2020 වැටුණු ලොව 2021 දී ගොඩ එන අයුරු | සිළුමිණ

2020 වැටුණු ලොව 2021 දී ගොඩ එන අයුරු

මුළු ලොවම ජනතාවටත්, ආර්ථිකවලටත් විශාල ව්‍යසනයක් කළ කොවිඩ් 19 නිසා කිසිම දෙයක් හරියට කරගත නොහැකි යැයි බොහෝ දෙනකු කල්පනා කළ මොහොතක කොවිඩ් 19 පරාජය කර වැඩ කළ හැකි බව රටටත් මුළු ලෝකයටත් පෙන්නුම් කළ පුවතක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ 2019 වාර්ෂික වාර්තාව පෙන්වා දිය හැකිය. කිසිම අඩුපාඩුවක් නැතිව අවශ්‍ය දිනයට දින දෙකකට පෙර එය නිකුත් කිරීමට සමත් වීම අතින් ශ්‍රී ලංකා මහ බංකුව අප සියල්ලන්ටම කොවිඩ් 19 තර්ජනය හමුවේ නොසැලී වැඩ කිරීමේ පණිවුඩය ලබාදීම පිළිබඳව අප සැමගේ ස්තුතිය හා ගෞරවය මහ බැංකුවට හිමි කර දිය යුතුය.

1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වගන්තියට අනුව සෑම මුදල් වර්ෂයක් අවසාන වී මාස 04 ක් ඇතුළත එනම් 2020 අප්‍රේල් 30 ට පෙර මහ බැංකුව සිය 70 වැනි වාර්ෂික වාර්තාව ( 2019 මහ බැංකු වාර්තාව ) අප්‍රේල් 28 දා ගරු මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට ප්‍රදානය කළේය. එහි නව අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී ලක්‍ෂමන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, වාර්තාවට අවශ්‍ය සියල්ලම එක්තැන් කොට එය නිසි ලෙස නිමාවට පත් කිරීමට ආර්ථික ගවේෂණ නිලධාරීන්ගේ සහයෙන් කටයුතු කළ ආර්ථික ගවේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර යන අය මේ අවස්ථාවට සහභාගී විය. එම වාර්තාව ආශ්‍රයෙන් ලියන මේ ලිපියේ ප්‍රධාන අරමුණු 03 කි. එනම්

1.කොවිඩ් 19 ඇති වූ ආකාරය සහ 2020 එය පැතිර ගිය ආකාරය සහ ජනතාවට බලපෑ ආකාරය.

2.කොවිඩ් 19 ශ්‍රී ලංකා ආර්ථිකයට 2020 සිට බලපාන ආකාරය.

3.කොවිඩ් 19 ගෝලීය ආර්ථිකයට 2020 සිට බලපාන අකාරය වශයෙනි.

කොවිඩ් 19 වසංගතය ජනතාවට සිදු කළ බලපෑම

*මෙම ව්‍යසනය මුලින්ම ඇතිවූයේ 2019 අගදී චීනයේ වන අතර

එය වසංගතයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රකාශ කළේ 2020 මාර්තු මාසයේදීය. එම වසංගතයෙන් මුළු ලෝකයේම ලක්ෂ 25 ක් ආසාදිත වීම සිදු වුයේ සහ එයින් ලක්ෂ එක හමාරක් මියැදුණේ 2020 අප්‍රේල් මැද දී ය. ශ්‍රී ලංකාවේ එම ගණන පිළිවෙළින් 800 ඉක්මවා යන වසංගත රෝගීන් හා මියගිය 09කට සිමා වේ.

කොවිඩ් 19 නිසා ශ්‍රී ලංකා ආර්ථිකයට ඇති වූ බලපෑම්

මෙම ආර්ථික බලපෑම් 2007 – 2008 කාලයේ සිදු වූ ගෝලීය මුල්‍ය අර්බුදයට වඩා අතිශයින් බරපතළය. එම අර්බුදය සමඟ ඇති ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයට මුහුණ දුන් නායකයින්ම එනම් එදා ජනපතිව සිටි මහින්ද රාජපක්ෂ, රටේ යුද්ධය නිම කළ ආරක්ෂක ලේකම් (අද ජනාධිපති ) ගෝඨාභය රාජපක්ෂ, රටේ මුල්‍ය අංශය ශක්තිමත් කළ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, රාජ්‍ය මුල්‍ය කටයුතු මැනවින් මෙහෙය වූ ආචාර්ය පී. බී. ජයසුන්දර යන මහතුන් හතර දෙනාම ඊට වඩා දරුණු කොවිඩ් 19 සටනේද තනතුරුවල වෙනස්කම් ඇතිව අදත් එම අර්බුදය සාර්ථකව විසඳීමට කටයුතු කරමින් සිටීම වැදගත්ය.

