නොපෙනෙන සතුරාට එරෙහිව ඉදිරිපෙළ සටන් කරන නූතන නයිටිංගේල්ලා | සිළුමිණ

නොපෙනෙන සතුරාට එරෙහිව ඉදිරිපෙළ සටන් කරන නූතන නයිටිංගේල්ලා

1. සේවයට කැප වූ හෙද හෙදියන් පිරිසක් 2. හෙද සේවාවේ නිර්මාතෘ නයිටිංගේල් මැතිනිය

ජාත්‍යන්තර හෙද දිනය  මැයි 12 අගහරුවාදා

‘අපිට තියෙන එකම සතුට රෝගියෙක් සුවපත් වෙලා නිවෙසට යනවා දැකීමයි’

 

‘හෙද සේවාව යාථාර්ථයක් බවට පත්වෙමින් එහි වටිනාකම නැතිනම් අගය තේරුම් ගන්නෙ තවත් වසර 150කින්...’

ඒ, නූතන හෙද සේවාව ලෝකයට බිහිකළ ෆ්ලෝරන්ස් නයිටිංගේල් මැතිනිය 1870 වසරේදී කළ ප්‍රකාශයකි. එදා එතුමිය කළ එම ප්‍රකාශය හරියටම වසර 150ක් සපිරෙන මේ වර්ෂයේ පළමු කාර්තුවේදීම ලෝකවාසී සියල්ලන්ට සක්සුදක් සේ තේරුම් ගොස් හමාරය.

මේ වන විට මුළු ලෝකයම කොරෝනා මාරයාගෙන් බැට කමින් සිටින මොහොතේ රෝහල් සායනයන්හි පසුවන මිලියන ගණනක් වන අසාදිතයන් වෙනුවෙන් අපරිමිත සේවාවක් කරන්නෙ හෙද හෙදියන් බව අවිවාදිතය.

සිය ඥාති හිතෛෂියකුටවත් කොරෝනා ආසාදිතයන්ගේ සුවදුක් බැලීමට තියා නිවෙස්වලින් එළි බැසීමටවත් නොහැකිව පසුවන මොහොතක රෝහල්හි තනි වූ කොරෝනා ආසාදිතයන් මිලියන ගණනක් වෙනුවෙන් අඛණ්ඩව කැපවෙමින් සාත්තු සප්පායම් පමණක් නොව සියලු දුකට සැපට ඉදිරිපත්ව සිටින්නෙ හෙද හෙදියන්ය.

මෙතෙක් මෙරට සිටි රණවිරුවන්, අතරට එක්වූ සුවවිරුවන්ගෙන් බහුතරය වන නූතන නයිටිංගේල්ලාගේ සේවය ගැන විමසීමේදී මේ දිනවල බොහොමයක් දෙනාගේ අවධානය යොමුව තිබෙන්නෙ අයි.ඩී.එච්. නැතිනම් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයටයි. දියුණුවේ හිණිපෙත්තෙ සිටින රාජ්‍යයන්හි ඇතැම් හෙද හෙදියන් පවා කොරෝනාවට මුහුණ දීමට නොහැකිව සියදිවි හානි කරගනිද්දී, රැකියාවෙන් පලා යද්දි අපගේ අයිඩීඑච් රෝහලේ හෙද හෙදියන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය කොරෝනා මාරයාට එරෙහිව මුහුණ දෙන්නෙ ඉතාම නිර්භිත ලෙසිනි.

“අපේ 130ක් පමණ වන සියලුම හෙද හෙදියන් එකාවන්ව කැපවී සිටින්නෙ කොවිඩ් අසාදිතයන්ට ප්‍රතිකාර කිරීමටයි. මෙවැනි වසංගත තත්ත්වයන්ට මුහුණ දීමට ලංකාවේ තියෙන ප්‍රධානතම රෝහල තමයි මේක. අපි පෙරමුණ ගත්තෙ නැත්නම් ඉදිරිපත් වෙන්න වෙන කවුරුත් නැහැ. අපි ඒ වගකීම තේරුම්ගෙන තවත් රෝහල් කීපයක්ම මීට සම්බන්ධ කරගෙන සාර්ථකව මේ වසංගතයට මේ වනතුරු මුහුණ දෙනවා.

