තිස්ස විජේසුරේන්ද්‍ර ; ඔහු ද තරුවක්ව සිටියේය | සිළුමිණ

තිස්ස විජේසුරේන්ද්‍ර ; ඔහු ද තරුවක්ව සිටියේය

කලෙකට ඉහත මේ රටේ පොදු ජනතාවට ලෝක දෙකක් තිබුණේය. එකක් විධාකාර ශෝක පරිතාප දුක්ඛ දෝමනස්සයන්ගෙන් සපිරි සැබෑ දිවි පෙවෙතයි. අනෙක ඒ සියල්ල සැනෙකින් දූරින්භූත කිරීමට සමත් සිනමා හලෙක දොරටුවෙන් ඔබ්බෙහි රිදී තිරය මත ප්‍රාදූර්භූත වූ සිහින ලෝකයි. මෙය කොතෙක් ප්‍රබලද යත් ප්‍රේක්ෂකයාට තමාගේ මනෝ විජිතයේ වූ සියළු අපේක්ෂාවන් එහි දී ජයග්‍රහණය කළ හැකි වූ අතර සැබෑ දිවි පෙවෙතේ කරදර කම්කටොළු වලින් පැය තුනකට විනිර් මුක්තවීමට ද හැකි වූවේ ය.

සිනමා හලෙහි රිදී තිරය මත වීරයින් ද, කුමර කුමරියන් ද, සුරඟන සුරඟනියන් ද, යක්ෂයින් හා දුෂ්ඨයින් ද ඔහුට දැක ගත හැකි විය.

සැබෑ ජිවිතයේ දුෂ්ඨයන්ට මෙන් ම මොවුන්ටද ප්‍රේක්ෂකයා වෛර කළේය. එහෙත් ඔහුට බිය වූවේ නැත. දුෂ්ටයාගේ කන පලා ඔළුව ගලවා අතට දිය හැකි තාලේ වීරයෙකු එහි සිටි බැවිනි. ඒ වීරයා පෙනී සිටියේ සැබෑ ලෝකයේ දී තමාගේ නොවිසඳුණු සිහින සැබෑ කරනු පිණිසය. ඒ නිසා ඔහු හැමවිටම පෙනී සිටියේ ප්‍රේක්ෂකයා වෙනුවෙනි. ප්‍රේක්ෂකයා පෙනී

සිටියේ ඒ වීරයා වෙනුවෙනි සිනමා හල තුළදී තමා පිවිසෙන ලෝකයේ ආධිපත්‍යය දැරුවේ තමාගේ සියලු සිහින අපේක්ෂාවන් මස්තප්‍රාප්ත කර දෙන මේ වීරයා ය.

තිස්ස විජේසුරේන්ද්‍ර ද සිංහල සිනමා ඉතිහාසයේ එක් කලෙක එවැනි වීරයෙකු වූයේ ය.

ප්‍රේක්ෂකයාගේ ආධ්‍යාත්මය ආලෝකමත් කිරීමට මෙන් ම සිනමා කර් මාන්තයේ බැබළිමට ද හේතුවක් වූ මෙවැනි වීරයින් හැඳින්වූයේ තරු ලෙසිනි. එවැනි තරු ගණනාවක් එකල සිනමා අඹරේ දිදුලමින් පැවැති අතර මෑතදී අභාවප්‍රාප්ත වූ තිස්ස විජේසුරේන්ද්‍ර ද ඉන් එක් තරුවක් ව සිටියේ ය.

තිස්ස විජේසුරේන්ද්‍රගේ සිනමා සම්ප්‍රාප්තිය සිදු වූ මේ යුගය තුළ තරුවක් වීම යනු හුදු නාමික හැඳින්වීමක් පමණක් නොවීය.

ගාමිණි ෆොන්සේකා, විජය කුමාරතුංග, සහ ටෝනි රණසිංහ ආදී දැවැන්තයින් හා එක පෙළට සිටගන්නා තරමට ජනප්‍රිය වූ ඔහු ඒ වන විට ජනප්‍රියත්වයේ අංක එකේ සිටි මාලනි ෆොන්සේකා සමඟ මෙන් ම නීටා ප්‍රනාන්දු, සුමනා අමරසිංහ, ගීතා කුමාරසිංහ, සහ ජෙනිටා සමරවීර ආදී ජනප්‍රිය නිළියන් සමඟ චිත්‍රපට ගණනාවක ප්‍රධාන චරිත නිරූපණය කළේය.

තිස්සගේ සිනමා සම්ප්‍රාප්තිය සිදුව ඇත්තේ 1970 දී රන්ජිත් ලාල් නිර්මාණය කළ “නිම් වළල්ල” චිත්‍රපටයෙන් වුවත් ඔහුව සිනමාවට කැඳවාගෙන ආවේ කිංස්ලි රාජපක්ෂය. තිස්ස ප්‍රේක්ෂකයා අතර එක්වර ම දිදුළන තරුවක් ලෙස අභිෂේක ලැබුවේ “සුහද පැතුම” චිත්‍රපටයෙනි.

