ත්‍රස්තවාදයේ අඳුරු සෙවණැලි මකා හැර එකළොස් වසයි | Page 2 | සිළුමිණ

ත්‍රස්තවාදයේ අඳුරු සෙවණැලි මකා හැර එකළොස් වසයි

අදින් වසර 11කට පෙර බහුතර ශ්‍රී ලාංකිකයෝ අත්පොළසන් නැඟූහ. ඇතැම්හු රතිඤ්ඤා පත්තු කළහ; කිරිබත් කෑහ. ශ්‍රී ලාංකිකයන් කෙනෙකුගේ වියෝවකදී, විපතකදී සතුටු වන ජාතියක් නොවුණද අවුරුදු 30කට ආසන්න යුද බිය නිමා කිරීමේ සතුට එලෙසින් සමරන ලද්දේ වේළුපිල්ලේ ප්‍රභාකරන් නම් ම්ලේච්ඡ ත්‍රස්තවාදියා අවසන් ගමන් ගිය නිසාය.

ප්‍රභාකරන් ත්‍රස්ත නායකයාගේ එකම අරමුණ වූයේ ඊළාම් රාජ්‍යයක් ගොඩ නඟා ගැනීම මිස සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් ජනතාව සමඟ හෝ සමඟියෙන් ජීවත් වීම නොවේ. ඔහුට සිංහල, දෙමළ හෝ මුස්ලිම් කියා වෙනසක් නොවීය. තම මතයට විරුද්ධව කටයුතු කරන ඕනෑම අයකු ඝාතනය කරන්නට ඔහු දෙවරක් සිතුවේ නැත.

ඊළාම් යුද්ධයේ ආරම්භය ලෙස සලකනු ලබන යාපනය නගරාධිපතිවරයාව සිටි දෙමළ ජාතිකයකු වූ ඇල්ෆ්‍රඩ් දොරේ අප්පා මහතා ඝාතනය ලෝකයම පිළිකුල් කරන්නට විය. 1975 වසරේ ජූලි මස 25 වැනිදා සිදු කළ එම ඝාතනය දෙමළ ජනතාව ලෝකයටම අප්‍රිය කරවීමට සිදු කරන ලද්දක් බවට බොහෝ රටවල කතාබහට ලක් විය.

ත්‍රස්තවාදීන් යාපනය පළමු නගරාධිපතිනිය වූ සරෝජනී යොගේස්වර්න් මැතිනිය 1998 මැයි 17 වැනිදාත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නීලන් තිරුචෙල්වම් 1999 වසරේ ජූලි 29 වැනිදා ඝාතනය කිරීමත් එසේම 1998 වසරේ සැප්තැම්බර් මස 29 දින ලයන් එයාර් ගුවන් යානයට ප්‍රහාර එල්ල කරමින් එහි සිටි දෙමළ ජාතිකයන් 48ක් ඇතුළු කාර්ය මණ්ඩලයේ 7 දෙනකු ඝාතනය කිරීමත් ලෝකයම පිළිකුල් කළ තවත් ඒවැනි සිදුවීම් විය.

එසේම හිටපු විදේශ ඇමැති ලක්ෂ්මන් කදිර්ගාමර් මහතා ඝාතනය කළ ත්‍රස්තවාදීන් ඩග්ලස් දේවානන්ද මහතා ඝාතනයටද සැලසුමක් තිබුණු බව අනාවරණය වූයේ කළුතර බන්ධනාගාරයේදී එල්ටීටීඊ රැදවියන් බැලීමට ගිය අවස්ථාවකදී කළ පහර දීම් හා ඝාතනයට උත්සාහ කළ අවස්ථාවේදීය.

කාන්තන්කුඩි මුස්ලිම් දේවස්ථානයක යාඥා කරමින් සිටි මුස්ලිම් ජාතිකයන් 173 දෙනකු ඝාතනය කරන ලද්දේද මේ ම්ලේච්ඡත්වයේ තවත් අවස්ථාවක් පෙන්නුම් කරමිනි.

