අසල්වැසියකුගේ සමුගැනීම... | සිළුමිණ

අසල්වැසියකුගේ සමුගැනීම...

මිතුරු පවුරක් ගොඩනැගෙන්නෙ මිනිස් පවුරකින්. ශක්තිමත් මිනිස් පවුරක් බිහිවෙන්න නම් විවිධ ජන කණ්ඩායම් එකතු වෙන්න ඕන. මිතුරු පවුර මගින් අප උත්සාහ දරන්නේ අප අසලම හෝ ඈත දුරක වෙසෙන අනෙකා හඳුනා ගැනීමටයි.මට මෙවැනි පුංචි පූර්විකාවක් ලියන්න හිතුණේ මේ කොරෝනා සමයේ අප අතරින් සදහටම සමුගත් අසල්වැසි සාහිත්‍යධරයෙක් ගැන ලියන කෙටි සටහනක ආරම්භය හැටියටයි.

වෙනත් අවශ්‍යතාවක් සඳහා ජ්‍යෙෂ්ඨ ලේඛක තෙලිවත්තෛ ජෝසප්ට මම දුරකතන ඇමතුමක් ගත්තේ මැයි මුල් හරියේ.

“කමල්ට ආරංචි වුණාද නීර්වෛ පොන්නයින්ගෙ මරණය. මාර්තු 26 එයා නැති වුණා. කොරෝනා ප්‍රශ්නෙ නිසා අපි කාටවත් යන්ඩ බැරි වුණා.” තෙලිවත්තෛ එහෙම කියපුවහම මට එක පාරටම මතක් වුණේ අවුරුදු කිපයකට කලින් මම නීර්වෛ එක්ක සිළුමිණේ පාලම විශේෂාංගයට කරපු සාකච්ඡාව.

ලේඛකයකුගෙ කාර්යභාරය හැටියට ඔබ සලකන්නෙ මොකක්ද කියලා මම අහපුවහම නීර්වෛ දුන්නෙ මෙහෙම පිළිතුරක්.

“සමහරු ලියන්නෙ විනෝදෙටලු. තවත් අය ආත්ම තෘප්තියට ලියනවලු. ඒ වගේම සල්ලි වලට හා ප්‍රසිද්ධියට ලියන අයත් ඉන්නවා. හැබැයි මමනම් ඔය එකක්වත් වෙනුවෙන් නෙමෙයි ලියන්නෙ. මම ලේඛන කලාවෙ නිරත වෙන්නෙ ලෝකය වෙනස් කරන අරමුණින්..” වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නීර්වෛ ඒ උදාර අරමුණ වෙනුවෙන් කැප වූ බව රහසක් නෙමේ. “නාම් ඒන් එළුදුහිරෝම්” 2004 අවුරුද්දෙදි ඔහු ලියූ මේ පොතේ තේරුම වෙන්නෙ “අපි ලියන්නෙ ඇයි” කියන එක. නීර්වෙ මේ මාතෘකාව යටතෙ පොතක් ලියන්න හේතුව තමා ලේඛකයෙක් හැටියට ඔහු සතුව පැවති ප්‍රගතිශීලී සමාජ දේශපාලන දැක්ම.

පරම්පරා ගානකට උරුම වෙලා තියෙන මේ වහල් බැමි බිඳින්න පුළුවන් වෙන්නෙ නූගත්කම කියන අන්ධකාරයෙන් මිදුණොත් පමණක් බව ඔහු පුංචි සන්දියෙදිම තේරුම් ගන්නවා. නීර්වෛගෙ ජීවන හා සමාජ දැක්ම තීරණාත්මක ලෙස වෙනස් වෙන්නෙ උසස් අධ්‍යාපනය සඳහා ඉන්දියාවට යන්න ලැබෙන ගමනෙන්. එහිදී ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයට එක් වන නීර්වෛට මැක්සීම් ගෝර්කි, ලු ශුන් හා මුල්ක් රාජ් ආනන්ද් ඇතුළු සටන්කාමී ලේඛකයන් රැසකගෙ නිර්මාණ හඳුනාගන්න ලැබෙනවා. ඔහු ආපසු මව්බිමට එන්නේ වාමාංශික අදහස් වලින් සන්නද්ධ වෙලා. ඒ වගේම ලෝක සාහිත්‍ය පිළිබඳවත් හොඳ අවබෝධයක් ලබාගෙන. ලංකාවට ඇවිත් ඔහු එස්. ඒ. වික්‍රමසිංහ හා එස්. ෂන්මුගම් වැනි ප්‍රගතිශීලී නායකයන් හමු වෙලා උතුරේ සිය ජනතාවට නව දේශපාලන මගක් පාදා දෙන්නට පියවර ගන්නවා. ඊට අමතරව විදෙස් ලේඛකයන්ගේ හොඳ නිර්මාණ දෙමළ බසට නගා ඊළනාඩු හා සුදන්දිරම් වැනි යාපනේ පත්තරවල පළ කරනවා.

