ළිප ගිනි මෙලවීමේ කලාව අලුත් කළ Litro Gas Lanka | සිළුමිණ

ළිප ගිනි මෙලවීමේ කලාව අලුත් කළ Litro Gas Lanka

රටේ ආර්ථික ක්‍රියාවලියට දායක වෙමින් වසර එකසිය පනහකට ආසන්න කාලයක් පැවතුණු ආයතනයක් ජාතියක ඉතිහාසය ගොඩනැන්වීමේ නිශ්චිත මානයක් සලකුණු කරයි. රටේ සමාජ ආර්ථික විචලනයන්හී ස්වරූප පෙන්වන දර්ශක බඳු එවැනි ආයතන අතළොස්සක් තවමත් අප සතුව තිබේ. ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම එබඳු ඓතිහාසික වටිනාකමක් සහිතව පැවතෙමින් මේ රටේ සමාජ ආර්ථික පරිවර්තනයක් කළ, අදත් රටේ ආර්ථික දේහය ශක්තිමත් කරන ජාතික සම්පතකි.

මේ රට යටත් විජිතයක්ව පැවැති අවදියේ රටට හිමි වූ සාධනීය වටිනාකම් ප්‍රමාණය තක්සේරු කරන විට ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සිටින්නේ ඉදිරියෙනි. සමාගමේ මූලය බිහි වන්නේ වර්ෂ 1873 දී ය. ඒ Colombo Gas and Water Company නමිනි. මෙම සමාගම ආරම්භක අවදියේ දී ගෑස් නිෂ්පාදන කරනු ලැබුවේ ගල් අඟුරු භාවිතයෙනි. පුරා වසර 101 තිස්සේ Colombo Gas and Water Company නමින් පැවැති ආයතනය වර්ෂ 1974 දී ජන සතු සමාගමක් බවට පත් වූයේය. ඉන් අනතුරුව එය ලංකා ගෑස් සමාගම බවට පත් විය. ඒ වන විට ලංකා ගෑස් යනු එල්. පී ගෑස් සමාගමකි. බණ්ඩාරනායක මැතිණියගේ රජය ලංකා ගෑස් සමාගම පවත්වාගෙන යන්නේ රාජ්‍ය සමාගමක් ලෙසිනි.

එසේ ඇරැඹුණු ලංකා ගෑස් සමාගම වර්ෂ 1995 චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය සමයේ දී ආයතන ව්‍යුහය වෙනස් කළේය. එතෙක් පූර්ණ රාජ්‍ය ආයතනයක්ව පැවැති ලංකා ගෑස් සමාගමේ කොටස් ප්‍රමාණයෙන් සියයට පනස් එකක් ලෝකයේ ප්‍රමුඛතම ගෑස් සමාගමක් වූ Royal Dutch Shell සමාගමට අලෙවි කළේය. දැනට ලෝකයේ ඇති තුන්වන විශාලතම ගෑස් සමාගම වන මෙම බ්‍රිතාන්‍ය සමාගම කළමනාකරණය සියතට ගත්තේය.

එහෙත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සිදු කළ මූලික ආර්ථික ප්‍රතිසංස්කරණ මාලාවේ ප්‍රමුඛ කටයුත්තක් ලෙස වර්ෂ 2010 ඔක්තොම්බර් මාසයේ දී ෂෙල් ගෑස් සමාගම සතුව තිබූ සියයට 51 පූරණ කොටස රක්ෂණ සංස්ථාව හරහා රාජ්‍ය භාණ්ඩාගාරය විසින් මිල දී ගත්තේය.

දැන් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම පවතින්නේ මුදල් අමාත්‍යාංශය යටතේය. මෙම රාජ්‍ය සමාගම ලංකාවේ සමාජ පරිවර්තනයක් සිදුකළ ඉතිහාසයකට හිමිකම් කියන්නේය. ලංකාවේ ගෘහණියෝ වෙත මුල්ම එල්.පී ගෑස් අත්දැකීම ලබා දෙන්නේ ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම ය. ඔවුහු ලංකාවේ 'ළිප ගිනි මෙලවීමේ' සම්ප්‍රදාය සංස්කෘතිකවම වෙනස් කළහ. මෙම පරිවර්තනය ජන ජීවිතයේ ජීවන ප්‍රමිතිය ඉහළ නැංවූයේය. මේ මොහොත වනවිට ලංකාවේ නිවාස ඒකක මිලියන 6 -7 අතර ප්‍රමාණයක භාවිත වන්නේ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරය.