සාමාන්‍ය සිංහල ජනතාව ඉලක්ක කර ගනිමින් සිදු කරන ලද ඝාතන මෙන්ම බෝම්බ ප්‍රහාරද සංඛ්‍යාත්මකව අතිවිශාලය. පිටකොටුවේ බෝම්බයත්, මරදානේ බෝම්බයත් ඒ අතර මුල් තැනක් ගනී. ඊට අමතරව බස් රථවල හා දුම්රියවල පුපුරවන ලද බෝම්බ සංඛ්‍යාවද සුළු පටු නොවේ. මේ අතුරින් යාල්දේවි දුම්රිය කොකාවිල්හිදී බැරල් බෝම්බ 11ක් අටවා පුපුරවා හරිමින් 34 දෙනකු ඝාතනය කිරීමත්, වේයන්ගොඩදී දුම්රිය මැදිරියක් පුපුරුවා හැරීමත්, අළුත්ගම කාර්යාල දුම්රියක බෝම්බ අටවා 75 දෙනකු ඝාතනය කිරීමත් එවන් සිදුවීම් තුනක් පමණකි.

මේ ම්ලේච්ඡ ත්‍රස්තවාදී නායකයාට විරුද්ධව කතා කරන්නට දෙමළ ජාතිකයන් බිය වූයේ ඔහුගේ දඬුවම මරණය බව දන්නා හෙයිනි. එහෙත් ආරක්ෂක හමුදාවන්ගේ ක්‍රියා කලාපය මීට බෙහෙවින් වෙනස් විය. ආරක්ෂක හමුදාවේ ක්‍රියාකලාපය අවසන් සටනේදී ලෝකයාම දුටුවහ. උතුරේ ත්‍රස්තවාදී පාලන ප්‍රදේශවලින් පැන එන දෙමළ ජාතිකයන්ට තම බත් පත ලබා දෙන්නට වයෝවෘද්ධ මවුපියවරුන් ඔසවාගෙන එන්නට තරම් අපේ හමුදාවෝ මානුෂීයව කටයුතු කළහ. එපමණක් නොවේ. යුද්ධය පවතිද්දී වුවද හමුදාව විසින් කටයුතු කෙළේ සිංහල දෙමළ හෝ මුස්ලිම් යනුවෙන් වෙනසක් ඇතිව නොවේ.

ඒ සම්බන්ධව එක් කතාවක් පමණක් මෙහිදී ගෙන හැර දක්වමු.

“ඒ 1995 වසරයි. රිවිරැස මෙහෙයුම ක්‍රියාත්මක වෙමින් පැවතුණි. ජාති ආගම් භේද නොසැලකූ මුස්ලිම් ජාතික කර්නල් ෆස්ලි ලෆීර් අණ දෙමින් එල්. ටී.ටී. ඊ. ත්‍රස්තවාදීන් වෙත හමුදා කණ්ඩායමක් මෙහෙයවාගෙන යන්නට විය. ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයක් හමුවේ නොසැලෙමින් ත්‍රස්තවාදීන් වටකරමින් පහර දී ඔවුන් යටත් කර ගැනීමට කර්නල් ලෆීර්ට හැකි විය. මිය ගිය ත්‍රස්තවාදීන්ගේ සිරුරු 76ක් ඔවුන්ට හමු වූ අතර කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨ ත්‍රස්තවාදියකු කර්නල් ලෆීර්ගේ අත් අඩංගුවට පත් විය. කර්නල් ලෆීර් ඔහුගෙන් විස්තර දැනගත්තේය.

තමා කැමැත්තෙන් සංවිධානයට නොබැඳුණු බවත් බලහත්කාරයෙන් සංවිධානයට බඳවා ගෙන ඇති බවත් ඔහු හෙළි කෙළේය. පසුව හෙතෙම විශේෂ බළකායේ ඔත්තුකරුවකු ලෙස පුහුණු කරන්නට කර්නල් ලෆීර් කටයුතු කෙළේය. හමුදා පාලන ප්‍රදේශවල සිවිල් ජනතාව අතරේ සැඟවී සිටින එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් හඳුනාගැනීම සඳහා කර්නල් ලෆීර් හට එම ‍‍‍කොටි සාමාජිකයා උපකාරි විය. එම කොටි සාමාජිකයා මිය ගිය බව සිතා ඥාතීන් මෙන්ම කොටි සංවිධානයත් ගම පුරා ‍උපහාර පෝස්ටර් අලවා තිබුණි. කර්නල් ලෆීර් කොටි සාමාජිකයාද සමඟ යාපනය වලිකාමම් බටහිර ප්‍රදේශයට ගොස් ඔහුගේ ඥාතීන් සිටින ස්ථාන ගැන දැන ගත්තේය. පසුව හමුදාවේ දැනුම් දීම පරිදි එක් ඥාතියෙක් සවස් වරුවක කර්නල් ලෆීර් සිටින හමුදා කඳවුරට පැමිණියේය. ත්‍රස්තවාදියාට නොදැනෙන සේ මව කඳවුරට කැඳවා ගෙන එන්නැයි ඥාතියාට දැනුම් දීමට කර්නල් ලෆීර් කටයුතු කෙළේය.

