාරයේ ඉඩම් කොල්ලයට තිත

මුහුදු මහා විහාරය ඇතුළත් පුරා විද්‍යා රක්ෂිතයට අවම වශයෙන්  අක්කර 30ක් ඇතුළත් කොට ගැසට් කිරීමට රජය තීන්දු කරයි

අම්පාර දිස්ත්‍රික්කයේ වෙරළබඩ කලාපයේ පොතුවිල් නගරය ආසන්නයේ පිහිටි මුහුදු මහා විහාරය අනාදිමත් කාලයක සිට සිංහල බෞද්ධ ජනතාවගේ විශේෂ අවධානයට ලක් වූ ඓතිහාසික පුරාවිද්‍යා ස්ථානයකි. ඉතිහාසයේ මෙන්ම වර්තමානයේ ද වරින් වර අන්‍ය ජාතිකයින්ගේ විවිධ ආක්‍රමණික ක්‍රියා සහ විවිධ තාඩන පීඩන වලට ගොදුරු වී ඇති මේ පින්බිම මේ වන විට එම ක්‍රියාවලියේ උග්‍ර තත්ත්වයට පත්ව ඇත.

මෙම පුරා විද්‍යා ස්ථානය සඳහා එවකට හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂක ජනරාල් සෙනරත් පරණ විතාන මහතා විසින් අක්කර 72 යි රෑඩ් 03 යි පර්චස් 13 ක් මැන වෙන් කොට ගැසට් කර ඇතත් අද වන විට එම ප්‍රමාණය අක්කර 7 - 8 ක ප්‍රමාණයක අඩු වී ඇත. එසේ වී ඇත්තේ අනවසර පදිංචිකරුවන් විසින් එකී ඉඩම් වරින් වර දේශපාලන උදව් උපකාර ඇතිව අල්ලා ගැනීම නිසාය.

ඉකුත් සුනාමි ව්‍යසන අවස්ථාවේ අම්පාර දිස්ත්‍රික්කයේ වෙරළබඩ කලාපයේ බොහෝ ස්ථාන ගම් නියම්ගම් විනාශ වී අනතුරට ලක් වූවත් මෙම ඓතිහාසික පින්බිමට කිසිදු හානියක් නොවීය. ඒ වටා පිහිටා තිබූ ස්වාභාවික වැලි කන්ද නිසාය. එයද පසුගිය වර්ෂයේ අවසාන භාගයේ දී පොතුවිල් ප්‍රාදේශීය සභාවේ අවශ්‍යතා මත කියමින් තාවකාලික බලපත්‍රයක් ලබා ගෙන එම වැලිකන්ද කපා වැලි ප්‍රවාහනය කිරීමට පටන්ගෙන තිබුණි. එමගින් මෙම පුරාවිද්‍යා ස්ථානයේ ආරක්ෂාවට විශාල තර්ජනයක් එල්ල වූ අතර ඒ සඳහා රට තුළින් එල්ල වූ දැඩි විරෝධතා මත තාවකාලිකව එය නැවතුනි. එසේ වූවද හොර රහසේ රාත්‍රී කාලයේ කළ අනවසර වැලි ප්‍රවාහනයන් නතර වූයේ නැති බව ප්‍රදේශවාසීන් පවසති.

එසේම පසුගිය කාලය පුරාවටම වරින් වර මෙම පුරාවිද්‍යා ස්ථානය සතු ඉඩම් ද අනවසර කරුවන් විසින් අල්ලාගෙන වැටවල් ගසා මායිම් කර ගෙන ඇත. එවන් අවස්ථාවල දී මෙම භූමියට අයත් ඉඩම් මැන වෙන් කරවා දෙන ලෙස එදා මෙදා තුර රටේ සිටි පාලකයින්ගෙන් ඉල්ලා සිටියත් එය ඉටු වී නැත. එසේම මෙම ඓතිහාසික පුරා විද්‍යා ස්ථානයට ඒ මත තිබූ ප්‍රධාන මාර්ගය ද ටිකෙන් ටික අල්ලා ගැනීම නිසා පසු කාලයේ දි වන්දනා බස් රථයකට වත් යාමට නොහැකි පරිදි එම මාර්ගය පටු විය. පසුව ඒ සදහා වෙනත් මාර්ගයක් පවා සකස් කර ගැනීමට සිදු වී ඇත.

