කොරෝනාවෙන් බිඳ වැටුණු බිත්තර වෙළෙඳුන්ගේ ජීවිත | සිළුමිණ

කොරෝනාවෙන් බිඳ වැටුණු බිත්තර වෙළෙඳුන්ගේ ජීවිත

කොරෝනා වසංගතයේ මූලස්ථානය වූ චිනයේ වූහාන් නගරය පිළිබඳ එදා බොහෝ දෙනා කතා කරන්නට වූයේ එහි බහුල වශයෙන් සිදුකෙරෙමින් පැවතෙන මස් මාංශ වෙළඳාම නිසා මේ මරණ බිය ලෝකයට පැතිර ගිය බවකි. එදා කොරෝනා වයිරසය පැතිර යාමත් සමඟ වසා තැබීමට සිදු වූ චීනයේ ආපන ශාලා සහ භෝජනාගාර පසුගියදා යළි විවෘත කරනු ලැබීමත් සමඟ ඔවුන්ගේ ආහාර වට්ටෝරුවලට මස් හෝ මාංශ ආහාර එක්වූයේ නැත; ඒ වෙනුවට මස් නොවන එහෙත් මස් හා සමාන ආහාර දීසි,මස් හැඩයෙන් සහ මස් රසැතිව පිස නිමවා ඇති මේ ආහාර, වට්ටෝරු වලට එක්වූයේ මස් මාංශ වෙළෙදාමට කණ කොකා හඬවමිණි.

ශාක මඟින් සකස් කෙරුණ ආහාර චීනය පුරා පිහිටි 'ස්ටාර්බක්ස්' (Starbucks) ආපනශාලාවන්හි අලෙවි කිරීම පසුගිය බදාදා සිට ආරම්භ වූ අතර මස් මාංශ ආහාර වෙනුවට ශාකමය ආහාර සඳහා ලෝකය පුරා ඉහළ ඉල්ලුමක් මතු වන්නට විය.

අද කොරෝනා හේතුවෙන් චීනයේ පමණක් නොව ලංකාවේද මස් හා මස් ආශ්‍රි කර්මාන්තෙ බිඳ වැටී ඇති බව බොහෝ දෙනෙක් දන්නා කරුණකි. ඒ චීනයේ මෙන් කොරෝනාවෙන් පසු ජනතාව ශාකමය ආහාර රටාව වැළඳ ගත් නිසා නොව ලංකාවේ මේ වන විට පවත්නා ඇඳිරි නිති තත්ත්වයන්, දිස්ත්‍රික් අතර හුවමාරු වීමේ බාධා පමණක් නොව සංචාරක හා හෝටල් බේකරි ක්ෂේත්‍රයේ දැඩි කඩා වැටීම් නිසාවෙනි. මේ නිසා අද වන විට බිත්තර හා කුකුල් මස් වෙළෙන්දෝ හූල්ලමින් සිටිති. කොරෝනාවෙන් බිඳ වැටුණු බිත්තර වෙළෙන්දෝ පමණක් නොව කුකුල් මස් ව්‍යාපාරිකයන්ද මේ වන විට සිය නිෂ්පාදන විකුණා ගත නොහැකිව පාරක් පාරක් ගානේ අඩු මිල ගණන් වලට සිය නිෂ්පාදන විකුණමින් දිවි ගැට ගසා ගන්නට වෙර දරති. අඩු මිලට බිත්තර ගත්තත් ඒ තුළ සැඟවී ඇති මේ කටුකත්වය ඔවුන්ගේ හඬින් මෙසේ ය.

ලංකාවේ කුකුළු මස් හා බිත්තර ව්‍යාපාරය බෙහෙවින් ලාබ ලබන මෙන්ම රජයට බදු අය වන ආදායම් මාර්ගයකි. එහෙත් මේ වන විට මෙම ව්‍යාපරයන් හරහා සෘජු හා වක්‍ර ආදායම් මාර්ග උපයන මිලියනයකට ආසන්න ජිවිත ප්‍රමාණයක් දැඩි ජීවන අරගලයකට මුහුණ පා ඇත්තේ මේ කොරෝනාවේ අතුරු විපත් නිසාවෙනි. ලංකාවේ කුකුල් මස් ව්‍යාපාරයට සම්බන්ධ මහා පරිමාණයෙන් වෙළදාම් කරන්නන් 15 දෙනෙක් පමණ ඇති අතර, මධ්‍යම පරිමානයෙන් මේ කටයුත්තේ නියැළෙන්නෝ 100 ක් පමණ සිටිති. ඉතිරි සියල්ලෝ මේ හරහා ආදායම් මාර්ග උපයන්නෝය. මෙ වන විට මෙම කුකුළු මස් ව්‍යාපාරය නිසා අංශ තුනක පිරිස් දැඩි අවදානමකට මුහුණ පා සිටිති. ඒ කුකුළු මස් ව්‍යාපාරිකයින්, බිත්තර ව්‍යාපාරිකයින් හා සත්ත්ව ආහාර නිෂ්පාදකයින්ය.

