කානු පතුලෙන් මතුවූ භූගත කිවියා | සිළුමිණ

කානු පතුලෙන් මතුවූ භූගත කිවියා

කවියට අර්ථ වදන් ගොඩකි; එයට පද්‍ය යැයි ද කියති. වෘත්තයක් අනුව නිවැරදි පාද සහිත රචනයට එම නම බැඳේ. කවිය, ගීය, ගාථාව හෝ ශ්ලෝක ඊට ඇතුළත්ය. එය ගායනයක් හෝ රචනයක් විය හැකිය. චමත්කාරය මතුකර පෙන්වීම කවිය ලෙස හඳුන්වන පිරිසක් ද සිටිති. ඔවුන්ගේ චමත්කාරයට මානුෂික දුක, වේදනාව, දුප්පත්කම, සමාජ අසාධාරණය අසු නොවේ. ඔවුනට දරිද්‍රතාවය චමත්කාරයක් ලෙස නොපෙනේ. එහෙයින් “කම්පනය වූ සංවේදි සිතක තත් ස්පර්ශ කළ විට නැඟෙන තාලයේ රිද්මයට ගලා හැලෙන වචන පෙළහර මා දකින කවිය යි” ලෙස “හතරැස් ලෝකය” පොතේ හඳුන්වා දී තිබෙන්නේ එහෙයිනි. මෙය අසුන්දරත්වයේ මා දකින සුන්දරත්වය යි. මින් ඉඟි කරන ප්‍රබල සාධකයක් ඇත. එය යම් කරුණක් පිළිබඳව හදිස්සියේ ඇතිවන මානසික පෙරළිය යි. එය පාලන තන්ත්‍රය වෙනස් කරලීම සඳහා කරන අරගලයක සේයාවක් වීමට ද පවතින ක්‍රමයට එරෙහිව විරුද්ධත්වය ප්‍රකාශ කරලීමේ මෙවලමක් ද විය හැකිය. පවතින ගතානුගතික අදහස් වලින් බැහැරව සිතීම යන්න ඉන් අදහස් කෙරේ. නිදසුනක් ලෙස දුප්පත්කම පෙර කළ අකුසලයක් හේතුවෙන් ඇතිවන්නක් නොව; සමාජ ක්‍රමයේ වරදක් හේතුවෙන් හෝ පුද්ගලයාගේ ක්‍රියාකලාපයේ වරදක් හේතුවෙන් සිදුවන්නක් ලෙස දැකීමයි. කාව්‍ය රචනයේ මේ ප්‍රවණතාවය අද ඊයෙක ඇති වූවක් නොවේ.

 

1971 කැරැල්ල; 1971 ජනතා නැගී සිටීම; 1971 චේගුවේරා කාරයන්ගේ සටන යන නොයෙක් නම් වලින් හැඳින් වූ එම අරගලය ආශ්‍රිතව හා පශ්චාත් අරගල සමයේත් කාව්‍ය හා සිතුවම් කලාවෙත් නව ප්‍රවණතාවක් ගොඩ නැගුණි. එමෙන්ම 1983 ජවිපෙ තහනම් කිරීමෙන් පසුත් විසිරී සිටි එම පාක්ෂිකයන්ට ජීවය සපයමින් ඔවුනොවුන් එක් කළ අපූරු සබැඳියාවක් කවිය තුළින් මතුවිය. 1989 නොවැම්බර් 13 විජේවීර ඝාතනයෙන් පසු එම සබැඳියාව ගොඩ නැගූ හුය වූයේ ද කවිය පමණක් වීම අතිශයෝක්තියක් නොවන්නේ ය. එ කල එක් වචනයක් හෝ ලිවීම මාරාන්තික ක්‍රියාවකි. එසේනම් මරණය තඹ දොයිතුවකට මායිම් නොකළ අයකු එය කළ යුතු ය. එහෙත් ඔහු දේශපාලනික නායකයකු නොවීය. එපමණක් නොව ඔහු එවකට ජවිපෙ සාමාජිකයකු ද නොවීය. ඔහුගේ දුම් පානයට ඇබ්බැහිවීම නමැති විනය විරෝධි ක්‍රියාවේ අත් නොහැරිය හැකි ඇබ්බැහිවීම හේතුකොට ගෙන පක්ෂය විසින් ඔහුව එම තත්ත්වයට පත් කර තිබුණි. එහෙත් ඔහු ආදරය කළ දැවැන්ත දේශපාලන කඳවුර ද එය ම විය. ඔහුට අවැසි වූයේ එම කඳවුරට ජීව වායුව දීම පමණකි.

