රටක් වැසෙද්දී හුදෙකලා වී වැනසෙන්නට යන ජාතික උරුම | සිළුමිණ

රටක් වැසෙද්දී හුදෙකලා වී වැනසෙන්නට යන ජාතික උරුම

වෙසක් පොහොය ගෙවී ගියේය. වසර දෙදහස් තුන්සීයක් තිස්සේ අපේ ඇත්තන් බුදුන් දකින්නට යනවා සේ අනුරාධපුරයේ මහා සෑය වඳින්නට ගියේ වෙසක් පොසොන් මාසවලය. ජය සිරිමහා හාමුදුරුවන් වඳින්නට ගියේ මේ කාලයේය. ඒ වන්දනා සිරිත දන්නා කාලයේ නැවතුනේ මේ අවුරුද්දේය. මැලේරියාව පැතිරී රජරට බියකරු වෙද්දී, කොළරාව වසංගතයක් සේ පැතිරී අනුරාධපුරය මළගෙයක් වෙද්දි ජීවිතය පරදුවට තබා බුදුන් වඳින්නට ගිය මිනිස්සුන්ගේ පරම්පරාවේ ඇත්තන්ව මේ වසංගතය විසින් නිවෙස් තුළ නිරෝධායනය කර තිබිණි.

 

හුදකලා පුදබිම්

 

අනුරාධපුර, පොලොන්නරුව පූජා නගර ඇතුළු ලංකාවේ පැතිරී ඇති සියලුම ඓතිහාසික පුදබිම් මේ වනවිට මිනිසුන් නොගැවසෙන හුදෙකලා තැන්ය.

හුදෙකලාව පුදබිමක අධ්‍යාත්මික ජීව ගුණය වැඩි කරන්නේය. විනයක් සහිත සමාජයකදී වසර දහස් ගණනක් පැරණි ශුද්ධ භූමි ආරක්ෂා වන්නේ හුදෙකලාවේ චමත්කාරය තුළය. එහෙත් අප සමාජයක් ලෙස අත්විඳිමින් ඉන්නේ එහි පරස්පරය ය. මේ පුදබිම් හුදෙකලා වීමත් සමග වඩාත් අනාරක්ෂිත වන ආකාරය පෙනුණි.

මඩුවන්වල වලව්වේ පිහිටි පුරාවිද්‍යා රක්ෂිතයේ වැට මායිම රට වැසුණු කාලයේ ඇවිදින්නට පටන් ගෙන තිබිණි. අල්ලපු වැටේ ව්‍යාපාරිකයෙක් පුරාවිද්‍යා රක්ෂිතයේ කොටසක් අත්පත් කරගත් බව වාර්තා විය. පල්ලෙබැද්දේ ගල්පාය රක්ෂිතයෙන් කොටසක් පිරිසක් විසින් වෙන් කරගෙන තිබිණි. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අචාර්ය සෙනරත් දිසානායකට ලැබුණු පැමිණිල්ලකින් කියැවුණේ සේරුවාවිල කෝවිල්ගොඩැල්ල රක්ෂිතය නිදන් සොයන අපරාධකරුවන් විසින් බැකෝ යොදා වනසමින් ඇති බවය.

පොලොන්නරු පුරාවිද්‍යා භූමිය පුරාවස්තු අපරාධකරුවන්ගේ නිරන්තර පීඩනයට ලක්වන භූමියකි. පබළු වෙහෙරේ බුදු සිරස් කුඩු වුණේ අප දන්නා වකවානුවේය. මුරගල් ඇදගෙන ගියේ මතක ඇති කාලයේය. නයිපෙණ වෙහෙර, අංක දෙක ශිව දේවාලය පමණක් නොව පූජා භූමිය මැද තිබුණු ගෝපාල පබ්බතයත් දෙනෝ දාහක් ගැවසෙන කාලයේ කුඩු කරන්න හැදු කාලකණ්ණි පොලොන්නරුවේ උන්හ.

රටම වසා දැමූ මේ වකවානුවේ මිනිසුන්ගෙන් තොර පූජා භූමි පුරාවස්තු වනසන අපරාධකරුවන්ගෙන් ආරක්ෂා කරගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වැඩි බරක් යෙදිය යුතු විය. විශේෂයෙන්ම ක්ෂේත්‍ර කටයුතු වලදී වැදගත්වන සේවකයන් සම්බන්ධව තීන්දු ගැනීමේදී ප්‍රායෝගික ගැටලු රැසක් මතුවිය.

ඔවුන්ට දිස්ත්‍රික්ක අතර සංචරණයෙන් වැළකී ආසන්නම දිස්ත්‍රික් කාර්යාලයට සේවයට වාර්තා කරන්නට නියම කෙරිණි. පුරාවිද්‍යා අධ්‍යක්ෂජනරාල්වරයා පොලිස්පතිවරයා වෙතින් කළ ඉල්ලීමක් ප්‍රකාරව මේ ගැටලුව යම්තාක් දුරට විසඳාගත හැකි විය.