මව හමුදා කඳවුරට ආ මොහොතේ කර්නල් ලෆීර් පුතා ගැන මවගෙන් විමසුවේ කිසිත් නොදන්නා අයුරිනි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් නිසා තමාට පුතා නැති වූ බව කියමින් එම මව දෙස් දෙවොල් තබමින් බැණවදින්නටත් ත්‍රස්තවාදී නායකයන්ට ශාප කරන්නටත් විය. ඇයගේ විලාප ඉවසා සිටිනු නොහැකි වූ කර්නල් ලෆීර් තමන් බාරයේ සිටි පුතු ඇය ඉදිරිපිටට ගෙන්වූයේය. ඇස් අදහාගත නොහැකි වූ ඒ මව වැලි සහිත බිම පෙරළෙමින් වැලි පවා කන්නට වූයේ තමාට පුතු ජීවත් වනු දැක වාවාගත නොහැකි වූ නිසාවෙනි. අම්මා ඉදිරියේ ත්‍රස්තවාදියකු වූ පුතාද හඬන්නට විය. මවට කතා කළ කර්නල් ලෆීර් පුතා රැගෙන යන ලෙසත් ඔහු ප්‍රවේශමෙන් තබා ගන්නැයිද මවට පැවසීය. තම පුතු ගෙදර ගෙන යාම අම්මා ප්‍රතික්ෂේප කළාය. කර්නල් ලෆීර් ඒ ගැන මවිත විය.

“ඇයි පුතා එක්ක යන්නෙ නැත්තෙ“

“මම පුතාට ආදරෙයි මහත්තයො, මැරුණා කියලා හිතාගෙන හිටපු මගේ ඒ දරුවා මට ලැබුණෙ අපේ හමුදාවෙ තියෙන මනුස්සකම නිසා, මේ දරුව එක්කරගෙන ගියොත් මේ ත්‍රස්තවාදී තිරිසන්නු ආයෙත් දරුවව බලෙන් අරගෙන යයි. ඊට වඩා මගේ දරුව මහත්තයල ගාව ඉන්න එක මට සතුටක් මහත්තයො“ ඇය තම තරුණ දරුවා බාර දී එසේ නික්ම ගියාය.

සටන් බිමේ සතුරාටත් මානුෂීය ගුණාංග පෙන්වූ කර්නල් ලෆීර්ගේ මනුස්සකම නිසාම හමුදාවට ස්වේච්ඡාවෙන්ම උදව් කරන්නට එකී කොටි සාමාජිකයා කැප වුණේය. එසේම පාසල් ගුරුවරයකු ලෙසින් සේවය කළ තුවාන් මොහොමඩ් නිෂාම් හමුදාවට එක් වන්නේද රට ත්‍රස්තවාදීන්ගෙන් මුදවා ගැනීම පිණිසය. විජයබාහු පාබල රෙජිමේන්තුවේ අතිදක්ෂ නිලධාරියකු ලෙසින් කටයුතු කළ නිෂාම් එම රෙජිමේන්තුවේ අණදෙන නිලධාරියා බවටද පත් විය. A 9 මාර්ගය ත්‍රස්තවාදීන් මුදාගැනීමේ “ජයසිකුරු" මෙහෙයුමේ විශාල වගකීමක් කරට ගත් නිෂාම් 1997දී ඕමන්තේ දී ත්‍රස්ත ප්‍රහාරයකින් රට වෙනුවෙන් දිවි පුදන ලදී.