ඔහු, මුතුමාලගේ ශ්‍රියන්ත රූපචන්ද්‍ර කුමාර වික්‍රමරත්න හෙවත් අම්බලන්ගොඩ චන්ද්‍රකුමාර වික්‍රමරත්න ය. චන්ද්‍රකුමාර උපන්නේ 1964 ජුනි 5 ගාල්ලේ අහංගමදීය. මව චන්ද්‍රලාතාද සිල්වා වූ අතර පියා ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් කොන්දොස්තරවරයෙක් විය. චන්ද්‍රකුමාරට ඔහුට වඩා වැඩිමහල් සොහොයුරියක් සහ බාල සොහොයුරන් දෙදෙනෙක් විය. කුඩා කාලයේදීම පියා මව අතහැර වෙනත් පවුල් ජීවිතයක් සදහා නික්ම ගියේය. සිය දරුවන් පෝෂණය කිරීම සදහා චන්ද්‍රකුමාරගේ මව අනේක දුක් වින්දාය.චන්ද්‍රකුමාර පුවත්පතකට අදුරේ සිට ලියමි මැයින් ලියන ලද කෙටි කථාවක මෙසේ සදහන්ය.“......රාත්‍රියේත් දවාලෙත් එළිපිටවත් රහසිගතවත් අපේ ගෙදරට අම්මා සොයා ආ මිනිසුන් මඟ තොටේදී මට හමුවේ..... රාත්‍රියට රොටියක්ද අම්මා ගෙන් මට ලැබුණේ කෙසේද යන්න වග දැන්නම් මට නිරවුල්ව සිතා ගත හැකිය. ඒ සමඟම ඔබ විසින් මට සමාවිය යුතුය. මා මින් අදහස් කරන්නේ මාගේ අම්මාට අපහාස කිරීමටනම් නොවේ......" ඔහුට වයස අවුරුදු 13ක් වන විටදී චන්ද්‍රකුමාරගේ අම්මා සියදිවි නසා ගත්තාය. එහෙත් පිළිස්සුම් තුවාල වලින් එකවර ඇය මිය ගියේ නැත. පසුව ඇය මියගියේ මාස තුනකට පසුවය.

මව අහිමිවීමෙන් පසු චන්ද්‍රකුමාර ඇතුළු සොයුරු සොහොයුරියන්ට සිදුවුයේ අම්බලන්ගොඩ පොල්වත්තේ සිටි පුංචි අම්මා කෙනෙකුගේ නිවසට පැමිණීමටය. ඒ 1977දීය. පසු කළෙක ඔහුට සිදු වූයේ මාළු විකුණන කඩයක ළමා සේවකයෙකු ලෙස දුෂ්කර වැඩවල නිරතවීමය. චන්ද්‍රකුමාරගේ සොහොයුරියට උරුම වූයේ ඥාති නිවසක කුස්සියේ ඉවුම් පිහුම්වලට හවුල්වීමටය. බාල සොහොයුරන් දෙදෙනාම මෝටර් රථ ගරාජයක ඇණ මුරිච්චි ගැලවීමට බාස්ලාට උදව් විය. පියා මව අතහැර යාමෙන් පසු අසරණ වූ මවද මියයෑමෙන් චන්ද්‍රකුමාරගේ සොයුර සොහොයුරියෝ සීසීකඩ විය.

