ආදරය ඉදිරියේ කඳු, මිටියාවත් වන්නේ මොහොතකට පමණි | සිළුමිණ

ආදරය ඉදිරියේ කඳු, මිටියාවත් වන්නේ මොහොතකට පමණි

බමුණු කුලය බිඳ වැටෙයි, මැයෙන් මාර් ටින් වික්‍රමසිංහ ලියු ඒ ප්‍රකට දේශපාලන ලියවිල්ල 56 ජයග්‍රහණයෙන් පසු මෙරට ඇති වූ ජාතිකත්වයේ සමාජ සංස්කෘතික අවදි වීම සම්බන්ධ යෙන් ලියූවක් බව පැහැදිලිය. විශේෂයෙන්ම මෙරට සමාජ දේශපාලන ක්ෂේත්‍රයන්හි පැවති වැඩවසම් ප්‍රභූත්වය මෙන්ම බටහිරවාදී උගැන්මේ අධිපති පැවැත්මට අභියෝගයක් ලෙසින් එම ජයග්‍රහණය ඔහු එහිලා අර් ථ නිරූපණය කොට තිබේ. පනස් හයේ ඒ ජයග්‍රහණය තුළ ඉදිරියට ආ සමාජ පෙළගැස්මක්ද විය.

ඒ නිදහස් අධ්‍යාපනයෙන් ඉදිරියට එමින් සිටි සමාජ බලවේගයන්ය. ඔවුන් ද උගත්කම ලැබුවේ බටහිර අධ්‍යාපන යාන්ත්‍රණය තුළම වුවත් දේශීයත්වය පිළිබඳ සොයා යෑමක් ද දැකිය හැකි වුයේය. එහෙත් නිදහස් අධ්‍යාපනයේ පළමු පරපුර වශයෙන් අපට හමුවන්නේ උගත්කම් මෙන්ම වත්කම් ද තිබූ ගැමි මැද පංකිකයන්ගේ දරුවන්ය. ඒ නිසාම විශ්ව විද්‍යාලයට පිවිස සර් අයිවර් ජෙනින්ස්ලාගේ බටහිරවාදී සමාජ සංස්කෘතික මතවාද සමඟ පවතින පසුබිමකම වුව දේශීය ත්වයේ අනන්‍යතාවක් වෙනුනේ ද ඔවුහු පෙනී සිටියහ. ඒ අනුව ඔවුන් කැමති වූයේ ලයනල් වෙන්ඞ්ට් වැනි චරිත බටහිර සංස්කෘතිය මුල් කොටගත් කොළඹ කේන්ද්‍රීයව ගොඩ නගාගෙන සිටි නාගරික ඒ සමාජය දේශීයත්වය මුල් කොටගත් උගතුන් හැටියට තමන් සතු කර ගැනීමටය. ඒ වෙනුවෙන් කොළඹ හා පේරාදෙනිය මුල් කොටගෙන ඇති වූ ඒ සංස්කෘතික විප්ලවය දේශපාලනමය වශයෙන් පැහැදිලි ජයග්‍රහණයක් ලැබුවේ 56 දී යැයි සිතමි.

එහෙත් මෙතැනදී අප සාකච්ඡා කරන්නේ ඒ පරපුරට පහලින් වු පරම්පරාව ගැනයි. සිය පළමු පරපුරට මෙන් ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර, මෙන්ම ප්‍රාචීණ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනික පසුබිමක් නොතිබුණ මොවුහු මුළුමනින්ම වාගේ මධ්‍ය මහා විද්‍යාල මුල් කොටගත් අධ්‍යාපනයෙන්ම යැපුනවුන් වූහ. ඒ නිසාම සිය පළමු පරපුරට මෙන් ශේක්ස්පියර් ඉංග්‍රීසි මෙන්ම ප්‍රාචීන සිංහල යන භාෂාවන හැසිරවීමේ හැකියාවක් ද මොවුන්ට නොතිබුණි. එහෙත් ඩබ්ලියු . ඒ . සිල්වා, මාර් ටින් වික්‍රමසිංහ වැනි සාහිත්‍යවේදී ආභාෂයෙන් උපන් නිර් මාණාත්මක සාහිත්‍ය පැවැත්මක් ඔවුන්ට තිබුණි. කරුණාසේන ජයලත් ඊට කදිම උදාහරණයක් වේ.