තත්ත්වය තවත් බරපතළ වූයේ අනියම් පදනම මත බඳවාගෙන ක්ෂේත්‍ර තුළ රඳවා මුර සේවයේ හා කම්කරු සේවයේ යෙදවූ සේවක පිරිස ඔවුන්ගේ කොන්ත්‍රාත් කාලය නිමා වූ පසු කෙටි සේවා දිගුවක්වත් නොදී සේවය අවසන් කිරීම නිසාය. කොවිඩ් වසංගතය හමුවේ අනුරාධපුර පොලොන්නරු පූජා භූමි තුළ රැඳෙමින් පුදබිම් නඩත්තුකර පවත්වා ගැනීම මතු නොව, එහි ආරක්ෂක කටයුතුවලට ද සැලකිය යුතු ආවරණයක් දුන් මේ සේවක පිරිසේ සේවය අප්‍රේල් 30 දා නිමවිය. මේ තීන්දුව ගැනීමට ඉදිරිපත් කළ ප්‍රායෝගික පසුබිමක් ද තිබිණි.

 

අවදානමට ගිය අරමුදල

 

තාවකාලික පදනම මත කම්කරු හා මුරකාර රැකියා සඳහා මේ පිරිස බඳවාගෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර තිබුණේ මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් වැටුප් ලබා දීමේ පදනම මතය. එහෙත් මධ්‍යම සංස්කෘතික අරමුදල පැවතියේ අවදානම් තත්වයකය.

පසුගිය වසරේ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු සිදුවූ සංචාරක කර්මාන්තයේ ක්‍රමික බිඳවැටීම කොවිඩ් වසංගතය සමග නැති වී ගියේය. සංචාරක කර්මාන්තය පදනම් කරගත් මූල්‍ය පසුබිමක් මත ගොඩනැගෙන ශාස්ත්‍රීය ආයතනයක් වූ මධ්‍යම සංස්කෘතික අරමුදල දැන් පවතින්නේ නිශ්චිත අවදානමේය. ස්වකීය සේවකයන්ටවත් පඩි ගෙවා ගත නොහැකි මට්ටමට ඇදවැටුණු මධ්‍යම සංස්කෘතික අරමුදල තාවකාලික පදනම මත බඳවාගත් සේවක පිරිසේ සේවය නිමාකිරීමට තීන්දු කිරීම ප්‍රායෝගිකය.

අරමුදල පූර්ණ ආදායම් විහීන තත්ත්වයට පත්වන්නේ මාස දෙකක් ඇතුළතය. දශක තුනකට අධික කාලයක් විශාල වශයෙන් මුදල් එකතු වූ අරමුදලක් මාස දෙකක් පැවතුණ ව්‍යසනයකට මුහුණ දිය නොහැකි තරම් වැහැරී ගොස්ය.

ආචාර්ය රෝලන්ඩ් සිල්වා ගේ ප්‍රමුඛ මැදිහත්වීමෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල සැලසුම් වන්නේ අතිශය ප්‍රායෝගික සැලැස්මකට අනුවය. එය ලංකාවේ පුරාවිද්‍යාව පිළිබඳ ප්‍රායෝගික දැනුම යාවත්කාලීන කළ ශාස්ත්‍රීය අධ්‍යයන කේන්ද්‍රයක් විය. විෂය සම්බන්ධ ශාස්ත්‍රීය පර්යේෂණවලත්, කැණීම් හා සංරක්ෂණවලත් විශාල බරපැණ දැරිය හැකි ආර්ථික පදනමක් නිර්මාණය කළ සාරභූමියක් විය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්ෂික පිරිවැයෙන් සියයට විසිපහක බරක් දැරුවේ මධ්‍යම සංස්කෘතික අරමුදලය. අතිශය සීමිත සේවක පිරිසකගෙන් ඇරඹුණ, තාවකාලික පදනමින් සේවය කරන සේවක පිරිසකගෙන් ක්‍රියාත්මක කළ මේ ආයතනය අසූව දශකය අග භාගයේ සිට පැවත එන සෑම රජයක්ම ස්වකීය දේශපාලන කාඩරයන්ගෙන් පුරවා දැම්මේය.

තුන්දහසකට ආසන්න සේවක පිරිසක් නඩත්තු කරන තැනට මේ ශාස්ත්‍රීය ආයතනය පත්වුයේය. එහෙත් මධ්‍යම සංස්කෘතික අරමුදලට බිහිසුණුම අපරාධය කරනු ලැබුවේ පසුගිය රජයේ අවසාන කාර්තුවේ සිටි සංස්කෘතික ඇමතිවරයා ය.

 

ස්ථාවර තැන්පතුවටත් තට්ටු කළ හැටි

 

අරමුදලේ මූල්‍ය පදනම රඳා පැවතියේ එහි ස්ථාවර තැන්පතුවේ ශක්තිය මතය. දේශපාලකයන් මොන මට්ටමින් මෙම ආයතනයට බලපෑම් කළ ද මේ ස්ථාවර තැන්පතුවලට අත තැබුවේ නැත. එහෙත් පසුගිය ආණ්ඩුවේ සංස්කෘතික ඇමතිවරයා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියකින් තොරව මෙම ස්ථාවර තැන්පතුවට අත්තනෝමතිකව අත තැබුවේ. සිය දේශපාලන ව්‍යාපෘතියේ වැදගත්ම අංශය සේ සැලකූ පන්සල් සඳහා මුදල් පරිත්‍යාග කිරීම සිදු කළේ මේ මුදලිනි. මධ්‍යම සංස්කෘතික අරමුදල වැනි ආයතනයක අවසාන මූල්‍ය පදනමත් දෙදරවා දැමූ විට ඒ අපරාධවල ප්‍රතිඵල ප්‍රකාශ වන්නේ මෙවැනි දුර්ග සමයක රටේ උරුමය පිළිබඳව මතුවන අනාරක්ෂිත තත්ත්ව ලෙසය.

Comments