සිංහල හමුදාව යැයි කොටි ඩයස්පෝරාව විසින් ශ්‍රී ලංකා යුද හමුදාව හැඳින්වුවද ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධය ජය ගන්නට ද්‍රවිඩ ජාතික හමුදා නිලධාරීන් මෙන්ම සොල්දාදුවන්ද කටයුතු කළහ.

විශේෂයෙන්ම මේජර් ජනරාල් ආර්, ෂන්මුගනාදන් ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බළකායේ මධ්‍යස්ථ සේනා විධායක ලෙස සමස්ත කඳවුරු පවා පාලනය කෙළේය.

එමෙන්ම හමුදා නිලධාරීන් රැසක් පුහුණු කළ යාපනය ශාන්ත ජෝන් මහා විද්‍යාලයේම අධ්‍යාපනය ලැබූ බ්‍රිගේඩියර් එඩ්වඩ් තංජරත්නම් ද, කිළිනොච්චියේ ඉපිද රට ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැන්මට කටයුතු කළ 1996 වසරේ මුලතිව් සටනේදී දිවි පිදූ මේජර් සුරේෂ් රාජ් ද දෙමළ ජාතික නිලධාරින්ය. එමෙන්ම ට්‍රැවිස් සින්නයියා යනු නාවික හමුදාවේ සිටි ජ්‍යෙෂ්ඨතම අත්දැකීම් ඇති දෙමළ ජාතික නිලධාරියෙකි. ඔහු නාවික හමුදාපති ධුරයට පත් වූයේ ශ්‍රී ලංකා හමුදාව සියලු දෙනාගේම හමුදාව බව පසක් කරමිනි.

ත්‍රස්තවාදීන් සැමවිටම තම පලිහ නැත්නම් අවිය කර ගත්තේ සාමාන්‍ය ජනතාවය. ඔවුන් බොහෝ විට සිංහල හා මුස්ලිම් ගම්මාන එල්ල කර ප්‍රහාර එල්ල කෙළේ එහෙයිනි.

ජනතාවට බත සැපයූ ගොයම් වනසාලන්නට ඔවුහු මාවිල් ආරු සොරොව්ව 2006 වසරේ ජූනි මස 21 වැනිදා වසා දැමූහ. එයින් සිවුවන ඊළාම් යුද්ධයට ඔවුහු මං පාදා ගත්හ.

මේ අවස්ථාවේදී මානුෂීය මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්නට පියවර ගන්නා ලදී. ඒ අනුව මාවිල් ආරු ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගන්නා ලදී. ඒ අගෝස්තු 08 වනදාය. අගෝස්‌තු 15 දා වනවිට මාවිල්ආරු ජලාශ ප්‍රදේශයම අල්ලාගත් හමුදාව ජනතාවගේ ජල මාර්ගය යළිත් විවෘත කරනු ලැබීය.

2007 වසරේදී කොටි ත්‍රස්තවාදීන්ගේ බලය නැඟෙනහිරින් ගිලිහී යාමත් සමඟ ප්‍රභාකරන් වහසි බස් දෙඩුවේ ශ්‍රී ලංකා හමුදාවට වන්නියට ඇතුළුවීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවයි. අලිමංකඩ හා මුලතිව් පරාජයන් මතක නම් ශ්‍රී ලංකා හමුදාව වන්නිය හෝ උතුර දෙසවත් නොබලනු ඇතැයි ඔහු බීබීසී ගුවන් විදුලියට ප්‍රකාශයක් ලබා දී තිබුණි.

ඒ සඳහා උඩ ගෙඩි දෙන්නට ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම නෝර්වේ, කැනඩා වැනි රාජ්‍යයන්ගේ ඇතැම් දේශපාලන නායකයෝද කටයුතු කළහ. නැඟෙනහිර මෙහෙයුම්වවලින් උද්දාමයට පත් හමුදා නිලධාරීන් මෙන්ම හමුදා භටයන් සියල්ලන්ම උතුර හා වන්නිය දෙසට හැරීමට කටයුතු කෙළේ ඒ ධෛර්යයත් සමඟය. ඒ අනුව නැඟෙනහිර මෙහෙයුම් සිදු වන විටදීම වන්නිය හා උතුර මුදා ගැනීමටද සේනාංක කිහිපයක් යෙදවීමට කටයුතු කරමින් තිබුණි.

