ලංකාවේ එකම බන්ධනාගාර පාසලෙන් ඇසෙන අනුවේදනීය කතාව | සිළුමිණ

ලංකාවේ එකම බන්ධනාගාර පාසලෙන් ඇසෙන අනුවේදනීය කතාව

පරිගණක පාඨමාලා හැදෑරීම, වෘත්තිය පුහුණු

දරුවන්ට දරුවන්ගේ ලෝකය අහිමි කරන්නේ වැඩිහිටියන්ය. හයක් හතරක් නොදන්නා දරුවා බහතෝරන දිනයේ සිට දෙමවුපියන්ගේ පහස ලබා අනතුරුව පාසල වෙත එන්නේ අධ්‍යාපනය ලබන්නට ය. දරුවන්ගේ දෙවැනි මවුන් වෙන්නේ ගුරුවර ගුරුවරියන්ය. මේ කියන්නට යන්නේද දෙමාපියන්ට අතහැරුණ එහෙත් ගුරුවරයා විසින් ගොඩට ගත් එවන් දරුවෙකු පිළිබඳය. ඔහු අපට හමු වන්නේ මෙවර අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිපල පිටවීමත් සමඟය. ඒ වටරැක බන්ධනාගාර වැඩ කඳවුර හා තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාලයේ පවත්වාගෙන යනු ලබන සුනීත විද්‍යාලයයෙනි. මෙම පාසල ජාතික පාසලක් වන අතර මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන් අතරින් සිසුන් හතර දෙනෙකු සමත් විය. ඒ අතරින් හිරුෂ මනහර සිසුවා ‘ඒ‘සාමාර්ථ 3, ‘සී ‘ සාමාර්ථ 4 ක් සහ ‘එස්‘ සාමාර්ථ 2 ක් ලබා ගනිමසින් විද්‍යාලයේ උසස් ප්‍රතිඵල ලැබූ සිසුවා වේ.

“මං ආසයි උසස් පෙළ විභාය කරන්න. මට ඕන නේවාසිකාර පහසුකම් තිබෙන පාසලකට ඇතුව වී වැඩිදුර ඉගෙනුම ලබන්න. අපේ අම්මාට තාත්තාට මා වෙනුවෙන් වියදම් කරන්නට තරම් ආර්ථිකයක් නැහැ. මම මීට වඩා ප්‍රතිඵල බලා පොරොත්තු වුණා. බන්ධනාගාර අධිකාරිතුමා ඇතුළු සියලුම දෙනාගෙන් අපේ ඉගෙනුමට ලොකු සහායක් ලැබෙනවා. ඒ වගේම තමයි අපේ පාසලේ විදුහල්පති තුමා, ස්වාමීන් වහන්සේ ඇතුළු අනිත් ගුරුවරු අප ගැන සොයා බලමින් කරුණාව ආදරය දක්කවමින් ඉගැන් වූ නිසයි අපට ඉගෙන ගන්නට පුළුවන්කම ලැබුණේ. මගේ අම්මා තාත්තා මගේ ජයග්‍රහණය ගැන සතුටු වෙනවා. ” හිරුෂ පවසන්නේය.

ජීවිතයේ කොතැනක හෝ හිරුෂගේ පවුලේ අයට වැරදී ඇත. හදිසි කෝපය නිසා කරන ලද යම් ක්‍රියාවකට උරණ වු මව පොලිසියට පැමිණිලි කර ඇත. වැඩි විමසුම් නොකළ පොලිසිය විසින් හිතුවක්කාරයාව උසාවියට ඉදිරිපත් කර ඇති අතර; පසුව වසර තුනක් සඳහා මොහුව මෙම විශෝධනාගාරයට යොමු කර ඇත. නොඉවසිල්ල නිසා සිදු වූ මේ අත්වැරැද්දෙන් පුතුට රැදවුම් මධ්‍යස්ථානයක සිටින්නට වීම ගැන අද ඒ පවුලේ උදවිය ද පසුතැවේ. කොහොම වුණත් හිරුෂ මෙන් ජීවිතයේ අතර මඟදි දෙමාපිය ආදරය අතහැරුණ තවත් කිහිප දෙනෙකුම මෙහි සිටිති.

