ආත්ම වංචාවේ යෙදෙන දේශපාලකයන්ට ජනතාව මතක හිටින පාඩමක් උගන්වාවි | සිළුමිණ

ආත්ම වංචාවේ යෙදෙන දේශපාලකයන්ට ජනතාව මතක හිටින පාඩමක් උගන්වාවි

හිටපු අමාත්‍ය සහප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක

වාසුදේව නානායක්කාර

 ජනාධිපතිවරණයට චමල් රාජපක්ෂ ඉදිරිපත් කරන්න උත්සාහ කළ ඔබ දේශපාලනඥයෙක් නොවූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ගැන දැන් මොනවද හිතන්නෙ?

එදා ජනාධිපතිවරණයට චමල් රාජපක්ෂ ඉදිරිපත් කිරීම වඩාත් සුදුසු බව මම කීවා. ඒක ඇත්ත. ඒ වෙලාවෙ රටේ සමහර ජන කොටස් අතරෙත් ඒ මතය මතු වෙමින් තිබුණා. නමුත් දැන් රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා. ඔහු සමඟ එකට වැඩ කරන්න ඔහු ගේ රජය නියෝජනය කරන්න ඒ දවස්වලම අපි අතරේ එකඟතාවක් ඇති වුණා. දේශපාලනඥයෙක් නොවුණත් රජ්‍ය පාලනයට අවශ්‍ය දේශපාලන දැනුම හා ප්‍රායෝගිකව ගැටලු විසදීමෙි සහජ බුද්ධියක් ඔහු සතුව තිබෙනවා. ඒ වගේම ඔහු ප්‍රශ්න මඟහැර නොයා ඒවා සෘජුව මුහුණ දෙනවා. විවිධ අදහස් උදහස් වලට ඉතා හොඳින් ඇහුම්කන් දී ඒ අදහස් වලට සැලකිල්ලක් දක්වන හොඳ පුරුද්දකුත් එතුමට තියෙනවා. වැදගත්ම දේ තමයි එකිනෙකාට ඕන ඕන විදියට අදහස් තිරණ වෙනස් කරන්න එතුමා සුදානමි නොවිම.එවැනි සුවිශේෂී නායකත්ව ගුණාංග රැසක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සතුව තිබෙන බව මම දැන් දකිනවා.

අතීතයේදී රටේ රාජ්‍ය පාලනයේ ගාමක බලවේගය වූ වාමාංශික දේශපාලන පක්ෂ අද පසුගාමීත්වයට පත් වෙලා; එහෙම වුණේ ඇයි?

ලෝකයේ දේශපාලනය කලින් කලට වෙනස් වෙනවා. වාමාංශික බලවේගයන්ටත් ඒක පොදුයි. එදා ජනතා ප්‍රශ්න වලදී අනුගමනය කළ කැරලිකාර සටන් වලට වඩා පුළුල් ආකාරයෙන් ජනතා ප්‍රශ්න විසඳිය හැකි නව දේශපාලන ප්‍රවාහයයන් සමඟ; දැන් වමේ පක්ෂ සන්ධාන ගතව කටයුතු කරන්න යොමු වෙලා තිබෙනවා. දැන් අපේ රටේ වමේ ව්‍යාපාරයට නායකත්වය දෙන්නෙ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.⁣ මේ පෙරමුණ තුළ අපිත් කටයුතු කරනවා. මේ පෙරමුණ ඇතුළේ උග්‍ර වාමාංශික අදහස් ඇති අයත්; මැද මාවතේ අදහස් ඇති අයත් යන හැමෝම එකට එකතුව කටයුතු කරනවා. වමේ කියලා දැන් වෙනම දේශපාලන බලවේග නෑ. මේ වෙනස ඇති වුණේ 1956 දියි. එදා ඉදල අපේ වමේ ව්‍යාපාරය මැද මාවතේ දේශපාලන බලවේග සමඟ එක්ව එකට තමයි කටයුතු කරන්නෙ. බටහිර අධිරාජ්‍යවාදීන් ගේ බලපෑම් වලට යට නොවී කටයුතු කිරීම තමයි අද අපේ දේශපාලන ව්‍යායාමයේ හරය වී තිබෙන්නෙ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ව්‍යායාමයත් ඒකම නිසා අපිට ඔවුන් සමඟ එක්ව කටයුතු කිරීමට කිසිම බාධාවක් නෑ.