කොයි වෙලාවකවත් අපි ආරක්ෂක ඇඳුම්, උපාංග ලැබෙනකල් බලාගෙන හිටියේ නෑ. තියෙන දෙයකින් හෝ අපේම අය නිර්මාණය කරගත් ආරක්ෂිත උපාංගවලින් රෝගින්ට සාත්තු කළා. අපේ හෙදියන් වගේම සෙසු කාර්ය මණ්ඩලයේ කිසිම කෙනෙක් මේ තත්ත්වයට මුහුණ දෙන්න අදිමදි කරන්නෙ නෑ. හෙද හෙදියන් තවම නිවෙස්වලට ගියේම නෑ. බොහෝ දෙනෙක්ගේ දූදරුවන් ඉන්නෙ ආච්චිලා, සීයලා ළඟ...

අපිට තියෙන එකම සතුට රෝගියෙක් සුවපත් වෙලා නිවෙසට යනවා දැකීම. අවුරුද්ද දවසේ සුවවී ගිය එක් රෝගියෙක් කියලා ගියේ මේ ලෝකයේ තියෙන හොඳම රෝහල අයිඩීඑච් රෝහල කියලා. චීන කාන්තාව නික්ම ගියේ ‘මට අයිඩීඑච් රෝහලෙන් ප්‍රතිකාර පමණක් නොවේ ආදරයත් ලැබුණා‘ කියා. ඒවා වචන තමයි අපි ලබන සතුට...

ඉතින් අපිට මේ දේවල් ඉතාම කැපවීමෙන් කරන්න හමුදාව ඇතුළු බොහෝ දෙනෙකු ගෙන් ලැබෙන්නෙ අපමණ සහායක්. බොහෝ දෙනෙක් නිවෙස්වලට නොයන නිසා ක්වාර්ටස් මදි වුණා. ඒ අවස්ථාවේ අපිට ඉන්න ගෙවල් පවා කීප දෙනෙක්ම ලබා දුන්නා.“

ඒ මේ මොහොතේ කොරෝනා මාරයා වෙනුවෙන් අපමණ සේවයක් කරන අයිඩීඑච් රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනි ගීතානි උඩුගමකෝරාල අපට කී කතාවයි.

තම නිවෙස්හි වෙසෙන දුවාදරුවන් මෙන්ම තමනගේ ලෙඩ රෝගද අමතක කොට සේවයට කැපව සිටින හෙද හෙදියන් කරන උත්තුංග සේවාව පිළිබඳව මේ වන විට මුළු ලෝකයම කතාබහ කරන මොහොතකි. ඇතැම් රටවල හෙද හෙදියන් රැසක්ම කොරෝනා මාරයාට සිය ජීවිතයෙන්ද වන්දි ගෙවා අවසානය. ආසන්නතම එවැනි ශෝකීජනක පුවතක් පසුගියදා පසුගියදා එංගලන්තයෙන්ද වාර්තා විණි. ඒ, එරට නිවුන් හෙදියන් දෙදෙනෙක් කෝරානා මාරයාට බිලි වෙමින් අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් වන්දි ගෙවූ පුවතයි.

එලෙස කොරෝනා මාරයා සමඟ මෙරට තුළ ඉදිරිපෙළ සටනක නිරත වන සුව සේවාවෙන් බහුතරය හෙද හෙදියන්ය. 36000ක් පමණ වන ලාංකේය හෙද හෙදියන් පිළිබඳ බොහෝ අත්දැකීම් මෙන්ම වගකීම් සම්භාරයක් උසුලන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද අධ්‍යක්ෂිකා (වෛද්‍ය සේවා) එම්. බී. සී. සමන්මලී මහත්මියගෙන් අප මෙරට හෙද සේවාවේ වත්මන් තත්ත්වය ගැන විමසුවාය.