 

නවීන විකල්ප

 

රජ්‍ය සමාගමක් ලෙස ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම රටේ පරිසරය ආරක්ෂා කර ගැනීමටත්, පුරවැසියන්ගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරගැනීමටත් කළ විශිෂ්ට ප්‍රායෝගික මැදිහත් වීමේ වටිනාකම වෙනම ගණනය කළ යුතුය. ලංකාවේ වන ගහණයෙන් විශාල ප්‍රමාණයක් ව්‍යසනයට පත් වූයේ ලිපි ගිනි මෙලවීම සඳහා ඇවැසි දර අවශ්‍යතාව සම්පූර්ණ කරගැනීමටය. එම විනාශය නවීන විකල්පයක් ආදේශ කර වැළැක්වීමේ අතිශය සාර්ථක ප්‍රවේශය රජය අත්හදා බලන්නේ මෙම රාජ්‍ය ගෑස් සමාගම හරහාය. ගෘහස්ථව සිදුකරන ගිනි මෙලවීම සඳහා අඩුම පරිසර හානිය සහිත ඵලදායීම ඉන්ධනය එල්.පී ගෑස් බව ලෝක මට්ටමින් තහවුරු කර තිබේ. ඉන් විමෝචනය වන කාබන්ඩයොක්සයිඩ් හා කාබන් මොනොක්සයිඩ් වැනි වායුත බැර ලෝහ, දර භාවිතයට සාපේක්ෂව නොගිනිය හැකි තරම් කුඩාය.

එමෙන්ම වර්ෂ 2017 ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවක් ප්‍රකාරව වාර්ෂික මිනිසුන් මිලියන 5,6 පමණ ප්‍රමාණයක් ස්වසනාබාධ හේතුවෙන් මිය යන්නේය. ඉන් වැඩිමනත් ප්‍රමාණයක් මිය යන්නේ දර භාවිත කර සිදුකරන මේ ගෘහස්ත ළිප ගිනි මෙලවීම් ක්‍රියාවේ ප්‍රතිඵලයක් ලෙස සිදුවන වායු දූෂණයෙනි. ලංකාවේ දී එම බිහිසුණු අවදානම තුරන් කිරීමේ පුරෝගාමී මෙහෙවර කළේ මෙම රාජ්‍ය ගෑස් සමාගම විසිනි.

එල්.පී ගෑස් යනු පරිසර හා මානව හිතකාමී මිත්‍රශීලී ඉන්ධනයකි. එය ප්‍රවාහනයට පහසුය. ගබඩා කිරීම පහසුය; භාවිතය පහසුය; පරිසරයට හිතකරය. මේ වනවිට ජන ජීවිතයේ පැවැත්මෙහි ප්‍රමුඛම කොටසක් වූ ගෑස් ඉන්ධනය සැපයීම සමාජ වගකීමක් සේ සලකා කටයුතු කිරීමට ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම කටයුතු කරන්නේය.

ගෑස් දේශීය නිශ්පාදනයක් නොවේ. රටේ අවශ්‍යතාව අනුව රාජ්‍ය සමාගමක් ලෙස ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම ගෑස් මිලදී ගන්නේ අන්තර්ජාතික වෙළෙඳපලෙනි. ලෝක වෙළෙදපලේ සිදුවන මිල උච්චාවචනය ඒ අයුරින්ම පාරිභෝගිකයා වෙත මුදා හැරීමට වඩා අවස්ථා කළමණාකරණය කර ජනතා සේවයක් සැපයීම මෙම රාජ්‍ය ආයතනය විසින් සිදුකරනු ලබන්නේය.

ලෝක වෙළෙඳපලේ මිල ඉහළ යනවිට එහි පීඩනය පාරිභෝගිකයා වෙත ලබා නොදීමට ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම බොහෝ අවස්ථාවල කටයුතු කළේය. ගතවූ මාස කීපය තුළ ද සමාගම එවැනි අත්දැකීම් ලැබුවේය.

ලංකාවේ ඉහළම ප්‍රමිතිගත ගෑස් සැපයුම් කරුවා ලිට්‍රෝය. එම ගෑස් සැපැයීම පිළිගත් අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලය. ISO සහ SLS ප්‍රමිතිය සහ අන්තර්ජාතික OSHA ප්‍රමිති සහතිකය සහිතව රට තුළ සිය ව්‍යාපාරය කරනා එකම ගෑස් සැපයුම්කරු ලිට්‍රෝ ය.