කරිත්තකන්ද පන්සල සමඟ චන්ද්‍රකුමාරගේ ඇති වූ සමීප සම්බන්ධතාවය ඔහුගේ ජීවිතයේ නව පරිච්ඡේදයක් විවර කළේය. අම්බලන්ගොඩ පොල්වත්තේ අරියචන්ද්‍ර නමින් 1978දී අම්බලන්ගොඩ පුරාණ සුභද්‍රාරාමයේදී (කරිත්තකන්ද) පන්සලේදීම පැවිදි විය.1978 උපවැදිව කුඩා වයසින්ම දේශපාලන කටයුතු වලට සම්බන්ධ විය. කුඩා කල ගත කළ අති දුෂ්කර ජීවිතය හේතුවෙන් ඔහු බොහෝ දුක් පීඩා විඳි බව ඔහුගේ නිර්මාණ තුළින් පසක් වේ. තම ස්වොත්සාහයෙන් ඉගෙනීම සිදුකර ඇත්තේ කියවීම තුළිනි. ඔහු දක්ෂ ගද්‍ය හා පද්‍ය රචකයකු බවට පත්වීම ට එම කැපවීම ඉවහල් විය. පසුව උල්පත, විනිවිද, ලක්මිණ හරහා එවකට දිවයින පත්තරේ අටවන පිටුව, ලක්දිව පුවත්පත, රාවය හා නවලිය පුවත්පත සඳහා ද ඔහු භූගත ගරිල්ලෙකු මෙන් සිටිමින් කවි ලිව්වේ ය. ඔහු එවන කවි ඵල කිරීමට පුවත් පත් සැදී පැහැදී සිටියෝය. ඊට ප්‍රධාන හේතුවක් විය. එනම් ජවිපෙ වෙනුවෙන් යන්තමකට හෝ ලබැඳියාවක් තිබූ විමුක්තිකාමීන්ට චන්ද්‍රකුමාර ලියන කවි දිව්‍ය අහරක් මෙන් වීම ය. එහෙයින් එම කවි ඵල වූ දිනවල පුවත්පත් ඉතිරි වීමක් සිදු නොවුණි. එය දැකීම කියවීම ඔවුනට ජීවය සපයන්නක් විය. 1991 මැයි අවසානයෙන් පසු චන්ද්‍රකුමාර දැක ගැනීමට නොහැකි විය.

එමෙන්ම ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න රචනා කළ ජ.වි.පෙ 2වැනි කැරැල්ල ග්‍රන්ථයේ ඔහු වෙනුවෙන් පිටු කිහිපයක් වෙන් කර තිබූ අතර, ඡායාරූප 4ක් ද යොදා තිබුණි. චන්ද්‍රකුමාරගේ ප්‍රේමය බිඳ වැටීම හේතුවෙන් ඔහු බොහෝ විරහ වේදනාවන්ට ලක්ව තිබේ. ජ.වි.පෙ දෙවන කැරැල්ලේ පරාජයත් සමග ම ඔහු පසුව පක්ෂය සමඟ හිතවත්කම් පැවැත්වූ පවුලක තරුණියක් සමග ආවාහ වී ඇත. පවුලේ ආරවුලක් මත නිවසින් පිටවන ඔහුගේ සිරුර යයි කියන වෙඩි තබා මරා දැමූ පුද්ගලයෙකුගේ සිරුරක් පසුව හමුව තිබේ. ඔත්තුවක් අනුව අත්අඩංගුවට පත්වීමෙන් පසුව 1991 ජූනි මාසයේ අග දිනක පොළොන්නරුවේ මැදිරිගියේ දී මෙය සිදුව ඇති බව එහි 850 පිටුවේ සඳහන් වේ. ඔහුගේ ම “සටනින් සටන” නමින් ජවිපෙ 2 කැරැල්ල දෙවැනි කාණ්ඩයේ ද චන්ද්‍රකුමාර පිළිබඳව තොරතුරු සඳහන් ය. චන්ද්‍රකුමාර ගේ කවි; ජීවිතයට ආදරය කරන්නට ද ජීවිතය හා බැඳෙන්නට ද ජනතාවට ඉගැන්නුවේය. සමාජයේ ප්‍රශ්න විසඳීමට සමාජ ක්‍රමයේ පෙරළියක් ඔහු බලාපොරොත්තු විය. එම පෙරළිකාර ලේඛන කලාවේ කලාත්මක භාවිතයේ පුරෝගාමිත්වය ඔහු අතට පත්ව තිබිණි. එයට දයාසේන ගුණසිංහ, සුනිල් මාධව ප්‍රේමතිලක, ධර්මසිරි ගමගේ ගෙන් ඔහුට උදව් ලැබී තිබුණි.

