රාජ්‍ය සහ පෞද්ගලික අංශ වැඩ සඳුදා සිට යළි ඇරැඹෙයි | සිළුමිණ

රාජ්‍ය සහ පෞද්ගලික අංශ වැඩ සඳුදා සිට යළි ඇරැඹෙයි

දිවයින පුරා බලපවත්වන ඇඳිරි නීතිය 11 සඳුදා ඉවත් කිරීමට නියමිත අතර වාණිජ නගරය මෙන්ම ජනතා අවශ්‍යතා හා සේවා බහුල ප්‍රමාණයක් සපයනු ලබන බස්නාහිර පළාතේ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය ක්‍රියාපටිපාටි මේ වන විට ගනිමින් තිබෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මේ ක්‍රියාදාමය සකස් කෙරෙන්නේ යම් හෙයකින් ඇඳිරි නීතිය පැනවුවද කොළඹ ඇතුළු අත්‍යවශ්‍ය නගරවල සේවාවන් පහසු කිරීමට හැකි වන පරිදිය.

එම සැලසුම් ක්‍රියාදාමයට අදාළව විශේෂ ගැසට් පත්‍රයක්ද නිකුත් කෙරෙන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙයි. නිරෝධායන රෙගුලාසි ද ඇතුළත්ව නිකුත් කෙරෙන මේ ගැසට් පත්‍රය අනුව සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කළ යුතු ආකාරය පොදු ප්‍රවාහන සේවා භාවිත කළ යුතු ආකාරය වෙළෙදසල් විවෘත කළ යුතු ආකාරය හා ඒවා ක්‍රියා කළ යුතු ආකාරය ආදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රම මෙන්ම පොදු ස්ථානවල කටයුතු කළ යුතු අයුරුද දැක්වෙනු ඇත.

එසේම පෞද්ගලික අංශවල සේවකයන් පෙරවරු 10.00ට සේවයට වාර්තා කළ යුතු ලෙසින් මේ කටයුතු සිදු කෙරෙන අතර කිසිදු හේතුවක් මත සේවකයින් වැඩිපුර සංඛ්‍යාවක් ආයතනවවලට ගෙන්වීම නොකළ යුතු වේ. අත්‍යවශ්‍යම සේවකයින් අවශ්‍ය නම් මුරමාරු ක්‍රමයකට හෝ ගෙන්වා ගත හැකි ය.

කෙසේ වෙතත් සෙසු පුද්ගලයින් නිවසින් බැහැර විය යුත්තේ ආහාර හෝ ඖෂධ ලබාගැනීම වැනි අත්‍යවශ්‍ය කටයුත්තකට පමණක් බවත් ඒ සදහාද අවසර ලැබෙන්නේ ජාතික හැදුනුම්පතේ අවසන් අංක පාදක කර ගනිමින් බවද අජිත් රෝහණ මහතා පවසයි.

Comments