කවි | සිළුමිණ

කවි

සඳ කින්නරී

කර්තෘ -තිස්ස නිහාල් වික්‍රමසිංහ

වෘත්තියෙන් ගුරුවරයකු වන තිස්ස ඊට පෙර මාධ්‍යවේදියෙකි. කෙටිකතාකරුවෙකි. නවකතාකරුවෙකි. මේ සියල්ලටම වඩා අපට ඔහු හඳුන්වා දිය හැක්කේ කවියෙකු ලෙසිනි. පුවත් පත්වල කවි ලියූ තිස්ස කවියෙක් ලෙසින් කලඑළි බසින්නේ අසූව දශකයේ අග භාගයේදි පමණය. ඔහුගෙ කවි වලින් ඇතැම් කවි බැලූ බැල්මට බොහෝ සරලය. නමුදු ඒ සරලකම යට පාඨකයාට සිතන්න යමක් ඇත. ඔහු ගේ කාව්‍ය සංග්‍රහයේදී හමු වූ එවැනි කවියකි මේ. කවියේ මාතෘකාව වන්නේ ත්‍රස්තවාදියෙකුගේ හෘදය සාක්ෂ්‍යය යන්නයි.

“මිනිසුන්

සිය ගණන්

මරා දමන්න

බෝම්බ ඇටෙව්වත්

බැලුම්බෝල

පුම්බන හැටි

බලා ඉන්න

මං හරි බයයි”

(පිටුව 20)

ඔහුගේ කවි භාෂාව සරලය. ඇතැම් කවි වලට තේමාවන් සපයන්නේ අද සමාජයෙනි. ඇතැම් කවි වලට අත්දැකීම් වී ඇත්තේ පැරණි කවිය. පැරණි සාහිත්‍යය. දස්කොන් අදිකාරමගේ අවසන් සීපද එවැනි කවියකට නිදසුන්ය.

පවුල් ජීවිත තුළ දහසකුත් එකක් ගැටළුය. අද සමාජය තුළ විටෙක පවුල් ආරවුල් දුර දිග යන්නේ එකිනෙකා අතර ඉවසීමක් නැති කමිනි. අතැම් විට එකිනෙකා කා කොටා ගනී. මරුමුව දකි. එසේ නොවුන කළ කවියා එවන් පවුලක සැමියෙකුගේ ඉවසීම ගැන ලියන්නේ මෙලෙසිනි. මාතෘකාව සැතිරී.

“ මා

මටම

බොහෝ සේ

ප්‍රේම

නොකළා නම්

තී

නිදන තැන

මහ ගස්ය”

( පිටුව 32)

ඔහුගේ මුල්ම කාව්‍ය සංග්‍රහය වන්නේ

කඳුළු පොකුණේ වැන්දඹුව (1992). ඉන් පසු සන්තාප නිවාඩුව (1999), ද්‍රෝහියාගේ බිරිය (2009) ආදි වූ කාව්‍ය සංග්‍රහ පල කළේය. ද්‍රෝහියාගේ බිරිය කාව්‍ය සංග්‍රහය ගොඩගේ සම්මාන උළෙලේ අවසන් වටය සඳහා ද නිර්දේශ විය.

තිස්ස ආවාට ගියාට කවි ලියන්නෙක් නොවේ. එමෙන්ම ඔහු අද ලියූ කවිය හෙට පුවත් පත් වලට යොමු කරන්නෙක් ද නොවේ. නැවත නැවත ලියමින් කියවමින්, විදිමින්, විඳවමින් සාර්ථක කවියක් උපද්දන්ට උත්සාහ දරන්නෙකි. සඳ කින්නරාවි කාව්‍ය සංග්‍රහයේ දි අපට හමු වන්නේ එසේ ඔහු විසින් කළ නිර් මාණයන්ය.

-ඉසවි

*******************

මේ වැස්ස නුඹටත් වහිනවා ඇති

 

මේ වැස්ස නුඹටත් වහිනවයා ඇති
හිතට හරිකඩ වැදෙවා ඇති
මගේ දෑසට දුන්න කඳුළැලි
මකයෙන් නුඹෙ මැකෙනවා ඇති..