විශේෂයෙන්ම ජයලත්ගේ ගැහැණු ළමයි, හතුරු හිතක්, පිරුණු හඳක් යන තුන් ඈඳුතු නවකතාව අර කියන්නට යෙදුණු සමාජ පෙරළිය ප්‍රකාශයට පත් කල නිර්මාණ සංග්‍රහයක් වේ එහි එන නිමල් හතුරුසිංහ මධ්‍ය මහ විදෘලයක අධ්‍යාපනය ලැබු කොළඹට තදාසන්න ගැමි ප්‍රදේශයක හැදි වැඩුණු, පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා පසුව ඩී. ආර්. ඕ නම් ඉහල මට්ටමේ රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු බවට පත් වූ චරිතයකි. ඊට අනුව ඔහුගේ ගුරුවරුන් බවට පත් වන්නේ මුලින් කී නිදහස් අධ්‍යාපනයේ පළමු පරපුරයි. නිමල්ගේ පියා රියදුරු රැකියාවක් කළ අයෙකු විය.

පවුලේ ප්‍රධාන චරිතය වුණේ අම්මා ය. ඇය කඩයක් කරන අතරම ගැමියන්ගේ අවශ්‍යතාවලට මුදල් ණයට දෙමින් උගස් ගැනීම්, පොලියට දීම් මඟින් ද සැලකිය යුතු සමාජ තත්වයක් අවිධිමත් අයුරින් හෝ ගොඩ නගා ගැනීමට සමත් වු එකියක වූවාය. පසුකාලීනව නිමල්ගේ රජයේ රැක්ියාව ද ඊට පසුබිමක් කරගන්නා ආකාරයක් ද දකින්නට පුළුවන.

නිමල් හා කුසුම් අතර ඇතිවන භද්‍ර යෞව්වනයේ සෙනෙහස කතාවට ජීව ප්‍රාණය වේ. එහෙත් කෘතීන් හි එන සමාජ බලවේගයන් පරාජය කිරීමට එය සමත් නොවේ. ඒ බව තවදුරටත් තහවුරු කරමින් ඉගෙනීමට දක්ෂ ශිෂ්‍යාවක වුණත් කුසුම්ට විශ්ව විද්‍යාලයට සමත් නොවේ. ඇයගේ මවද අහිංසක අසරණ ලෙසින් එළවළු වෙළඳාමේ යෙදී එදා වේල පිරිමසා ගත් එකියක වුවා මිස නිමල්ගේ මව මෙන් සට කපටකම් දත් එකියක නොවුණාය. එතැනදී කුසුම් එවකට පැවැති පැවැති ප්‍රබල සමාජ දේශපාලන අර්බුදයක් වූ රැකියා වියුක්තිය ද ගොදුරු වූවාය. එහි ඊළග ප්‍රතිඵලය වුයේ කුසුම්ගේම වචන වලින් කිවහොත් විවාහයට පෙර කිළිටි වූ ඔවුන් ගේම පාසැලේ උගත් අතමිට ඇති පවුලක එකියක හා විවාහ වන තැනකට නිමල් පත් වීමයි. තමන්ටය කියා පාරම්පරික උසස් සමාජා ආර් ථික උරුමයක පසුබිමක් නැති කොළඹට තදාසන්න වික්‍රමසිංඑගේ බසින් කිවහොත් නිර් මල ගැමි සංස්කෘතියකැයි කිව නොහැකි ගැමි සමාජ පසුබිමක විසු නිමල්ගේ මව එවැනි තීරණයක් කරා යෑම අභව්‍ය තත්වයක් යැයි කොහෙත්ම පැවසිය නොහැකිවන අයුරින් ජයලත් සිය ආඛ්‍යායනය පෙල ගස්වා තිබේ.

ඒ ආකාරයට කුසුම් මුලින්ම පත් වන්නේ සමාජ ඛේදවාචකයකටය. රැකියා වියුක්තියේ ප්‍රබල පීඩනය හමුවේ සිය මව හා එක්ව කටයුතු කරන්නට ගත් තැත ද සාර් ථක නොවු තැන දී රැකියාවක් හැටියට බීඩී ඔතන්නට ද ඇය යොමු වුණාය. පසුව සමුපකාරයේ ගිණුම් කටයුතු වලට සහායවීමේ රැකියාවක් ලබන ඇය සමුපකාර මැනේජර් ගේ මනමාලකම් හමුවේ ඇතැම්විට ඉවසිය නොහැකි මානසික හිංසනයකට ද ගොදුරු වෙයි. ඒ කොයි ආකාරයෙන් හෝ සාමාන්‍ය මට්ටමේ රැකියාවක් හෝ ලබාගෙන ජීවත්වීමේ හැකියාවක් කුසුම්ලාට ලබා දීමට නිදහස් අධ්‍යාපනය හා බැඳුණු සමාජ ක්‍රමයට පුළුවන් වන්නේ නැත. වෙනත් විදිහකට කියනවා නම් යටත් විජිතවාදීන් විසින් මෙරට රෝපණය කල අධ්‍යාපනය නිදහස්ව ලබා දුන් පමණින් සියල්ලෝම සතුටින් ජීවත්වන සමාජ පැවැත්මක් නිර් මාණය නොවුයේය.