2008 අප්‍රේල් මස 24 වැනිදා 57 වන සේනාංකය විසින් මඩු පල්ලියද, 2008 සැප්තැම්බර් 2 වනදා මල්ලාවි නගරයද අල්ලා ගත්තේ ප්‍රභාකරන්ගේ ප්‍රකාශ උඩු යටිකුරු කරමිනි. එමෙන්ම 2007 සැප්තැම්බර් මාසයේදී මෙහෙයුම් ආරම්භ කරන ලද බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් 58 වැනි සේනාංකයට 2008 ජූලි 16 වන විට වෙඩිතලතිව් අල්ලා ගැනීමට හැකි විය. තවත් පැත්තකින් බ්‍රිගේඩියර් නන්දන උඩවත්ත යටතේ 2008 වසරේ ජනවාරි මාසයේදී 59 වන සේනාංකය වැලිඔයෙන් ගමන් ආරම්භ කර තන්නිමුරුප්පු හරහා ඉදිරියට ඇදී වව්නියාව ප්‍රදේශයේ කළු කොටි ගුවන් යානය විනාශ කර දමන ලදී. ත්‍රස්තවාදී බලය සුනු විසුනු කර දමන්නට නම් කිළිනොච්චිය අල්ලා ගත යුතු බව මේ වන විටත් යුද නායකයන් තීරණය කර තිබුණි. එයට හේතු වූයේ ඊළාම් රාජ්‍යයේ අගනගරය ලෙස කිළිනොච්චි නගරය ස්ථාපිත කිරීමට ඒ වන විටත් ත්‍රස්තවාදීන් සිතියම් පවා සකස් කර තිබූ බැවිනි.

2008 වසරේ නොවැම්බර් හා දෙසැම්බර් මාස දෙක ඇතුළත සිදු කරන ලද ප්‍රහාර තුනෙන්ම කිළිනොච්චිය අල්ලා ගැනීමට නොහැකි වූයේ ත්‍රස්තයන් තම උපරිම බලය යොදා තිබූ බැවිනි. ඒ අතර සටන යළිත් ක්‍රියාත්මක කළ යුද හමුදාවෝ ගුවන් හමුදාවේ විශේෂ සහායක්ද පැතූහ. ගුවන් හමුදාව විසින් දිගින් දිගටම එල්ටීටීඊ කඳවුරු වෙත ප්‍රහාර එල්ල කිරීම නිසා යුද හමුදාවට ශක්ති සම්පන්නව ඉදිරි ගමන් සලසා ගත හැකි විය.

2009 ජනවාරි 1 වනදා පරන්තන් නගරයත් එසේම පරන්තන් නගරයට ආසන්න ප්‍රධාන කොටි බලකඳවුර වූ කිලිනොච්චියත් අල්ලා ගැනීමට මේජර් ජනරාල් ජගත් ඩයස්ගේ නායකත්වයෙන් යුත් 57 වන සේනාංකය තවත් පසෙකින් පැමිණි අතර 2009 ජනවාරි මස 2 දින කිලිනොච්චි නගරය අල්ලා ගැනීමට සමත් විය. කිළිනොච්චි පරාජය ප්‍රභාකරන්ට දරා ගත නොහැකි වූයේ ඊළාම් රාජ්‍යයේ අගනගරය ලෙස ඒ වන විටත් ඔවුහු සිතියම් පවා සකස් කර තිබූ බැවිනි.

එහෙත් එම පරාජය හමුවේ ප්‍රභාකරන් පවසා තිබුණේ රජයේ හමුදා අත්පත් කරගත්තේ “මළවුන්ගේ නගරයක්“ බවත් එය පරාජයක් නොව ඉතා සුළු පසු බැස්මක් පමණක් බවයි. එසේ පැවසුවද එක් දිනක් තුළදී කිළිනොච්චි සිට ධර්මපුරම් දක්වා වන කිලෝමීටර් 16කට අධික දුරක් හමුදාව විසින් අල්ලා ගැනීමෙන් ප්‍රභාකරන්ට තරු විසිවන්නට ඇත. මෙම මෙහෙයුම්හි විශාල බරක් කරට ගෙන කටයුතු කළ මේජර් ජනරාල් කමල් ගුණරත්න තවත් සැලසුම් ක්‍රියාත්මක කර තිබුණි.