චන්ද්‍රකුමාරගෙන් පසු ඔහුගේ කාව්‍ය රීතින්; අදහස්; ගොනුකිරීම; නිදසුන්; අර්ථ ඇතුළු ඔහුගේ ම කාබන් කොපි බවට පත්වෙමින් සමාජගත වීමට තැත් කළ නව පරපුරක් බිහිවිය. එය නම් වශයෙන් සඳහන් කිරීමට නොහැකි වූ තරම් අති විශාල ප්‍රමාණයකි. මහගම සේකර කවියා 1976 ජනවාරි 14 දින රාත්‍රී නවයහමාරට අවසන් කළ සේකර ආඛ්‍යානය රැගෙන යාමට සිටි පිරිස හා සමාන යැයි කීවද එය අතිශ්‍යෝක්තියක් නොවන්නේ ය. සේකර මිය යන විට කාව්‍ය ග්‍රන්ථ, කෙටි කතා, චිත්‍රපට, ගීත, නාට්‍ය , චිත්‍ර, පොත් පිටකවර හා ප්‍රවීණයන්ගේ නිර්මාණවලට දායක වීම ඇතුළු විශාල ක්‍රම ගණනාවකින් සමාජගත වූ යෝධයෙකි.

එහෙත් චන්ද්‍රකුමාර වික්‍රමරත්න ඉහත සඳහන් එකදු ක්‍රමයකින්වත් සමාජගත වූවකු නොවීය. මියගිය වේලාවක්, දිනයක් හෝ පාසල් අස්වීම් සහතිකයක්වත් නොතිබුණ චන්ද්‍රකුමාර ට එවැනි සමාජ පිළිගැනීමක් පැමිණියේ කෙසේද? ඔහු අසිපතක් මෙන් පැතිරී විහිදී යන ආකාරයෙන් ඔහුගේ බාල පැන්සල් කොටය හෝ බෝල් පොයින්ට් පෑන හැසිරවීම නිසාවෙන් ඔහු ඒ තත්ත්වයට පත්ව තිබුණි. ඔහු අතුරුදහන් වී වසර නවයකට පසු චන්ද්‍රකුමාර යුගයේ බිහි වූ කේ. කේ. සමන් කුමාර ගේ කුළුදුල් කාව්‍ය ග්‍රන්ථය පන්හිඳ ප්‍රකාශකයක් ලෙස නිකුත් විය. (2000 මැයි) එය නම් කර තිබුණේ “නගා මැරූ අල” නමිනි. එහි පිදුම “අවසර සකිසඳ (අවසර උතුම් මිත්‍රය) චන්ද්‍රකුමාර වික්‍රමරත්න” වෙත ඉතා හෘදයාංගමව පිටු 4ක් පුරා විහිදී තිබුණි. මේ ඉන් සුළු කොටසකි.

 

“යුගයේ කවියා කියා කුරුසයක

ඇණ ගසා තියෙද්දීත්

ආදරය පොදක් ඉල්ලුව

නුඹේ අහිංසක ඇස්

ගොම්මන් මන්දාරම් මැදින්

දිලිසෙනව මට පේනව

චන්දරේ......”