ඔබ එලෙස විග්‍රහ කළත් ජවිපෙ සඳහන් කරන්නෙ වමේ දේශපාලන වගකීම ඔවුන් තනිවම දරන බවයි?

ජවිපෙ වාමාංශික යැයි වර්ග කරනු ලබන දේශපාලන පක්ෂ ගණයට අයත් වෙන්නෙ නෑ කියලයි දැන් වැඩි දෙනාගෙ පිළිගැනීම. පෙනුමෙන්, බාහිර ඔපයෙන්, ඔවුන්ගේ වාග් විලාසයෙන් ඔවුන් වාමාංශික වගේ පෙනුණත් ඔවුන් ගේ ක්‍රියාකලාපය වමේ දේශපාලනයට කොහෙත්ම ගැළපෙන්නෙ නෑ. එ් නිසා ඔවුන් වාමාංශික බව පෙන්වන්න උත්සහ කළත් ජනතාවට ඔවුන් වාමාංශික බව පෙනෙන්නෙ නෑ. ඒක හරියට හිවලෙක් කෑ ගහන කොට සිංහයෙක් කියල හිතාන කෑ ගැහුවත් බලන් ඉන්න අයට ඌ හිවලෙක් බව පෙනෙනවානෙ; ඒ වගේ තමයි. ඔය වගේ පුහු වාමාංශිකයින් හැම රටේදීම හැම කාලයකම පුංචි කණ්ඩායම් විදියට කටයුතු කරන බව දකින්න පුළුවන්.

ව්‍යවස්ථා විශාරදයන් ලෙස පෙනී සිටිමින් කටයුතු කළ දක්ෂිණාංශික දේශපාලන ආශිර්වාද ලැබු ඇතැම් පිරිස් මේ වන විට අතුරුදන්ව සිටිනවා. එහෙම වෙන්න හේතුව ඔබ දකින්නෙ කොහොමද?

ඔවුන් අතුරුදන්ව ඇත්තේ පැහැර ගැනීමකට ලක් වෙලා නොවෙයි. 2015 පිහිටුවා ගත් යහපාලන ආණ්ඩුව දක්ෂිණාංශික දේශපාලන නැඹුරුවක් තිබූ ආණ්ඩුවක්. ඒ ආණ්ඩුවට සම්බන්ධ වුවන් ගෙන් වාමාංශික මතවාද ගරු කළ පිරිසක් අතර මගදී ඉවත් වුණා. අනෙක් සියලු දෙනා තුළ දිගින් දිගටම ඇති වූ බල අරගලය නිසා මේ වන විට ඔවුන් කැඩිබිඳී වෙන් වී වෙනම දේශපාලන කඳවුරු හදාගෙන ඉන්නවා. ඒ කඳවුරු වලට ගොනු වෙන්න බැරි වූ සමහර අය විදේශ ගත වෙලා. සමහර උදවියට එදා ඔවුන් ගොඩ නැගු තර්කම පාරාවළල්ලක් වෙලා. ඒ නිසා සමහරුන්ට ජනතාව අතරට එන්න බැරිව ඉන්නවා ඇති කියලයි මම හිතන්නෙ. එදා ඒ අය උත්සාහ කළේ ඒකීය රාජ්‍ය කඩතොලු කරන පෙඩරල් ව්‍යවස්ථාවක් හදා ගන්නයි. ඒ උත්සහය පසුගිය ජනාධිපතිවරණයේදි මෙරටේ බහුතර ජනතාව ප්‍රතික්ෂේප කරල තියෙනවා. ඒ ජනතා තීන්දුවත් දක්ෂිණාංශිකයෝ නන්නත්තාර කරන්න හේතුවක් වෙලා කියලයි මම හිතන්නෙ.

