ප්‍රශ්න සහ දුෂ්කරතා මැද සතුටුවිය යුතු මොහොතක් | සිළුමිණ

ප්‍රශ්න සහ දුෂ්කරතා මැද සතුටුවිය යුතු මොහොතක්

ගතවූ මාස දෙකකට ආසන්න කාලය තුළ ලෝකයේ බොහෝ රටවල් එකතැන නතර වී තිබුණේය. ඊට හේතු වූයේ කෝවිඩ් - 19 ගෝලීය වසංගතය විසින් ලොව රටවල් ඉතා බරපතළ ලෙස ඊට ගොදුරු කරගෙන තිබීමයි.

ඇමරිකාව, මහා බ්‍රිතානය, ප්‍රංශය සහ චීනය වැනි අතිබල සම්පන්න රටවල් පවා එම මාරක වසංගතයට ගොදුරු වී තිබුණේ අතිශය දුක්ඛදායක අයුරිනි. එහි බරපතළකම කොපමණ දැයි කිවහොත් මහා බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි චාල්ස් කුමරු, බ්‍රිතාන්‍ය අගමැති සහ ඇමරිකාවේ ජනාධිපති වැනි මුල්පෙළේ නායකයන්ට පවා කෝවිඩ් - 19 හෙවත් කොරෝනාවෙන් බේරීමට නොහැකි විය. මේ අතර අන්තර්ජාලයෙන් වාර්තා කළ වයස අවුරුදු 60 න් ඉහළ වයස් වල පසුවන වැඩිහිටියන්ට ප්‍රතිකාර කරන ලද්දේ ඕනෑවට එපාවටය. නැතහොත් ඔවුන් මැරෙන්නට හැර දමා තිබුණේය.

අපේ අසල්වැසි ඉන්දියාවේ ඇදිරිනීතිය කඩ කළ දිළිදු ජනතාව ට කිසිදු අනුකම්පාවකින් තොරව පහර දෙන අයුරු රූපවාහිනි තිරය ඔස්සේ විකාශය කෙරුණේය. තවත් රටක ජනාධිපතිවරයකු ඇදිරිනීති කඩකරන්නන්ට දුටුතැන වෙඩි තබන ලෙස පොලිසියට අණදී තිබුණේය. එපමණක් ද නොව ඇතැම් යුරෝපීය රටවල කොරෝනා වයිරසය වැළදුණු වැඩිහිටියන් ඔවුන්ගේ බාරකරුවන් විසින් අතහැර දමා ගොස් ඇති බවක් ද ජනමාධ්‍යයෙන් ඔස්සේ අසන්නට ලැබිණි.

මේ අතර අසන්නට ලැබුණු තවත් පුවතකින් කියැවූයේ දියුණු යැයි සම්මත ඇතැම් රටවල කෝවිඩ් - 19 හෙවත් කොරෝනා වසංගතයෙන් මියගිය පුද්ගලයන්ගේ සැබෑ සංඛ්‍යා ලේඛන ප්‍රසිද්ධ නොකර වසන් කරගෙන සිටින බවයි. ඔවුන් එසේ කර තිබුණේ එමගින් තම රටේ ප්‍රතිරූපයට හානියක් සිදුවෙතැයි සැකයෙනි.

ලෝකයේ දියුණු යැයි පිළිගත් ඇතැම් රටවල් පවා මෙම ගෝලීය වසංගතය හමුවේ මෙලෙස අසරණ වෙද්දී ශ්‍රී ලංකාවට එම තත්ත්වයට මුහුණ දුන්නේ දැඩි විශ්වාසයකින් යුතුවය. විශේෂයෙන්ම මෙරට පාලකයන් පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවත්, අපේ සෞඛ්‍ය සේවා බලකායත් ආරම්භයේ සිටම මෙම ක්‍රියාන්විතය සඳහා යොදා ගැනීම අතිශය බුද්ධිගෝචර ක්‍රියාවක් විය. ජනාධිපති සහ අගමැති ප්‍රමුඛ දේශපාලන නායකත්වය මෙහිදී සිදුකළේ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීම පමණි. අදාළ ක්‍රියාන්විතයේ සියලුම මෙහෙයුම් කටයුතු හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින් සිදු කෙරුණේය.

කළ නොහැකි දෙයක් නොමැත යන්න එහිදී ඔවුන්ගේ ආදර්ශ පාඨය විය. විශේෂයෙන්ම තමන් ඇතුළු ආරක්ෂක හමුදාව මෙම ප්‍රශ්නයට අතගසන ලද්දේ නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් වැනි ඉතා සුළු සංඛ්‍යාවකින් වන අතර සති කිහිපයක් තුළ එම සංඛ්‍යාව 54 දක්වා වැඩිකර ගැනීමට හැකිවූ බව යුදහමුදාපතිවරයා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේය. එවැනි ඇතැම් නිරෝධායන මධ්‍යස්ථාන අලුතින් ඉදිකර ගැනීම සඳහා එම ධෛර්යසම්පන්න භට පිරිසට ගතවූයේ ඉතා සුළු කාලයකි.