ඒ පිළිබඳ අපට අදහස් දැක්වූයේ වටරැක බන්ධනාගාගරයේ පුනරුත්ථාපන නිලධාරීනි නිරෝෂා දයානි සේනාරත්නයි. “මෙහෙ ඉන්න දරුවෝ අතර බොහොමයක් ඉන්නේ බොහොම් පුංචි වැදි වලට ආව අය. සමහර අයගේ වැරදි ගැන හිතන කොට අපට දැනෙනවා මේක මේ දරුවනන්ට කරපු අපරාධයක් කියලා. ගොඩක් දරුවෝ නොමඟ ගිහින් තියෙන්නේ මවුපිය අසමඟිය, පවුල් ආරවුල් නිසා. වැඩිහිටියෝ දරුවෝ ගැන මීට වඩා සැලකිලිමත් වෙන්නට ඕන. ජංගම දුරකථනයක් සොරකම් කිරීම, වත්තකට පැනලා ගහක ගෙඩියක් කඩා ගැනීම වගේ වැරදිත් මේ අතර තියෙනවා. මේ වගේ වැදි කරපු දරුවන්ව නීතිය හමුවට ගෙනියන්න පෙර ඔවුන්ව අවවාද කරලා ආදරයෙන් කියා දීලා යහමඟට ගන්න දෙමාපිය වැඩිහිටියෝ අවස්ථාවක් සැලසිය යුතුයි. කොහොම වුණත් මේ දරුවෝ මෙහෙට ආවාට පසුව ඉන්නේ අපේ බාරයේ. ඔවුන්ගේ ඉගෙනුමට අතහිත දීම, ඔවුන්ගේ අනාගතයට වැඩක් ඇති දෙයක් ඉගැන්වීම යන මාවත පෙන්වා දීමයි අපෙන් කෙරෙන්නේ. කිසිම කෙනෙක් මේ දරුවන්ව මෙහිදි අතහරින්නේ නෑ.

පාසලේදී ගුරවරුන් ඔවුන් ගැන බලනවා. ඔවුන්ට බන්ධනාගාර අධිකාරි තුමා ඇතුව සියලු දෙනා ආදරයෙන් සලකනවා. මේ දවස් වල කොරෝනා වයිරස් තත්ත්වය නිසා පාසල පැවැත්වෙන්නේ නෑ. පාසල් නොයා ඉන්න නිසා ඔවුන් වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා.” පුනරුත්ථාපන නිලධාරිනි සේනාරත්න පවසන්නීය.

රට තුළ සියල්ල ඇනහිට ඇති කාල වකවානුවක දැන් සිර ගෙදරට දෛනිකව පැමිණෙන්නන් නැත. ඒ පොලිසි උසාවි රාජකාරි නැති බැවිනි. කොහොම වුනත් සූනීත පාසලේ දරුවන් හැරුණ විට වටරැක අභ්‍යාස විද්‍යාලයේ වැඩිහිටි රැඳවියෝද සිටිති.

