කොරෝනාව අහිමි කළ මනුස්සකමෙන් ජීවිතය අහිමි වූ යුද සෙබළා | සිළුමිණ

කොරෝනාව අහිමි කළ මනුස්සකමෙන් ජීවිතය අහිමි වූ යුද සෙබළා

කොරෝනා වෛරසය විසින් සමාජයේ රෝපණය කර ඇති අනිසි බිය විසින් මුළු ලොවම කොරෝනා බියකින් වෙළී සිටිති. ඒ බිය විසින්ම රෝගී තත්ත්වයක් හේතුවෙන් දඹුල්ල නගරයේ ඇදවැටී සිටි යුද හමුදා සෙබළකුට පිහිට වීමට කිසිවකු හෝ ඉදිරිපත් නොවීම නිසා ජීවිතයෙන් සමුගන්නට සිදුවන්නේ නම් කෙතරම් ඛේදනීය වන්නේද ? කොරෝනා භීතිය විසින් බොහෝ දෙනෙකු මඟ හැර යමින් සිටියදී දඹුල්ල නගරයෙ පදිංචි තරුණයන් තිදෙනකු එක්ව එම අවදානම පසෙක තබා හමුදා සෙබළා රෝහල් ගත කිරීමට කටයුතු කිරීම අගය කරමින් මේ වනවිට ලංකාව පුරා පැසසුම් පැතිර යමින් තිබේ.

කොස්ගම,හංවැල්ල, ශාලාව යුද හමුදා කඳවුරකට අනුයුක්ත ගලේවෙල, පල්ලේපොල පදිංචිකරුවකුවූ 23 හැවිරිදි තුෂාර සම්පත් ජයසිංහ නම් සෙබළා මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගියේය. තුෂාර යුද හමුදා සෙබළකු ලෙස යුද හමුදාවට එක්ව ඇත්තේ මීට දෙවසරකට පෙරය. කුඩා කාලයේ සිට කිසිදු රෝග තත්ත්වයක් නොතිබුණු තුෂාර මීට පෙර පිහිනුම් පුහුණු පාඨමාලාවක් අතරතුර රෝගාතුරව ප්‍රතිකාර ලැබූ බව තුෂාරගේ මව වන බි.ඩි.අනුලා කුමාරි පවසන්නීය.

යළිත් තුෂාර අසනීප වීම නිසා ඉකුත් අප්‍රේල් මස 04 දින නිවෙසට පැමිණෙන්නේ ප්‍රතිකාර ලබා ගැනීමේ අදහසිනි. එසේ පැමිණි දිනෙක තුෂාරට වලිප්පුව මෙන් රෝග ලක්ෂණ ඇතිවීමෙන් පසු මාතලේ මුලික රෝහලට ඇතුළත්ව ඇත. එහිදී දින කිහිපයක් නේවාසිකව ප්‍රතිකාර ලැබූ තුෂාරට සායනික ප්‍රතිකාර සඳහා යළි රෝහලට පැමිණෙන ලෙස වෛද්‍ය උපදෙස් ලබාදී මාසයක කාලයක් නොකඩවා පාවිච්චි කලයුතු ඖෂධ වර්ග කීපයක්ද නියම කර ඇත. ඒ epilepsy හෙවත් අපස්මාරය නමින් හඳුන්වන රෝගයටය.

මේ වනවිට තුෂාරගේ අනුමත නිවාඩු අවසන් වීම නිසා මේ පිළිබඳව තම කඳවුරට දැනුම්දී ඇත. කෙසේ හෝ තුෂාරට යළි තමා සේවය කළ කඳවුරට වාර්තා කරන ලෙස දනුම් දීම මත ඇඳිරිනීති බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අවස්ථා තුනකදී මහවෙල පොලිසියට ගියත් එය ඉටුකර ගැනීමට නොහැකිවී තිබේ.ඒ අනුව තුෂාර තමාට ළඟම පිහිටි කඳවුර මාතලේ, කොහොලන්වල පිහිටි හමුදා කඳවුරට ඉකුත් 02 දින වාර්තා කරනුයේ ඒ වනවිට රටපුරා ඇඳිරිනීතිය පනවා තිබු නිසාය. තුෂාර ඇඳිරිනීතිය ඉවත් කළ ඉකුත් 04 දින කොහොලන්වල කඳවුරෙන් බැහැරව දඹුල්ල නගරයට පැමිණෙන්නේ කොස්ගම පිහිටි තම කඳවුර බලා යාමටය. තුෂාර තම මවට එදින දහවල් 12.30 ට පමණ දුරකතනයෙන් කතාකර පවසා ඇත්තේ තමා දඹුල්ල නගරයට පැමිණ ඇති බවත් බස් රථයක් එනතුරු රැඳී සිටින බවත්ය. ඒ තුෂාරගේ මවට අවසන්වරට තුෂාර කතා කළ අවස්ථාවයි.