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම ගෑස් ආනයනයේ දී අනුගමනය කරන ප්‍රතිපත්ති මාලාවකි. ඔවුන් රටට තුළට එම ගෑස් ගෙන්වන්නෙ ගෑස් වෙළෙඳපලට බාගත කිරීමේදී පමණක් නොව, අන්තර්ජාතිකවත් සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි. එලෙස සාම්පල පරීක්ෂාවෙන් ඔවුන් ජාත්‍යන්තරව ප්‍රමිතිගත ගෑස් තෝරයි. එම ගෑස් ලංකාවට බාගත කරන විටදී ද එහි ගුණාත්මක බව තහවුරු කරගන්නට ඔවුන් කටයුතු කරයි. අමේ අත්දැකීම ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම ලබන්නේ ලෝකයේ තුනවන ස්ථානයේ පවතින විශිෂ්ටම අන්තර්ජාතික සමාගමක් වූ ෂෙල් සමාගම සමඟ කටයුතු කර ලැබූ අත්දැකීමෙනි. ෂෙල් සමාගම භාවිත කළ අන්තර්ජාතික ප්‍රමිති සේම ඔවුන් සමඟ කටයුතු කිරීමේදී ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම ලබා ගත් ජාත්‍යන්තර කළමණාකරණ විධි, තාක්ෂණික විධි, ඇතුළු සමස්ථය තවමත් නොකඩවා පවත්වාගෙන යයි. මෙය රජයේ වගකීමක් ඇති ජාතික සමාගමකි. රාජ්‍ය අනුග්‍රහය, වසර 148 ක පලපුරුද්ද, ඒ පලපුරුද්ද නිසා ඇති වුණු විශේෂ ප්‍රාගුණයයක් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සතුය.

 

COVID-19 හමුවේ LP ගෑස් සැපයුම

 

තවමත් පවතින COVID-19 වසංගත තත්ත්වය හමුවේ ජනතාවට පහසුවෙන් LP ගෑස් ලබාගැනීමට හැකිවන පරිදි ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සිය දීපව්‍යාප්ත සැපයුම් හා බෙදාහැරීම් වඩාත් වේගවත් හා පුළුල් කළේය. තම අලෙවි නියෝජිතයන් සමඟ එක්වී, පාරිභෝගිකයන් සුරක්ෂිතව නිවෙස්වලම සිටියදී ඔවුන්ට අවශ්‍ය ගෑස් සිලින්ඩර නිවෙසටම සැපයීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට සමාගම සිය කළමනාකරණ විධි දියුණු කළේය. මේ සඳහා පළමුවෙන් අලෙවි නියෝජිතයන් 500 දෙනකු සම්බන්ධ කර ගැනුණි. පසුව එම සංඛ්‍යාව 1,000 දක්වා ඉහළ නැංවූයේය. මුලදී කොළඹ අවට මෙම බෙදා හැරීම කරනු ලැබුවේ PickMe Food සමග එක්වීමෙනි. පසුව එම සේවාව අනෙකුත් පළාත් වෙත ද ව්‍යාප්ත විය. ලංකාවේ දෛනික ගෑස් ඉල්ලුම සිලින්ඩර 80,000 කි. කිසිදු බිඳවැටීමකින් තොරව මෙම මෙහෙයුම පවත්වා ගැනීමට ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමට හැකි විය.

එමෙන්ම පාරිභෝගිකයන්ට අවශ්‍ය ගෑස් නිවෙසටම ගෙන්වා ගැනීම සඳහා මගපෙන්වීම් ලබා දීමට 1311 ක්ෂණික ඇමතුම් අංකය සමාගමෙන් හඳුන්වා දුන්නේය. ගෑස් බෙදාහැරීම සම්බන්ධ නවතම තොරතුරු සහ, බෙදාහැරීම් ජාලය පුළුල් කිරීම සම්බන්ධ තොරතුරු තම වෙබ් අඩවියට ඇතුළත් කරමින් අඛණ්ඩව ජනතාව දැනුම්වත් කිරීමටද ඔවුහු කටයුතු කළහ.