පෙර සඳහන් කළ බල පෙරමුණුවලට අමතරව චාගි ගාල්ලගේ, අරුණ වන්නිආරච්චි රවිප්‍රිය ලියනගේ, නිශාන්ත වන්නිආරච්චි ඇතුළු හමුදා නිලධාරීහු රැසක්ම හමුදා ඛණ්ඩයන් සමඟ නොනවත්වාම ඉදිරියට ඇදුණාහ. එහි ප්‍රතිඵලයක් ලෙසින් වසර 13ක් පුරා (1996 වසරේ සිට) තම ග්‍රහණයේ තිබුණු මුලතිව් නගරය කොටි ත්‍රස්තවාදීන්ට අහිමි විය. පුදුකුඩිරිප්පු සටනේදී පවා ත්‍රස්තවාදීන් නොසිතූ ලෙස දරුණු ප්‍රහාරයන්ට මුහුණ දෙන්නට සිදුවූ අතර ත්‍රිවිධ හමුදාවේම ප්‍රහාර මැද කොටි ත්‍රස්තවාදීන් මුලතිව් දෙසට රොක් වූයේ මුහුදින් පලා යන අටියෙනි.

59 වන සේනාංකයේ මූලිකත්වයෙන් කළ ප්‍රහාර හමුවේ කොටි ත්‍රස්තවාදීන්ගේ කිළිනොච්චියෙන් පසුව ප්‍රධාන හා එකම බලකොටුව ලෙස රැකගෙන සිටි මුලතිව් අහිමි විය. 2009 අප්‍රේල් 5 වැනිදා පුදුකුඩුඉරිප්පු ආන්දපුරම් සටනේදී ත්‍රස්තවාදී නායකයන් රැසක්ම මිය ගියහ. සෙස්සන්ට අණ දෙන්නට පවා නායකයන් නැති විය. විශේෂයෙන්ම බ්‍රිගේඩියර් කමල් ගුණරත්නගේ මෙහෙයවීමෙන් ඉදිරියට ඇදුණු හමුදාවෝ එල්ටීටීඊයේ කොදු නාරටිය බිඳ දමන්නට සමත් වූහ. පුදුකුඩුඉරිප්පු සටනේදී එවකට කොටි සන්නද්ධ අංශය බාරව සිටි දීපන්, කාන්තා බළකාය බාරව සිටි විෂුදා, මරාගෙන මැරෙන කාන්තා කණ්ඩායම් බාරව සිටි දුර්ගා මිය ගියහ. ඉතිරිව සිටි කොටි ත්‍රස්තවාදීන් පුදුමාතලන් දක්වා පලා ගියේ කොටි නායකයන් ඇතුළු 625කට අධික පිරිසක් මියයාම හේතුවෙනි.

පුදුමාතලන් යුද මුක්ත කලාපයට ඇතුළු වූ ඉතිරි කොටි නායකයන් එහි සිටි සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙස තබා ගනිමින් යුද හමුදාවට ප්‍රහාර එල්ල කරන ලදී.

අප්‍රේල් 20වනදා, 58 හා 59 සේනාංක සමඟ එක් වූ කමාන්ඩෝ බළකාය හා විශේෂ බළකාය යුද මුක්ත කලාපයේ ජනතාව බේරා ගැනීමේ තියුණු සටනකට මුල පුරන ලදී. එහිදී සිවිල් වැසියන් 130,000කට ආසන්න පිරිසක් බේරා ගන්නට සමත් විය.

පසුව වඩ්ඩුවාකල් පාලම ඔස්සේ සාමාන්‍ය වැසියන් හමුදා පාලන ප්‍රදේශයට පැමිණෙන්නට විය. ඒ සියලු ජනතාවට අවශ්‍ය ආහාර පාන ඇතුළු සියලු අවශ්‍යතා සැපයීමට හමුදාවට වෙනම පිරිසක් යොදන්නට සිදුවිය.