ඒ නිසා ඒ කාලයේ ගෝලීය මුල්‍ය අර්බුදය හා දේශීය ජනවාර්ගික අර්බුදයට සාර්ථකව මුහුණ දෙමින් ශ්‍රී ලංකා ආර්ථිකය එම අර්බුදය නිම කොට මුල් වසර 03 තුළ සියයට 8 කට ඉහළ නංවා ආර්ථික ස්ථායිතාවන් ඉලක්කම් දෙකේ පවතී. උද්ධමනය තනි ඉලක්කමට අඩු කොට රට තුළ බැංකුද ආරක්ෂා කොට මුල්‍ය ස්ථායිතාවන් රැක දුන් නිසා, මෙවර ඇති වී තිබෙන දරුණු කොවිඩ් 19 ව්‍යසනයෙන් ශ්‍රී ලංකාව මුදවා ගැනීමට එම පාලක නිලධාරින් හතර දෙනාට නව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේත්,රටේ ත්‍රිවිධ හමුදා වල ශක්තියත්,පොලීසි වල කාර්යක්ෂම සේවාවත්,සෞඛ්‍ය අංශවල සුවිශාල මෙහෙයත්,දේශපාලනික වශයෙන් යම් යම් මතවාද පැවතියත් විරුද්ධ පක්ෂවල සහයෝගීතාවයත් ලැබීම නිසා රට කොට උඩ යන්නේ නැතැයි අපි බලවත් සේ විශ්වාස කරමු.

එහෙත් මහ බැංකුව දක්වන ආකාරයට, මෙහි භයානක කම තිබෙන්නේ වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට අනුගමනය කරන ක්‍රියාමාර්ග හරහා කොවිඩ් 19 න් වලින් රටේ ජනතාව බේරා ගැනීමට දරන උත්සාහය සාර්ථක කර ගැනීමට හැකි වුවත් දේශීය ආර්ථික කටයුතුවල ඒ හරහා ඇති වන පසු බැස්ම බරපතළ වීම තුළ එය තව තවත් තීව්‍ර වීමට ගෝලීය ආර්ථිකය මන්දගාමී වීමත් තදින් බලපෑම් කරනු ඇත.

කොවිඩ් 19 හරහා 2020 වර්ෂයේ හා ඊට පසු වර්ෂවල ආර්ථිකයට කුමක් සිදු වේද,මේ වන විට වයිරසය පැතිරීමෙන් පිඩාවට පත් වූ ව්‍යාපාර හා පුද්ගලයින් මත ඇතිවන බලපෑම, රජය සහ මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද සහන මඟින් අවම වී 2020 දෙවන කාර්තුවේ අග භාගයේ සිට දේශීය ආර්ථික ක්‍රියාකාරකම් ක්‍රමයෙන් ඉහළ යන බවත් ගෝලීය ආර්ථික ක්‍රියාකාරකම් වසරේ හතරවන කාර්තුවේදී වර්ධනය වන බවත් මහ බැංකුව උපකල්පනය කරයි.