 

ජනාධිපතිවරයාගේ බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරියත් නියමිත පරිදි මැතිවරණය පවත්වන්න නොහැකි වුණා. මේ පසුබිමේ පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවන්න යැයි විපක්ෂය බලපෑම් කරනවා. මේ තත්ත්වය ඔබ දකින්නෙ කොහොමද?

මේ අය පරණ පාර්ලිමේන්තුව කැඳවන්න කියල කියනවා මිසක් ඒක කැඳවන්න කියල කියන්නෙ ඇයි කියල කියන්නෙ නෑ. ඒ අය කියන විදියට සාකච්ඡා කරන්න පාර්ලිමේන්තුව කැඳවන්න ඕනැද? පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන්නෙ විපක්ෂයට. බහුතරය තිබෙන විපක්ෂයක් සමඟ පාර්ලිමේන්තුවේ කරන සාකච්ඡා අවසන් වන්නේ ඔවුන් ගේ මතවාදයට අපිව කොටුකර ගනිමින් විය හැකියි. ඔවුන්ගේ මතවාදය අපේ මතවාදයට වඩා වෙනස්. එවැනි පසුබිමක පැරණි පාර්ලිමේන්තුව කැඳවන්න අපිට රුදාවක් නෑ. මේ පාර්ලිමේන්තුව පැවති⁣යදී පැවැති මැතිවරණවලදී ජනතාව ඡන්දය දුන්නේ පාර්ලිමේන්තුවේ බහුතර මතවාදයට එරෙහිවයි. ඒකෙන් පැහැදිලි වන්නෙ රටේ බහුතර ජනතාව බොහෝ කාලයක සිටම මේ පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කර ඇති බවයි.

පාර්ලිමේන්තුව නැවත කැඳවන්න කියන්නෙ අප්‍රේල් 30දායින් පසුව රාජ්‍ය මුදල් වියදම් කිරීමේ බලය ජනාධිපතිවරයාට නැති බැවින් මුදල් වියදම් කීරීමේ බලය අනුමත කරවා ගන්න කියලයි ඔවුන් කියන්නෙ?

ඒ අය කියන ඔය බලය ජනාධිපතිට තියෙනවාද නැද්ද කියල තීරණය කරන්න තැනක් තියෙනවා. මොකද රජයේ මුදල් වියදම් කරන්න ජනාධිපතිවරයාට බලය පැවරෙන බව කියන ව්‍යවස්ථාවෙ ඔය වගන්ති ඒ අය තේරුම් ගන්න විදිය හා අපි අවබෝධ කරගෙන ඉන්න ආකාරය එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. ඒ අයට තියෙන ගැටලුව ඒක නම් ඒ ගැන රජයේ විගණකාධිපතිවරයා ගෙන් විමසන්න පුළුවන්. විගණකාධිපතිවරයාත් ස්වාධින රාජ්‍ය සේවකයෙක් නිසා ඔහුට ඒ සම්බන්ධයෙන් නිවැරදි විග්‍රහයක් කරන්න පුළුවන්. ප්‍රකාශයට පත් කර ඇති මැතිවරණය සඳහා බාරගත් නාම යෝජනා සම්බන්ධයෙන්ද ඒ අය නීති තර්කයක් මතු කළ නිසා මැතිවරණ කොමිසම ඒ ගැන නීතිපතිවරයා ගෙන් විමසීමක් කර තිබුණා. ඒකට නීතිපතිවරයා ලබා දි තිබූ පිළිතුර මේ වන විට මුළු රටම දන්නවානෙ.

මැතිවරණ කොමිසමටත් මේ වන විට විවිධ චෝදනා එල්ල වෙනවා. මැතිවරණ කොමිසමේ ස්වාධීන බව අභියෝගයට ලක්වෙලා නේද?

