සුළු ව්‍යාපාරිකයන්ට ගොවීන්ට බැංකු මඟින් සහන සැලසීමට පියවර | සිළුමිණ

සුළු ව්‍යාපාරිකයන්ට ගොවීන්ට බැංකු මඟින් සහන සැලසීමට පියවර

මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට සේම සුළු ව්‍යාපාරිකයන්ටත් ගොවි ජනතාවටත් බැංකු සහාය දිය යුතු බවත් පසුගිය සමයේ බැංකුවලින් ණය ලබාගෙන ඒවා නොගෙවා සිටි වැඩි දෙනා දුප්පත් ජනතාව නොව ධනවතුන් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

කොවිඩ් - 19 වසංගතය නිසා ඇද වැටුණු ආර්ථිකය ගොඩ නැංවීමට සාම්ප්‍රදායික චින්තයෙන් සහ වැඩ රාමුවෙන් බැහැරව දායකවන ලෙස බැංකු ප්‍රධානීන් ගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා නිෂ්පාදන ආර්ථිකය සවිමත් කිරීම වහාම කළ යුතු බවත් ඒ සඳහා ආයෝජනය කළ හැකි ක්ෂේත්‍ර රැසක් පවතින බවද පෙන්වා දුන්නේය.

තේ වගාව ඇතුළු වැවිලි කර්මාන්ත, කුඩා හා මධ්‍යම පරිමාණ නිෂ්පාදන, නිවාස හා වෙනත් ඉදිකිරීම් හා නිෂ්පාදන වටිනාකම එකතු කළ කුරුඳු හා ගම්මිරිස් බෝග වර්ග දියුණු කිරීම ඉන් කිහිපයක් බව අවධාරණය කළ ජනාධිපතිවරයා මෙම ක්ෂේත්‍රවල ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා පහසු කොන්දේසි යටතේ ණය ලබාදෙන ලෙසද අදාළ බැංකු ප්‍රධානීන්ට දැනුම් දුන්නේය.

වාහන සහ ප්ලාස්ටික් භාණ්ඩ ආනයනය සඳහා ණය ලබාදී පහසුවෙන් ලාබ උපයාගැනීමේ රටාව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවත් වැඩිපුර ණය සම්පාදනය කළ යුත්තේ අලුතෙන් හඳුනාගත් ප්‍රමුඛතා සදහා බව අවධාරණය කළ රාජපක්ෂ මහතා එසේ නැතිව වැඩ කිරීමෙන් ව්‍යාපාරිකයන්ට ඉදිරි පැවැත්මක් නැති වනු ඇතැයි කියා සිටියේය.

Comments