විශිෂ්ට සේවාව එකම අරමුණ කරගත් සියවස සමරන කොමර්ෂල් බැංකුව | සිළුමිණ

විශිෂ්ට සේවාව එකම අරමුණ කරගත් සියවස සමරන කොමර්ෂල් බැංකුව

සු කරමින් සිටිනුයේ අතිශය දුෂ්කර කාල පරිච්ඡේදයක් වුවද, 2020 යනු කොමර්ෂල් බැංකුවට සුවිශේෂී වූ වසරකි. එනම්, මේ ඔවුන්ගේ සිය වසයි.

- ශතකය සම්පූර්ණ කරන්නේ මේ වසරේ 
- රුපියල් මිලියන 10ක් කොවිඩ් 19 අරමුදල වෙත පරිත්‍යාග කරයි; රෝහල් රැසකට අත්‍යවශ්‍ය සනීපාරක්ෂක උපකරණ ලබා දෙයි. 
- 1920 වසරේ ආරම්භ වූ ඊස්ටන් බැංකුව, කොමර්ෂල් බැංකුවේ පූර්වගාමී ආයතනයයි 
- රටවල් කිහිපයකම ශාඛා 
- ලෝකයේ හොඳම බැංකු 1000 අතරට, පිට පිටම නව වතාවක් තේරී පත් වූ එකම ශ්‍රී ලාංකේය බැංකුව 
- සියවස් සැමරුම වෙනුවෙන් වැඩසටහන් රැසක්

බොහෝ දෑ සිදුවිය හැකි දීර්ඝ ඉතිහාසයක් වන ඒ සියවස තුළ, කොමර්ෂල් බැංකුව අත්පත් කරගෙන තිබෙනුයේ ඔවුන්ටම ආවේණික වූ සාර්ථකත්වයකි. ලෝකයේ හොඳම බැංකු 1000 අතරට, පිට පිටම නව වතාවක් තේරී පත් වූ එකම ශ්‍රී ලාංකේය බැංකුව වීම...ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වීම, බංග්ලාදේශය තුළ ශාඛා 19ක් පවත්වාගෙන යෑම, මියැන්මාරයේ යැන්ගොන් හි නියෝජිත කාර්යාලයක් සහ නේපටෝව් හි ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් ලෙස ක්‍රියා කිරීම, මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවක් ආරම්භ කළ, මෙරට පළමු බැංකුව වීම ඒ සාර්ථක ගමනේ උදාහරණ කිහිපයක් පමණි. 

අද, කොමර්ෂල් බැංකුව සතු මෙරට ශාඛා ප්‍රමාණය 268 කි. 1990 වසරේ හඳුන්වා දී, අද වන විට රට පුරා විසිරී ඇති ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ප්‍රමාණය 865 කි. වසර ගණනාවක් මෙරට වැඩිම සම්මාන දිනු බැංකුව ලෙස මෙන්ම, වසර දහයක් නොකඩවා ශ්‍රී ලංකාවේ ගෞරවණීය ම බැංකුව ලෙස තේරී පත් වන්නටත්, කොමර්ෂල් බැංකුවට හැකි විය.

එහෙයින් ගත වූ සියවස මෙන්ම, සියල්ලට ආරම්භය දුන් 1920 වසර ද කිසිසේත් අමතක කළ නොහැකිය.

1920 වසරේ ආරම්භ වූ ඊස්ටන් බැංකුව, කොමර්ෂල් බැංකුවේ පූර්වගාමී ආයතනයයි. 1930 සහ 1940 කාල වකවානුවේ ඊස්ටන් බැංකුවේ කොටස්, බාර්ක්ලේස් බැංකුව මිලදී ගත් අතර, 1957 වසරේදී බාර්ක්ලේස් බැංකුවේ කොටස් සහ සැසූන් පවුලේ කොටස්, චාර්ටඩ් බැංකුවට විකුණන ලදී. 1969 වසරේදී ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව, මෙරට ආරම්භ විය. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ ඊස්ටන් බැංකුව , කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් ලිමිටඩ් යන දේශීය බැංකුව බවට පත් වූයේය.