 

තනිය නුඹටත් දැනෙනවා ඇති
මොහොතකින් එය නිවෙනවා ඇති
රුඳුරු හැඟුමන් කුණාටුව වී
මතකයෙන් මා දවනවා ඇති....

 

අඳුර නුඹටත් ගලනවා ඇති
සැනෙකින් එළි දිලෙනවා ඇති
නුඹේ සිත බැඳි දහක් නෙතු යුග
නුඹෙන් සැනසුම ලබනවා ඇති...

 

සොඳුරු සිතුවිලි දැදුරු වී ඇති
ලොවක් හා නුඹ එකඟ වී ඇති
නුඹව රැකගත් එකම වරදට
වැරදිකාරිය මම ම වී ඇති...

 

නදීරා රෝෂණි නල්ලපෙරුම

***********

සංදේශ කුලුණ හා සඳ

 

බැස යන්නැද්ද සඳ
සංදේශ කුලුණින්
මේ පාන්දර යාමයයි
සඳ මුහුණ විඩාබරයි..

 

යුගයෙන් යුගය
එකසේ වැනුණු සඳ
නිව්යෝක් නුවර දී
සේකරත් දූටුව සඳ...

 

සඳ සඳෙස යවන්නට
කවි ඇසක ගැටෙන තුරු
කොයි තරම් කාලයක්
මග බලා සිටින්නෙද...

 

සඳ මුහුණ නැතුවට
අහස තරු නැතුවට
කවියකට ප්‍රස්තුත
සුලබ බව නොදන්නෙද...

 

'කවියකට පබැඳුමට
රූපකය උපමාව
ලෙසට සඳ නුසුදුසුය'
කසුකුසුව නොඇසුනෙද...

 

සඳෙස පවරා සුළගට
මුවා වී වළාකුළකට
සංදේශ කුලුණෙන්
බැස නොයන්නේ මන්ද

 

සු.ප්‍රි. සමරසිංහ

****************

කවි කඳුළු

 

දෑස හිර කොට දොර අගුළුලා
අසරණයි අද නිවසෙ කොටුවී
සොඳුරු දසුනක් පද වැළක් වී
ආයෙ කවදා එළි දකින්නද

 

රෝ බියෙන් රට සසල වෙද්දී
සෝ සුසුම් රැළි සිත දවාලයි
හඬයි තුරු වදුල නිහඩව
නොදැක විහඟුන් රඟන වෙනදා

 

විඩාපත් ඇස පුංචි තිරයෙන්
පියාගෙන නිදි කිරා වැටෙනා
සිඳීගිය වැව සේ නැතිව දියවර
තැවෙයි පන්හිඳ සොයා කවිපද

 

දුරින් දුර පෝලිමේ වේලෙන
කුසට අහරක් ගන්ට පොරකන
දසුන කවි කර කෙසේ ලියමුද
දැවෙන සිතිවිලි කවි කඳුළු කර

 

එතෙර සිට ආ රකුසු උවදුර
එකිනෙකා බිලිගනී නිහඬව
අප අතින් වුණ වැරදි වලටද
සොබා දහමේ වියරු දඬුවම

 

ජයසේන කොඩිතුවක්කු

****************

ඔබට

 

පැහැසරණිය කළ තුරුලිය
අඳුරෙන් මිඳි වැව් ගංගා
මහ මඟවන් වන සිවුපා
සිනාසෙමින් ලොව දකිද්දි
නිදහස් ලෙස තටු විහිඳු පුංචි කුරුල්ලෝ
ඔබගේ ආගමනය දැක ගී පද බැන්දා

එක්ව සිටින සිට මතුවන
අනුශය සිත් ගැන දොඩන්න
උපාදානයෙන් මිදෙන්න
නිබ්බුත පද ගැන කියන්න
මනුස්සකම ගැන කියා දෙන්න දෝ ඔබ ආවේ

 

ඈතින් සිට අත වනන්න
අතේ දුරින් සිනාසෙන්න
සත්‍යයේ රැජිනිය ඔබ යැයි
සිතමි සොඳුරියේ
හිසේ රැඳුණ ඔබේ කිරුළ
ගලවන්නේ කෙදිනකදැයි
මුළු ලෝකය බලා සිටියි
කාට නැතත් මට නම් ඔබ
අගෙයි මිහිරියේ

