සේවක රැකියා අහිමි නොවන බවට හාම්පුතුන් පොරොන්දු වුණා | සිළුමිණ

සේවක රැකියා අහිමි නොවන බවට හාම්පුතුන් පොරොන්දු වුණා

කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම නිසා රටේ ආයතන විවිධ බලපෑමට ලක් වුවත් මෙරට පෞද්ගලික අංශයේ කිසිම සේවකයකුට රැකියා අහිමි නොවන බව ලංකා හාම්පුතුන්ගේ සම්මේලනය පොරොන්දු වී ඇතැයි නිපුණතා සංවර්ධන රැකීරක්ෂා කටයුතු හා කම්කරු සබඳතා ඇමැති දිනේෂ් ගුණවර්ධන පවසයි.

ඒ අනුව ආයෝජන සංවර්ධන මණ්ඩලය ඇතුළු පෞද්ගලික සමාගම් හා සියලු පෞද්ගලික ආයතනවල සේවකයන්ගේ රැකියා සුරක්ෂිත කිරීමට රජය කටයුතු කරන බවත් ඒ සියලු සේවකයන්ට සේවයේ යෙදෙන කාල සීමාව සඳහා සේවා ගිවිසුම් අනුව වැටුප් හා දීමනා ගෙවිය යුතු බවත් ඇමැතිවරයා පවසයි. එමෙන්ම සේවයට වාර්තා නොකොට නිවසේ රැඳි සිටි කාලය සඳහා වැටුපෙන් සියයට 50 ක් හෝ රුපියල් 14500 යන ගෙවීම් දෙකෙන් වැඩි මුදලක් ගෙවීමටත් හාම්පුතුන්ගේ සම්මේලනය පොරොන්දු වී තිබේ. පෞද්ගලික අංශයේ සියලු සේවකයන් සඳහා නොකඩවා අර්ථසාධක අරමුදල් හා සේවක භාරකාර අරමුදල් නිසි පරිදි තැන්පත් කිරීමටද තීරණය කෙරුණි.

ළැඹෙන සතියේ සිට මෙරට පෞද්ගලික ආයතන සියල්ල ආරම්භ කිරීම පිළිබඳ ඇමතිවරයා, හාම්පුතුන්ගේ සම්මේලනය, වෘත්තිය සමිති හා කම්කරු අමාත්‍යාංශය එක්ව පැවැති කාර්යය සාධක කමිටු සාකච්ඡාවකදී මෙම තිරණ වලට එලැඹී ඇත.

ඒ අනුව 11 වැනිදා සිට ආයෝජන සංවර්ධන මණ්ඩලය ඇතුළු රටේ සියලු පෞද්ගලික ආයතන සෞඛ්‍ය උපදෙස් වලට මුල්තැන දෙමින් යළි සේවා කටයුතු ආරම්භ කිරීමට ද කාර්යය සාධක කමිටුව තීරණය කළේය. සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් ආයතනික රාජකාරිය කිරීමටත්, අවශ්‍යතා අනුව සේවා මුර ක්‍රමය භාවිත කිරීමටත් මෙහිදි තීරණය කළ බව ඇමැතිවරයා පවසයි.

Comments