මේ මැතිවරණ කොමිසමට ස්වාධීන මැතිවරණ කොමිසමක් කියල කියන්න බෑ. ඒක පක්ෂපාත මැතිවරණ කොමිසමක්. එය අපට විරුද්ධව තව පිරිසකට පක්ෂපාතීව කටයුතු කරනවා. මම මේ කොමිසමේ සමාජිකයන් ගැන වෙන වෙනම කතා කරන්න කැමති නෑ. නමුත් ස්වාධීන මැතිවරණ කොමිසම ඇතුළෙ මැතිවරණවලට අකමැති අයත් ඉන්නවා. එහෙම කොමිසමක් ස්වාධීන වෙන්නෙ කොහොමද? අනෙක මේ කොමිසම පත් කරල තියෙන්නෙ කාගේ බහුතර බලය පාවිච්චි කරලද? එදා මොවුන් පත් කරන්න කැමැත්ත දුන් බහුතරයට අද මොවුන් කැමත්තෙන් ඉන්නවාද කියල අපිට සාධාරණ සැකයක් තියෙනවා.

අනපේක්ෂිත වසංගතයක් හේතුවෙන් මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසම කටයුතු කිරීමත් ඔබ දකින්නෙ වරදක් ලෙසද?

මේ කොමිසම ගැන මගේ මතවාදය කුමක් වුවත් මේ ව්‍යසනයේදී මැතිවරණය නොපවත්වන්න කොමිසම ගත්තු තීන්දුව හරි. මේ තත්ත්වය යටතේ මැතිවරණයක් පවත්වන්න බෑ. ඒ නිසා මැතිවරණයට නාම යෝජනා බාර ගෙන ඡන්ද විමසීම සඳහා නියමිතව තිබු දිනය කල් දැමීම සාධාරණයි. දෙවැනි වතාවට ජුනි 20දා මැතිවරණය පවත්වන්න දින නියම කරල තියෙනවා. එදිනටත් මැතිවරණය පවත්වනවාද නැද්ද කියල තීරණය කීරිම ඒ අය ගේ වැඩක්. ඒ අය ගන්න තීන්දු අනුව කටයුතු කරන්න අපි සුදානම්.

 

කොවිඩි 19 වසංගතයට ලෝකයේ බොහෝ රටවල් ගොදුරු වී තිබෙනවා. ඒ රටවල මේ මොහොතේ විපක්ෂයේ කාර්යභාරය සමඟ අපේ රටේ විපක්ෂයේ කාර්යය සංසන්දනාත්මකව විග්‍රහ කරන්න පුළුවන්ද ?

කොවිඩි 19 වසංගතයට පක්ෂයක්, පාටක්, ජාතියක්, ප්‍රදේශයක් යන මේ කිසිම බේදයක් අදාළ නෑ. මේක ස්වාභාවිකව ඇති වූ තත්ත්වයක්. ඒක තේරුම් ගෙන සිටින ලෝකයේ අනෙක් රටවල විපක්ෂය මේ වෙලාවෙ ආණ්ඩුවෙ වැරදි අඩුපාඩු හොයන්න හෝ ආණ්ඩුව විවෙිචනය කරන්න කාලය මිඩංගු කරන්නෙ නෑ. ආණ්ඩුවත් විපක්ෂයත් දෙගොල්ලම එකතු වෙලා වසංගතයෙන් ඒ ඒ රටවල ජනතාව රැක ගන්න කැප වී කටයුතු කරනවා. අපේ රටේ විපක්ෂය මේ අසිරු අවස්ථාවෙදීත් ලොකු දේශපාලන ආරවුලක් මතුකර ගෙන තිබෙනවා. ඒ අය මතු කරන දේශපාලන ආරවුල කොරෝනා පාලනයට කිසිම සමිබන්ධයක් නෑ. ඒක දේශපාලන පසමිතුරු ක්‍රියාමාර්ගයක් පමණයි. මෙවැනි ජාතික ආපදා තත්ත්වයක් ඇති වුණාම ක්‍රියා කළ යුත්තේ කෙසේද කියල අපිට අතීතයේ අත්දැකීම් තිබෙනවා. සුනමිය ඇති වූ අවස්ථාවෙ අපේ රටේ යුද්ධයක තිබුණා. නමුත් සුනාමිය වෙලාවෙ අපේ ත්‍රිවිධ හමුදාව හා පොලිසිය අපේ අසරණ ජනතාව බේරා ගනිද්දි එල්ටීටී කණ්ඩායම ඔවුන් ගේ අසරණ වුවන් බේරා ගත්තා. ඒ වෙලාවෙ ඔවුනොවුන්ට වෙඩි තබා ගැනීම නැවත්තුවා. එහෙම බැලුවාම අද විපක්ෂය කටයුතු කරන්නෙ ත්‍රස්තවාදීන්ටත් අන්ත විදියටයි. මේක ඔවුන් ගේ දේශපාලන කුහකකම පිළිබිඹු කරන අවස්ථාවක්.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසිවීම නිල වශයෙන් ප්‍රකාශයට පත් වීමෙන් පසුව නැවත ඔහු ජනාධිපති ධුරයට පත්වීම අභියෝගයට ලක් කරන්න විපක්ෂය සූදානම් වන බවට පුවත් වාර්තා වෙනවා. මේ ගැන මොනවද කියන්නෙ?

