කොරෝනාවෙන් හුදෙකලා වුණු දළදා මාළිගාවේ තතු | සිළුමිණ

කොරෝනාවෙන් හුදෙකලා වුණු දළදා මාළිගාවේ තතු

මල්වතු අස්ගිරි මහ විහාරයන්හි භික්ෂුන් වහන්සේලා ශ්‍රී දළදා මාලිගාවේදි සතියක් පුරාවට රතන සූත්‍රය දේශනා කල අයුරු , නානුමුර මංගල්‍යයට පෙර ශබිද පූජාව පවත්වන හේවිසි බෙර වාදන කණ්ඩායම දළදා වහන්සේ වැඩ සිටින කුටිය වටා පැදකුණු කරමින් ශබිද පූජාව පවත්වන අයුරු

ලෝකයේ සොබා දහම හා බුදු දහම ගහයි පොත්තයි මෙනි.ගහට පොත්ත මෙන්ම පොත්තට ගහ සම්බන්ධ වෙමින් එකට වැඩෙන්නා සේම සොබා දහම හා බොදු දහම එකිනෙකට සමීපව ලොව පවතින්නේය. සොබා දහමට එරෙහිවීම බුදුදහමට එරෙහිවීමක් ලෙස සලකන්නට බෞද්ධයින් පුරුදුව සිටිති. සොබා දහමට එරෙහි වන්නන්ට සොබා දහමින් දඬුවම් කරන විට ඉන් බේරෙන්නට බොදු දහමේ පිළි සරණ සොයා ජනතාව කටයුතු කරන්නේ ඒ නිසාය.කොරෝනා වසංගතය, ලොව ජනතාව සොබා දහමට එරෙහිවීම නිසා සොබා දහම දුන් දඬුවමක් ලෙස බොහෝ අය සලකති. ඉන් බේරෙන්නට ලෝකයේ ජනතාවට බෞද්ධ සංස්කෘතියේ සිරිත් විරිත් මෙන්ම බුදු දහමේ උපදෙස් පිළිපදින්නට හා බුදු දහමේ සූත්‍ර දේශනා සඡ්ජායනය කරන්නට හා ශ්‍රවණය කරන්නට පෙලඹී සිටිති.

ගෞතම බුදුන්වහන්සේ ජීවමානව වැඩ සිටනවා යැයි බෞද්ධ බැතිමතුන් විශ්වාස කරන ශ්‍රී දළදා මාළිගාවද කොරෝනා වසංගතයෙන් ජන ශූන්‍යව පවති.

සාමාන්‍ය දිනවල දෙස් විදෙස් බැතිමතුන් දස දහස් ගණනකගේ ගෞරව වන්දනාවට පාත්‍ර වූ දළදා මාළිගාව තුළට එකදු බැතිමතෙකුටවත් පිටතින් ඇතුළු වන්නට අද වන විට ඉඩකඩ නොමැති වුවද දළදා වහන්සේ උදෙසා සිදුකරන පුද පූජා හා චාරිත්‍ර කිසිදු අඩුවකින් තොරව අදත් සිදු කෙරෙති.

ඒ පිළිබඳ තොරතුරු දැක බලා ගෙන සිළුමිණ පාඨකයින් වෙත ගෙන ඒමේ අදහසින් අපි ඉකුත් බදාදා මාළිගාවට ගියෙමු.

වෙනදාට බැතිමතුන්ගෙන් පිරී පවතින මාළිගාවේ අප යන විට සිටියේ කාර්ය මණ්ඩලය පමණි.ඔවුන් එදින නානුමුර මංගල්‍යයට සූදානම් වෙමින් සිටියේය. මේ ගැන අප ශ්‍රී දළදා මාළිගාවේ බෞද්ධ කටයුතු ලේකම් මීගහකුඹුර මහතා ගෙන් විමසිමක් කෙළෙමු.

"කොරෝනා වසංගතය නිසාවෙන් රටපුරා ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය නිසා ශ්‍රී දළදා මාළිගාවට එන බැතිමතුන්ටත් ඒ නීතියට එකඟ වෙන්න සිද්ධ වුණා. ඒ නිසා බැතිමතුන්ගෙන් තොර කලාපයක් බවට මාළිගාව පත් වුණා.

දැන් ඇඳිරි නීතිය ලිහිල් කරල තිබුණත් මාළිගාවට නොපැමිණ ආගමික වතාවත් ගෙවල් වල ඉදලා කරන්න කියල මහ නාහිමිවරු ඉල්ලීමක් කරල තියෙනවා. අපේ බෞද්ධ ජනතාව ඊට හොඳ ප්‍රතිචාරයක් දක්වල තියෙනවා. ඒ කොහොම වුණත් වසර 1700 ක් තිස්සේ ශ්‍රී දළදාවහන්සේ වෙනුවෙන් කෙරෙන පූජා චාරිත්‍ර අදත් අපි නොපිරිහෙළා ඉටු කරනවා.

සතියේ සෑම බදාදාම නානුමුර මංගල්‍ය පැවැත්වෙනවා. අදත් අපි මේ සුදානම් වන්නෙ ඒකටයි. මේ චාරිත්‍රය ජනතාවට විවෘත නැති රහස් චාරිත්‍රයක් විදියට තමයි සිද්ධ කරන්නෙ.