මේ අතර පසුගිය මාස 02 ක පමණ කාලයක් තිස්සේ රටේ පැවති අයහපත් වාතාවරණය හා ඇඳිරි නීතිය තත්ත්වය තුළ එයට මුවාවෙමින් නැවත වරක් පුරාවිද්‍යා භූමිය සතු ඉඩම් කොටස් අල්ලා ගෙන වැටවල් ගසා ගැනීමට කටයුතු කර ඇත. තවද පොතුවිල් ප්‍රාදේශීය සභාව ද මෙම පුරා විද්‍යා හා වෙරළ ආරක්ෂක ඉඩම් ආක්‍රමණය කර සුසාන භූමියක් ද වෙන් කර ඇත. මෙම විහාර භූමියට අයත් ඉඩම් පමණක් නොව වෙරළ සංරක්ෂණයට අයිති ඉඩම් ද යම් යම් පුද්ගලයින් විසින් අල්ලා ගෙන වැටවල් ගසා මායිම් කර තිබූ අතර ඒ පිළිබඳ පසුගිය කාලයේ වෙරළ සංරක්ෂණ නිළධාරීන් විසින් අනවසර කරුවන් ඉවත් කිරීම සදහා නඩුවක් පවරා ඇත. නමුත් නඩු දින වලට අදාළ සාක්ෂි කරුවන් ඉදිරිපත් නොවීම නිසා එකී නඩුවද නිශ්ප්‍රභ කර ඇත. එම තීන්දුවෙන් පසු ඔවුන් මෙසේ නැවතත් ඉඩම් අල්ලා ගැනීමට පටන් ගෙන ඇති බව පොතුවිල් විහාරාධිපති වරකාපොළ ඉංද්‍රසිරි හිමියන් පැවසීය. මේ පිළිබද උන්වහන්සේ විසින් පොතුවිල් පොලීසියට පැමිණිලි කර ඇති අතර පොලීසිය විසින් ඉඩම් අනවසර කරුවන් පොලිසියට කැදවා පරීක්ෂණයක් සිදු කර ඇත. එහිදී අනවසර කරුවන් පවසා ඇත්තේ තමන්ට මෙම ඉඩම් සදහා බලපත්‍ර නොමැති බවත් ඉහත නඩු තීන්දුවෙන් දින 14 කට පසු ඉඩම් අල්ලා ගන්නා ලෙස අදාළ නීතිඥ වරයා පැවසූ නිසා නැවත ඉඩම් අල්ලා ගත් බවයි. පසුව පොලිසිය විසින් සිද්ධිය සමථයකට පත් කර ඉඩම් වලට අයුතු ඇතුළු වීම නොකරන ලෙසට අවවාද කර ඇත. එහෙත් එළැඹුණු ඇඳිරි නීති කාලය තුළ ඔවුන් නැවතත් ඉඩම් අල්ලමින් වැටවල් ගසමින් සිටින බව විහාරාධිපති වරකාපොල ඉංද්‍රසිරි හිමියෝ සදහන් කරති.

“අපි ඉල්ලා සිටින්නේ නීත්‍යානූකූලව ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති පොතුවිල් මුහුදු මහා විහාරයට අයත් ඉඩම් ප්‍රමාණය මැන වෙන් කරවා දෙන ලෙසයි. අපිට වෙන කාගෙවත් ඉඩම් අවශ්‍ය නැහැ. දැන් කාලයක් තිස්සේ ඉල්ලීම් කරමින් උද්ඝෝෂණ කරමින් ඉල්ලා සිටින මෙම නීත්‍යානූකූල ඉල්ලීම ඉටු කර නොදෙන්නේ ඇයි“ විහාරාධිපති හිමියෝ අසති.