ඕනෑම කෙනකුට හීන දකින්න තියෙන නිදහසට බාදා කරන්න හොඳ නෑ. ඒ අයට ඒ හීන දකින්න ඉඩ දෙන්න.

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර වංචාව පිළිබඳව ඔබ විපක්ෂයේ සිටියදී සිදුකළ විවේචන දැන් නැවතිලා. එහෙම වෙන්න හේතුවක් තියෙනවාද?

එදා අපි ඒ ගැන ප්‍රසිද්ධියේ විවෙිචනය කළේ ජනතාව දැනුවත් කරමින් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවා ගන්න තිබුණ වුවමනාව නිසයි. එදා අපිට බලයක් තිබුණෙ නෑ. නමුත් අපිට අද බලය තිබෙනවා. ඒ නිසා මේ ගැන ප්‍රසිද්ධියේ විවේචන එල්ල කරන්න අවශ්‍ය නෑ. අපි දැන් රජයක් විදියට මේ අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. රනිල් වික්‍රමසිංහ මේ සිද්ධියට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති බැවින් ඒ චෝදනා පත්‍ර ඔහුට බාර දී ඔහු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරලා වරදක් කර තිබෙනවා නම් දඬුවම් කරන්න ඕන. අපේ රජයෙන් මේ ක්‍රියාමාර්ග අප්‍රමාදව ක්‍රියාත්මක කරන්න ඕන. විපක්ෂයේ ඉන්න කොට ඒවා ගැන කතා කරමින් හිටියත් දැන් අපිට බලය තියාගෙන කතා කරකර ඉන්නෙ නැතිව අවශ්‍ය දේ කරන්න ඕන. මොකද මමත් මේ ආණ්ඩුවෙ කොටස් කාරයෙක්.

පාස්කු ප්‍රහාරය පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වගකිවයුතු බවට චෝදනා එල්ල වී තිබියදී ඔහු ඔබත් නියෝජනය කරන දේශපාලන සංවිධානයේ සභාපති තනතුරට පත් කිරීම ඔබ දකින්නෙ කොහොමද ?

කවුරු වුවත් අපරාධයක් කර තිබෙනවා නම් නිලය බලය තත්ත්වය නොසලකා දඬුවම් කරන්නම ඕන. මම ඉන්නෙ ඒ ස්ථාවරයේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස මේ ප්‍රහාරය පිළිබඳව නැවත විමර්ශනය කරන්න ජනාධිපති කොමිසමක් පත් කර තිබෙනවා. ඒ විමර්ශනයේදි සිරිසේන හිටපු ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයට වගකිව යුතු බව තහවුරු වුව හොත් ඔහුට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක වෙයි. ඒකට කොමිසමේ විමර්ශන නිමවන තුරු කිසිවක් කියන්න පුළුවන් කමක් නෑ.