"ජාතික ළිප ගිනි සපයන්නා' ලෙසින් මේ දුෂ්කර අවස්ථාවේ ජනතාවට උපරිමයෙන් සේවය සැලසීමට අපට හැකි වුණා. අපගේ කාර්ය මණ්ඩලය, කළමනාකාරීත්වය, සැපයුම් දාමයේ ප්‍රධාන සාමාජිකයන් සහ රජයේ බලධාරී අංශ යන සියලුම පාර්ශ්ව මේ කටයුත්ත වෙනුවෙන් කැප වුණා. රජයේ හිමිකාරීත්වය යටතේ පවතින සමාගමක් ලෙස, ජනතාව මුහුණ දෙන දුෂ්කරතා අවම කිරීමට අවශ්‍ය පියවර ගැනීමේ වැදගත්කම අවධාරණය කළ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැක්මට අනුව, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම යටතේ මේ COVID-19වසංගත සමයේ අත්‍යවශ්‍ය සේවාවක් ලෙස බෙදාහැරීම් කටයුතු අඛණ්ඩව සිදුකිරීමට අප කටයුතු කළා. එමෙන්ම COVID-19 මර්දනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සහයෝගයද අපට අතිශයින් වැදගත් වුණා. මෙම උත්සාහයේ සෑම පියවරක්ම සාර්ථක කරගැනීම සඳහා ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සහා ටර්මිනල් ලංකා සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් කොස්වත්ත මහතාගේ නායකත්වය යටතේ අපගේ කළමනාකාරීත්ව කණ්ඩායම ප්‍රමුඛ සමස්ත කාර්ය මණ්ඩලය අතිශයින් වෙහෙස මහන්සි වී කටයුතු කළා. ” ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගමේ අධ්‍යක්ෂ (විකිණුම් හා අලෙවි - ආයතනික කටයුතු) ජනක පතිරත්න පැවසීය.

රට ගොඩ නැඟීම සඳහා වූ සෑම සද්කාර්යකදීම ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සිටියේ පෙරමුණේය. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සම්පන්න ලෙස ආහාර පිසීමේ පුරුදු ජනප්‍රිය කරවීමේ අරමුණ ඇතිව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සේවාව මගින් සංවිධානය කළ ආහාර පිසීමේ තරගාවලිය සඳහා ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම අනුග්‍රහය දැක්වීය. සමාගමේ ප්‍රජා සත්කාර වැඩසටහනේ එක් පියවරක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවට රු. මිලියන 20 කට වැඩි වටිනාකමකින් යුත් උපකරණ තොගයක් පරිත්‍යාග කළේය. එම උපකරණ අතරට නව කිමිදුම් උපකරණ සහ අති නවීන Supplied System’ පද්ධතියක් ඇතුළත් විය.

දිවයින පුරා විසිර සිටින ආර්ථික අපහසුතාවෙන් පෙළෙන මවුවරුනට තමන් පළමුවරට මිලදි ගන්නා ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් උදුනක් හා ඉවුම් පිහුම් සඳහා අවශ්‍ය වෙනත් උපාංග ලබා දීමට ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම ඉදිරිපත් විය. මීතොටමුල්ලේ කුණු කන්ද නාය යෑමෙන් විපතට පත් පවුල් 200 කට ගෑස් උදුන්, ගෑස් සිලින්ඩර සහ රෙගියුලේටර පිරිනැමිණි. 2017 වෙසක් සමය නිමිත්තෙන් සමාගම විසින් පූජනීය ස්ථානය 100 කට LP ගෑස් ඉවුම් පිහුම් පහසුකම් ලබා දුන්නේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හිටපු අමාත්‍යංශය හා එක්වය. සාලාව අවි ගබඩාව ගිනි ගැනීමෙන් විපතට පත් වූ පවුල් 400කට ද ගෑස් සිලින්ඩර ලබා දීමට ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම කටයුතු කළේය.

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම තමන් සතු, වසර ගණනාවක අත්දැකීම් ප්‍රායෝගික කරමින් අධික දුෂ්කරතා හමුවේ පවා තොග අවසන් නොවී පවත්වා ගෙන විශිෂ්ට සේවයක් සැපයීමට කටයුතු කළේ ය. සමාගම හා එක්වී සිටින සියලුම දෙනා එකිනෙකා කෙරෙහි විශ්වාසයෙන් හා කණ්ඩායම් හැඟීමෙන් යුතුව වැඩකිරීම ද මෙම සාර්ථකත්වයට බලපෑවේය.