මැයි මස 10 වනදායින් පසුව දරුණු සටන් ඇවිළුණු අතර 2009 මැයි 18වනදා සවස වනවිට නඩේෂන්, ඉලංගෝ හා රමේෂ් වැනි ඉහළ පෙළේ කොටි නායකයන් ඇතුළු කොටි සාමාජිකයන් 106කගේ මළ සිරුරු විශේෂ බළකාය විසින් සොයා ගන්නා ලදී. එහෙත් ඒ වන විට පොට්ටු අම්මාන්, සුසෙයි, හා ප්‍රභාකරන් සම්බන්ධව පැහැදිලි විස්තරයක් යුද හමුදාවට ලැබී නොතිබිණි. ඒ අවස්ථාවේදී බ්‍රිගේඩියර් කමල් ගුණරත්න ඒ සම්බන්ධව වහාම අවධානය යොමු කරගෙන සිටි අතර ඒ වන විට හමුදාපතිවරයාට දන්වා තිබුණේ යුද්ධය අවසන්ව තිබෙන බවයි. එහෙත් ප්‍රභාකරන් නොමැතිව එය අවසන් කළ බව පවසන්නට නොහැකි බව ඔහුට අවබෝධ විය.

එම නිසා බල ඇණි නන්දිකඩාල් කලපුව, වට්ඩුවාකල් පාලම අසල හා එම තීරයේ ස්ථාන ගත කරන ලදී. පසු දින උදය වරුවේ හමුදාවට තවත් ප්‍රහාරයක් එල්ල වූයේ සැගව සිටි ත්‍රස්ත කණ්ඩායම් කිහිපයක් විසිනි. බ්‍රිගේඩියර් කමල් ගුණරත්න උපදෙස් දුන්නේ ඒ සඳහා සුළු පිරිසක් යොදවන ලෙසයි. එය ඒ ලෙසින්ම සිදු කෙරිණි. පැයකට ආසන්න කාලයක් පැවැති සටන් අවසානයේ ත්‍රස්තවාදය අවසන් විය. සෝදිසි කිරීම්වලදී ත්‍රස්තයන්ගේ මළ සිරුරු 52ක් හමුවූ අතර ප්‍රභාකරන්ගේ සිරුරද එහි තිබුණි. ප්‍රභාකරන් මැයි 18 වැනිදා ප්‍රහාරවලින් මිය ගිය බවට ස්ථිර කෙරිණි.

ප්‍රභාකරන්ගේ සිරුර දුටු හමුදා භටයෝ තම තුවක්කුවල ඇති පතුරම් වැල් අවසන් වන තෙක් අහසට වෙඩි තබන්නට වූයේ හතර අතේ දිව යමිනි. එය නැවැත්වීමට හමුදා නිලධාරීන් උත්සාහ දැරූ විට බ්‍රිගේඩියර් කමල් ගුණරත්න ඒ සඳහා සොල්දාදුවන්ට අවකාශ ලබා දුන්නේය. ප්‍රභාකරන් 18 වැනිදා මිය ගිය බව මේ වන විට ස්ථාපිත වුවත් බ්‍රිගේඩියර් කමල් ගුණරත්න පවසන්නේ ප්‍රභාකරන් මිය ගියේ පසුදින උදෑසන සිදු කළ සටනේදී (මැයි19) බවයි. ප්‍රභාකරන්ගේ සිරුර නිසි පරිදි හඳුනා ගත්තේ කරුණා අම්මාන් එම ස්ථානයට පැමිණීමෙනි. තිස් වසරකට ආසන්න කාලයක් පැවැති ම්ලේච්ඡ ත්‍රස්තවාදය එලෙස අවසන් විය.

අද අපට නිදහසේ මෙසේ දිවි ගෙවන්නට හැකි වී ඇත්තේ එදා 28000කට ආසන්න පිරිසක් විසින් දිවි පුදමින් රට රැකගත් හෙයිනි. මැයි 18 සහ 19 වැනිදා දෙදිනම වුවද අපි ඒ විරුවන් වෙනුවෙන් පින් දී උපහාර කළ යුතුම වන්නේ ඒ නිසාය. අද වුවද හමුදාව විසින් අපේ ජීවිත රැක දෙන්නට ගන්නා වෙහෙසද අප අගය කළ යුතුමය.

සේයාරූ - රුක්මාල් ගමගේ

 

Comments