ජනපති නියමයෙන් ‘5,000’ යළිත් නිවෙසටම | සිළුමිණ

ජනපති නියමයෙන් ‘5,000’ යළිත් නිවෙසටම

රටේ අඩු ආදායම්ලාභීන්ට, සමෘද්ධිලාභීන්ට, මේ දිනවල පවතින තත්ත්වය මත ජීවනෝපාය අහිමි වූ අයට පමණක් නොව වකුගඩු හා ආබාධිත රෝගීන්ටත් වැඩිහිටියන්ටත් සතුටක් දැනෙන පුවතක් පසුගිය 4 වැනිදා අසන්නට ලැබිණි. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අප්‍රේල් මාසයේ ගෙවනු ලැබූ රුපියල් 5000 දීමනාව ඒ අයුරින්ම මැයි මාසයේත් ගෙවන ලෙසට ජනාධිපති ලේකම් කාර්යාලය දිසාපතිවරුන්ට ලබාදුන් උපදේශයයි.

පසුගිය අප්‍රේල් මාසය ඇතුළත අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේත් පූර්ණ අධීක්ෂණය ඇතිව මෙම වැඩසටහන රට පුරා මෙහෙයවූ ජනාධිපති විශේෂ කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් පුද්ගලයන් ලක්ෂ 74කට පමණ මෙම දීමනාව ගෙවා තිබුණි. ඒ අනුව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි මහතා පවසන්නෙ පසුගිය අප්‍රේල් මස 5000 ලැබුණු සැමටම මැයි මාසයේද එම මුදල ලැබෙන බවයි.

මේ ගැන ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනය අනුව කොරෝනා වයිරසය නිසා පීඩාවට පත් කණ්ඩායම්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නියමය අනුව ලබාදෙන රුපියල් 5000 දීමනාව දෙවන වටයේ ගෙවීම දැන් ආරම්භ කර ඇත.

2020 අප්‍රේල් මස ඉහත දීමනා ස්ථාවර ප්‍රතිලාභි ලේඛනය, ප්‍රමුඛතා ලේඛනය හා ග්‍රාමීය කමිටු විසින් නිර්දේශ කරනු ලැබූ ප්‍රතිලාභ ලේඛනය යන සියලු ලේඛනවල ඇතුළත් සියලු ප්‍රතිලාභීන්ට 5000 දීමනාව ගෙවනු ලැබේ. දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම්ගේ මඟපෙන්වීම යටතේ අදාළ ග්‍රාම නිලධාරින් හා අන් ග්‍රාමීය කමිටු නිලධාරින් ප්‍රතිලාභීන්ගේ නිවාසවලටම ගොස් දීමනාව ගෙවනු ලැබිය යුතු බව ජනාධිපති ලේකම් කාර්යාලය දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී ඇත. වැඩිහිටි හා වකුගඩු රෝගි දීමනාව ගෙවීම් 2020 මැයි 11 වැනිදා ආරම්භ කර 2020 මැයි 15 වැනිදා අවසන් කිරීමට නියමිතව ඇත. ආබාධිත අයට ද එම දිනවල 5000 ලැබෙනු ඇතැයි රජය කියයි.

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති විශේෂ කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම දීමනා ගෙවීමට තීරණය කර ඇත.

ඒ අනුව වැඩිහිටි දීමනාව හා සියවස පූර්ණ වැඩිහිටි දීමනාව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය මඟින් ගෙවනු ලැබේ. ආබාධිත දීමනාව හා වකුගඩු රෝගී දීමනාව ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහ ලේකම් කාර්යාලය මඟින් ගෙවනු ලැබීමට නියමිතය. ඊට අමතරව ගොවි විශ්‍රාම වැටුප හා ධීවර විශ්‍රාම වැටුප ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් ගෙවනු ලබන බවත් ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.