 

නූතන කවීහු බොහොමයක් චන්ද්‍රකුමාරගේ අඩිපාරේ යමින් ඔවුහු නිකුත් කළ කාව්‍ය ග්‍රන්ථ ගණනාවක ම පිදුම ලෙස ඔහුගේ නාමය යොදා තිබුණි. ඔහුගේ කවි අලුතින් මුද්‍රණය කරන පත්තර; කුඩා පත්තර; සඟරා; පාසල් සඟරා; අතිරේක පන්ති අත් පත්‍රිකා අතර ද භාවිතයට ගැණුනි. ඒ සඳහා කතුවරයාගේ අවසර ගැනීමට අවැසි නොවීය. කතුවරයා අතුරුදහන් බව ඒ වන විට රට ම දැන සිටියේ ය.

ඔහුගේ කවි පුවත්පත්වලින් කපා එක් කළ පිරිස් විය. එවැනි පුද්ගලයෙකු වූ ජයසිරි ජයසේකර එකතු කළ කවි පොතක් සාදා මා හට ද ලැබීමට සලස්වා තිබිණි. ඔහු මට “කොම්රේඩ්” නව කතාව ලිවීමට කරුණු සෙවීමේ දී හමු වූ සහෘදයෙකි. සිරගෙදර සිට පත්තරවල පළ වූ චන්ද්‍රකුමාරගේ කවි අතින් ලියා කවි පොතක් මහේෂ් කුමාරට ලැබී තිබුණේ “භූගත කවිසිත” පොත සකස් කිරීමේ දී ය. ඔහු ප්‍රථමයෙන් චන්ද්‍රකුමාරගේ කවියක් දකින්නේ 1971 අප්‍රේල් විරුවන් වෙනුවෙන් චන්ද්‍රකුමාර ලියපු කවියකි. එහි නැවත පළ කිරීම සිදුව ඇත්තේ “සිතිජය” සඟරාවේ ය. එය කියවූ මහේෂ් කුමාරට මෙම අපූරු කවියාගේ ජීවිත මංපෙත් සෙවීමට ආශාවක් හා උනන්දුවක් ඇතිවිය. එය ඔහු එවකට සම්බන්ධව සිටි ජ.වි.පෙ. සමාජවාදි කලා සංගමයට දන්වා තිබුණි. එය එවකට විමල් වීරවංශ නායකත්වය ගෙන කටයුතු කළ සංගමයකි. 2008 දී ඔහු පක්ෂයෙන් ඉවත් වීම නිසා පුබුදු ජාගොඩට එම කාර්යයේ මූලිකත්වය හිමිවිය.

ඔවුන්ගේ අධිෂ්ඨානය වූයේ එම කවි එකතු කර ඔහුගේ ජීවන තතු ද එකතු කර පොතක් මුද්‍රණය කිරීම ය. ඒ වෙනුවෙන් පුස්තකාලවලට හා ලේඛනාරක්ෂකයට ගොස් පරණ පත්තර සඟරා පීරා චන්ද්‍රකුමාර වික්‍රමරත්න නාමය යටින් සඳහන් කර ඇති පද්‍ය හා ගද්‍ය නිර්මාණ එකතු කෙරුණි. ඔවුහු අම්බලන්ගොඩ, ගාල්ල, මාතලේ, නුවර, පොලොන්නරුව, ඇතුළු ප්‍රදේශ ගණනාවකට ගොස් විස්තර සෙවීමේ කටයුත්තේ නිරත වූහ. ඒ වන විට එම උත්සාහයට අත ගැසූ තවත් පිරිස් ද ඔවුන්ට හමුව තිබුණි. කෙසේ නමුත් නියමුවා ප්‍රකාශනයක් ලෙස එම එකතුව “භූගත කවි සිත” නමින් 2009 සැප්තැම්බර් මස දිනක ජනගත කෙරුණි. මම ඔහුව හඳුනා ගත්තේ 1978 වසරේ දී ය. එවිට ඔහු 14වන වියේ පසුවිය. එතැන් පටන් 1983 වන තෙක් අප එකට දේශපාලන සඟයන් ලෙස නිතර හමුවිය.

