ලෝකයේ ෆාමසිය පඹ ගාලක | සිළුමිණ

ලෝකයේ ෆාමසිය පඹ ගාලක

ඉන්දියාව ලෝකයේ ෆාමසියයි. එසේ කියන්නේ එය ලෝකයේ රටවල් 127කටම ඖෂධ අපනයනය කරන නිසාය. තර්කය සාධාරණය. එහෙයින් මේ විරුදාවලිය තම රටට දමාගත් අගමැති නරේන්ද්‍ර මෝදිට විරුද්ධත්වයක් ප්‍රකාශ වන්නේ නැත. ලෝකයේ ෆාමසිය නිසාම ඉන්දියාවට හිමිවන තැන ඉතා වැදගත්ය. අනික් අතට ලෝකයේ රටවල් 127කටම අත්‍යවශ්‍ය රටක් වන බැවින් පාඩුවේ ඉන්නටද ඉඩ ලැබෙන්නේ නැත. කොවිඩ් රෝගීන් වාර්තා වීම ආරම්භ වූ පසු ඉන්දියාව වසා දැමුණේ විශේෂයෙන්ම එරට නිෂ්පාදනය කරන ඖෂධ රටේ පරිභෝජනයට ගැනීමද අපේක්ෂා කරමිනි. එහෙත් අගමැති නරේන්ද්‍ර මෝදිට එම තීරණය වෙනස් කරමින් යළි ඖෂධ අපනයනය ආරම්භ කිරීමට සිදුවූයේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ තර්ජන හේතුවෙනි.

මෙහි යටි පෙළේ ප්‍රකාශ වන අර්ථ දෙකකි. එනම් ඉන්දියාවට ස්වාධීන තීරණ ක්‍රියාත්මක කිරීමට ඇති නොහැකියාවයි. අනෙක් අතට ඉන්දියාව ලෝකයෙන් බාගයක් රටවලට අත්‍යවශ්‍ය රටක් බවට පත්ව තිබීමයි. එය ඉන්දියාවේ ආර්ථිකයට කොතරම් ශක්තියක්ද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. අපේ අසල්වැසියා, දකුණු ආසියාවේ ප්‍රබලයා එතරම් ශක්තිවන්තයකු වීම සම්බන්ධව අපටද සතුටු විය හැකිය.

එසේ වුවද ඉන්දියාවේ කොවිඩ් පැතිරීමේ වාතාවරණය සම්බන්ධයෙන් නම් මේ වන විට පවතින්නේ අනතුරුදායක තත්ත්වයකි. එකම සැනසිලිදායක කරුණ වී ඇත්තේ මේ වන විටත් එරට මරණ සංඛ්‍යාව ආසාදිතයන්ගේ සංඛ්‍යාවට සාපේක්ෂව අවම මට්ටමක පැවතීමය. එය ඉන්දියාවේ සෞඛ්‍ය සේවයේ ශක්තිමත් බවට නිහඩ නිදසුන් සපයන අතර සැබවින්ම එය මේ මොහොත වන විට අමෙරිකාවේ සෞඛ්‍ය සේවාවටත් වඩා යහපත් බව පැවසිය හැකිය.

පසුගිය මැයි මස 5වැනි දින වන විට ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 47,300කි. එහෙත් මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 1,488ක් වශයෙනි. මේ වන විට මුළු ඉන්දියාව ලොක්ඩවුන් කර මාස දෙකකට අධික කාලයක් ගත වී ඇති අතර ජනතාවගේ යම් යම් විරෝධතා හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල නීති කිසියම් ලිහිල් කිරීමකට රජය කටයුතු කර තිබේ.

එහෙත් ඉන්දියාවෙන් ලැබෙන වාර්තා අනුව මේ වන විටත් රටේ ජනාධික ප්‍රදේශවල සහ වයිරසය වැඩියෙන් ව්‍යප්ත වන ප්‍රදේශවලට වැඩි අවධානයක් ලබා දෙමින් වයිරසයේ පැතිරීම පාලනය කිරීමට විධිමත් ක්‍රියාමාර්ග රජය විසින් ගනු ලබමින් සිටී. එසේ වුවද කණගාටුවට හේතු සපයමින් ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වන කොවිඩ් රෝගීන් දහස් ගණනින් ඉහළ නගිමින් සිටී.