“කොවිඩ් වසංගතයත් සමඟ අපේ හෙද සේවාවේ ගුණාත්මක භාවය වගේම අපේ හෙදියන්ගෙ විනය, දරා ගැනීමේ ශක්තිය, සංවේදී බව, ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව, දුරදක්නා නුවණ වගේ හෙදියකට තිබිය යුතු සියලුම උසස් ගුණාංග මනාව පිළිබිඹු වෙනවා. ඇතැම් රටවල හෙදියන් රැකියාව දාලා ගියා. ඒත් අපේ අය ඉතාම නිර්භීතව මේ තත්ත්වයට මුහුණ දෙනවා. අපේ හෙද සේවාව කියන්නෙ රැකියාවට එහා ගිය උතුම් කාර්යභාරයක්. ඒ වගේම තවත් නොපෙනෙන දෙයක්... හෙදිය තමයි සැමදා රෝහල් වාට්ටුවක සියලු දේ කළමනාකරණය කරමින් මනා පාලනයක් ගෙන යන්නෙ. ඒ වගේම රෝගියා සමඟ වැඩිපුරම කාලයක් ගැවසෙන්නෙ හෙදියන්.

අපේ හෙද සේවාව ගත්තම ප්‍රධාන වශයෙන් අංශ තුනකින් යුක්තයි. ඒ, හෙද අධ්‍යාපන, හෙද වෛද්‍ය සේවා සහ මහජන සෞඛ්‍ය සේවා. රෝහල්වල කටයුතු කරන්නෙ හෙද වෛද්‍ය සේවා අංශයේ අයයි. අපේ හෙදියන් ගත්තම ඉහළම සුදුසුකම්වලින් යුතු පිරිසක්. දැඩි සත්කාර හෙදියන්, අසාදන පාලන හෙදියන්, සූතිකා පුහුණු හෙදියන්, නවජ සූති හෙදියන්, ශල්‍යාගාර හෙදියන්, මහජන සෞඛ්‍ය හෙදියන් වගේම වේදනාව පාලනය කිරීමේ හෙදියනුත් අද වන විට අපට සිටිනවා. එයින් පෙනෙනවා නේද සෞඛ්‍ය සේවාවේ දියුණුවත් සමඟ අපේ හෙදියනුත් මොනතරම් නිපුණත්වයට පත්වෙලාද කියලා...“

ලෝකයේ සෙසු රටවල් හා සසඳන කල මෙරට සෞඛ්‍ය සේවාව ප්‍රශස්ත මට්ටමකට ඔසවා තැබීමට හෙද සේවාවෙන් වූ කාර්යභාරය සුළුපටු නොවේ. විශේෂයෙන්ම ජාත්‍යන්තරයේ දියුණු රටවලින් පවා මෙරට හෙදියන්ට ඉහළ ඉල්ලුමක් පවතින්නෙ ලාංකේය හෙදියගේ තිබෙන ඉතාම කාරුණික වූත්, ගුණාත්මක වූත් ඉහළ සේවාවේ මහිමය නිසාවෙනි. මේ වර්ෂය ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර තිබෙන්නෙ “හෙදියන්ට සහ පවුල් සෞඛ්‍ය නිලධාරින්ට උදවු වන්න“ යන තේමාව පෙරදැරිවයි. එමඟින්ම මේ ව්‍යසනකාරි තත්ත්වයත් සමඟින් හෙද හෙදියන් මිලියන ගණනක් ජනයාට කරන අපමණ කැපවීම ගැන මනා ලෙස පිළිබිඹු වේ.