කොරෝනා පාලනය සම්බන්ධයෙන් ආණ්ඩුව මේ දක්වා ගෙන තිබෙන තීන්දු අනුව කඩිනමින් රට යථාතත්වයට පත් කරන්න පුළුවන් කියල ඔබ හිතනවාද?

ඔව්,ලෝකයේ අනෙකුත් රටවල් සමඟ සසදා බැලීමේදි අපේ රජය කොරෝනා පාලනය සඳහා අනුගමනය කර ඇති ක්‍රියාමාර්ග ඉතා ප්‍රශස්ත මට්ටමක තිබෙන බවයි බොහෝ අය ගේ පිළිගැනීම. දැන් අපිට තිබෙන අභියෝගය තමයි කොරෝනා වසංගතයෙන් අක්‍රීය වූ ජන ජීවිතය නැවත පණගැන්වීම. ඒ සඳහා කාර්ය සාධන බලකායක් පිහිටුවලා දැන් එය ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. අපේ ආණ්ඩුවෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමත් රට යථාතත්වයට පත් කරන්න ගත යුතු ක්‍රියාමාර්ග ගැන විටින්විට සාකච්ඡා කරමින් එහිදි ගනු ලබන තීන්දු කාර්ය සාධන බලකායටත් දැනුම් දෙනවා. අපේ රජය දැන් ක්‍රම ක්‍රමයෙන් රට සාමාන්‍ය තත්ත්වයට පත් කරමින් ඉන්නෙ. තවත් මාසයක් දෙකක් ගතවන විට රට සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා ජනතාවට එදිනෙදා කටයුතු සුපුරුදු පරිදි කරගෙන යන්න අවස්ථාව ලැබේවි.

කම්කරු පන්තිය නියෝජනය කරනවා යැයි කියන ඔබලා මේ වසංගත තත්ත්වය තුළ ඔවුන් වෙනුවෙන් මොනවද කරන්නෙ?

කම්කරු පන්තිය විශේෂයෙන් සලකා මේ වෙලාවෙ කරන්න දෙයක් නෑ. මේ වෙලාවේ කොරෝනා වසංගතය වෙනුවෙන් ආණ්ඩුව ජනතාවට ලබා දෙන යම් යම් සහන කමිකරු ජනතාවටත් ලබා දෙන්න අපි මැදිහත්ව කටයුතු කරනවා.ඒ වගේම ඒ සහන ලබා දිමේදි අපේ දායකත්වයත් අපි ලබා දෙනවා. ඒ වාගේම රජයේ සහන කම්කරු ජනතාවටත් සාධාරණ අයුරින් බෙදී යනවද කියලත් අපි අධීක්ෂණය කරනවා. රජයේ සහන වැඩපිළිවළ සාධාරණව ක්‍රියාත්මක වන බව අපිට සෑහීමකට පත් වෙන්න පුළුවන්. මාසික වැටුප් ලැබු පුද්ගලික අංශයේ අය මේ කාලයේ වැටුපක් නොලබා ජීවත් වෙන්නෙ. නමුත් ඒ අයට ඔවුන් වැඩ කරපු ආයතන වලින් රජයේ අනුමත දීමනාව දෙන්න පියවර ගත්තා. ඒ දීමනාව සේවකයන්ට ලැබෙනවාද කියල සහතික කර ගන්න අපිට පුළුවන් වුණා.

ජනාධිපති ලේකම්වරයා රජ්‍ය සේවකයින්ගෙන් කරන ලද ඉල්ලීමකට විවිධ කණ්ඩායම් චෝදනා එල්ල කරනවා. මේ ගැන ඔබ මොනවද හිතන්නෙ.?

