ක්‍රිකට් ලොක්කෝ ලොකු සාකච්ඡාවක | සිළුමිණ

ක්‍රිකට් ලොක්කෝ ලොකු සාකච්ඡාවක

කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහා පරිමාණ ක්‍රිකට් තරගාවලි සඳහා සිදුවිය හැකි මූල්‍ය හානි වලින් මිදීමේ මගක් සෙවීම සම්බන්ධයෙන් ක්‍රිකට් ප්‍රධානීහූ මේ සතිය තුළ සාකච්ඡා කිරීමට සූදානමින් සිටිති. වීඩියෝ ඇමතුම් ඇසුරින් පැවැත්වෙන එම සම්මන්ත්‍රණය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජික රටවල් 12 හි ප්‍රධාන විධායකයෝ මෙන්ම සහායක නියෝජිතයෝ තිදෙනෙක්ද එක්වෙති.

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ සහ ඉන්දියානු ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) තරගාවලියේ ආරම්භයන් කොවිඩ්19 පැතිරයෑම හේතුවෙන් දැනටමත් ප්‍රමාද වී තිබේ.

කොවිඩ්19 බලපෑමට හසුවූ අලුත්ම තරගාවලිය වන්නේ දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර ජුනි මාසයේදී පැවැත්වීමට නියමතව තිබූ සීමිත ඕවර තරගාවලියයි. මෙම තරගාවලිය එක්දින තරග 3 කින් සහ විස්සයි20 තරග 3 කින් සමන්විත විය.

කොවිඩ් 19 නිසා මේ වසරේ ඔක්තෝබර් මා‍සයේ ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියටද තර්ජනයක් විය හැකි යැයිද විචාරකයෝ පවසති. විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය මේ වසරේ ඔක්තෝබර් මස 18 වැනිදා ඕස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිතය.

ක්‍රිකට් නොමැතිව 20 20 ගිම්හානය නිමා කිරීමට සිදුවුවහොත් එයින් සිදුවන හානිය පවුම් මිලියන 300 ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 373 කට වැඩි වැඩි මිස අඩු නොවන බව එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩ‍ලයේ ප්‍රධාන විධායක නිලධාරී ටොම් හැරිසන් අනතුරු අඟවා තිබේ. මේ අතර ඉදිරියේදී ඇතිවිය හැකි මූල්‍ය පාඩුවට මුහුණ දීම සඳහා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය එහි ඇතැම් සේවකයන් සේවයෙන් ඉවත්කර ඇතැයිද වාර්තා වේ.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලි කිහිපයක්ම කල්දැමීමට සිදුවීම හේතුවෙන් ලබන වසරේ ලෝඩ්ස්හි පැවැත්වීමට නියමිත එම ශූරතාවලියේ අවසන් මහ තරගයද ප්‍රමාද වනු ඇත.

මෙම සම්මන්ත්‍රණය සාමූහික ක්‍රියාවලියක පළමු පියවර වනු ඇතැයි අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විධායක නිලධාරී මනූ සෝව්නි පැවසීය.

“අපි දැනුම බෙදාහදා ගත යුතුයි. ඒ අතරම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාව නැවත ආරම්භ කිරීම සඳහා කළ යුතු දේ පිළිබඳ ගැඹුරු අවබෝධයක් ගොඩනඟා ගත යුතුයි.” යැයි ඔහු පැවසීය.

Comments