මෙම වැඩිහිටි දීමනාව, සියවස පූර්ණ වැඩිහිටි දීමනාව, ආබාධිත දීමනාව හා වකුගඩු රෝගි දීමනාව ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය විසින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත සපයනු ලැබේ. ගොවි විශ්‍රාම වැටුප හා ධීවර විශ්‍රාම වැටුප හිමි ප්‍රතිලාභීන්ට දීමනා ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය විසින් මහවැලි, කෘෂිකර්ම වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය වෙත ලබා දෙනු ඇත. වැඩිහිටියන්, ආබාධ සහිත පුද්ගලයන් සහ වකුගඩු රෝගීන් සඳහා 2020 මාර්තු මස සිට ම පුද්ගලයකුට රුපියල් 5000 බැගින් ගෙවීමට ජනාධිපතිතුමා උපදෙස් දී ඇත. මේ කණ්ඩායම්වලට අයත් මුල් ලේඛනවල නම් සඳහන් අයට සේම පොරොත්තු ලේඛනවල නම් සඳහන් අයට ද මෙවර 5000 දීමනාව හිමි වෙයි.

මේ අතර මැයි මස විශ්‍රාම වැටුප් පසුගිය 4, 5, 6 දිනවලදී ගෙවීමට ද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කළේය. වෙසක් පසළොස්වක පොහොය දිනට පෙර විශ්‍රාම වැටුප් ගෙවන ලෙස ජනාධිපතිතුමා දුන් උපදෙස් අනුව තැපැල් කාර්යාල මඟින් එම විශ්‍රාම වැටුප ගෙවීමට රජය කටයුතු කළේය. රටේ සිටින සමෘද්ධි පවුල් හා සමෘද්ධි පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ 26කට පමණ මේ වාරයේත් රුපියල් 5000 හිමි වනු ඇතැයි සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා පවසයි.

ඒ අනුව එම සමෘද්ධි පවුල්වලට ගියවර ගෙවන ලද මුළු මුදල රුපියල් කෝටි 1300කට ආසන්නය. මේ පවුල් ලක්ෂ 26 සඳහා මෙවරත් මැයි මාසය සඳහා රුපියල් කෝටි 1300ක් ගෙවන බව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. ඊට අමතරව අනු පවුල් සඳහා කරන ගෙවීම් අනුව රටපුරා අනු පවුල් ලක්ෂ 3ක් පසුගිය අප්‍රේල් මස තෝරාගෙන තිබුණි. ඒ පවුල් සඳහා රුපියල් කෝටි 150ක් ගෙවූ අතර ඒ සියලු දෙනාම මේ මැයි මාසයේ රුපියල් 5000 ගෙවීම සිදු කෙරෙනු ඇත.

මේ අතර 5000 ගෙවීම පිළිබඳව අභියාචනා දැමු පිරිසකටත් ජීවනෝපාය අහිමි වූ හා ග්‍රාමීය කමිටුවේ තීරණය අනුව 5000 ගෙවිය යුතු බවට තීරණය කළ පවුල් ලක්ෂ 3ක් සඳහා ද රුපියල් කෝටි 150ක් පමණ පසුගිය මාසයේ ගෙවනු ලැබීය. එම සියලු පවුල්වලට ද මේ මාසයේද එම ගෙවීම් ලැබෙනු ඇත. ඊට අමතරව මැයි මාසයේ සමෘද්ධි සහනාධාර ලැබෙන පවුල් 25000කටද එම සමෘද්ධි ආධාර එක් පවුලකට 2500 - 3500 අතර මුදලක්ද මැයි මාසයටත් ලැබේ.

ඊට අමතරව වැඩිහිටි දීමනාව යටතේ පවුල් 630000කට පමණ වැඩිහිටි පුද්ගලයන්ට මෙවරත් රුපියල් 5000 දීමනාව ලබා දෙන බව වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ සමන් ඩී. උඩවත්ත මහතා පවසයි. මේ අතර අවුරුදු 100ට වැඩි පුද්ගලයන් 489කට ගෙවන රුපියල් 5000 ද මෙයට ඇතුළත් වේ. මේ අනුව මේ වැඩිහිටියන්ටම රජය පසුගිය වර ගෙවූ මුදල වන රුපියල් කෝටි 315 මෙවර ද ඒ සියලු දෙනාට රුපියල් 5000 බැගින් 15ට පෙර ගෙවීමට වැඩිහිටි මහලේකම් කාර්යාලය කටයුතු යොදා ඇත. මේ රුපියල් 5000 ගෙවීමේ සියලු කටයුතු ග්‍රාම නිලධාරිවරු සමෘද්ධි නිලධාරිවරු ඇතුළු ග්‍රාමීය කමිටුවේ නිලධාරින්ගේ මෙහෙයවීමෙන් සිදු කිරීමට ද කටයුතු සූදානම් කර ඇත.