පසුගිය සඳුදා දිනයේ පමණක් ඉන්දියාවෙන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 3,900කි. එය සුබ ලකුණක් නොවන්නේ ආසාධිතයන් වැඩිවීම යනු ඉදිරියේදී මරණ වැඩිවීම බැවිනි. එදින වාර්තා වූ මරණ සංඛ්‍යාව 195ක් වූ අතර එය මෙතෙක් ඉන්දියාවෙන් එක් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයන් සහ වැඩිම මරණ සංඛ්‍යාව වේ. මෙය කිසිසේත් සුබ ලකුණක් නම් වන්නේ නැත.

ඉන්දීය මධ්‍යම රජය විසින් තම ප්‍රදේශවල කොවිඩ් පාලනය කිරීමේ වගකීම ප්‍රාන්ත රජයන් වෙත ලබා දී ඇති අතර ඒ අනුව වඩා ශක්තිමත් සහ එක් එක් ප්‍රාන්තවලට ආවේනික සහ යෝග්‍ය ක්‍රම උපයෝගී කර ගනිමින් කොවිඩ් පාලනය කිරීමේ කටයුතු සිදුවෙමින් පවතිනු දැකිය හැකි වේ. එය කිසියම් සාධනීය ලක්ෂණයක් වුවද මේ කිසිවක් තවමත් සාර්ථක වී නොමැති බව පෙනෙන්නේ දිනෙන් දින ඉහළ යන ආසාදිතයන් සංඛ්‍යාව හේතුවෙනි.

කර්ණාටක්, රාජස්ථාන් සහ මධ්‍ය ප්‍රදේශ් යන ප්‍රාන්තයන්හි ආසාදිතයන් සංඛ්‍යාවේ කිසියම් පාලනයක් දැකිය හැකි වුවද තමිල්නාඩුව සහ දිල්ලිය සම්බන්ධයෙන් එය එතරම් සාර්ථක වී නැත. කර්ණාකටක් ප්‍රාන්තය මේ වන විට සියලුම ජනතාවට මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ.

මේ අතර වෙනත් ප්‍රාන්තවල සිට නාගරික ප්‍රදේශ කරා සංක්‍රමණය වූ ශ්‍රමිකයන්ගේ ගැටලුවද ඉන්දීය රජයට ප්‍රභල අභියෝගයක් වී තිබේ. මේ ජනතාව ආරක්ෂිතව තම නිවෙස් කරා යැවීමට තවමත් නොහැකි වී ඇති අතර ඔවුන් පාලනය කිරීමට අමතර ශක්තියක් දැරීමට පොලීසියට සිදු වී තිබේ. මේ ශ්‍රමිකයන් හේතුවෙන් රෝගය තවත් පැතිරීමේ අවස්ථා පුළුල් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

දැනට පවතින වාතාවරණයේ කණගාටුදායකම පරිච්ඡේදය දිල්ලියෙන් වාර්තා වන අතර දිල්ලි මහඇමති අරවින්ද් කෙජ්රිවාල් තම උපරිමය තමන්ගේ ජනතාව වෙනුවෙන් ඉටු කිරීමට වෙර දරුණු දැක ගත හැකිය. එහෙත් කණගාටුව වන්නේ එතරම් විශාල ජනගහණයක් සහ එතරම් අවම පහසුකමින් යුතු දැවැන්ත ප්‍රදේශයක කොවිඩ් වැනි වයිරසයක් පැතිරීම වැළැක්වීම පහසු කරුණක් නොවීමයි.

දැනට දක්නට ලැබෙන කරුණු අනුව පෙනී යන්නේ ඉන්දියාවේ අනාගතය සුබදායක නොවන බවයි.එහෙත් ආසාදිතයන් සංඛ්‍යාව කොතරම් ඉහළ ගියද මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට ඉන්දීය සෞඛ්‍ය සේවය සමත් වන්නේ නම් කිසියම් සැනසිල්ලක් උදා කර ගත හැකි වනු ඇත.

 

Comments