ජනාධිපති ලේකම්වරයාට කියන්න ඕනකම තිබූ දෙය නිවැරදිව කියවුණේ නෑ කියලයි මම හිතන්නෙ. වැන්දඹු අනත්දරු අරමුදලට දැනටමත් ආණ්ඩුවෙ සේවකයින් දායක වෙනවා. ලේකම්වරයා ඉල්ලා තිබෙන්නෙ ඒ අරමුදලට මේ මාසේ වැඩි දායකත්වයක් ලබා දෙන්න කියලයි. ඒක ඉල්ලීමක් මිසක් නියෝගයක් නොවෙයි. ඉල්ලීමක හා නියෝගයක වෙනස නොදන්නා උදවිය මේකත් දේශපාලන වාසියකට හරවා ගන්න පුළුවන් ද කියලයි බලන්නේ.

මේ වන විට රටේ කඩා වැටී ඇති ආර්ථිකය යළි ගොඩනැගීමේ පියවරක් ලෙස EPF අරමුුදලෙන් 20%ක් එහි ⁣දායකයන්ට බෙදා දිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වුණා. ඒ යෝජනාවට මොකද වුණේ?

ආර්ථික විශ්ලේශකයන් මේ වෙලා‍වෙ විවිධ යෝජනා ඉදිරිපත් කරනවා. ඒවා රජයක් විදියට කොහොමද ක්‍රියාත්මක කරන්නෙ කියල හොයා බලනවා. ඔය යෝජනාවත් රජයේ අවධානයට යොමු වුණා. නමුත් එමගින් රටේ ආර්ථිකයකට සැලකිය යුතු දායකත්වයක් නොලැබෙන නිසා ඒ යෝජනාව දැනට ප්‍රතික්ෂේප වී තිබෙනවා.

කොරෝනා වසංගතය හරහා ලෝකයේ සමාජ, ආර්ථික, සංස්කෘතික ආදී වශයෙන් මහ විපර්යාසයක් ඇතිව තිබෙනවා. ඒ අනුව අපේ රටේ අනාගත සැලසුම් වෙනස් විය යුතුයැයි ඔබ කල්පනා කරනවාද?

ලෝකයේ ඇතිව තිබෙන වෙනස්කම් අධ්‍යයනය කරලා ඒ අනුව අපිත් වෙනස් වෙන්න ඕන.අපේ සමහර නිෂ්පාදන ලෝකයේ රටවලට මිළදී ගැනිම් අඩුවෙලා හෝ නතර වී තිබෙනවා. සංචාරක කර්මාන්තයත් අලුත් ක්‍රමවේද අනුගමනය කරමින් නැවත ආරම්භ කරන්න පුළුවන්. දැනටමත් ජනාධිපතිවරයා සංචාරක සමාගම් සමඟ සාකච්ඡා කරල ඒ සඳහා වැඩ පිළවෙලක් සකස් කරල තිබෙනවා. මේ තත්ත්වය සමඟ ඇතිව තිබෙන ප්‍රවණතා සමඟ අපේ රටේ කෘෂිකාර්මික හා කර්මාන්ත ක්ෂේත්‍රය තුළ නිෂ්පාදන කටයුතු වැඩි කරල අපනයන තත්ත්වයට ඒවා දියුණු කර ගෙන අපේ රටට වැඩියෙන් විදේශ විනිමය ලබා ගත හැකි ක්‍රම විවර කරන්න ඕන. අපිට අවශ්‍ය දෑ අපේ රටේම නිපදවිය හැකි දක්ෂයින් ඉන්නා බව මේ කාලය තුළ තහවුරු වී තිබෙනවා. ඒනිසා ඔවුන්ට පහසුකම් ලබා දී අපිට අවශ්‍ය දේ අපිම නිපදවා ගෙන ඒවා ආනයනය කරන එක නවත්වන්න ඕන.අපේ තේ වලටත් හොඳ ඉල්ලුමක් තිබෙනවා. On line තේ වෙන්දේසියෙන් අපේ තේ වලට ලෝක වෙළඳ පොළේ හොඳ තත්ත්වයක් තිබෙන බව තහවුරු වී තිබෙනවා. රබර් සම්බන්ධයෙන්ද දැන් හොඳ තත්ත්වයක් ඇතිව තිබෙනවා. අපේ රටේ නිපදවන රබර් මිළදි ගන්න සමාගම් දෙකක් දැනමත් ඉදිරිපත්ව සිටිනවා. මේක අපේ ආර්ථිකයකට යහපත් තත්ත්වයක්.

