අවුරුදු හතෙන් හයක්ම පිට පිටම විශිෂ්ටයන් බිහි කළ මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලය | සිළුමිණ

අවුරුදු හතෙන් හයක්ම පිට පිටම විශිෂ්ටයන් බිහි කළ මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලය

මෙරට ඉතිහාසය පුරාම දස්කම් විස්කම් තුළින් දකුණු පළාතට ඇත්තේ නොමැකෙන නාමයකි. හෙළ රාජ නාමාවලියේ සිට මෙකල රාජ්‍ය පාලනය දක්වා මෙන්ම මහ නාහිමිවරුන්, උගතුන්, පඬියන්, ජීවකයන්, කලාකරුවන් මෙන්ම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ඇතුළු බොහෝ අංශයන්ගෙන් පෑ දස්කම් හමුවේ එකී නාමය නොමැකි පවත්නේ ය. ඒ අතරින් අධ්‍යාපන අංශයෙන් මෑත ඉතිහාසයේ නොමැකෙන නාමයක් හිමිකරගෙන සිටින්නේ පළාතක් ලෙස පිට පිටම වසර හයක් පුරා අ.පො.ස (සා.පෙළ) විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානයට පත්වෙමිනි.

පසුගියදා නිකුත්වු අ.පො.ස. (සා.පෙළ) ප්‍රතිඵලයෙන් ද දකුණු පළාත දිවයිනේ ප්‍රමුඛයා වෙද්දී ඊට දායකත්වය දුන් පාසල් අතරින් ඉදිරියෙන්ම සිටින්නේ මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයයි. ඒ විභාගයට පෙනීසිටි සිසු සිසුවියන් සියලුදෙනාම සියලු විෂයන්ගෙන් සමත්ව සියයට සියයක ප්‍රතිඵලයක් පෙන්වමිනි.

මහින්ද රාජපක්ෂ විද්‍යාලය යනු වසර හතක කුඩා ඉතිහාසයකට හිමිකම් කියන පාසලක් ලෙස මෙම විශිෂ්ට දක්ෂතාවය පෙන්වීම සුවිශේෂී අවස්ථාවකි. එහි ප්‍රධානතම රහස විදුහල්පතිනිය ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්යමණ්ඩලයේ අසීමිත කැපවීම ය.

2019 වසරේ දෙසැම්බර් මස පැවති සාමාන්‍යපෙළ විභාගය සඳහා විද්‍යාලය නියෝජනය කරමින් පෙනී සිටි සිසුන් සංඛ්‍යාව දෙසිය හැත්තෑ එකකි. ප්‍රතිඵල සටහනේ ඉන් එකදු අසමත් වීමක් හෝ වාර්තා නොවීම විශේෂත්වයකි. මෙවර ප්‍රතිඵල අනුව ඒ-9 සාමාර්ථ ලබාගත් ශිෂ්‍ය සංඛ්‍යාව 52 කි. එය, සමස්ත ප්‍රතිඵලවලින් සියයට 19.19 කි. මේ අතර, ඒ 8 සාමාර්ථ 50ක්, ඒ 7 සාමාර්ථ 44ක් ලබා ගැනීමට ද විද්‍යාලයේ සිසු සිසුවියන් සමත්ව සිටිති. විභාගයට පෙනී සිටි 271ක් වන මුළු ශිෂ්‍ය පිරිසෙන් 234 දෙනෙකු ගණිත විෂයට ඒ සාමාර්ථ හිමිකර ගෙන තිබේ. ඉංග්‍රීසි මාධ්‍යයෙන් සාමාන්‍ය පෙළ සමත් වූ සිසුන් සංඛ්‍යාවද සියයට සියයකි.