මේ පිළිබඳ අප පොතුවිල් වෙරළ ආරක්ෂක නියාමක වීරතුංග මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකින් ඔහු සඳහන් කළේ වෙරළ ආරක්ෂක කලාපයට අයත් ප්‍රදේශයක අනවසර ඉදි කිරීමක් කළොත් තමන් ඒ පිළිබද නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් එසේම මුහුදු මහා විහාරීය පුරා විද්‍යා භූමියේ යම් අනවසර ඉදිකිරීමක් කරන්නේ නම් පුරාවිද්‍යා පනත යටතේ නීතිමය ක්‍රියා මාර්ග ගතයුතු බවයි.

මේ පිළිබද අප වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගෙන් කළ විමසීමේ දී ඔහු මෙසේ සඳහන් කළේය. “වෙරළ සංරක්ෂණ කලාපයේ වැටවල් ඉදිකර ඇත්නම් අපි ඒවා ගලවා දමන්න උපදෙස් දීලා තියෙනවා. පසුගිය කාලයේ සිදු වූ එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් අපි නඩු පැවරුවා. එහි දී සාක්ෂිකරුවන් නොපැමිණි නිසා යැයි කියා නඩුව නිශ්ප්‍රභ කළා. නමුත් එහිදී අධිකරණය මගින් සාක්ෂි කරුවන්ට සිතාසි යවලා, කැදවීම් කරලා තිබුණේ නැහැ. එය අපේ වරදක් නොවේ. දැනට පවතින තත්ත්වය පිළිබද අපිට වාර්තා වෙලා නැහැ. ඒ පිළිබඳ සොයා බලනවා.

පොතුවිල් ප්‍රාදේශීය ලේකම් ආර්.පෙරවියරාජ් මහතා පවසන්නේ ‘මෙම ඉඩම් වල අයිතිය ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටයි.

ඒ අනුව නීතිමය පියවර ගත යුත්තේ ද පුරා විද්‍යා දෙපාර්තමේන්තුවයි. මේ පිළිබදව දැනට ප්‍රදේශයේ ග්‍රාම සේවක මහතාට දන්වා වාර්තාවක් ගෙන්වීමට කටයුතු කර තිබෙනවා. දැනට පවතින කොරෝනා වසංගත තත්ත්වය වෙනස් වූ පසු අනෙකුත් පාර්ශ්වයන් ගෙන්වා අදාළ පියවර ගැනීමට කටයුතු කරනවා. කෙසේ වෙතත් ලබන සතිය වන විට මේ පිළිබදව විසඳුමක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා.

කෙසේවෙතත් රජය මේ සම්බන්ධයෙන් පසුගියදා කඩිනමින් ක්‍රියාත්මක වූයේය. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මුහුදු මහා විහාරය ඇතුළත් පුරා විද්‍යා රක්ෂිතයට අවම වශයෙන් අක්කර 30ක් ඇතුළත් කොට ගැසට් කිරීමට කටයුතු කරන ලෙස පරිසර හා වනජීවී සම්පත් , ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමති එස්.එම්.චන්ද්‍රසේන මහතා නිලධාරීන්ට උපදෙස් දෙන ලදි. අමාත්‍යාංශයේදී පසුගිය 13 වැනිදා පැවති සාකච්ඡාවකදී ඇමතිවරයා ඒ බව ප්‍රකාශ කළ අතර මේ වන විට මුහුදු මහා විහාරය ඇතුළත් පුරා විද්‍යා රක්ෂිතයෙන් අක්කර 17ක් බලෙන් අත්කරගෙන සිටින බවත් වෙරළ සංරක්ෂණය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වල කොටසකත් එලෙස අනවසර පදිංචිකරුවන් සිටින බවත් එම සාකච්ඡාවේදී අනාවරණය වී තිබිණි.

 

Comments