එවැනි ඉතිහාසයක් තුළ ගොඩනැඟුණු මෙරට ප්‍රමුඛ පෙළේ බැංකුවක් ලෙස සිය යුතුකම ඉටු කරමින්, රට මුහුණ දී ඇති දුෂ්කර අවස්ථාවේ රුපියල් මිලියන 10ක මුදලක් කොවිඩ් 19 අරමුදල වෙත පරිත්‍යාග කරන්නට මෙන්ම, රෝහල් රැසකට අත්‍යවශ්‍ය සනීපාරක්ෂක උපකරණද පරිත්‍යාග කරන්නටත් කොමර්ෂල් බැංකුව කටයුතු කළේය.

එසේම, සාමුහික ගිවිසුමක් මත ක්‍රියාත්මක හෙයින් කිසිදු වැටුප් කප්පාදුවකට නොගොස් 4,200 ගණනක් වූ සේවක වැටුප්ද එලෙසම ගෙවීමටද කටයුතු කළේය. පවතින තත්ත්වය හමුවේ ක්‍රියාකාරිත්වය සහ පැවැත්ම කෙතරම් දුෂ්කර වුවද, ජනතාවට සමීප ලෙස සිය සේවාවන් පවත්වාගෙන යෑමට දරන වෙහෙස පිළිබඳ කොමර්ෂල් බැංකුවේ සභාපති, ධර්ම ධීරසිංහ මහතා අදහස් දැක්වූයේ මෙලෙසිනි.

" සිය වසක් සමරන වර්ෂය වුවද,මේ දිනවල අපගේ මූලික අවධානය යොමු වී තිබෙන්නේ, රටක් හැටියට මුහුණ දෙන මේ අභියෝගයට හැකි සෑම අයුරින්ම දායක වන්නේ කෙසේද... කියන කාරණාව මුල් කරගෙනයි.ඒ වගේම, ගනුදෙනුකරුවන්ට අවශ්‍ය මුදල් හැකි ඉක්මනින් ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳවයි. ශ්‍රී ලංකා බැංකු පද්ධතිය තුළ ඩිජිටල්කරණය අතින් ඉදිරියට ම ගිය බැංකුවක් ලෙස ,අපගේ සෑම මට්ටමේ ගනුදෙනුකරුවකුටම ඔවුන්ගේ ගනු දෙනු කිරීම පහසු කිරීම සඳහා ඇප් එකක් හඳුන්වා දී තිබෙනවා. ඒ හැරෙන්නට අපගේ ගනුදෙනුකරුවන් වන වයෝවෘද්ධ පුද්ගලයන්, දෘශ්‍යාබාධිත හා ඇවිදීමට නොහැකි ආබාධිත අය, ණය කාඩ්පත් හෝ හරපත් පාවිච්චියක් නැති අය සඳහා මොබයිල් කෑෂ් පහසුකම ක්‍රියාත්මක කළා.

ඒ අනුව, ඇඳිරි නීති සමයේදී ලංකාවේ සෑම පළාතකටම ජංගම රථ 10 ක් මගින් එවැනි ගනුදෙනුකරුවන් වෙත මුදල් රැගෙන යන ක්‍රමවේදය ක්‍රියාත්මකයි. මොකද, මේ දිනවල බොහෝ ගනුදෙනු සිදු වන්නේ මුදල් මගින් පමණයි. චෙක්පත්, ක්‍රෙඩිට් කාඩ් භාවිතය ව්‍යාපාරිකයෝ පවා නවතා දමලා. මුදල් මගින් ගනුදෙනු කිරීමටයි සෑම කෙනෙකුම උනන්දු වී තිබෙන්නේ. ඉතින්, ඇඳිරි නීතිය දැඩිව ක්‍රියාත්මක වන මේ වෙලාවේ අවශ්‍ය තරම් මුදල් ගනුදෙනුකරුවන් වෙත සම්පාදනය කළ යුතුයි. මෙවැනි අමතර සේවා නිසා අපේ බැංකුවල සේවකයන්ටත් වෙනදාට වඩා වැඩ වැඩියි.