“විවිධ වැරදි සම්බන්ධයෙන් දඩුවම් ලැබු අය මෙහි ඉන්නවා. තරුණ වරදකරුවන් අතර අවුරුදු 16 ත් 22 අතර අය ඉන්නේ. මේ අය අවුරුදු තුනක් රඳවා තැබෙනවා. කොයිම වෙලාවකවත් මේ අය සිරකරුවන් ලෙස හඳුන්වන්නේ නැහැ. අපේ සුනීත පාසලේ දරුවෝ 36 දෙනෙකු ඉගෙනුම ලබනවා. මෙය තමයි ලංකාවේ තිබෙන එකම බන්ධනාගාර පාසල. බන්දුල ගුණවර්ධන ඇමතිතුමා විසින් මේ පාසල 2014 වසරේ ආරම්භ කෙරුවේ. මට දැනුණ දෙයක් තමයි මේ දරුවෝ රැඳවියො නොවුණතත් ඒ අය පාසල් යන්නේ මේ කදවුරේ ඉදලා. ඒක ඒ දරුවන්ගේ මානසික තත්වයට හොද නැහැ. අප කිසිම විටෙක මොවුන් වැරදිකරුවන් සමාජ විරෝධි පුද්ගලයන් කියන වැරදි කෝණයෙන් බලන්නේ නැහැ. මට අවශ්‍ය වුණේ මේ අයට වෙනම නේවාසිකාගාර පහසුකම් හදලා දීලා ඔවුන්ට හොද පරිසරයක් සකස් කර දෙන්න. ඒ සදහා දානපතියෙක් ගොඩනැගිල්ලක් සහ අවශ්‍ය පහසුකම් ලබා දීමට සියල්ල සුදානම් කර තිබු මොහොතක තමයි වයිරස් තත්වය අපේ රටට ආවේ. ඒ නිසා ඒ කටයුත්ත කල් ගියා. කොහොම වුණ් ඉදිරියේදි ඒ ගොඩනැගිලි පහසුකම් ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ දරුවා විභාගය ඉහළින් සමත් වීම අපට සතුටක්. ඔහු කැමතියි නේවාසිකාගාර පහසුකම් තිබෙනක පාසලක නතර වී ඉගෙන ගන්න . ඔහු ආර්ථික අපහසුතා තියෙන පවුලක දරුවෙක්. කවුරුන් හෝ ඔහුට ශක්තියක් වනවා නම් හොඳයි.

වැඩිහිටි රැඳවියන් සදහා හැත්තෑ හය දෙනෙකු මේ වන විට මෙහි ඉන්නවා. ඔවුන් වෙනුවෙන් විවිධ වෘත්තිය පුහුණු පාඨමාලා පැවැත්වෙනවා. මෙහි මුල්තැන දීලා තියෙන්නේ කෘෂිකර්මයට. අක්කර තිස් අටක පමණ භූමි ප්‍රදේශයක් තියෙනවා.

විවිධ එළවළු පලා වගා කර තිබෙනවා. ඒ එළවළු කඳවුරේ පරිභෝජනයට ගන්නවා; අතිරික්තය විකුණනවා. හාල් තුනපහ මස් මාළු පමණයි මිලට ගන්නේ. අපි රජයට මසකට රුපියල් ලක්ෂයක් පමණ ඉතිරි කර දෙනවා. මේ අවට ගම් වල අයගෙන් අපේ එළළු වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. අපි කෘෂි රසායනික පොහොර භාවිත කරන්නේ නැහැ. කාබනික පොහොර තමයි භාවිත කරන්නේ. මේ හැරුණාම සංස්කෘතික කටයුතු වලට මේ අය දායක වෙනවා. ක්‍රීඩා වල නිරත වෙනවා. මා මෙය කිවයුතුමයි. මේ කඳවුර වටේට උස තාප්ප නැහැ. ඒ නිසා මේ අයට පැන යන්න පුළුවන්. නමුත් ඔවුන් බොහොම විනයක් ඇතිව මෙහි ඉන්නවා.

අපි මේ අය වෙනුවෙන් ආගමික වැඩසටහන් පවත්වාගෙන යනවා. මෙහෙ මත්ද්‍රව්‍ය භාවිතය නැහැ. මෙහි සිටින හැම නිලධාරියෙක්ම නිලධාරිනියක්ම බොහෝම හොඳින් තම තමන්ගේ රාජකාරිය කරනවා. මං හිතනවා අපේ සාර්ථකත්වයේ රහස එයයි කියලා.” බන්ධනාගර අධිකාරී බී. ඒ. එම් නිමල්ශාන්ත මහතා පවසන්නේය.

සුළු සුළු සොරකම්, මත්ද්‍රව්‍ය භාවිතය, මත්ද්‍රව්‍ය විකිණිම ආදි වු වැරදි සම්බන්ධයෙන් මෙහි පැමිණ සිටින තරුණයන් යහමඟට ගැනීම පමණක් නොව ඔවුන්ට නිසි අධ්‍යාපනය ලබා දීම සූනීත පාසලේ විදුහල්පති තුමා ඇතුළු ගුරු මණ්ඩලයේ කාර්යයයභාරය වේ.

අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මෙම පාසලේ මේවන විට ගුරුවරු එකොළොස් දෙනෙකු සිටිති.“අපේ පාසලේ පන්ති පැවැත් වෙන්නේ නවවැනි ශ්‍රේණියේ ඉදලා. පාසල් ගිය දරුවෝ වගේම අතර මඟදි පාසැල අතහැරුණ දරුවෝ, අකුරු පුළුවන් දරුවෝ වගේම අකුරු බැරි දරුවොත් ඉන්නවා. ඔවුන්ගේ හැකියාව දැනුම වයස බලලා පන්තියට ඇතුළු කරනවා. අකුරු බැරි දරුවන්ට වෙනනම උගන්වනවා. අපි මේ කිසිම දරුවෙක්ව අතහරින්නේ නැහැ. මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් දරුවෝ හතර දෙනෙක් සමත් වුණා. ඒත් ඒ අතරින් හොඳම ප්‍රතිඵල තියෙන්නේ මනහර සිසුවාට. ඔහු අපේ පාසට ආවේ විභාගයට මාස හයක් තිබියදී. ඒ එනවිට ඔහු එතෙක් ඉගෙනුම ලැබූ පාසලින් විභාගය සදහා අයැදුම් පත් යොමු කර තිබුණේ. අපි බොහෝම වෙහෙසක් ගත්තා මේ දරුවාව මේ පාසලේ මධ්‍යස්ථානයේදි විභාගයට වාඩි කරවන්න. ඒ වගේම දරුවා මුල් කාලයේ මානසිකව වැටිලා හිටියත් පසුව විභාගය සදහා යහපත් මානසික මට්ටමක සිට සූදානම් වුණා. අපට සතුටුයි ඔහුගේ සමත් වීම ගැන. මේ පාසලේ විෂය නිර්දේශයට අමතරව පරිගණක විද්‍යාව හා ඉංග්‍රිසි විශේෂයෙන් උගන්වනවා. මේ දරුවෝ මෙතැනින් එළියට ගියාම ඔවුන්ගේ අනාගතය සාදා ගන්නට පුළුවන් මට්ටමකට ඔවුන්ව හැඩගැස්වීමයි අප කරන්නේ. මගේ ගුරුමණ්ඩලය බොහෝම කැපවීමෙන් මේ දරුවන්ට අධ්‍යාපන ලබාදීමට වෙහෙසෙනවා. ඒ වගේම අපට බන්ධනාගාර අධිකාරිතුමා, පුනරුත්ථාපන නිලධාරිතුමිය ඇතුළු සැමගෙන් හොඳ සහායක් ලැබෙනවා.” සුනීත පාසලේ විදුහල්පති රොහාන් විජේතුංග පවසන්නේ මනහර සිසුවා ලැබූ ජයග්‍රහණය පිළිබද අපමණ සතුටෙනි.

ආදරය කරුණාව නැති විට දරුවෝ නොමඟ යති. විශේෂයෙන්ම පාසල් යන වයසේ දරුවන් ගැන වැඩිහිටි අවධානය නිරන්තරයෙන් යොමු විය යුතුය. පවුලට මඟ හැරුණ දරුවන්ගේ ජීවි ත අයාලේ යන්නේ වැඩිහිටි වරදිනි. ළමාවියේ සිටම ළමයාගේ පරිසරය යහපත් විය යුතුය. එවැනි යහපත් පරසිර නොමැති වීමෙන් අයාලේ ගිය දරුවන් අපට හමුවන්නේ මෙවන් ස්ථාන වලදීය. එහෙත් ආදරය සහ කරුණාව ඇත්තන්ගේ සොයා බැලිල්ල නිසා ඔවුන්ගේ සිත් සුවපත් වීම නම් පුදුමාකාරය.