පසුව එදිනම දහවල් 1.30 ට පමණ දඹුල්ල ප්‍රධාන බස් නැවතුම්පොළේ වැසිකිලිය ඉදිරිපිට හදිසියේ රෝගාතුරව යුද හමුදා සෙබලකු වැටී සිටින බවට තුෂාරගේ මවට ලැබුණු දුරකථන ඇමතුමක් අනුව දඹුල්ල රෝහලට පැමිණ සොයා බලද්දී තුෂාර මෙලොව හැරගොස් සිටියේය. දඹුල්ල බස් නැවතුම්පොළ ජනාකීර්ණ ස්ථානයකි. තුෂාර රෝගාතුරව වැටි සිටිද්දී කිසිවකු ඔහුව රෝහල් ගත කිරීමට ඉදිරිපත් නොවීම දැඩි ලෙස කතාබහට ලක්ව ඇත. කොරෝනා භීතිය නිසාත් තුෂාර හමුදා සෙබළකු වීම නිසාත් රෝහල් ගත කිරීමට කිසිවකු ඉදිරිපත්ව නැත. ඒ අවස්ථාවේ යුද හමුදා සාමාජිකයින් කීපදෙනකු සිට ඇතත් ඔවුන්ද ඉදිරිපත් වී නැත.

මේ අවස්ථාවේ තරුණියන් දෙදෙනකු එම ස්ථානයේ සිටි පිරිසට ආයාචනා කරමින් රෝහල් ගත කිරීමට උදව් ඉල්ලා ඇතත් කිසිවෙකු ඉදිරිපත්ව නැත. 1990 හදිසි ගිලන් රථ සේවාවට දැනුම්දී ඇතත් ඔවුන්ද වෙනත් රෝගියකු රැගෙන යමින් සිට ඇත. එම තරුණියන් දෙදෙනා බිම වැටී සිටි තුෂාරට පවන් සලමින් පැය භාගයක් පමණ සිටියදී බස් නැවතුමේ සිටි වෙළඳසැල් හිමියන්ද එම ස්ථානයට පැමිණ ඇත්තේ සිද්ධිය ගැන විපරම් කිරීමටය.

කොරෝනා අවදානම නොසලකා හැර මනුස්සකමේ සුවඳ විහිදුවාලු දඹුල්ල තිත්තවල්ගොල්ල පදිංචි ආර්.ඩි.පියතිලක තරුණයා වහා ඉදිරිපත්ව එම අවස්ථාවේ බස් නැවතුම්පොළේ ව්‍යාපාරික කටයුතු කරන උදාර කසුන් දේවේන්ද්‍ර හා දිනුක ඩිල්ෂාන් දන්දෙනිය යන තරුණයින් තිදෙනා සමඟ එක්ව තුෂාරව ඔසවා ගෙන අසල ත්‍රී රෝද රථ ගාලේ සිටි විජේ මාමාගේ ත්‍රී රෝද රථයෙන් දඹුල්ල රෝහලට රැගෙන ගොස් ඇත. එත් තුෂාර ඒ වනවිටත් අකාරුණික ලෝකයෙන් සමුගෙන අවසන්ය. පියතිලක තිත්තවල්ගොල්ල කලාපයේ ජනතා විමුක්ති පෙරමුණේ සංවිධයක්වරයාය.දේවේන්ද්‍ර බස් නැවතුම්පොළේ සැලුන් එකක් පවත්වා ගෙන යන්නෙකි. දන්දෙනිය බස් නැවතුම්පොළේ ජංගම දුරකථන උපාංග අලෙවි කළමනාකරුවෙකි. තුෂාරව රැගෙන යාමට ඉදිරිපත්වූ ත්‍රී රෝද රථ රියදුරු විජේ මාමා කාගේත් හිතවතෙකි.

මියගිය තුෂාරගේ පශ්චාත් මරණ පරීක්ෂණය කිරීමට පෙර ඔහුගේ ජෛව සාම්පල් පරීක්ෂණයක් අධිකරණ වෛද්‍යවරුන් විසින් කර තිබේ. එහිදී තුෂාර කොරෝනා ආසාදිතයකු නොවන බවට තහවුරු වූ බව රෝහල් වෛද්‍ය අධිකාරී ප්‍රදීප් දිසානායක මහතා පැවසීය. මෙම සෙබලාගේ හදිසි මරණය මහත් ආන්දෝලනාත්මකව සමාජ මාධ්‍ය වල කතාබහට ලක්ව තිබිණි.

දඹුල්ල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ ඒකනායක මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර හදිසි මරණ පරීක්ෂණය දඹුල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක ජේ,ඩබ්ලිව්,ජේ,බණ්ඩාර මහතා විසින් පැවැත්විය. මෙහිදී මරණයට නිශ්චිත හේතුවක් නිගමනය නොකළ අතර මරණකරුගේ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සදහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පොලිසියට නියෝග කළේය. මුළු මහත් ලෝකයටම මනුස්සකමේ සුවඳ හා පුරවැසි වගකීමේ වටිනාකම පසක් කරමින් තුෂාර ජයසිංහ නම්වූ රණවිරුවා පල්ලේපොල පොදු සුසන භූමියේදී ඉකුත් 05 දින මිහිදන් කෙරිණි.

Comments