මෙම චිත්‍රපටයේ ඔහු ප්‍රධාන චරිතය නිරූපණය කළේ මාලනිගේ පෙම්වතා ලෙසිනි එම චිත්‍රපටයේ දී මාලනි සමඟ “ දෝතින් දෝතයි” යන ගීතය සඳහා යෙදුණු මනරම් රැඟුම අදටත් ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙකුගේ මතකයේ රැඳුනක් විය. මෙම චිත්‍රපටය බොක්ස් ඔෆීස් වාර්තා සහිත ආදායමක් ඉපයූ අතර ඔහුගේ ඊළඟ ජනප්‍රිය චිත්‍රපටය වූයේ ජෙනිටා සමරවීර සමඟ ප්‍රධාන චරිතය නිරූපණය කළ “සුරේඛා” යයි මම සිතමි. සුරේඛා චිත්‍රපටයේ ද ඔහු නිර්මාණය කළේ

ගැඹුරු චරිතයක් නොවූවත් තමාට හිමි භූමිකාව ඉතා සාර්ථකව නිම කිරීම තිස්සගේ මෙන් ම චිත්‍රපටයේ ද ජනප්‍රියත්වයට හේතු වූ බව පෙනී ගිය කරුණකි. මීට අමතරව 1970 සිට 2014 දක්වා චිත්‍රපට ගණනාවක රඟපෑ අතර අසූව දශකයේ දී ඇති වූ යම් කළකිරීමක් සා මද කලකට සිනමාවෙන් ඈත්වී සිටියේ ය.

නිම්වළල්ලේ සිට ඔහු රඟපෑ චිත්‍රපට අතර කළණ මිතුරෝ, පූජිතයෝ, සමනල කුමරියෝ, සුහද පැතුම, සිනාවයි ඉනාවයි, සුරේඛා, ලසඳා, ඇස් ඉදිරිපිට, පෙම් කුරුල්ලෝ, කොහොම කියන්නද, ලස්සන කෙල්ල,සධානා, හදවතක වසන්තය, හාරත හතර,නෑදෑයෝ, නීලා, සුදු පරවියෝ, නිවෙන ගින්න,හොඳ හිත, සජා, සිතක සුවඳ දීපාංජලී, කුමර කුමරියෝ, ජීවන කඳුළු, රන් කුරුල්ලෝ,රෝස මල් තුනක්, අනුෂා, අපි දෙදෙනා, ජීවන්ති, කිරි සුවඳ, සිතාරා, මේජර් සර්, සෙනෙහසක කඳුළු, බෝනික්කා, හදවතක වසන්තය, ප්‍රාර්ථනා, හොඳින් නැත්නම් නරකින්, ක්‍රිස්තු චරිතය, ඔබ මට විශ්වාසයි, නෙළුම් සහ සමනලී, ජූරිය මමයි, හිත හොඳනම් වරදින්නේ නැහැ, රාගයේ උණුසුම, ඇගේ වෛරය-2, වියරු ගැහැනියක්, ඇය ඔබට බාරයි, ප්‍රේමිලා,දඩබිම, ඔබ මගේ ම වේව, හතර දෙනාම සූරයෝ (නව නිෂ්පාදනය), රූපාන්තරනය සහ සුපිරි අන්දරේ ආදීය වේ.

පාසැල් යන කාලයේ බම්බලපිටියේ සිට මාමා කෙනෙකුගේ නිවසේ නැවතී උපකාර පංන්තිවලට සහභාගි වූ තිස්ස විජේසුරෙන්ද්‍ර විද්‍යා විෂයයන් හැදෑරුවේ වෛද්‍යවරයෙකු වීමේ අභිලාෂයෙනි.

1983 දී සෙනෙහසක කඳුළු චිත්‍රපටයේ ඔහු රඟපෑ චරිතය වෙනුවෙන් නිසි ඇඟයීමක් සිදු නොවීම පිළිබඳ කනස්සල්ලකින් ද පසුවූ නමුත් පසු කලෙක සුමති ටෙලි නාට්‍ය සම්මාන උළෙලක දී කලාකරුවෙකුට ජිවිත කාලය මුළුල්ලේ කළ සේවයට උපහාර වශයෙන් පිරිනැමෙන විශිෂ්ටතම යාවජීව සම්මානයෙන් පුද ලැබීමට වාසනාව උදා විය.

ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. තිස්සගේ බිරිඳ විශාකා විද්‍යාලයේ විශ්‍රාමික ගුරුමහත්මියක වන සාවිත්‍රී විරේසුන්දරය. දියණියන් සිවු දෙනෙකි.

1949 අප්‍රේල් 03 වන දින උපන් ඔහු පසු ගියදා අපේක්ෂා රෝහලේ දී අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු හැත්තෑ එකක් විය.

ශ්‍රි ලංකාවේ සිංහල සිනමා ඉතිහාසය මේතාක් පැවතීමට මෙරට වානිජ සිනමාව ස්ථාවර බලකණුවක් වූයේ යම් සේ ද එකී සිනමාවේ රඳා පැවැත්ම උදෙසා තිස්ස විජේසුරේන්ද්‍ර වැනි තරු වල ප්‍රභාවය ද යුගයට සාපේක්ෂව ඉතා වටිනා ආලෝකයක් විය.

අප රටේ මේ ආකාරයට සිනමා කර්මාන්තයේ පැවැත්මට දායකත්වය සැපයූ බොහෝ දෙනෙකුට සිදු වූ පරිදි තිස්සගේ ද නිර්මාණාත්මක ගුණාංගයන් කවර ආකාරයෙන් හෝ ඇඟයීමකට ලක් නොවීම කනගාටුවකි.

ලසඳා” චිත්‍රපටයේ ඔහු රඟ පෑ චරිතයේ නිර්මාණාත්මක ගුණය පවා කිසිවෙකුගේ අවධානයට ලක් නොවූයේ එහෙයිනි.

නමුත් පෙර කී පරිදි සිංහල සිනමාවේ එක් යුගයක ඔහු ද තරුවක්ව සිටි බව එහි ආලෝකයද මෙහි ගමන් මඟ ඔස්සේ වැටී ඇති බවත් අමතක කරවන්නට මේ කිසිවක් සමත් නොවනු ඇත.

Comments