කෘති ත්‍රිත්වයේ අවසානයේ දී අපට හමුවන ගුණපාල ද උක්ත සමාජ පෙරළියට අදාලව අමතක නොකල හැකි චරිතයක් වේ. ඔහු ද කුසුම් මෙන්ම එම පාසැලේම උගෙන විශ්ව විද්‍යාලයට යාමට අවස්ථාවක් නොලබා පාරට වැටුණු චරිතයක් වේ. එහෙත් ඔහු ඒ අත්විඳීම කුසුම් මෙන් විඳ දරාගත්තා යැයි කිව නොහැකිය. කුසුම් පසුව දැනගත් ආකාරයට ගුණපාල මුලික වශයෙන් රැකියා වියුක්තියම පාදක කර ගනිමින් විශේෂයෙන්ම කියුබානු විප්ලවයේ ආස්වාදය ජනප්‍රියවාදීව ගනිමින් නිර් මාණය වෙමින් තිබු රැඩිකල් දේශපාලන ක්‍රියාන්විතයකට සම්බන්ධ වී සිටියේය.

යට කියැවුණ තත්වයට අදාලව ඇය තවදුරටත් දැනගන්නේ පාසැලේ ජ්‍යෙෂ්ඨය කරා පිවිසෙමින් සිටි කුසුම්ගේ දෙවන නැගණිය ද ගුණපාලලාගේ දේශපාලන මතවාදය සමග එක්ව සිටි බවයි. විශේෂයෙන්ම සිය වැඩිමල් සහෝදරිය මුහුණ පෑ සමාජ හා පුද්ගල අසාධාරණකම් ඊට අදාලව ඇයගේ ඒ පසුබිමේ දැකිය හැකි වූයේය.

ඊට අමතරව තවත් චරිතයක් ද කුසුම්ට හමු වේ. ඒ රෝහණ හතුරුසිංහය. නිමල්ගේ සහෝදරයාය. නිතර නිතර සිගරට් බොමින් කුසුම් හමු වූ ඔහු සිය සහෝදරයා ඇයට කළ අසාධාරණය හා බැඳුණු ඔවුන්ගේ මව මුල් කොටගෙන ගොඩ නැගුණු සමාජ පැවැත්ම විවේචනය කරන්නට බිය නොවුණත් තමුන් හමුවේ පවත්නා විනාශ වීම් හමුවේ කිසිදු දැක්මක් හෝ විසඳුමක් නැති හිස් චරිතයක් පමණක් යැයි අවබෝධ කරගන්නට කුසුම්ට වැඩි කාලයක් ගියේ නැත. ඒ බව සනාථ කරමින්දෝ රෝහණ ද අකාලයේ මිය ගියේය.

ගුණපාලලාගේ උද්ඝෝෂණයේ හඬ නැගී එමින් තිබුණි. විවාහයෙන් පසු මුල් පරම්පරාවේ අය ගොඩ නැගූ උගත් නාගරික මැද පංතියේ තමන්ට ද ඉඩක් නිර් මාණය කරගත් නිමල් නිහඬවම පසු වුණේය. ඒ උගත් නාගරික මැද පංතියෙන් පැහැදිලිවම ප්‍රතික්ෂේප වී සිටි කුසුම්, ගුණපාල ලාගේ විරෝධතා දේශපාලන ව්‍යාපාරයට අනුකූලතාවක් දක්වන තැනක සිටියත් එය සෘජු අනම්‍ය තත්වයකින් ප්‍රකාශයට පත් වූවක් නොවීය. එය අතරමං වීමක් හා සමානය. ඒ වනාහි කුසුම්ගේ මානුෂීය ඛේදවාචකයයි.

කරුණාසේන ජයලත් 60 දශකයේ අවසානයේ සිට 70 දශකය සිසාරා හමා ගිය ඒ සමාජ පෙරළියේ කතාව අවසන් කරන්නේ එතැනිනි. එහෙත් අවාසනාවකට මෙන් මේ විග්‍රහය සාහිත්‍යයික වශයෙන් පෙන්වා දීමට ඔහුගේ ගුරු පරම්පරාවේ පේරාදෙනි විචාරකයන් නිහතමානි වුයේ නැත.

Comments