 

චිත්‍රා අයි. පෙරේරා

**************

මුළුතැන් ගේ පාළුවෙලා

දෙව්ලෝ ගිය පසු අම්මා මුළුතැන් ගෙය පාළු වුණා
හිතුමතේට කරක් ගසා යකුන් නැටු පිටිය මෙනා
කන බොන දෑ කිසිවක් නෑ පෙර දින ඈ මිලට ගෙනා
අදහන්නට බැරි තරමයි හිටිවන සිදු වුණි ද මොනා

 

මනාව සේරුව බුසලද කැටය ද නැත සහල් මැන්න
කොරහ ද නෑබිලිය ද කෝ හුන්සල් ටික ගරා ගන්න
උදැල්ල උල ගල් ඉන්නද ඉස්ස ර පොල් ඔයලා දුන්න
අම්මා නැති බව දැනගෙන හිරමණයත් ගියා යන්න

 

ගල් වංගෙඩියත් එක්කම ලී වංගෙඩියද නැත්තේ
පිල්ල ගැසූ මෝල් ගහට අද මක්කද වී ඇත්තේ
කැත්ත මන්නේ මහ පිහියද කෝපි පිහිය ඩැහැ ගත්තේ
කවුද කුල්ල කිරි ගොට්ටද වට්ටිය පෙනෙරය ගත්තේ

 

තෙල් හිදින්න පොල් තැම්බූ තඹ හට්ටිය නැත පේන්න
දොදොල් තාච්චිය සමඟම පත්තක් කෝ පතු ගාන්න
තුන් වේලට බත් තැම්බූ මුට්ටිය බැරිවෙද ගේන්න
දුමයට ලිප් බොක්කේ වූ ලිපත් ගිහින් යළි නේන්න

 

ඇඹරුම් ගල කුරහන් ගල නිසි තැන රඳවා තිබුණා
බාල්දි කළගෙඩි පිරවූ මැස්සක් දක්කනට ලැබුණා
දෙල් අටු කොස් ලුණු අඹ කජු දුම් මැස්සේ සිට එඹුණා
පොල් කටු හැදි මූඩි ඇතිලි කබලද දුම උඩ තිබුණා

 

පිඟන් තසින් ජොන්සන් බඩු බටපොතු පෙට්ටියෙ තියලයි
ආරක්ෂා කර ගත්තේ එහි වටිනාකම කියලයි
කවුරුත් හොරකම් කළාද සිත තුළ සංකා ලියලයි
මහන්සි වන්නේ අදටත් කුස්සියෙ තිබු බඩු සොයලයි

 

රත්නාලංකා අබේවික්‍රම

 

*****************

සමාවෙන්න අමරේ..

සල්ගහ තාම මතකයි මහ රූස්ස
ලස්සන කියන්නට බැහැ මල් පිරිච්ච
කාලය නොකිය ගෙවුණට තව නොරුස්සා
අපි මල් කැඩුවෙ එක පංතියෙ ගෙවිච්ච

 

සාමා අමර නයනී යාළුවෝ හිටියා
එක පංතියේ සොහොයුරු පෙමකින් බැදුණා
පාසල් කාලෙ නොදැනිම ගතවී තිබුණා
පුංචිම කාලෙ යාළුවො පාඩම් තිබුණා

 

ඉස්පිරිතාලෙ සාමා සේවෙට බැදුණා
දවසක් දුම්රියේ ඇය මට මුණගැසුණා
නයනී රට රැකගන්න සිය දිවි පිදුවා
ඇහුවම මගේ ඇස්වල කඳුළුත් ඉනුවා

 

පොල්ගස් දෙකක් බඩගාමින් අපෙ වත්තේ
පොල්කැඩු මුහුණ මතකයි මට එක පිම්මේ
පුංචිම කාලෙ සල්ගහ උඩ මල් කැඩුවේ
තවමත් බැරිද හදුනන්නට නම අමරේ

 

එක පංතියේ හිටියට අපි ඉස්කෝලේ
අපි විසිරිලා බෙදිලා පංතිය ඇත්තේ
අමරෙගෙ මුහුණ දුටුවම මම බයවූයේ
ඒකයි උඹව අදුරන්නේ නැහැ කිව්වේ...