අනෙක, ඇඳිරි නීතිය තිබුණට බැංකුව මගින් සිදුවන සියලු කටයුතු ප්‍රධාන කාර්යාලයේදීත් සිදු වෙනවා. ඔවුන් වෙනුවෙන් සියලු ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කළ යුතුයි. වෙනදා තමන්ගේ ක්‍රමයකට වැඩට ආ සේවකයන් නිවෙස්වලින් රැගෙන, යළි නිවෙස්වලටම ඇරලවාලන ප්‍රවාහන ක්‍රමවේදයකටත් යන්න වෙලා. මේ වෙලාවේ බැංකුවක් හැටියට ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා වලට අමතරව තවත් බොහෝ අංශ ගැන සිතන්නට සිදු වෙලා. එය මේ මොහොතේ අපගේ වගකීමක්. කෙසේ වෙතත්,මේ කාල වකවානුවේ මුදල් මූලිකව ගනුදෙනු සිදුවුණා කියලා, රටේ මුදල් සංසරණයේ වැඩි වීමක් සිදුවෙලා නැහැ.

සාමාන්‍යයෙන් සිංහල අවුරුදු සමය කියන්නේ, සමාජයේ මුදල් සංසරණය විශාල වශයෙන් සිදුවන කාල වකවානුවක්. ගිය අවුරුදුවලට සාපේක්ෂව මේ අවුරුද්දේ විශාල වශයෙන් මුදල් ගනුදෙනු ඉහළ ගියේ නැහැ. ජනතාවගේ සාප්පු සවාරි සහ බඩු මුට්ටු මිලදී ගැනීම් කිසි දෙයක් සිදු වූයේ නැහැ. බොහෝ සමාජ ආර්ථික කටයුතු නතර වුණා. මුදල් සංසරණය සිදු වූයේ ජනතාවගේ ආහාර ද්‍රව්‍යය හෝ බෙහෙත් හේත් මිලදී ගැනීම් සඳහා පමණයි. කොටින්ම, අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් පමණයි.

මුදල් සංසරණය අවම වුවත්, කිනම් ආර්ථික අවපාතයක් හමුවේ වුවත් තැන්පතුකරුවන්ට අවශ්‍ය විටෙක ඔවුන්ගේ තැන්පතු යළි නොදී ඉන්නට බැංකුවකට බැහැ .පොලිය නවතා දමන්නටත් බැහැ . මෙය සමස්ත බැංකු පද්ධතියට ම බලපාන කාරණයක්. මොකද, බැංකුවක සිදුවන ව්‍යාපාරික කටයුත්ත, එසේත් නැතිනම් බැංකුවේ ව්‍යාපාර ස්වභාවය තමයි, මූල්‍ය අතරමැදි ක්‍රියාව. සරලව කිව්වොත් ණයට මුදල් ගැනීම සහ ණයට මුදල් දීම. බැංකුවට මුදල් දෙන අයට, ණය සහ පොලී ගෙවිය යුතු අතර, බැංකුවෙන් ණය ගන්නා අයගෙනුත් ඒ ණය සහ පොලී අය කර ගත යුතුයි. බැංකුවක් ඉදිරියට යන්නේ මේ කාරණා දෙකම සමබරව සිදුවීමෙන් "

කෙසේ වුවද, මේ අවස්ථාවේ විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින සිය ගනුදෙනුකරුවන්ට සහය දැක්වීම, බැංකුවක් ලෙස සිය වගකීම වන බවයි, සභාපතිවරයා අවධාරණය කර සිටින්නේ.

"කොරෝනා වසංගතයේ ලොකුම බලපෑම තමයි, අපේ ණය ගත්තු ගනුදෙනුකරුවන්ට ණය සහ පොලිය ගෙවීමට නොහැකි තත්ත්වයක් උදාවීම. නමුත් පවතින තත්ත්වය කුමක් වුණත් අපේ බැංකුවක මුදල් තැන්පත් කළ කෙනකු, මුදල් හෝ එකඟ වූ පොලිය යළි ඉල්ලු විට නැවත නොදී සිටීමට බැංකුවකට හැකියාවක් නැහැ. කොහොම වුණත් පහුගිය අවුරුදු පහක් තිස්සේ අපේ රටේ තිබූ ආර්ථික අවපාත වේගය 2.7 දක්වා පහත වැටුණා.

අද සමහරු ඇස්තමෙන්තු කරනවා, මේ වසරේ ආර්ථික වර්ධන වේගයක් නැතිවෙයි කියා. රටේ ආර්ථිකය අඩාළ නොවී වේගයෙන් ඉදිරියට යනවා නම් තමයි, බැංකු කටයුතුත් ප්‍රසාරණය වන්නේ.