ඒ සමඟම රුපියල් 5000 දීමනාව පසුගිය අප්‍රේල් මාසය සඳහා ආබාධිත පුද්ගලයන් සිටින පවුල් 123641කට ලබා දී ඇති බව ආබාධිත තැනැත්තන් පිළිබඳ ජාතික මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ සී. ටී. කළුආරච්චි මහතා පවසයි. ඒ සියලු දෙනාට මේ මාසය සඳහාත් රුපියල් 5000 ගෙවීමට කටයුතු සලසා ඇත. ඒ අනුව ඔවුන්ට ගිය මාසයේ ගෙවන ලද රුපියල් මිලියන 618ක් මේ මාසයේත් ලැබෙන බව කළුආරච්චි මහතා පවසයි. ඊට අමතරව වකුගඩු රෝගීන් 44221ක් සඳහාද රුපියල් 5000 බැගින් රුපියල් මිලියන 222ක් අප්‍රේල්වල ගෙවා තිබේ. ඒ අයට ද මැයි මාසයටත් රුපියල් 5000 ලැබෙන බව අධ්‍යක්ෂවරයා කියයි. ඒ සමඟම මෙරට ගොවි විශ්‍රාම වැටුප් හා ධීවර විශ්‍රාම වැටුප් හිමි පවුල් දහස් ගණනකට මේ සහන වැඩපිළිවෙළ යටතේ රුපියල් 5000 බැගින් ගෙවනු ලැබේ. කෘෂි රක්ෂණ මණ්ඩලය එම ගෙවීම් කරන අතර සියලු ගෙවීම් ගමේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරිගේ අනුමැතිය ඇතිව ගෙවන බව කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍යාංශය පවසයි.

අලුතින් රුපියල් 5000 ගෙවීමේ වැඩපිළිවෙළ පිළිබඳව කරුණු දැක්වූ කළුතර මහ දිසාපති යූ. ඩි. සී. ජයලාල් මහතා පැවසුවේ පසුගිය අඟහරුවාදා වන විට ආබාධිත අය සඳහා 5000 දෙවැනි වරටත් ගෙවීම් ආරම්භ කළ බවයි. රුපියල් 5000 ගෙවීමේ ප්‍රථම අදියර යටතේ අප්‍රේල් මාසයේදී කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 325596කට රුපියල් මිලියන 1627ක් ගෙවූ බවද ජයලාල් මහතා පැවැසීය. දැනට පවතින තත්ත්වය මත අඩු ආදායම්ලාභීන්ට සමෘද්ධි පවුල්වලට හා ජීවනෝපාය අහිමි වූ අයට රුපියල් 5000 ගෙවීමට රජය ගත් පියවර කාලෝචිත බවත් දිසාපතිවරයා පෙන්වා දෙයි.

මේ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක මේ වැඩසටහන මඟින් යළිත් අපේ රටේ ලක්ෂ 74කට රුපියල් කෝටි 3500ක පමණ සහනාධාර දෙවන වරටත් ලබාදීමට රජය කටයුතු කර ඇත.

රු 5000 දෙවරක් ගෙවීමේ වැඩපිළිවෙළ සඳහා රුපියල් කෝටි 5000ක් පමණ වැය කරන බව කැබිනට් ප්‍රකාශක ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඒ සමඟම මේ ගෙවීම් සිදු කරන නිලධාරීන්ට, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ට, සංවර්ධන නිලධාරීන්ට හා පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට එක් වසමක් සඳහා රුපියල් 2650ක අතිරේක දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

මේ අනුව අපේ රටේ පුද්ගලයන් ලක්ෂ 74කට මේ රුපියල් 5000 සහනාධාරය නිසා ලැබෙන මුළු මුදල රුපියල් කෝටි 7000කට ආසන්නය. රටේ ආර්ථික ප්‍රශ්න තිබුණත් ජනතාව ජිවත් කරවීම හා ජනතා සහන ලබාදීම අරමුණු කරගෙන වත්මන් රජය ගෙන ඇති ඉහත සුබසාධන පියවර රටේ සියලු ජනතාව අගය කළ යුතු බව පෙන්වා දෙනු කැමැත්තෙමු.

Comments