වසරකින් රට ගොඩගන්න සැලසුම් හතරක් | සිළුමිණ

වසරකින් රට ගොඩගන්න සැලසුම් හතරක්

කොරෝනා වසංගතය නිසා වැටී ඇති මෙරට ආර්ථිකය වසරක් ඇතුළත ඉහළ නංවාලීම පිණිස නව සැලසුම් 4ක් ඉදිරිපත් කර ඇතැයි මහ බැංකුවේ හිටපු අධිපති හා අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිළුමිණට කීය.

මේ යටතේ ලෝක බැංකුව හා අන්තර්ජාතික මූල්‍ය අරමුදල මඟින් ලබාගෙන ඇති ණය සහ පොලිය ගෙවීමට වසරක හෝ දෙකක කාල විරාමයක් ලබා ගැනීම, නිෂ්පාදන ආර්ථිකය ගොඩ නැංවීම, ප්‍රාග්ධනය ඉතිරි කර ගැනීම හා ව්‍යාපාර ශක්තිමත් කිරීම ප්‍රධාන වශයෙන් සිදු කළ යුතු කාර්යයන් බවට ඉදිරිපත් කර ඇතැයි ඒ මහතා කීය.

එම සහනය හරහා ඇමරිකානු ඩොලර් බිලියන 2ක් පමණ මෙරටින් බැහැරයාම වළක්වා ගතහැකි වන බවත් ඒ අනුව ශ්‍රී ලංකාවට ක්ෂණිකව ශක්තිමත් විය හැකි බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකවරයා විදේශයන් කරා මුදල් ගලායාම නවත්වා ව්‍යාපාර ක්ෂේත්‍රයට බිලියන 200ක් හා දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව වෙනුවෙන් තවත් බිලියන 200ක් වැයකර එම ක්ෂේත්‍ර නංවාලීමට කටයුතු කළ යුතු බව අවධාරණය කෙළේය. මෙරට ප්‍රාග්ධන වෙළෙඳ පොළ ශක්තිමත් කිරීම සඳහා කොටස් වෙළෙඳ පොළ පවා කඩිනමින් විවෘත කර තිබේ.

මෙරටදී සිදු කළ හැකි සියලු නිෂ්පාදන වැඩිකිරීම හරහා නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කර ඒ හරහා දේශීය වෙළෙඳපොළ ශක්තිමත් කිරීම හා ජනතාව අතර මුදල් ගැවසීම ඇතිකර වෙළෙඳ පොළ පුළුල් කිරීමද මෙහි අංගයක් වනු ඇත. එසේම මෙයට අමතරව සංචාරක කර්මාන්තයද නිර්ණායක හා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් ඇරැඹීම කළ යුතු බවද පෙන්වා දුන් කබ්රාල් මහතා මේ සියලු කාර්යයන් හමුවේ ආර්ථික අර්බුදයෙන් ගොඩඒම අසීරු ඉලක්කයක් නොවනු ඇතැයි හෙළි කෙළේය.

මෙම සියලු කාර්යයන් ආරම්භ කිරීම තුළින් මාස 6ත් වසරත් අතර කාලයකදී මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකිවන බවද ඔහු කියා සිටියේය.

Comments