තම සමීපතමයින් ට “කොම්රේඩ්” යැයි ඉමහත් භක්තියාදරයෙන් ඔහු අමතන්නට පුරුදු වී තිබුණි. ඔහු කියවූ රුසියන් පරිවර්තන ග්‍රන්ථයන් හි කොම්රේඩ් නාමය දැකීමෙනි. මම ඔහු දුටුවේ 1983 ජවිපෙ තහනමින් පසු ගල්කිස්ස කොට්ටාව අතර දුවන ඉතා කුඩා වෑන් රථය පිළියන්දල මගීන් පටවා ගැනීමට ඊළඟ බසය පැමිණෙන තෙක් නතර කර තිබියදී රබානක් වයමින් නන්දා මාලනී ගේ “බෝමැඩ නාවන කිරිකල දහසින් ” ගීතය ගායනා කරමින් බසයට මුදල් එකතු කිරීමට පැමිණිමෙනි. නැවත අවස්ථා ගණනාවකදී සුවඳ දුම්, මැටි බඳුන්, පළතුරු හා මාළු වෙළෙන්දෙක් ලෙස විවිධ චරිත මවමින් මට ඔහු හමුවිය. මා සහ චන්ද්‍රකුමාර 1985 සිට වසර ගණනාවක් ජයන්ත චන්ද්‍රසිරිගේ “අත්” නාට්‍ය හා එක්ව අත්වැල් බැඳන් රට වටේ ගිය මතකයන් මා සතුව තිබුණි. අතිරේක නළුවෙක් ලෙස ජයන්ත චන්ද්‍රසිරිගේ නියෝගයෙන් නාට්‍ය කණ්ඩායමට පැමිණි පැරිෂූට් නළුවා ඔහු ය. නාට්‍ය ආරම්භ වූ වහාම ඔහු නාට්‍යට පැමිණියේ ජයන්තගේ පුද්ගලික හිතවත්කම උඩ ය. ඔහුට තිබුණේ සුළු චරිතයකි. එමෙන් ම ලිපිනයක් නොමැති එකම නළුවා ද ඔහු විය.

ඔහුට ලිපිනයක් නොතිබුණ ද රටක් තිබුණි.

 

එකම අපායක අප හැම දැවෙන සඳ

වෙනම අපායක ඉන්නට පතයි නුඹ

අපා දෙකක කිරුළ ට යුද වදින සද

කඳුළු කඳුළු ම ය කාගේ වුවද මට

 

පැලී විවර වූ ළයකින් නඟන හඬ

මගෙ ළය පැළුණු විට නඟනා හඬය මට

ඔබත් මමත් උන් තුන් පිලකම වු වද

ඔබෙ මරණයත් මගෙ මරණය සේය මට

 

චන්ද්‍රකුමාර උතුරේ දමිල ජනයා කෙරෙහිත් හමුදාව හා පොලීසියේ සටන් වදින සෙබලා දෙසත් අරගල සමයේ ජවිපෙන් මැරූ නන්දන මාරසිංහ හා හමුදා සෙබලුන්ගේ ඥාතීන් දෙසත් එමෙන් ම හමුදාවෙන් හා වෙනත් සංවිධාන වලින් මරා දැමූ ජවිපෙ ක්‍රියාකාරීන්ගේ මරණ දෙසත් එක හා සමානව දයානුකම්පිතව බැලීමේ විරල ගතියක් තිබූ අසම සම කවියෙකු බව රටට පෙන්වා ඇත.

ඉහත කවිය එයට කදිම නිදසුනකි. එම අසම සම ගොඩනැගීම බිහිවූ දරිද්‍රතාවයේ අත්දැකීම කියාපාන ඔහුගේ තවත් නිර්මාණයකි මෙය.