 

තරිඳු අමිල

*****************

අප හැම රැකදේවා!

වසංගතය ගැන සිතමින් ලත වෙන්න
එපා එදිනෙදා කටයුතු හැර යන්න
අත්වැඩ පරවැඩ එකලෙස සලකන්න
කොරෝනාව පුළුවනි ලොව වනසන්න

 

සඳහම් අනුව ජීවන මඟ සරසන්නයි
මෙත් කරුණා සයුරෙ අප හැම පීනන්නයි
රෝ දුක් දුරුව ලොව සැම සුවපත් වෙන්නයි
සුවිසි බුදුවරුන් අප හැම රැක දෙන්නයි

 

ජේ. ජේ රාජපක්ෂ

 

************

මං යකඩ ගැහැනියක්

සැම විටම සිනාසෙන්නට
කරුණු සොයනා
මගේ සිත සතපන්න සනසන්න
කිසිවෙකුත් දන්නෙ නෑ...

 

රිදුණු බිඳුණු තැන් බොහොමයි
ගැලු කදුළු මහ මුහුදටත් වැඩියි
හඬන වැළපෙන හැම විටෙකම
සිතූවත් දියවේ යැයි කියා

 

මගෙ ගැහැනු සිත
“ යකඩ ගැහැනියක්“
මට සිතෙයි මා ගැන
හැරි හැරි බල විට ආ මඟ....

 

ගංගා අතුකෝරල

***************

මැණික

ඔබ දැනගත යුතු
එහෙත්.....
මට වදනකින් කිව නොහැකි,
කාරණාවක් මතුවෙයි
ඇතැම් දිනවල...


කාශ්ටක පතොක් හෘදයක
කාන්තාරම ය මතකයක්
තිබුණා අපට... ඔබ දන්නවා
දූලි කුණාටු ඇවිදින්
ඇස් පවා තෙත් කළ...

 

ඔබ කියන පරිද්දෙන්
වසන්තය වරක් ඇවිද ගිය පසු
මල් පවා වැටී තිබුණා
නම නොදන්නා ගස් වල...

 

දන්නවද...,
ජීවිතේ ආදරේ
වැඩිපුර ම තිබුණේ
'මට උඹ නැතිව බෑ' කියා..
ඔබ කෑ ගසා හඬපු තැන්වල...

 

කසුන් හර්ෂණ

 

****************

ගේ කිරිල්ලියේ

ගේ කුරුලු කූඩුවේ
මහ කුරුලු හඬ මැදින්
හීන් කිචි බිචි නදට
ඇවිළිලා තද හුස්මලන්නී

නැන්දම්මා දොර බල බලා
මන්නා පිහි පහරකින්
දෙපලු කළ කෙසෙල් ගහේ
බටිත්තෙක් වත් කිසි දිනක
නිකම්වත් වහපු නැති බව
හීන්සිරුවේ මතක් වෙද්දී


පුංචි පිය සටහනක්
ගේ මිදුලේ දකිනකම්
ඉස්තොප්පුවේ ඉඳන්
ඉස්සි ඉස්සී මග බලන්නී

 

බෝගම සුමන හිමි

***************

වෙඩිම

“සාරි- මන්දිර් “ ගිහින් ගත්තු සාරිය තියන්
බෝරිච්චි අත් දාපු හැට්ටෙකුත් මස්සවන්
අඟලකුත් භාගයක් හීල් දෙක සාදවන්
මං බලාගෙන උන්නා ජනවාරි මැද ඉදන්

 

ඇස් වටේ කුඩු ඉහළ දිගු දෑස් සල සලන්
වලවලුත් නොපෙනෙන්න තව මුහුණ සුදු කරන්
යන්න හිතුණා මටත් කොණ්ඩෙ උඩටම බැඳන්
“සැලොන් නිශා“ එක බුක් කළා කල් තියන්

 

පන්දාහේ ගල් මාලෙ ඔන් ලයින් ඕඩරෙන්
ඒකටම ගැලපෙන්න මුදු තෝඩු අක්කගෙන්
වළලු දෙක අම්මගෙන් පාට ගෑ රත්තරන්
මැයි මාසෙ ලබනකම් ඇඟිලි ගැන්නා හෙමින්