කොවිඩ් වසංගතය හේතුවෙන් රටපුරා ඇදිරි නීතිය පනවන විට විශාල වශයෙන් ලංකාව පුරා බිත්තර ගොඩ ගැසෙන්නට විය. බිත්තර වෙළෙන්දෝ පවසන පරිදි අපේ රටට දෛනිකව බිත්තර ලක්ෂ 70 ක් අවශ්‍ය වෙයි. සාමාන්‍යයෙන් බිත්තරයක ආයු කාලය සති දෙකකි. එසේම මාසයකට කුකුළු මස් මෙට්රික් ටොන් 18,000 ක් රටේ පරිභෝජනයට අවශ්‍ය වෙයි. නමුත් ඇඳිරි නිතිය පනවන විට තමන් සතු බිත්තර ප්‍රමාණය විකුණා ගන්නට නොහැකි වි ඇත. මේ හේතුවෙන් වයඹ පළාතේත්, අවිස්සාවෙල්ල, ගම්පහ පළාත් වල බිත්තර සියයට 60 ක ප්‍රමානයක් ඉතුරු වී ඇත. මේ හේතුවෙන් සමස්ත ලංකා කුකුළු මස් ව්‍යාපාරිකයින්ගේ සංගමය තීන්දු කර ඇත්තේ රුපියල් 10 ක් වැනි ඉතා අඩු මිලකට බිත්තර විකිණීමට සිදුවන බවය.

“බිත්තර ලාබදායි ආහාරයක් නිසා බොහෝ දෙනෙක් බිත්තර ආහාරයට ගන්නවා. මේ නිසා විශාල ඉල්ලුමක් තිබුණා. විශේෂයෙන් උත්සව අවස්ථා කාලය නිසා මාර්තු අප්‍රේල් මාසවල හොඳ ලාභයක් ලබා ගන්න තිබුණා. පසුගිය දිනවල බිත්තරයක සිල්ලර මිල වුණේ රුපියල් 16 ත් 17 ත් අතර මිලක්. කොරෝනා වසංගතයට කලින් මාර්තු මාසයේ මේ මිල රුපියල් 19 - 20 ක් දක්වා ගියා. බිත්තරයක නිෂ්පාදන මිල රුපියල් 14 ක් වන නිසා එක් බිත්තරයකින් ලොකු ලාබයක් තිබුණා. ඒත් දැන් බිත්තරයක් පාඩු පිටයි විකුණන්න වෙලා තියෙන්නේ. සමහර තැන්වල රුපියල් 8-9 ටත් බිත්තර විකිණෙනවා. ඒ වගේමයි කුකුළු මස් වලටත්. ශීත කළ සම රහිත කුකුළු මස් කිලෝවක පාලන මිල වුණේ රුපියල් 430 ක්. සම රහිත 530 යි. එත් පාලන මිලේ වෙනසක් නැති වුණත් දැන් රුපියල් 350 ටත් විකුණන්න බැරි වෙලා. ක්ෂණිකව ඇඳිරි නීතිය දැමූ නිසා මහා පරිමාණයේ බිත්තර වෙළෙන්දන්ගේ බිත්තර ලක්ෂ 30-40 ගොඩ ගැසුණා. ඒ වගේම ඇඳිරි නීති මැද බිත්තර විකුණන රටාව පවා වෙනස් වුණා. ගොවීන් තැන් තැන් වලට ගිහින් විකුණන්න ගත්තා. ඒ වගේමයි කුකුළු මස්.

ඇඳිරි නීතිය නිසා විකුණන්න බැරිව මෙට්රික් ටොන් 15,000 ක් ශීතකරණ වල ගොඩ ගැහුණා. මේ වන විටත් මෙට්රික් ටොන් 9000 ක් ගොඩ ගැහිලා.....“ ඒ සමස්ත ලංකා කුකුළු මස් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් එච්. ගුණසේකර මහතාය.