දෙමළ ජනයා පමණක් පීඩනයෙන් මුදා ගෙන සාධාරණ සමාජ ක්‍රමයක් බිහි කරන්න බැරි බව නීර්වෛට තේරුම් යන්නේ වාම දේශපාලනයේ නිරත වන විටයි. ජාතික සමගිය ගොඩනැගීම සඳහා ඔහු උපරිම වශයෙන් කැප වන්නේ ඒ අනුවයි. 1961දි නීර්වෛ පළ කරන ප්‍රථම කෙටිකතා සංග්‍රහය වන “මේඩුම් පල්ලවුම්” (කන්ද සහ පල්ලම) ඔහුගේ පළල් සමාජ දැක්මට සාක්ෂි දරනවා. මේ විදිහට 1970 දි “උදයම්” (උදාව), වැනි පොත් හා විවිධ ලිපි ලියමින් ලාංකීය දෙමළ සාහිත්‍යයේ සිය අනන්‍යතාව තහවුරු කරගන්න නීර්වෛ සමත් වෙනවා. චිත්‍රපට සංස්ථාවේ භාෂා පරිවර්තක රැකියාවක් ලැබී ඔහු කොළඹ එන්නෙත් මේ සමයෙයි. ඒ වන විට භාෂා කිහිපයක්ම හැසිරවීමේ සමතකු වී සිටීම හේතුවෙන් කොමියුනිස්ට් පක්ෂයේ සිංහල පුවත් ප්‍රකාශනය වන “දේශාභිමානි” පත්තරයේ කර්තෘ ධූරය පවා ඔහුට පිරිනැමෙනවා.

වාම දේශපාලන දැක්මකින් හා මානවහිතවාදී ලේඛන කලාවකින් කෙතරම් පොහොසත්ව සිටියත් උපතින් දෙමළකු වීම හේතුවෙන් 83 කළු ජූලියේදී නීර්වෛගේ කුටුම්බයද රුදුරු ජාතිවාදයේ ගිනි ජාලාවට ගොදුරු වෙනවා. සරණාගතයින් ලෙස විදෙස්ගත වීම හැර වෙන විකල්පයක් ඒ බිහිසුණු සමයේ ඔවුන්ට සොයාගන්න ලැබෙන්නෙ නැහැ. එහෙත් තම නොනිමි මෙහෙවර ඉටු කිරීමට තිබෙන අසීමිත කැපවීම නිසාම නීර්වෛ යළිත් ලංකාවට ගොඩබහිනවා 1966දි. එවර ඔහු සම්බන්ධ වෙන්නෙ විකල්ප සංස්කෘතියක් උදෙසා ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන හා ජයතිලක කම්මැල්ලවීර දෙපළගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ විභවි සංස්කෘතික මධ්‍යස්ථානයට.

71දි මුවර් කදෛගල් (තිදෙනෙකුගේ කතාව), 97දි “පාදෛ” (පාර), 2000දි වෙට්ටකෛ (ආශාව), 2001දි උලගත්තු නාට්ටාර් කදෛගල් (ලෝක ජනකතා), 2002දි මුට්පෝක්කු ඉලක්කීය මුන්නෝඩිගල් (ප්‍රගතිශීලී සාහිත්‍ය ප්‍රවණතා) ආදි වශයෙන් නිර්මාණ හා විචාර කෘති රැසක් නීර්වෛ පොන්නයියන් ලේඛකයා අතින් බිහි වී තිබෙනවා. මෙහිදී විශේෂයෙන්ම කිව යුතු කරුණක් තමා ඔහු එකම නවකතාවක්වත් ලියා නැති බව.

නීර්වෛගෙ කෙටිකතා එකතුවක් සිංහල පාඨකයන්ට හඳුන්වාදීමේ ගෞරවය සම්මානනීය පරිවර්තයකු වන ජී. ජී. සරත් ආනන්දයන්ට හිමි විය යුතුයි. “ළෙන්ගතුකම” නමින් සරත් ආනන්ද සිංහලට නැගූ ඒ පොතට 2006දි රාජ්‍ය සාහිත්‍ය සම්මානයත් පිරිනැමුණා. ඒත් කනගාටුවට හේතුව තමා නීර්වෛගෙ පොතක් මෙතෙක් දෙමළ සාහිත්‍ය උළෙලකදී සම්මානයට පාත්‍ර වී නොතිබීම.

ඔහුගෙ සමස්ත සාහිත්‍ය මෙහෙවර එක මිටකට කැටි කර ගත්තොත් කුල හා පන්ති පීඩනයට එරෙහි වීම, සමාජ සාධාරණත්වය හා වාර්ගික සංහිඳියාව වෙනුවෙන් කැපවීම වැනි පුළුල් අරමුණු ඔහු සතුව පැවති වෙසෙස් ගුණාංග බවයි මැදහත් විචාරකයන් පවසන්නෙ. නීර්වෛ පොන්නයියන් නමැති මානවහිතවාදියා සිය දිවි ගමන නිමා කළේ 2020 මාර්තු 26 වෙනිදා. බයිපාස් සැත්කමකටද භාජනය වී සිටි නීර්වෛ කලක සිට පදිංචි වී සිටියේ වැල්ලවත්තෙ.

වසර 90 සම්පූර්ණ වෙලා දවස් දෙකකින් ඉක්බිතිවයි ඔහු දැයෙන් සමුගන්නේ. මිතුරු පවුරට ලියන මේ මංගල සටහන නිමා කිරීම සඳහා දැනට අපේ රටේ ජීවත් වන ජ්‍යෙෂඨතම දෙමළ ලේඛකයා වන ඩොමිනික් ජීවා වරක් සිංහල ලේඛකයන් පිරිසක් හමුවේ කළ අගනා ප්‍රකාශයක් උපුටා දක්වන්න කැමතියි.

“ඇල්බෙයා කැමූ, ගර්ෂියා මාකෙස්, ෆ්‍රාන්ස් කෆ්කා වගේ ඈත රටවල් වල ලේඛකයො ගැන තමුන්නාන්සේලා නිතරම කතා කරනවා. ඒත් තමුන්නාන්සේලාගෙම රටේ තවත් පැත්තක ඩැනියෙල්ලා තෙනියාන්ලා ඩොමිනික්ලා වගේ සහෝදර ලේඛකයො ටිකක් ජීවත් වන බවවත් දන්නෙ නැහැ නේද...?”

 

Comments