විභාගයම ඉලක්කකර සැම මොහොතකම වැඩකිරීම වෙනුවට දරුවන්ගේ කායික හා මානසික සංවර්ධනයට ද වේලාව වෙන්කරදෙමින් මෙම ජයග්‍රහණය සඳහා දරුවන් යොමුකිරීම විශේෂ අවස්ථාවකි. එහිදී ආගමික, ක්‍රීඩා, සෞන්දර්ය, බාලදක්ෂ, ශිෂ්‍යබට, ශිෂ්‍ය නායක ආදී සෑම අංශයකටම තම දක්ෂතා මත එක්වී පාසල වෙනුවෙන් සේවය කිරීමේ අවස්ථාව ද ලබාදී ඇත. මහින්ද රාජපක්‍ෂ විද්‍යාලය බිහි වන්නේ 2013 වසරේ පෙබරවාරි මස 17 වැනිදා ය. ඒ එවක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව ය. අක්කර විසිහතරක (24) භූමි භාගයකින් යුතු මෙම විදුහලේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව 2865කි.මෙම දක්ෂතාවය පෙන්වීමට පෙර 2016 වසරේදී ඉංජිනේරු තාක්‍ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ද විදුහලේ සිසුවියක් සමත්වූවා ය. විෂය සමගාමීව මෙන්ම, බාහිර ක්‍රියාකාරකම්වලට ද විද්‍යාලයේ සිසුන් දක්වනේ ඉහළ දක්‍ෂතාවකි.

“මෙම ප්‍රතිඵලය අපේ දරුවන් ගත්තාම ශිෂ්‍යත්වය සමත්වෙලා ආපු ළමයි නේ මේ කියලා අපේ දරුවන්ගේ ජය සැහැල්ලුවට ලක්කරන අවස්ථාත් තිබුණා. එසේ කරන්නේ ඇයි කියා මම කියන්න ඕන නෑ. ඒ ඇයි කියා ඕන කෙනෙකුට හිතාගන්න පුළුවන්. අධ්‍යාපනය ගැන දන්නා සියලු දෙනා දන්නවා හය ශ්‍රේණියේ සිට එකොළහ ශ්‍රේණියට එනවිට දරුවන් තුළ මොනතරම් ප්‍රශ්න, ගැටලු ඇතිවෙනවා ද කියා. අපි අවම පහසුකම් යටතේ මගේ නියෝජ්‍ය විදුහල්පතිවරු, ගුරු මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය, පාසල් සංවර්ධන කමිටුව, දෙමාපියන් මේ හැමෝම ලොකු කැපකිරීමක් කළා. කණ්ඩායමක් විදියට වැඩකරලයි මේ ජයග්‍රහණය අත්කරගත්තේ. ඇතැම් දරුවන් වෙනුවෙන් එක් දරුවකුට එක් ගුරුවරයකු බැගින් නම්කර එම දරුවාගේ තොරතුරු සොයාබලා අවශ්‍ය පරිදි අධ්‍යාපන උපකාරක වැඩසටහන් සැලසුම්කර ක්‍රියාත්මක කළා. විශ්‍රාමික ගුරුභවතුන්, ජනප්‍රිය පාසල් වල ගුරුභවතුන්, ජනප්‍රිය උපකාරක පන්ති ගුරුභවතුන් සම්පත්දායකයින් ලෙස යොදවාගෙන දරුවන්ට ඉගැන්වීම සිදු කළා. සිකුරාදා දිනවල රාත්‍රී අට වන තෙක් පාසලේ ඉගැන්වීම් කටයුතු කළා. මනෝවිද්‍යාත්මක ක්‍රියාකාරකම්, කෑම බීම මේ සියල්ලත් ලබා දුන්නා. මෙහිදී පාසල් සංවර්ධන කමිටුවේ ලේකම් සරත් මහතා ගොඩාක් උදවු කළා. පන්ති කාමර ප්‍රශ්නය විසඳාගන්න ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇමතිතුමා හය ශ්‍රේණියේ පන්ති පවත්වන ගොඩනැගිලි සකසා දෙන්න උදව් කළා. පාසලේ නමේ අභිමානය දරුවන් තුළ තදින් තිබුණා; දරුවන් කැපවීමෙන් වැඩකර එය රැකගත්තා. ගොඩාක් සතුටුයි” විදුහල්පතිනී දුලානි කමල් රේණුකා මහත්මිය සිනාමුසුව පැවසුවා ය.

ද්වියීක පාසල් සංවර්ධන වැඩසටහන මෙරට ක්‍රියාත්මකකර පළාත් සඳහා පාසල බැගින් ආරම්භ කරද්දී දකුණු පළාත් පාසල ලෙස මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලය බිහි වන්නේ ය. විද්‍යාලය ආරම්භ කිරීමට අවශ්‍ය සැලසුම් හා මෙහෙයවීම් වලදී මාතර කලාප අධ්‍යාපන කාර්යාලය වෙනුවෙන් කටයුතු බාරව ක්‍රියාකරන්නේ එවක සැලසුම් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් රිදියගම මහතා ය. පාසල පටන්ගැනීමත් සමග එහි ආරම්භක විදුහල්පතිවරයා ලෙස පත්වන්නේ ද ලක්ෂ්මන් රිදියගම මහතා ය. තමන් පාසලට ගත් දරුවන් ලැබූ ජයග්‍රහණය පිළිබඳ රිදියගම මහතා මෙලෙස පැවසුවේ ය.