එදා බුදුන් දවස උන්වහන්සේගේ ස්නානය සඳහා ආනන්ද මහ තෙරුන් විසින් ඉටු කළ චාරිත්‍ර තමයි නානුමුර මංගල්‍යයේදි සිද්ධ කරන්නෙ. ඹෟෂධ වර්ග තිස් දෙකක් එකතු කරල සාදා ගන්නා නානු කට්ටියන රාළ විසින් තේවාව බාර නාහිමියන් වෙත පිළි ගැන්වීමෙන් පසුව තමයි රහසිගතව නානුමුර මංගල්‍යය සිද්ධ වෙන්නෙ.

නානුමුර මංගල්‍යයට පෙර මල් ආසනය ඇතුළු දළදා මන්දිරයේ සියලු තැන් පිරිසිදු කරල පංචතූර්ය වාදක කණ්ඩායම පංචතූර්ය වාදනය කරමින් දළදාවහන්සේ වැඩ සිටින මන්දිරය වටා තුන්වරක් පැදකුණු කරනවා යැයිද මීගහකුඹුර මහතා කීවේය.

කන්ද උඩරට රජකළ පළමු විමලධර්මසූරිය රජු විසින් වර්ෂ 1592 දී ඉදි කීරිමි ආරම්භ කළ ශ්‍රී දළදා මාළිගාව එතුමා විසින්ම 1595 වසරේදී විවෘත කළ බව දළදා ඉතිහාසයේ සදහන් වේ.

එසේ වුවද විටින් විට සිදුවු විවිධ ආක්‍රමණයන් නිසා අවස්ථා කීපයකදීම මාළිගවෙ විනාශයට ලක්ව වර්ෂ 1853 අප්‍රේල් 7 දින එවකට ඉංග්‍රීසි යටත්විජිත බාර මහ ලේකම්ගේ 152 වන රජාඥාාපත්‍රයේ නියමයන්ට අනුව දළදාවහන්සේ මල්වතු අස්ගිරි උභයමහ විහාරයන්ට හා දළදා මාළිගාවේ දියවඩන නිළමේට පවරනු ලැබ ඇත. එතැන් සිට වස් පෝයෙන් පෝයට තේවා මාරු කර ගනිමින් මල්වතු අස්ගිරි විහාරවල මහනායකහිමිවරුන් විසින් දළදාවහන්සේ වෙනුන් තේවාවන් සිද්ධ කරති.

මේ දිනවල ශ්‍රී දළදා මාළිගාවෙි තේවාව සිද්ධ වන්නෙ මල්වතු පාර්ශ්වය වෙනුවෙන් එම විහාර පාර්ශවයේ කාරක සංඝසභික තිබ්බටු⁣වාවේ මේධංකර නාහිමියන් විසිනි.

දිනපතා උදේ දහවල් හා සවස මාළිගාවෙි තේවාවන් නිසි පරිදි මේ දිනවලද පැවැත්වෙන බව දිවඩන නිළමේ නිලංග දෑල මහතා සිළුමිණ ට කීවේය.

"කොරෝනා වසංගතය නිසා මාළිගාවේ පුද පූජා පවත්වන්නට බැතිමතුන්ට අවස්ථාව නැති වුවත් කිසිම අඩුවක් නැතිව අපි මාළිගාවේ පුද පූජා චාරිත්‍ර ඉටු කරනවා.

උදෑසන කැඳ පිළියළ කරල පූජාව පවත්වනවා. දහවල් හාල් සේරු 32ක් හා ව්‍යංජන 32ක් කැවිලි වර්ග හයක් හතක් සහිතව පැරණි චාරිත්‍රාණුකූලව බුද්ධ පූජාව පවත්වනවා. සවසට ගිලන් පස පූජාවත් එහෙමයි.

පැරණි චාරිත්‍රයක් අනුව සවසට ගිලන්පස පූජා දෙකක් පැවැත්වෙනවා යැයි නිළමේවරයා කීවේය.

සාමාන්‍ය දවස්වලට විශාල වශයෙන් දෙස්වි දෙස් බැතිමතුන් දළදා මාළිගාවට පැමිණියත් මේ දිනවල එහෙම එන්න බෑ. නමුත් ලෝකයේම ජනතාව අසරණව ඉන්න මේ අවාසනාවන්ත අවස්ථාවෙි අපි මල්වතු අස්ගිරි විහාරවල භික්ෂූන් වහන්සේලා එක්ව ඉකුත් 18 දා ඉදල 24 දක්වා නොනවත්වා රතනසූත්‍ර දේශනාව සඡ්ජායනය කරල ආශිර්වාද කළා යැයි මලවතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් සිළුමිණ ට කීහ.

මේ ව්‍යසනකාරි අවස්ථාවේ ලෝ වැසි ජනතාව සියලු දුශ්චරිතයන් ගෙන් වැළකී යහපත් ක්‍රියාවන් වල යෙදිය යුතු බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.

අපේ රට මුහුණු දී ඇති මේ අවාසනාවන්ත අවස්ථාවේ රටේ ජනතාවගේ සුබසාධනය සඳහා මල්වතු මහ විහාරයෙන් රුපියල් ලක්ෂ පනහක්ද, අස්ගිරි මහ විහාරයෙන් රුපියල් ලක්ෂ පනහක්ද, ශ්‍රී දළදා මාළිගාවෙන් රුපියල් කෝටියක්ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බාරදීමද ඉකුත්දා සිදු විය.

Comments