චිනයේ මෙන් කොරෝනාව නිසා ලංකාවේ බිත්තර කුකුළු මස් පරිභෝජනයේ වෙනසක් සිදුව ඇත්තේය. නමුත් විකුණා ගැනීමේ ගැටලු මෙන්ම සත්ව ආහාර නිෂ්පාදනයේ මිල ඉහළ යාම් නිසා මේ වන විටත් මේ කර්මාන්තය දැඩි කඩා වැටීමකට ලක්ව ඇත. විශේෂයෙන්ම සත්ත්ව ආහාර නිෂ්පාදනයේදි දැඩි අවශ්‍යතාවක් පවත්නා බඩඉරිඟු මිල අධිකව ඉහළ යාම නිසාත් ආනයන ගැටලු මතුවීම නිසාත් මේ තත්ත්වය මතුව ඇත.

“කුකුළු මස් ගොඩ ගැසුණු නිසා දින 40 න් ගන්න කුකුළන් දින 60 ක් තියා ගන්න වුණා. මේ නිසා සත්ත්ව ආහාරවලට අමතර විශාල වියදමක් දරන්න වුණා. වාර්ෂිකව සත්ත්ව ආහාර මෙට්රික් ටොන් ලක්ෂ 12 ක් හදා ගන්න බඩඉරිඟු මෙට්රික් ටොන් ලක්ෂ 6 ක් අවශ්‍යයි. බඩඉරිඟු නිෂ්පාදනය විශාල ලෙස අඩුවුණා. අද බඩඉරිඟු කිලෝවක් විකුණන්නෙ රුපියල් 65 ට. ඒත් අපිට මේ නිෂ්පාදනය කර ගෙන යන්න නම් කිලෝවක් රුපියල් 52 කටවත් ලැබිය යුතුයි. බඩඉරිඟු ප්‍රශ්නයක් අපේ ව්‍යාපාරය කඩා වැටීමට හේතුවක්,....“ ඔහු පවසන්නේය.

අද වන විට එක් අයෙකුගේ වාර්ෂික කුකුළු මස් පරිභෝජනය කිලෝ 10 කි. එසේම වාර්ෂිකව එක් අයෙකුගේ බිත්තර භාවිතය බිත්තර 115 කි. මේ වන විට රාත්‍රි කෑම කඩ, බේකරි පවා තවමත් විවෘත කර නැත්තේය. හෝටල් සංචාරක ක්ෂේත්‍ර නිසා මේ වන විටත් මේ වෙළදාමෙන් සියයට 50 ක්ම කඩා වැටී ඇත. ලංකාවේ බිත්තර සියයට 30 ක් හා කුකුළු මස්වලින් සියයට 60-70 ක් යැවෙන්නේ සුපිරි වෙළෙඳ සැල්වලටය.

“දැන් අපට ෆාම් කරගෙන යන්න බැරි තත්ත්වයක් උදා වෙලා. මට දවසකට රුපියල් 15000 ක් පමණ අතින් වියදම දරන්න සිදුවෙලා. අපිට එක් දවසකට කුකුලෙකුට පමණක් ආහාර දිමට රුපියල් 12.75 ක වියදමක් දරන්න සිදු වෙනවා. ඒත් දැන් බිත්තරයක් රුපියල් 10 ට දෙන්න විම නිසා රුපියල් 2 කට වඩා පාඩුවක් දරන්න සිදුවෙනවා.

පසුගිය කාලයේ සත්ත්ව ආහාරවලට බඩඉරිඟු පිටින් ගෙන්වුවා. ඒ නිසා ප්‍රශ්න මතුවුණේ නැහැ. මෙවර කොරෝනා නිසා ඉන්දියාවෙන් පකිස්තානයෙන් ඒ ගෙන්විම් සියල්ල නතර වුණා. දැන් ගොඩාක් බ්‍රොයිලර් ෆාම් නතර වෙලා. ඒ අයගේ බැංකු ණය ගොඩ ගැහැලා. ඒත් බිත්තර හිඟයක් නැහැ. ඇඳිරි නීතිය ඉවත් වු පසුත් ඇති වෙන්න බිත්තර තියෙනවා.......“ඔහු සමස්ත ලංකා කුකුල් මස් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ අධ්‍යක්ෂවරයෙකු වූ ඩී.ඩබ්ලිව්. පී මුණසිංහ මහතාය. රුපියල් 10 ට බිත්තර තොග මිලට ගන්නා අතරමැදියන් මේ දිනවල බිත්තර විකුණනනේ රුපියල් 13-15 අතර මිලකටය. එසේම අඩු මිල සොයා ගොස් ඉතා අඩු මිලට මේ වෙළෙන්දන්ගෙන් බිත්තර සූරා කන පාරිභෝගිකයන්ද නැතුවා නොවේ. එහෙත් මේ ගොවින්ගේ වෙහෙස ගැන සිතන්නට කවුරුත් නැති බව ඔවුහු පවසති. ඔහු පාදුක්ක යටවර බිත්තර ව්‍යාපාරිකයකු වන නිශාන්ත පෙරේරාය.