“එවක අධ්‍යාපන ඇමතිව සිටි බන්ධුල ගුණවර්ධන මහතා සමග සාකච්ඡා කර මෙම විදුහල පිහිටුවන්න ලොකුම උත්සාහය ගත්තේ එවක යෞවන කටයුතු හා නිපුනතා සංවර්ධන ඇමතිව සිටි ඩලස් අලහප්පෙරුම මහතායි. අපිට පාසල ආරම්භ කිරීමට පෙර දරුවන් සොයාගැනීම ලොකු ප්‍රශ්නයක් වුණා. ද්විතීයික පාසලක් ලෙස ආරම්භ කරන්න ශිෂ්‍යත්ව දරුවන්ගෙන් අයදුම්පත් කැඳවුවාම ලැබුණේ අයදුම්පත් දහඅටක් පමණයි. මාතර තියෙන ජනප්‍රිය පාසල් වලට එන්න උත්සාහ කර අවස්ථාව නොලැබෙන ශිෂ්‍යත්වය සමත් දරුවන්ට අවස්ථාව දෙන්න මෙම පාසල ආරම්භ කරන විට පිහිටි ප්‍රදේශය අනුව දෙමාපියන් දරුවන් දාන්න අකමැති වුණා. පසුව මම ඒ හැම දරුවකුගේම දෙමාපියන්ට දුරකථනයෙන් අමතා බොහොම අමාරුවෙන් කැමති කරවාගෙන දකුණු පළාතේ ප්‍රදේශ රැසක දෙමාපියන්ට රැස්වීමක් තැබුවා. එම රැස්වීමට දරුවන් ද කැදෙව්වා. රැස්වීම අවසානයේ දරුවන් පාසල් පරිසරයට බොහෝ කැමතිවී පාසලට එන්න ඕන බව පැවසුවා. ඒ අනුව අපි පන්ති හතක් සඳහා දරු දැරියන් දෙසිය අසූවක් ගත්තා. ගුරුවරුන් වශයෙන් විද්‍යාපීඨ වලින් ඉහළ දක්ෂතා පෙන්වා සමත්වූ හැත්තෑවක් ආරම්භක කණ්ඩායම ලෙස ගත්තා. මේ අය විධිමත් පත්වීම් ලැබෙන්න කලින් ස්වේච්ඡාවෙන් මාස හතරක් වැඩකළා. උසස්පෙළ පන්ති පටන්ගන්න උපාධිධාරී ගුරුභවතුන් තිහක් බඳවා ගත්තා. පරිණත ගුරුවරු හිටියේ දොළහයි. මේ ගුරු මිශ්‍රණය දරුවන්ගේ ජයග්‍රහණයට බොහෝ බලපෑවා. ආරම්භයේ සිට සවස තුන වන තෙක් පන්ති පැවැත්වූවා. පාසල පෙබරවාරි මස ආරම්භකර ජුනි මාසයේ උසස්පෙළ පටන්ගත්තා. අපේ මුල්ම ඉලක්කය වුණේ තාක්ෂණික විෂය ධාරාව. පසුව කලා, වාණිජ, විද්‍යා අංශ පටන්ගත්තා. තාක්ෂණ විෂය ධාරාවට පමණක් සිසුන් හැත්තෑවක් ගත්තා. ඉන් පනස් පහක් විශ්වවිද්‍යාල වරම් ලැබුවා. අනෙක් පිරිසත් විභාග සමත්වී වෘත්තීය විෂයන්ගෙන් උසස් අධ්‍යාපනයට යොමුවුණා. මෙවර සාමාන්‍ය‍පෙළ දරුවන්ගේ ජයග්‍රහණය ඒ සැලසුම්ගත වැඩසටහන වර්තමානයේ තවත් සංවර්ධනය කර ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක්. ඒ පිළිබඳ හරිම සතුටුයි”