“ඇත්ත මෙතැන විවිධ වැරදි කරපු දරුවෝ ඉන්නවා. නමුත් මම මේ දරුවන්ට ඇගිල්ල දික් කරන්න කැමති නැහැ. දරුවෝ බොහෝම අහිංසකයි. වැඩිහිටියන්ගේ වරදින් තමයි දරුවෝ නොමග යන්නේ. එවැනි වැරදි මඟට යොමු වූවෝ යහ මඟට ගැනීමයි අපේ යුතුකම. අපේ පාසලේ පෝයට පෙර දිනයේ සිල් සමාදන් වීම, භාවනා වැඩසටහන් ආදිය පැවැත්වෙනවා. මම හොඳින්ම දන්න දෙයක් තමයි මේ දරුවෝ දිනපතා පාසල් පැමිණිමෙන් පුදුමාකාර මානසික සැනසිල්ලක් ලබනවා. ගුරුවරු දරුවන්ට ආදරෙයි. දරුවෝ තමන්ගේ ප්‍රශ්න ගුරුවරුන්ට කියනවා. අවුරුදු තුන අවසන් වන විට මෙහෙට මුලිනම ආව කෙනා නොවෙයි අපට හමුවන්නේ.

සමහර දරුවෝ පසුතැවිලි වෙනවා ඔවුන් අතින් සිදු වූ වැරදි ගැන. පාසල් විෂය මාලාව හැරුණ විට මේ අය ක්‍රීඩාවට මෙන්ම කලාවට යොමු කරවනවා. කලා උළෙල පවත්වනවා.

මම හොඳින්ම දන්න දෙයක් තමයි මේ දරුවන්ගේ හිත් වලට ආදරයෙන් කතා කළාම ඔවුන් ව යහමඟට ගන්න පුළුවන් කියන එක.” සුනීත පාසලේ නියෝජ්‍ය විදුහල්පති උණපාන නන්දවිමල ස්වාමීන් වහන්නේ පවසන්නේ බොහෝ අවධානයෙනි.

සුනීත පාසල පවත්වාගෙන යන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසිනි. වටරැක තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාලය පාලනය කෙරෙන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙනි. සියලු බන්ධනාගාර වල පුනරුත්ථාපන කටයුතු පිළිබඳ සොයා බලන්නේ අධීක්ෂණය වන්නේ බන්ධනාගාර මුලස්ථානයෙනි. සාමාන්‍ය පෙළ සමත් මනහර සිසුවා සුබ පතමින් බන්ධනාගාර කොමසාරිස් ( පුනරුත්ථාපන) චන්දන ඒකනායක පැවැසුවේ මෙවැනි කතාවකි.“ මම මුලින්ම මේ සිසුවාගේ ජයග්‍රහණයට සුබ පතනවා. ඒ වගේම සුනීත පාසලේ විදුහල්පති තුමා ඇතුව ගුරු මණ්ඩලයටත් මගේ ආදරය ගෞරවය පිරිනමනවා. මේ දරුවන්ට තමන්ගේ ඉලක්කය කරා යාමට හොදින් අධ්‍යාපනය ලබා දීම ගැන. ඒ වගේම තමයි අපේ දෙපාර්ත තමේන්තුවේ වටරැක බන්ධණාගාරයේ අධිකාරිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය මේ කරන කැපවීම අගය කරනවා. මම දන්න විදිහට ලෝකයේ බන්ධනාගාරවල පාසල් නැහැ. අපේ රටේ තියෙන එකම වෘත්තිය පුහුණු පාසල මේ. මේ පාසලෙන් මීට පෙර වසර වලත් සාමාන්‍ය පෙළ ඉහළින් සමත් වු දරුවෝ ඉදලා තියෙනවා. මේ රඳවා තැබීම කිසිම විටෙක සිර දඬුවමක් කියලා ගණන් ගැනෙන්නේ නැහැ. මෙතැනින් එළියට ගියාම රැකියාවකට යන්න ඔවුන්ට එය බාධාවක් වන්නෙත් නැහැ.”

බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පවසන්නේය. “හිටියොත් හොඳට හැදි දෙවියොත් නමට වඳී” එය එසේ වන්ට නම් ළමයා හැදිය යුත්තේ නිවෙසෙනි. අම්මා තාත්තා විසිනි. අම්මා තත්තා විසින් අතහැරිය දරුවන්ට සිදු වන්නේ එක්කෝ මෙවැනි තැන් වල නතර වන්නටය. එහෙමත් නැත්නම් අයාලේ යන්නටය. වැඩිහිටියන් විසින් දුර දිග නොබලා ගන්නා තීරන නිසා අසරණ වන දරුවන්ගේ කතා මෙහි බොහෝය.

Comments