වැවිලි ක්ෂේත්‍රය තුළ කතාබහට ලක්ව ඇති අලුත්ම බෝගය කටුපොල්. මේ ගැනත් අවධානය යොමුව තිබෙනවාද?

නෑ. ජනාධිපතිවරයා ගේ වැඩ පිළිවෙළ අනුව කටුපොල් වගාව මෙරටින් ඉවත් කරන්නයි සැලසුම් කර තිබෙන්නෙ. මේ කටුපොල් අපේ රටට ගැළපෙන බෝගයක් නොවන බව දැනටමත් ඔප්පු වී තිබෙනවා. කටුපොල් වලින් වාසිය තිබෙන්නේ ඒවා වගා කරන සමාගම් වලටයි. ඒ අය හිත්නෙ ඔවුන්ට තිබෙන වාසිය ගැන මිසක් රට ගැන නොවෙයි.

අපේ රටට ෆාම් ඔයිල් අනයනය කරන්න වසරකට රුපියල් බිලියන 30කට වඩා වැය කරනවා. කටුපොල් වගා කරල අ⁣පිට අවශ්‍ය ෆාම් ඔයිල් අපිම නිපදවා ගත්තොත් මේ මුදල ඉතිරි කර ගන්න පුළුවන් නේද?

ඔව් ඔබ කියන කාරණය ඇත්තයි. එහෙම වුණත් කටුපොල් වගාවෙන් අපිට වසරකට රුපියල් බිලියන 30කට වඩා හානියක් අපේ පරිසරයට සමාජයට සිද්ධ වෙනවා නම් ඒකට ඉඩ දෙන්න පුළුවන්ද? අපි කළ යුත්තේ අපේ තෙල් අවශ්‍යතාව අනුව පොල් තෙල් නිෂ්පාදනය වැඩිකර ගැනීමයි. ඒ සඳහා වැඩියෙන් අවධානය යොමු කිරීමෙන් ඔය ප්‍රශ්නය ජය ගන්න පුළුවන්. ඉස්සර අපේ ගෙවල්වලම ගෙදරට අවශ්‍ය පොල් තෙල් නිපදවා ගත්තා. අපි ආයෙත් අපේ සමාජය එතැනට යොමු කරන්න ඕන.

 

කොරෝනා නිසාවෙන් ලෝකයේ දේශපාලන මතවාද වලත් පෙරළියක් ඇති වෙලාද?

ඔබ හොද ප්‍රශ්නයක් ඇහුවේ. දැන් අපේ විපක්ෂය ක්‍රියා කරන ආකාරය ලෝකයේම පරිභවයට ලක් වෙනවා. මේකෙන් ගම්‍ය වන්නෙ මේ අවස්ථාවේ පක්ෂ දේශපාලනය ජනතාව ප්‍රතික්ෂේප කරන බවයි. දැන් ඔබම කල්පනා කරන්න; රජය කොරෝනා සහනාධාර යටතේ ජීවන උපාය අහිමිව සිටින පවුල්වලට රුපියල් 5000/=ක දීමනාවක් දෙන්න කටයුතු කළා. සමෘද්ධි පවුල්වලටත් ඒ සහනය ලැබුණා. ඊනියා යහපාලන ආණ්ඩුව සමෘද්ධි අයට දුන්නෙ මසකට රුපියල් 3500/=යි. එදා කටපියා ගෙන හිටපු සජිත් ප්‍රේමදාස අද කියනවා රුපියල් 20000/=ක්වත් පවුලකට දෙන්න ඕන කියල. මේ ආත්ම වංචාවෙ යෙදෙන දේශපාලනයට මීළඟ මැතිවරණයේදී ජනතාව මතක හිටින පාඩමක් උගන්වාවි.

Comments