සුනාමියෙන් පසු මාතර මහමයා විද්‍යාලය වෙනුවෙන් රස්සන්දෙනිය ප්‍රදේශයේ ඉදිකළ ගොඩනැගිලි භාවිතයට නොගෙන තිබියදී එය සංවර්ධනය කර පහසුකම් සහිත ද්විතීයික පාසලක් ලෙස ගොඩනැංවීමේදී ඒ සඳහා ඉහළ දායකත්වයක් ලබාදෙන්නේ වත්මන් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ය. එවක අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි බන්දුල ගුණවර්ධන මහතා සමග සාකච්ඡා වට කීපයක් පවත්වා තම පළාතේ දරුවන් වෙනුවෙන් මෙම පහසුකම් සපිරි පාසල ලබාදුන්නේ ය. දරුවන්ට අසීමිතව ආදරයකරන පියෙකු ලෙස මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ දරුවන්ගේ මෙම ජයග්‍රහණයෙන් උද්දාමයට පත් ඩලස් අලහප්පෙරුම මහතා මෙම ජයග්‍රහණය පිළිබඳව මෙලෙස පැවසුවේය.“මෙම විදුහල ආරම්භකළේ ලොකු කැපකිරීමක් කරලයි. අපි පාසල ආම්භකරන්නට පෙර පාසල අවසන් වෙන්දේසියට යොදා තිබූ අක්කර විසි දෙකක භූමියක් මුදල් දී පවරාගත්තා. එහි සිටි පඳිංචිකරුවන්ට නිවාස ලබාදී ඉවත්කර එය සරසවි උයන ලෙසින් නම්කර පාසලට උචිත පරිසරයක් සකසා දුන්නා. මෙම විද්‍යාලයට මහින්ද රාජපක්ෂ විද්‍යාලය කියා නම්කළේ ඒ නැණ ගුණ තේජස ඇති පාසලක් ඇතිකරන්නටයි. අද අපි සතුටුවෙනවා එදා අපි ඒ කළ කැපකිරීමේ හා අරමුණුගත වැඩපිළිවෙළේ ජයග්‍රහණයක් මෙලෙස ලැබීම ගැන. මෙවර ප්‍රතිඵල මත ලංකාවෙන්ම සියලු විෂයයන් සමත් පාසල් හත අතරේ එකක් ලෙස මහින්ද රාජපක්ෂ විද්‍යාලය පත්ව තිබෙනවා. ඒ සඳහා කැපකිරීම් කළ විදුහල්පතිතුමිය, ගුරුභවතුන්, අනධ්‍යයන කාර්යමන්ඩලය, දෙමාපියන් සහ දරුවන්ට මගේ ස්තූතිය පුදකරනවා. මහින්ද රාජපක්ෂ අගමැත්තුමාත් විදුහල්පතිතුමියට සුබපැතුවා."

"මට කණගාටුවක් තිබෙනවා අපි එදා සැලසුම් කළ බොහෝ දේ 2015 ජනවාරි මාසයෙන් පසු වසර හතරක් පුරා නතරවීම ගැන. අපි එදා මෙහි සංවර්ධනය වෙනුවෙන් මිලියන හාරසියයක් වෙන්කර තිබුණා. ඒ සියල්ල නතර වුණා. මම ඇමතිවරයා වශයෙන් වැඩ බාරගෙන පළමුවෙන් ගත් තීන්දු අතරින් එකක් තමයි එදා අපි සැලසුම් කළ බාලිකා නේවාසිකාගාරය, විද්‍යාගාර පහසුකම්, ක්‍රීඩාපිටි ඇතුළු භෞතික සම්පත් කඩිනමින් ලබාදීමට පියවර ගැනීම. මෙම විද්‍යාලය පිහිටා තිබෙන පරිසරය අනුව ඉදිරියෙන් මහ සයුර, පසෙකින් කලපුව, තවත් පැත්තකින් රුහුණ විශ්වවිද්‍යාලය, පන්සල මේ සියල්ලේ සිරිය ගෙන ලංකාවේ තිබෙන රමණීය හා විශිෂ්ට නායකයින් බිහිකරන පාසල ලෙස ගොඩනගන්න පියවර ගන්නා බව ජයග්‍රහණය ගෙනදුන් දරුවන්ට උපහාරයක් ලෙස මම කියනවා. මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සිට මැද්දවත්ත දක්වා දරුවන්ට සියලු අධ්‍යාපන අවස්ථා සැලසෙන සේ එදා සැලසුම් කළ අධ්‍යාපන කලාපය යළි ගොඩනගන්න කටයුතු කරනවා"

Comments