එසේම ඔවුන් එම නිරෝධායන කටයුතු සිදුකරනු ලැබුවේ තම හිතුමතයට නොව මෙරට සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් වලට යටත්වය. මේ අතර මෙරට සියලුම වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවක බළකාය තම වෙහෙස මහන්සිය ගැන පමණක් නොව ජීවිත අවදානම ගැන ද නොසලකා මෙම නිරෝධායන වැඩපිළිවෙලට පූර්ණ සහයෝගය දුන්නේ සියල්ලටම පළමුව රටත්, ජනතාවත් රැකගැනීමේ අධිෂ්ඨානයෙනි. අපේ සියලුම හෙද සේවක සේවිකාවන් දින ගණන්, සති ගණන් තම නිවෙස්වලට පවා නොගොස් මෙම ක්‍රියාදාමයට හවුල් වූයේ එය රාජකාරියටත් වඩා තමන් වෙතින් ඉටුවිය යුතු යුතුකමක් ලෙස සලකාගෙනය.

මේ අතර රජය ඉතා බරපතළ ප්‍රශ්නයකට මුහුණපෑවේ එක දිගට සති ගණන් ඇදිරිනීතිය ක්‍රියාත්මක කිරීමේ දී ජනතාවට ආහාර සැපයීම සම්බන්ධයෙනි. මුල දී සුළු සුළු ප්‍රශ්න කිහිපයක් ඇති වුවද පසුව එම ප්‍රශ්නයට ද විසදුම් ලැබුණේ ඔවුන්ගේ නිවෙස් වල දොරකඩ අසලටම අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ වර්ග සැපයීමට හැකිවීමෙන් පසුවය. දෛනික ඉපැයිමීවල යෙදුණු ගෘහමූලිකයන්ගේ ආදායම් මාර්ග ඇණහිටීමෙන් අසරණ වූ දරුපවුල් වලට සමෘද්ධි සහනාධාරයට අමතරව රුපියල් 5000 ක ආධාර මුදලක් ලබාදීමත්, එම මුදල දෛනිකව වැටුප් ලැබූ තවත් අති විශාල පිරිසකට හිමිවීමත් නිසා එම ප්‍රශ්නයට ද ප්‍රමාණාත්මක විසදුමක් ලබාදීමට රජයට හැකිවිය. දැන් එම වැඩපිළිවෙල දෙවැනි වැටය ද ඇරඹී තිබේ.

එසේම පමණින් දිගින් දිගටම ඇදිරිනීතිය පැනවීමෙන් අසරණ වූ සියලුම දෙනාගේ ප්‍රශ්න විසඳුණා යැයි කීමට අපට කිසිසේත්ම නොහැකිය. එහෙත් අප මෙහිදී පෙන්වා දෙන්නේ උන්හිටි ගමන් මුළු ලෝකයට එකතැන නතර කළ කොරෝනා උවදුරෙන් ජීවිත බේරාගැනීමට අපට හැකිවූ බවය. කොරෝනාව නිසා මුළු ලෝකයේම සිදුවූ මරණ සංඛ්‍යාව දෙලක්ෂය පනිද්ද්දී එය දහයෙන් පහළ සංඛ්‍යාවකට සීමා කර ගැනීමට මේ කුඩා රටට හැකිවීම සැබැවින්ම ජයග්‍රහණයකි. අප එසේ කියන්නේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරදීම අන් සියල්ලටම වඩා වැදගත් බැවිනි.

දින ගණන්, සති ගණන්, එක දිගට ඇදිරිනීතිය ක්‍රියාත්මක කිරීමෙන් රටේ සාමාන්‍ය ජනජීවිතය යම් තරමකට අවුල් වූ බව සැබෑය. එසේම දිළිදු ජනතාවගේ ආදායම් මාර්ග ඇණහිටීම නිසා එම පවුල් වල කුඩා දූ දරුවන් ඇතුළු සියලුම දෙනාට ආහාරපාන හිගවීම ඇතුළු නොයෙකුත් ප්‍රශ්න සහ දුෂ්කරතා පැන නැගුණූ බව ද සැබෑය. එසේම දේශීය දළ ආදායම ද වෙනත් කිසිම කාලයක සිදුනොවු අන්දමට පහළ වැටුණේය.‍ එහෙත් ඒ සියලු දෑට වඩා වැදගත් වන්නේ මෙරට සමස්ථ ජනතාවගේ ජීවිත සුරක්ෂිත වීමයි. ලෝකයේ ඉහළම බලවතා ලෙස සැලකෙන ඇමරිකාව කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය නිසා සිදුවූ අකල් මරණළ සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගෙන තිබිය දී මෙරට සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව පහළ ස්ථරයක රදවා ගැනීමට අපට හැකිවීම අදහාගත නොහැකි තරම් විස්මයකි. ඒ ගැන ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප සැම සතුටු විය යුතුය

Comments