මිලියනයකට වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබූ මුහුණු පොතේ ත්‍රී සිස්ටර්ස්ලා | Page 2 | සිළුමිණ

මිලියනයකට වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබූ මුහුණු පොතේ ත්‍රී සිස්ටර්ස්ලා

ත්‍රී සිස්ටලා කියු විට අපේ මතකයට එකවරම නැගෙන්නේ ප්‍රවීණ ගායන ශිල්පි ඉන්ද්‍රානි පෙරේරා හා අගේ සොයුරියන් දෙදෙනාය. හැට හැත්තෑව දශකයේ සංගීත ක්ෂේත්‍රයට පිවිසි මේ අක්කා නගෝලා තිදෙනාගෙන් අද වන විට ගායන ක්ෂේත්‍රෙය් රැඳි සිටින්නේ අපගේ ආදරණීය ගායන ශිල්පිනී ඉන්ද්‍රානි පෙරේරා පමණය. ඇය ගැඅයූ සෑම ගීතයක්ම වාගේ අදටත් බෙහෙවින් ජනප්‍රියය. මේ කතා කරන්නට යන්නේ ඇය පිළිබඳ නොවේ. නමුත් ඇය සිහිපත් වුයේ පසුගියදා මුහුණු පොතේ අන්තර්ජාලයේ, යූටියුබයේ දුටු එක්තරා විඩියෝවක් නිසාය. එය දුටු සැණින් මතකයට ආවේ ඉන්ද්‍රානි පෙරේරා ඇතුළු ත්‍රී සිස්ටර් ලාය. මිලියනයකට අධික පිරිසක් නරඹා ඇති මෙම විඩියෝව කාගේ දැයි සොයා කළ මෙහෙයුමේ දී අපට ඇය හමුවිය. ඇය ශශිනි ලක්ශි හිටිබණ්ඩාරය.

“ මමයි මගේ නංගිලා දෙන්නයි තමයි ඒ විඩියෝවේ ඉන්නේ. මම ඉගන ගත්තේ මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ. ඉන් පස්සේ කැලණිය විශ්වවිද්‍යාලයෙන් බාහිර උපාධිය ලබාගත්තා. දැනට ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාව හදාරනවා. අපි ගෙදර නිකන් ඉන්න වෙලාවට සින්දු කියනවා. මගේ දෙවැනි නංගි සංගීතය හදාරනවා. බාල නංගි තවමත් ඉගෙන ගන්නවා. මමත් උසස් පෙළට සංගීතය හැදෑරුවා. අපි කියපු ඇපල් මලක් සින්දුව මුහුණු පොතට දැම්මා. ඇත්තටම අපිවත් හිතුවේ නෑ එය මේ තරම් විශාල පිරිසක් නරඹයි කියලා. ඒක මිලියනයකට වැඩි පිරිසක් නරඹා තිබුණා. මට මගේ මහත්තයාගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. ඔහු තමයි අපි සින්දු කියන ඒවා විඩියෝ කරන්නේ.” ශශිනි පවසන්නීය.ඇග් සැමියා වන්නේ ධනුශ්ක ලොකුමීගොඩගේ ය. ව්‍යාපාරිකයකු වන ඔහු මෝස්තර නිරුපණ ක්ෂේත්‍රයට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ අයෙකි. ශශිනි ද රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට මෙන්ම මනාලියන් හැඩ ගැන්වීමට මෙන්ම නිවේදිකාවක ලෙසින්ද කටයුතු කරන්නීය.

“ මම දැනට ස්වර්ණවාහිනි රූපවාහිනි නාලිකාවේ සහන නිවේදිකාවක් ලෙසින් කටයුතු කරනවා. ඊට අමතරව මනාලියන් දැක්මවල් ආදී වූ ප්‍රසංගවලත් නිවේදිකාවක් ලෙස කටයුතු කරනවා. මම මේ ගමන ආවේ මගේ උත්සාහයෙන්. අපට ජීවිතේ බොහෝ දුෂ්කරතා තිබුණා. නුවර ඉදලා මම කොළඹට ආවාම අපේ නෑයෝ විවිධ දේ කියන්න ගත්තා. අපට උදව් කරන්න කෙනෙක් හිටියේ නැහැ. මගේ තාත්තා විදේශගත වෙලා රැකියාවක නිරතව සිටියේ. ඔහු දැන් කාලයක් තිස්සේ අසනීපෙන් ඉන්නේ. අම්මා රැකියාවක් කළේ නැහැ. අපිට බොහෝ ආර්ථික ප්‍රශ්න තිබුණා. අම්මා තමයි අපට ලොකුම හයිය වුණේ. දැන් අම්මත් මගේ මහත්තයාත් අපට විශාල ශක්තියක්. මට මාධ්‍යට පිවිසෙන්න උදව් කළේ සද්ධා මංගල සූරියබණ්ඩාර සර්. මම රූපලාවණ්‍ය ශිල්පය හැදෑරුවේ ඩ්‍රිම්රොන් පාසලෙන්. මගේ මහත්තයා චාන්දනි බණ්ඩාර මිස්ගේ සැලොන් එකේ ඉගෙන ගෙන තියෙනවා. අපි දෙදෙනාම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ නිසා අපට එක ගමනක් යන්න පුළුවන් කමක් ලැබී තිබෙනවා. අපි අලුත් සින්දුවක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. මේ දවස්වල රටේ තිබෙන තත්ත්වය නිසා එය පොඩ්ඩක් කල් ගියා. ඒ වගේම තමයි අපට උදව් කරන අයට, අපිව අගය කරන හැම දෙනාටම අපි බොහොම ආදරයෙන් ඔවුන් ගැන සිහිපත් කරනවා. “ ශශිනි පවසන්නීය.