“අද මම බිත්තර අලෙවි කරන්නේ රුපියල් 10.50 ට. ඉස්සර සත්තුන්ගේ කෑම කිලෝ එක ගත්තේ රුපියල් 62- 63 ක මිලකට. කලින් රුපියල් 30-32 මිලකට ගත්තේ. දැන් රුපියල් 75 ක් වෙලා. ඇත්තටම රජයෙන් සත්තුන්ගේ කෑම මිල අඩු කර දෙනවා නම් අපිට මේ පාඩුව දරා ගන්න තිබුණා. එහෙම වුණොත් බිත්තර මිල අඩු වුණත් හිත හදා ගන්න තිබුණා.

දැන් අපට දවසකට සේවක පඩිත් එක්ක රුපියල් 10,000 ක් පමණ අතින් දරන්න වෙලා. ඒ වගේම හාල් හිමියන් අපිට රයිස් පොලිෂ් නම් සත්ත්ව ආහාරවලට අවශ්‍ය සුණු සහල් දෙන්නේ වැඩි මිලකට. අපිට මාසයකට රයිස් පොලිෂ් මෙට්රික් ටොන් 25-30 ක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා රුපියල් ලක්ෂ 10 ක් විතර වැය වෙනවා. මේ නිසා අපිට මේ ව්‍යාපාරය ළඟදිම වහලා දාන්න සිදු වෙනවා.....“

කුකුළු මස් හා බිත්තර ගොවීන්ගේ මේ ව්‍යාපාරය කොරෝනාවෙන් පසුවටද ප්‍රශ්න ඇති වන්නකි. විශේෂයෙන් ඔවුන් පීඩා විඳින සත්ත්ව ආහාර මිල ගණන් අධික විම මේ ප්‍රශ්නයෙන් ගැලවීමේ එකම මාර්ගයකි. රජයට වාර්ෂිකව රුපියල් බිලියන 10 ක් බදු වශයෙන් ගෙව්වද තමන්ට කිසිදු සහනාධාරයක් නොලැබෙන බව ඔවුහු චෝදනා නගති. රජයට විශාල වශයෙන් ලාභ හිමිවන මේ කර්මාන්තය වැටෙන්නට නොදී රැක ගැනීම රජය සතු වගකීමක් බව මේ අය ප්‍රකාශ කරති.

“ අමුද්‍රව්‍ය මිල ඉහළ නිසා අපි පාඩුවට තමයි බිත්තර මස් දෙන්නේ. සාමාන්‍යයෙන් බඩඉරිඟු සීසන් එක ජනවාරියේදි කැඩෙනවා. ඒ වෙන කොට තොග වෙළෙන්දෝ බඩඉරිඟු රැස් කර ගන්නවා. ඒ බඩඉරිඟු ඔවුන් ළඟ තියාගෙන වැඩි මිලට විකුණනවා. දිස්ත්‍රීක්ක අතර තහංචි නිසා ගොඩාක් අයට බිත්තර මස් විකුණා ගන්න බැරිවුණා. කොළඹ මැනිං මාර්කට් වහපු නිසාත් බිත්තර විකුණා ගන්න බැරිවුණා.ඒ වගේම බිස්කට් හදන ආයතන බොහෝමයක් කොරෝනා නිසා වැහුවා.

මේවාට බිත්තර විශාල වශයෙන් ගත්තා. ඒත් ඒ සියල්ල නැතිවුණා. මේ නිසා මිලියන ගණනක් මෙයින් යැපෙන සේවක පවුල් අනාථ වෙනවා....“ ඒ කුලියාපිටියේ බිත්තර වෙළදාමේ නියුතු ව්‍යාපාරිකයකු වන එස්. එම්. ඒ. ඩබ්ලිව් මායාදුන්න මහතාය.

කුකුළු නිශ්පාදකයන්ගේ ගැටලු බොහෝමය. අපේ රටේ කොරෝනා නිසා මස් මාළු බිත්තර භාවිතය අත් නොහැරියද වක්‍රාකාරව මේ වෙළෙදාම කඩා වැටීමට හේතු මතුවි ඇත. මොවුන් බොහෝමයක්ම සුළු ලාභ අපේක්ෂාවෙන් එදානෙදා මුදලක් සවි කර ගත්තද එද වන විට ඒ සියල්ල නැතිවී අවසන්ය. මේ නිසා ඔවුන්ගේ දුක් ගැන රජයේ අවධානය වහා යොමු විය යුතුය.

 

Comments