ණය ගත්තු අයට ණය ගෙවා ගැනීම සඳහා රජය මගින් දී තිබෙන සහන වැඩපිළිවෙළ මහ බැංකුව හරහා ලංකාවේ සියලුම බැංකුවට දැනුම් දී තිබෙනවා. අපිත් ඒ අනුව සියලු කටයුතු සිදුකරනවා. ව්‍යාපාරිකයන් මේ වෙලාවේ අඩු පොලී ණය සහන වගේ දේ බලාපොරොත්තු වෙනවා. බැංකුවකට දරාගත හැකි උපරිම සීමාවන් යටතේ එම පහසුකම් ලබා දෙන්නට අප සූදානම්.කෙසේ වෙතත් මේ තත්ත්ව යටතේ, මහ බැංකුවෙන් රුපියල් බිලියන 50ක ප්‍රතිමූල්‍ය පහසුකම් සලසා තිබෙනවා. එය, ණය ගැනුම්කරුවන්ට 4% පොලියට දීමට නියමිත ණය පහසුකමක්.

ඒ අනුව, ව්‍යාපාරිකයන්ට අප වෙත ණය ඉල්ලුම් පත් ඉදිරිපත් කළ හැකියි. අප ඒවා සලකා බලා, බැංකුවේ නිර්දේශ සමග මහබැංකුව වෙත යවනවා. මහ බැංකුව, එය දිය යුතු ණයක් ලෙස ලෙස පිළිගෙන අනුමත කළ විට,අපට එම ණය ලබා දීම සිදු කළ හැකියි.

පිරිනමන ණය මුදල් වාරික ලෙස පොළිය සමග කර ගැනීමේ වගකීම අදාළ බැංකුව සතුයි. රුපියල් බිලියන 50 ක එම අරමුදල දැනටමත් පිහිටුවා තිබෙන අතර, අදාළ කටයුතු සිදුවෙමින් පවතිනවා. ගැනුම්කරුවන් සහ සේවක යන දෙපාර්ශ්වයටම පහසුකම් සැලසීම මුලට තියා , ඔවුන් ගැන සහ බැංකුව ගැනත් සිතා, මේ වෙලාවේ බැංකුවේ ප්‍රාග්ධන පිරිවැය සහ මෙහෙයුම් පිරිවැය අවම කර තිබෙනවා.

මේ තත්ත්වය යටතේ අලුතින් කිරීමට සැලසුම් කර තිබූ ප්‍රාග්ධන වියදම් විශාල ප්‍රමාණයක් අඩුකර තිබෙනවා. මහ බැංකුවේ නියාමනයට යටත් ව යහපාලන ප්‍රතිපත්ති මාලාවකට අනුවයි, බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය ක්‍රියාත්මක වන්නේ.

බැංකුවේ කළමනාකාරිත්වයට නිසි මඟ පෙන්වීම සහ අදාළ කටයුතු පූර්ණ අධීක්ෂණය කිරීම, ඒ කාර්යයභාරයට අයිතියි.මේ සියලු අභියෝග මැද මේ වෙලාවේ මොන විදියේ උපායමාර්ගික වැඩපිළිවෙළකට අප සැලසුම් සහගතව යා යුතුද කියන එකයි ,සභාපතිවරයා වන මා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම... "

එමෙන්ම, ණය අක්‍රිය තත්ත්වයේ පවතින ගනුදෙනුකරුවන් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර, ණය මුදල් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ගනුදෙනුකරුවන් විසින් කරනු ලබන ඉල්ලීම් සලකා බලමින්, ඔවුන්ට අවස්ථාවක් ලබා දී, තවත් පහසුකම් සැලසීමට බැංකුව විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටිනා බව ද සභාපතිවරයා පැවසීය.

පවතින දුෂ්කර තත්වය හමුවේ වුවද, සිය 'සිය වස් සැමරුම' වෙනුවෙන් මෙරට ප්‍රධාන ආගම් හතර ඉලක්ක කරගත් ආගමික වැඩසටහන්, පාර්ශ්වකරුවන්ට උපහාර පිදීමේ වැඩසටහන්, දිවයින පුරා පාසල් සියයකට සෙත සැලසෙන ප්‍රජා සත්කාරක වැඩසටහන්, සහ මහා පරිමාණයේ වන වගා වැඩසටහන් ආදිය ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතින බවද සභාපතිවරයා තවදුරටත් පැවසීය.

Comments