ශශිනි ගී ගයන්නේ තම දෙවැනි නැගණිය වන සෙව්වන්දි හිටිබණ්ඩාර හා බාල නැගණිය වන හයේශි හිටිබණ්ඩාර සමඟය. සෙව්වන්දි මේ වන විට සංගීතය වැඩිදුර හදාරමින් සිටින්නීය. ඒ අතර ඇයත් ඇගේ නැගනියත් මෝස්තර නිරූපිකාවන් (මනාලියන් ලෙස සැරසීම) ද කරන්නාහ. සෙව්වන්දිගේ බලාපොරොත්තුව සංගිත ක්ෂේත්‍ර යේ ඉදිරියට යෑමය. එමෙන්ම ඇය කඳුරට සේවයේ නිවේදිකාවක් ලෙස කටයුතු කරන්නීය. හයේශි ස්වරණමාලි බාලිකා විද්‍යාලයේ උසස් පෙළ කලා අංශයෙන් ඉගෙනුම ලන්නිය. ඉගෙනීමට මෙන්ම නර්තනයට ගායනයට ද දක්ෂ ඇය පාසලේ නිවේදන කටයුතු වලට ද සම්බන්ධ වන්නීය. එමෙන්ම ඇය ද සිය වැඩිමල් සොයුරියන්ගේ අඩිපාරේ යමින් නිවේදිකාවක් ලෙසද කටයුතු කරන්නීය.

දියණියන් තිදෙනෙකු කාලයේ හැටියට රැක බලාගෙන ඔවුන්ගේ ඉදිරිය සකස් කිරීම අසීරු දෙයකි. මේ දියණියන්ගේ අම්මා අපට පැවැසුවේ මෙවැනි කතාවකි. ඇය ඩී. ඒ. ඩබ්ලිව්. ඩබ්ලිව්. බණ්ඩාරමැණිකේය. “කාලයක් මගේ මහත්තයා විදේශ ගතවෙලා හිටියා. ඒ දරුවෝ පොඩිකාලේ. මම තනිවම මේ තුන්දෙනා බලකියා ගත්තේ. අපිට ආර්ථික ප්‍රශ්න තිබුණා. දැන් එ් හැමදෙයක්ම වෙනස්. ලොකු දුව තමයි අසනීපයෙන් සිටින තාත්තාට නංගිලා දෙන්නට මට බලන්නේ. මගේ දුවලා තුන්දෙනා අද මේවගේ ඉන්නවා දැක්කාම මට සතුටුයි. ඒ වගේම පුතෙක් නැති මට හොඳ බැණා කෙනෙක් ලැබුණා. ඔහු අපට පුතෙක්. ඔහු අපේ පවුලට ලොකු ශක්තියක්.“බණ්ඩාර මැණිකේ පවසන්නේ සතුටෙනි.

ශශිනි, සෙව්වන්දි, හයේශි අක්කලා නංගිලා තිදෙනා පිටුපස සිටින ලොකුම ශක්තිය ධනුශ්ක ය. “ශශිනිට වගේම එයාගේ නංගිලා දෙන්නටත් සින්දු කියන්න පුළුවන්. මම තමයි මේවා විඩියෝ කරන්නේ. ඒ වගේම මම තමයි ඒ ගොල්ලන්ගේ පළමු ප්‍රේක්ෂකයා; විචාරකයා. මම මෝස්තර නිරුපණ ක්ෂේත්‍රයට ඉස්සර ඉදන්ම කැමතියි. ව්‍යාපාරික ක්ෂේත්‍ර යේ නියැළී හිටියත් කලාවට කැමැතියි. ඒ නිසා තමයි මම ඔවුන්ට මේ හැමදේමටම සහාය වන්නේ“ ඒ් ධනුෂ්කගේ අදහසය.

Comments