රටේ මුර්ත අංශය ( Real sector ) ගත් විට 2015 වර්ෂයේ 5%, 2016 වර්ෂයේ 4.5%, 2017 වර්ෂයේ 3.4%, 2018 වර්ෂයේ 3.3% (කලින් මෙය 2% ක් ලෙසට වාර්තා විය ) හා 2019 වර්ෂයේ 2.3% ක් ලෙස ක්‍රමයෙන් බිඳ වැටුණු ආර්ථික වර්ධනය 2020 දී අඩුම වශයෙන් 4% ක මට්ටමට ගෙන ඒමට “ සෞභාගයයේ දැක්ම ” යටතේ නව රජය කල්පනා කළත් කොවිඩ් 19 ව්‍යසනය නිසා 2020 එම වර්ධනය 1.5% ක් ලෙස මහ බැංකුව ඇස්තමේන්තු කළත් මෙය ලියන මොහොත වන විට පවතින තත්ත්වයන් යටතේ එය 0 % ක් හෝ සෘණ අගයක් ගැනීමට හොඳටම ඉඩකඩ ඇත. මන්ද අප නොසිතන ආකාරයට ගෝලීය ආර්ථිකවල පසුබැස්මක් ඇති වෙමින් පවතින නිසා කෙසේ වෙතත් 2021 දී යළිත් ආර්ථිකය තුළ පුනර්ජීවනයක් ඇතිව වර්ධන වේගය 4.5 % ක් හා 2022 දී 6% ක් හා 2023 දී 6.2% ක් හා 2024 දී 6.5 ක් ලෙස සතුටු දායක මට්ටමකට පත් වන බව මහ බැංකුව ඇස්තමේන්තු කර තිබේ.

සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය 2010 – 2016 දක්වා ඉහළ මට්ටමක තිබුණ නිසා, ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම 2018 දී ඩොලර් 4079 දක්වා ඉහළ ගොස් ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ නැංවුවද; මේ වන විට මැදි ආදායම් උගුලකට හසුවී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම 2019 දී ඩොලර් 3852 ක මට්ටමකට අඩු විය. කොවිඩ් 19 නිසා දැඩි පීඩනයක් ඇතිකළ විදෙස් අංශය,රාජ්‍ය මුල්‍ය අංශය යන මුල්‍ය අංශ 2020 දී පසු බැස ගියත් 2021 සිට යළිත් යහපත් තත්ත්වයකට පත් වන බව මහ බැංකුව පවසයි.( වගුව 1 බලන්න )

කොවිඩ් 19 නිසා වැටුණු විදෙස් අංශය හා රාජ්‍ය මුල්‍ය අංශය

වගුව 1

ඉහත දත්ත වලට අනුව 2020 ශ්‍රී ලංකා ආර්ථිකය දරුණු පසුබැස්මකට පත් වුවද 2021 සිට යළි හිස ඔසවන ලකුණු පහළ වන බව මහ බැංකුවේ පුරෝකතනයයි.

එයට ගෝලීය ආර්ථික තත්ත්වයද බලපාන නිසා ‘world economic outlook’ ප්‍රකාශනය යටතේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ( IMF ) ලෝකයේ ආර්ථිකයද කොවිඩ් 19 න් පසු 2020 වැටෙන ආකාරයත් පසුව 2021 සිට හිස ඔසවන ආකාරයත් මෙසේ ඇස්තමේන්තු කර තිබේ.

(වගුව 2 බලන්න)

ගෝලීය ආර්ථික ප්‍රවණතා 2019 – 2021

වගුව 2

මෙතෙක් කළ විග්‍රහය අනුව පෙන්නුම් කරන්නේ කොවිඩ් 19 හරහා ශ්‍රී ලංකාව ඇතුළු මුළු ලෝක ආර්ථිකයම දරුණු ලෙස බිඳ වැටුණත් 2021 සිට යළිත් ලෝක ආර්ථිකයත් හොඳ වී, ශ්‍රී ලංකා ආර්ථිකයත් හොඳ වී, විවෘත ආර්ථිකයේ හා ගෝලීය ආර්ථිකයේ ප්‍රතිඵල යළි නෙළා ගැනීමටත්, කොවිඩ් 19 හරහා සියරට දේ සිරි සැප දේ අනුව යමින් රට තුළ යළි කෘෂිකර්මයේ, දේශීය කර්මාන්තවල හා නවොත්පාදනවල පෙරළියක් ඇති වී පෙරට වඩා හොඳ ආර්ථික මාවතකට ඒමේ ලකුණු පහළ වන බවත් අපේ විශ්වාසයයි. මේ නිසා “සෑම කළු වලාවකම රිදී රේඛාවක් ඇත” යන කියමන සනාථ කරමින් කොවිඩ් 19 සෑම කෙනෙකුටම සෑම රටකටම මුළු ලෝකයටම හොඳ පණිවුඩයක් ලබා දී තිබෙන බව අවසාන වශයෙන් සඳහන් කරමු.

 

Comments