හෙද හෙදියන්ගේ ජාත්‍යන්තර දිනය යෙදෙන්නෙ මේ මස 12 වැනිදාටයි. ඒ නූතන හෙද සේවාවේ නිර්මාතෘ ෆ්ලෝරන්ස් නයිටිංගේල් මැතිනිය මෙලොව එළිය දුටු දිනය එදිනයි.

නූතන හෙද සේවාවේ ආරම්භය සනිටුහන් කරමින් ඇය 1854දී මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ තුර්කිය එක්ව රුසියාවට විරුද්ධව කළ ක්‍රිමියානු යුද්ධයෙන් තුවාල ලත් සෙබළුන් වෙනුවෙන් ක්‍රමවත් ආකාරයෙන් ඇප උපස්ථාන කිරීමට ඉදිරිපත් වී තිබුණේ තවත් හෙදියන් 38 දෙනෙකුද සමඟිනි. ඒ බිහිසුණු යුද්ධය පැවැති ක්‍රිමියාව බලා යාමෙනි. ඉන් ආරම්භ වුණු නූතන හෙද සේවාවේ නිර්මාතෘවරිය ලෙස සැලැකෙන ෆ්ලෝරන්ස් මැතිනිය අවුරුදු 90ක කාලයක සකල ලෝකවාසින්ට මහත් සේවාවක් කරමින් දිවියෙන් සමුගත්තත් ඇය සදා අමරණීය වනුයේ ලෝකය මුහුණ දෙන සියලු ව්‍යසනකාරී තත්ත්වයන් තුළදී හෙද හෙදියන් කරන අනූපමේය සේවාව දකින විටයි.

මෙරට හෙද හෙදියන් අතීතයේ විඳි අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් සමඟ පීඩාකාරි රැකියාවෙන් මුදවා හෙද සේවාව ගෞරවනීය වූත්, ගුණාත්මක වූත් හිතකාමී සේවාවක් බවට පත්කිරීමට අපමණ වෙහෙසක් ගෙන ඇත්තෙ මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේයි. ඒ, 1966 වසරේ මාර්තු 28 වැනිදා මෙරට හෙද සේවාවේ උන්නතිය තකා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පිහිටුවා එහි සභාපති ලෙස උන්වහන්සේ කළ අපමණ සේවාවෙනි. ෆ්ලෝරන්ස් මැතිනියගේ 200 වැනි ජන්ම දිනය සමරන මොහොතේ උන්වහන්සේ අපට වදාළ සිටියේ,

“ඇත්ත වශයෙන්ම අසරණව රෝහල් කරා එන රෝගීන් වෙනුවෙන් හෙදියන් කරුණාව, මෛත්‍රිය, දයාව විදහා දක්වන ගුණාංගවලින් යුතුව විශේෂයෙන්ම මෙවන් ව්‍යසනකාරී තත්ත්වයකදී මුළුමහත් රටවැසියාම අගය කළ යුතුයි. තියෙන අඩුපාඩු, අපහසුතා ගැන තැකීමක් කරන්නෙ නැතිව රෝගීන්ගේ වගකීම ගෙන හෙදියන් කරන මහඟු සේවාව ගැන නයිටිංගේල් මැතිනියට කරන උපහාරයක් ලෙසත් මේ අවස්ථාවේ සැවොම සිහිපත් කළ යුතුයි.

හෙද සේවාව කියන්නෙ හැමෝටම කළ නොහැකි ඉතාම බැරැරුම් කාර්යභාරයක්; අමිල සේවාවක්. මේ හෙද හෙදියන් නයිටිංගේල් ප්‍රතිපත්ති අනුගමනය කරමින් තම පවුල් ගැන... දුවා දරුවන් ගැනවත් හිතන්නෙ නැතිව මනා ඕනෑකමකින් මේ මොහොතේ සේවය කරන්නෙ... රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ලෙස අප මේ මොහොතේ සියලුම හෙදියන් කරන කාර්යභාරය ඉහළින් අගය කරනවා.“

උන්වහන්සේ සිය දායකත්වය හෙද සේවාව වෙනුවෙන් කැප කළ අතීත කතාවද සිහිපත් කළහ.