2020 මාර්තු 15 සහ අප්‍රේල් 30 අතර කාලසීමාව තුළ සමාගම වෙත LP ගෑස් මෙට්‍රික් ටොන් 41,000 ක් ලැබුණු අතර, සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමට එය මහෝපකාරී විය. මේ ආකාරයට LP ගෑස් විශාල ප්‍රමාණයක් සුරක්ෂිතව ගබඩා කොට තබාගැනීමට සමාගමට හැකිවීම, එහි මෙහෙයුම් හා තාක්ෂණික අංශ වල විශිෂ්ටත්වයට මනා සාක්ෂියකි.

ලිට්‍රෝ ගෑස් මෑතකදී පැවැති ZeroOne සම්මාන උළෙලේදී ගෞරව සම්මාන දෙකකින් පිදුම් ලැබුවේය. ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී (National Occupational Safety & Health Excellence Awards - NIOSH) සම්මාන දෙකකින් සමාගම පිදුම් ලැබුවේය.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing – SLIM)සංවිධානය කළ 'National Sales Congress 2017 (NASCO)'2017 සම්මාන උළෙලේදී රන් සම්මාන 4 ක්, රිදී සම්මාන 3 ක්, ලෝකඩ සම්මාන 3 ක් සහ කුසලතා සම්මානයක් සමඟින් සම්මාන 11 කින් පිදුම් ලැබීය. National Occupational Safety & Health Excellence & Sector සම්මානය, Energy and Environment Foundation හි ගෝලීය සුරක්ෂිතතා සම්මානය, පරිසරය සුරැකීමට දක්වන දායකත්වය වෙනුවෙන් වූ Global Green Era සම්මානය, (National Presidential Green Awards) ජනපති හරිත සම්මානය, ISO 14001 සහා OHSAS 18001 අන්තර් ජාතික ප්‍රමිති සහතිකය වැනි අන්තර් ජාතික ඇගැයීම් බොහොමයකින් ද ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සම්මානයට පාත්‍ර වී ඇත.

මේ සම්මාන යළි යළිත් තහවුරු කරන්නේ ඔවුන් මේ රට තුළ තහවුරු කර ඇති ප්‍රමිතිය ය. ස්වකීය ක්ෂේත්‍රයේ ලෝක අත්දැකීම් ලංකාවට හඳුන්වා දීමට ද ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම කටයුතු කර ඇත.

අති නවීන තාක්ෂණය සමඟ නවතම ඉන්ධන පිරවීමේ ක්‍රමවේදයක් හඳුන්වාදෙමින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදි වූ නව ඉන්ධනහල් ද්විත්වය ඊට උදාහරණ ය. දක්ෂිණ අධිවේගී මාර්ගයෙ ඉදිවූ මුල්ම පිරවුම්හල්වන එම හඳුන්වා දීම කරන්නේ ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම ට අයත් ලිට්‍රෝ ෆුවලස් සමාගම විසිනි‍.

 

රට අභ්‍යන්තර මෙහෙයුම

 

දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා විහිදුණු බෙදාහැරීම් ජාලයක් සහිත මේ විශිෂ්ට සමාගම ඉතා වැදගත් ප්‍රාදේශිය අලේවි මධ්‍යස්ථාන 12000 කට ආසන්න ප්‍රමාණයක් කළමනාකරණය කරයි. ලංකාව පුරා ප්‍රධාන බෙදා හැරීමේ මධ්‍යස්ථාන 40කට ආසන්න ප්‍රමාණයක් ඇත. මෙයට අමතරව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම නව තාක්ෂණික ක්‍රමවේදයක් ලෙස නිවෙසටම සිලින්ඩර බාර දීමේ මධ්‍යස්ථාන 1000 වඩා අරඹා ඇත.

ලංකාවේ පුංචිම කෑම කඩයේ සිට තරු පහේ හෝටල් 75% කම ආහාර පිසීමේ දී භාවිත කරන්නේ ලිට්‍රෝ සිලින්ඩරය. ලංකාවේ තිබෙන සෙරමික් සහ ප්‍රධාන බිස්කට් කර්මාන්ත වල සිටින දැවැන්තම සැපැයුම් කරුවා ලිට්‍රෝ ගෑස්ය. ඈත පිටිසර ගැමි නිවසක ළිප ගිනි දැල්වීමේ හිමිකම අත්පත් කරගත්තේ මේ සමාගම ය.

රටේ ජීවන පුරුදු උසස් කර නව සංස්කෘතික වෙනසක් ඇති කළේ මෙම සමාගමය. ලිට්‍රෝ ගෑස් යනු ව්‍යාපාරක සමාගමකමට වඩා වැඩි දෙයක් වන්නේ ඒ නිසාය.

Comments