 

ඇඳිරි නීතිය තදයි ගිය මාසේ මුල පටන්
අප්‍රේල් අවුරුදුත් සැමරුවා ගෙයි ඉදන්
කොරෝනා උඹට නම් සමාවක් නෑ මගෙන්
හෙලේනගෙ ලොකු දුවගෙ මංගල්ලේ කල් ගිහින්

 

ශ්‍යාමලී ඇල්විටිගල

****************

ඈත දවසක

රන්න හන්දිය පහුවුණා
බහින තැන
අමතක වුණා
මතක් වුණොතින් එන්න කියලා
දුන්නු ලිපිනය නැතිවෙලා...

 

චන්දරා දුටුවාද ඇසුවම
සුදු වලාකුළු
ලිහි ලිහී ගොස්
අහසෙ මුහුණත්
කළු වුණා...

 

ඈත දවසක
වැස්ස විදියට
අහස ආයෙත් වහිනවා
ඈත දවසක
තෙමුණු තරමටම
ආයෙ කම්මුල් තෙමෙනවා...

 

ඈත දවසක
ළං ළංව ගිය
මල් කුඩය
ඔබ ළඟද තවමත්
ඈත දවසක
මතක වාගෙම
ඉරී වැරහැලි වීද කුඩයත්

 

අනුර කේ. එදිරිසුරිය

 

*************

මායාකාරීයි...

ආදරය

 

ආදරය කරමි මම ඔබට
එහෙත් සමහර විටෙක
හේතුවක් වෙයි ආදරය
අත හැර දමා යෑමට.
වැසී ඇත දොර කවුළු
අප අතර විවරව තිබුණු
විසල් ආගාධ ඇත ඇරුණු
අප බෙදා වෙන් කෙරුණු
බලවත්ය විශ්වය
නොවැදගත්ය
ආදරය,
නොවෙනස්ය
වෙනස.
තවමත්,
ආදරය කරමි මම ඔබට.
බලවත්ය විශ්වය
නොවැදගත්ය අප,
එහෙත් දැක ඇත්තෙමි මන්දාකිණිය මම
ඔබ මා පසෙක සිටි සඳ.
එක්ව අපි
නැරඹුවෙමු අපේ ලොවෙන් එහා සක්වළ,
එක්ව අපි
සිරවුණෙමු උගුලකු,
හරියටම නොම දැන
එයින් ගැලවී
අතැ’ර යන මඟ.

(අප්‍රිකානු සම්භවයක් සහිත ඉංග්‍රීසි කිවිඳියක වන ටීනා ටම්ෂෝ විසින් රචිත කාව්‍ය නිර් මාණයක් ඇසුරිනි)

 

ටීනා ටම්ෂෝ:

කලා ගෞරව උපාධිධාරිණියක වන ඇය ප්‍රජා කටයුතු සඳහා වන ප්‍රතිනිර්මාණාත්මක කලාවන් පිළිබඳ විශේෂ සුදුසුකම් ලබා ඇති කලා ශිල්පිනියකි. අඛණ්ඩව කාව්‍යකරණයෙහිද නියැළී සිටින ඇගේ නිර් මාණ ‘බ්ලැක් විමෙන්ටෝල්ක් පොයට්රි’ (Black Women Talk Poetry), ‘ද කොමන් ත්‍රෙඞ්’ (The Common Thread) සහ ‘බ්ලැක්

ස්ක්‍රයිබ් පොයට්රි’ (Black Scribe Poetry) ඇතුළු ප්‍රකාශන රැසක පළවී ඇත. ඇගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහයෙ ‘අයි ඈම් ද ලෑන්ඩ්’ (I Am The Land) නමින් 1994 වසරේදී පළවිය. එයින් පසුව තවත් කාව්‍ය සංග්‍රහයන් කිහිපයක් රචනා කළ ඇය නාට්‍යකරණය පිළිබඳ ගුරුවරියක ලෙසද කටයුතු කරන්නියකි.

 

අජිත් නිශාන්ත

 

ඔබේ කවි නිර්මාණ

පහත ලිපිනයට එවන්න

සිළුමිණ, කවි පිටුව,

ලේක්හවුස්,

කොළඹ 10.

[email protected]

Comments