“මම 1966 වසරේ දිනක් රෝහල්ගතව සිටිද්දී දැක්කා මේ හෙද හෙදියන් කරන සේවාව... ඒ කාලෙ හෙදියන් මොනතරම් පීඩනයකින්... අසහනයකින් සේවාව සපයන්නෙ කියන දේ මම ඇස් දෙකෙන්ම දුටුවා. කිසිම පහසුකමක් නෑ. රාත්‍රි සේවා දින 15ක් එක දිගට... පුරා පැය 12ක් එක දිගට වැඩ කළත් කිසිම අතිකාල දීමනාවක් නෑ... ඉතින් අතීතයේ හෙද හෙදියන් අපමණ දුක් විඳලයි මේ සේවාව මේ තත්ත්වයට පත්කරලා තියෙන්නෙ... වත්මන් හෙද පරපුර ඒ තත්ත්වය ආරක්ෂා කරගෙන ඉතාම සුපරීක්ෂාකාරිව... ගෞරවනීය සේවයක් ලෙස හෙද සේවාව පවත්වාගෙන යෑමයි කළ යුත්තෙ...“

වර්තමානයේ හෙද හෙදියන් කරන උත්තුංග සේවාවට ලැබෙන පැසසුම් ගැන අභිමානයෙන් යුතුව දකින පිරිසක්ද සිටී. ඒ මෙරට හෙද සේවාවේ ඉතාම දුෂ්කර අවදියේ විශිෂ්ට සේවාවකට කැපව සිටිමින් ඉසිඹු ලැබ සිටින හිටපු හෙද හෙදියන්ය. ඒ බොහෝ දෙනෙක් පවසන්නෙ අපමණ තෘප්තියක් ලත් තම රැකියාවට නැවතත් එක්වන්නට හැකිනම් යනුවෙනි. වසර 37කට වැඩි කාලයක් රෝගීන් වෙනුවෙන් දිවි කැප කළ 2002 වසරේ විශ්‍රාම ගිය හෙද සොහොයුරි සෝමලතා සෙල්ලහේවා මහත්මිය පවසන්නෙ මෙවැන්නකි.

“මාධ්‍ය මඟින් මගේ සහෝදර හෙද හෙදියන් කරන ඒ විශිෂ්ට කාර්යභාරය දකිනවා. මට තියෙන එකම කනගාටුව ඒ උතුම් සේවාවේ මේ මොහොතේ කොටස්කරුවකු වීමට බැරිවීම ගැන. ඒ වගේම රටේ මිනිසුන් හෙද සේවාවට දක්වන ප්‍රතිචාරත් ඉතාම අගය කරනවා.හෙදියන්ට ඒ ගෞරවය, ප්‍රශංසාව ලැබිය යුතුමයි. අතීතයේ සිටම අපේ හෙදියන් කිසිම විටෙක සැප පහසුකම් බැලුවෙ නෑ රාජකාරියට ගියාම. තියෙන විදිහට කොහොමහරි රෝගීන් සුවපත් කරන්නයි කැපවුණේ. මං හෙදියක් වීම ගැන ඉතාම තෘප්තිමත් ඇත්තටම.“

සෑම විටෙකම රැකියාවට එහා ගොස් උතුම් සේවාවක නිරත වන හෙදියන් මේ මොහොතේ කොරෝනා මාරයාගෙන් ලෝකවාසීන් ගලවා ගැනීමට ඉදිරිපෙළ සටනේ නිරත වේ. සුවහසක් හෙද හෙදියන් තම දිවියම කැප කරමින් කරන විශිෂ්ට කාර්යභාරය සැවොම අගය කිරීම මේ මොහොතේ ඔවුනට ලබාදිය හැකි ඉහළම දිරිය බව අප පසක් කර සිටින්නෙමු.

 

Comments