 

දොරකඩ ගහේ මල් පඳුරේ මලට එන

සමනලයිනේ නොදනි ද මග කොළඹ යන

අද රෑ කියන අම්මාගේ මතක බණ

කොළඹ ට ගිහින් අප්පච්චිට කියනවද

 

අමාවකේ හීන ඇවිත් මල්ලී බය කරනා

රෑ මුදුනට කවි කියන්න

දැන් ගෙයි කවුරුවත් නෑ

අද රෑටත් නෑදෑයෝ පැල තුළ නිදි වරනා

අපට දැනෙන කළුවර හෙට

කොහොමවේද මන්දා

 

සමනලුනේ හෙමින් හෙමින්

හිරු පල්ලම් බසිනා

අම්මාගේ සුවඳ පාළු සඳ මුදුනේ රැදෙනා

පහන් වෙන්න කලියෙන් හෙට

සොහොන්පලට පැමිණා

අප්පච්චියේ හිර ගෙදරට

අපිත් එක්ක යන්නා

 

චන්ද්‍රකුමාර තම මව ගැන අවස්ථා කිහිපයකදී ඔහුගේ ගද්‍ය හා පද්‍ය රචනා තුළින් ඉදිරිපත් කර තිබුණ ද ඔහුගේ පියා ගැන සඳහන්ව ඇත්තේ මේ කවියෙනි. එහෙත් මෙය ප්‍රබන්ධයක් විය හැකිය. එහෙත් ඒ ප්‍රබන්ධයේ තියෙන්නා වූ අත්දැකීම් සමූහයක තැවරුණු සුවඳ ඉවත්ව නැත. කෙසේ නමුත් ඔහුගේ පියා දරුවන් සතර දෙනා හා මව අතහැර දමා ගිය බව නම් ඇත්ත ය. ඔහුට දැනුණ 1989 භීෂණ සමය මෙසේ ය.

 

කඩා නටුවකින් දඩයම් කළ මලක

සපා කෑ පියලි බිම ගිලිහෙන රැයක

නිදහස සිහිනයක් යැයි පවසන ලෙසක

ඉතිහාසය ම තිබුණේ දඩයම් බිමක

 

ඔහු ඝාතන සංස්කෘතිය ට ම එරෙහි විය. 1983 දී ජවිපෙ තහනම් කිරීම තුළින් ඔවුහු රහසිගත දේශපාලනයට යොමු විය. එහෙයින් ඔවුන්ගේ සඟයන් මරා දමද්දී ඔවුන් වෙනුවෙන් ලිවීමේ කටයුත්ත අත නොහැරියේ ය.

භීෂණයේ අවසන් දින කිහිපයේ 1990 ඔක්තෝම්බර් 7 දින පුවත්පතකට චන්ද්‍රකුමාර මෙසේ ලියා තිබිණි.

 

ඉතිහාසයේ අඳුරු කඩදොරක

කඳුළු ගුරු කොට නැගුණු

මහා අරගලයකින් අනතුරුව

නිහඬ සුන්බුන් අතර

හුදකලා වූ අපට - සිතන්නට

බොහෝ දෑ නම් - ඉතිරි වී තිබේ

හැමදේම ඉතිහාසය විසින් -

විනිශ්චය කරන තුරු

මම මගේ සාක්ෂිය - සටහන් කොට තබමි

ඔවුහු

කැරලිකරුවෝ නොවෙති - හිමිකරුවෝ ය

ඔවුහු

ත්‍රස්තවාදී නොවෙති - සත්‍යවාදිහු වෙති

ලේ වලින් පෙඟී ගිය - දශක දෙක උන්

විසින්

අනාගතයට පිදූ - ප්‍රදීපාලෝකයකි

සියලු මළවුනි - නුඹලා නිදොස් ය.

 

“කොම්රේඩ්” නවකතාව චන්ද්‍රකුමාගේ ප්‍රේමය අළලා ලියූවකි. එහි පිදුම ඔහු වෙනුවෙන් ම වෙන් විය. එය නව කතාවක් වෙනුවෙන් ඔහු පිදුම් ලැබූ ප්‍රථම ග්‍රන්ථය විය. කෙසේ නමුත් චන්ද්‍රකුමාර අතුරුදහන්ව වසර 29ක් ගතවන මෙම මාසයටත් ඔහුව අමතක කළ නොහැකි චරිතයක් බවට ඔහුව පත්ව තිබීම අමතක කළ නොහැකි ගොඩනැගීමකි.

 

Comments